Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුදු අන්දරේ – බස්ටර් කීටන්

‘සද්ද විද්ද පළඟ පතුර දුනු කුමාර රාජ කවට’ අන්දරේ ගැන සිංහල සාහිත්‍යයේ කොතෙකුත් රසබර කතාවන්, අපි අසා ඇත්තෙමු. ජනශ්‍රැතියට අනුව, රජවරුන්ගේ පීඩනය දුරු කිරීම සඳහා සෑම රජ සභාවකම කවටයෙකු සඳහා රාජකීය තනතුරක් ද වෙන්කො‍ට තිබී ඇත. කාලය ගත වීමත් සමඟ ලොව පුරා හාස්‍ය රසය ප්‍රිය කරන විවිධ පුද්ගලයන් විසින් සිය ප්‍රාසාංගික හැකියාවන් භාවිත කරමින් විවිධ විසුළුකාරී නිර්මාණ කෘතීන් ඉදිරිපත් කිරීමට පෙළඹුණි. සීනි කෑ අන්දරේට අමතරව තවත් අන්දරේලා ගණනාවක් අප දන්නා කවටයන් ලැයිස්තුවට එකතු වන්නේ එලෙසිනි. චාලි චැප්ලින් සහ මිස්ටර් බීන් යනු අප දන්නා සුප්‍රසිද්ධ ප්‍රහසන නිර්මාණකරුවන්ය. චාලි චැප්ලින්ගේ සමකාලීනයන් අතර ඔහුට තරමක සමාන රූපකායකින් හෙබි ඇමරිකානු ප්‍රහසනවේදියෙකු ලෙස බස්ටර් කීටන් හඳුන්වා දිය හැක.

බස්ටර් කීටන් (selfstyledsiren.blogspot.com)

ජෝසෆ් ‍ෆ්‍රෑන්ක් හෙවත් කීටන්

වර්ෂ 1895 ඔක්තෝම්බර් මස 4 වන දින ඇමරිකා එක්සත් ජනපදයේදී ජෝ කීටන් සහ මයිරා කීටන්ට දාව උපත ලද බස්ටර් කීටන්ගේ උපත් නාමය වූයේ ජෝසෆ් ‍ෆ්‍රෑන්ක් කීටන්ය. කීටන්ගේ දෙමාපියන් ද වෘත්තීය ප්‍රහසන ශීල්පීන් වූහ. වයස අවුරුදු තුනේදී පුංචි කීටන්ව පඩිපෙළක ඉහළ සිට පහළට ලිස්සා ඇද වැටුණු අතර එය බලා සිටි හැරී හවුඩින් නමැති පවුලේ සගයා විසින් බස්ටර් යන නමින් ඔහුට සරදම් කිරීම ආරම්භ කළේය. පුංචි කීටන්ගේ පියා ද ඔහුට යොදන ලද මෙම සුරතල් නාමය ප්‍රිය කළ අතර පසුව එය ඔහුගේ අන්වර්ථ නාමය බවට පත්විය. වයස අවුරුදු හතරේදී පුංචි කීටන් සිය දෙමාපියන් සමඟ වේදිකාවට නැග, ප්‍රහසන රංගනයෙහි නිරත වීම ආරම්භ කළේය. කීටන් පවුලේ ප්‍රසංගයන් අතිශයින් ජනාදරයට පාත්‍ර විය. සිය පියා බීමට ඇබ්බැහි වූ පසුව, සිය වෘත්තිය ජීවිතය සම්බන්ධයෙන්, ඒ වන විට වයස අවුරුදු විසි එකක තරුණයෙකු වූ කීටන්ට තනිව තීරණයක් ගැනීමට සිදු විය. ඒ අනුව ඔහු රොස්කෝ ‘ෆැටී’ ආබකල්ගේ The Butcher Boy සිනමා කෘතිය හරහා සිනමා වෘත්තියට අවතීර්ණ වූයේ ය.

The Butcher Boy සිනමා පටයේ ජවනිකාවක් (YouTube)

කීටන් හා ආබකල්

1920 වන විටත් ඔවුන් දෙදෙනා එකිනෙකාගේ දායකත්වයෙන් කෙටි චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළ අතර රොස්කෝගේ ඇවෑමෙන් අනතුරුව ඔහුගේ ශබ්දාගාරය කීටන්ට උරුම විය. කීටන්ගේ චිත්‍රපට වචන භාවිතයෙන් තොර ඒවා විය. එහිදී කිසියම් ප්‍රහසන කතාන්දරයක් රඟපා දැක්වීම පමණක් සිදුවිය. ඇමරිකානු නිරූපණ ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක වූ වර්ජීනියා රැප්ව ඝාතනය කිරීමට ආබකල් විසින් අවස්ථා තුනකදී උත්සාහ ගන්නා ලදී.

වර්ජීනියා රැප් (Wikipedia)

මෙම චෝදනාව සඳහා ඔහු වරදකරු නොවූ අතර ඔහුට කිසිදු දඬුවමක් ද හිමි නොවීය. නමුත් මේ හේතුවෙන් ඔහු කෙරෙහි විශාල ජනතා අප්‍රසාදයක් ඇති විය. ‍ඔහු චිත්‍රපටවල පෙනී සිටීම පවා ජනතාව විසින් පිළිකුලෙන් යුතුව හෙළා දකින ලදි. ආබකල්ගේ මෙම දුෂ්කර සමයේදී පවා ඔහුව අත්හැර නොයමින්, තමාගේ කීර්තියද අනතුරෙහි ලා ගනිමින්, කීටන් ආබකල් වෙත විශාල වශයෙන් ආධාර උපකාර කළේය. කීටන්, තමාව ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ආබකල්ට එසේ කෘතගුණ දැක්වීමට තරම් නිහතමානී පුද්ගලයෙකු විය.

කීටන් සහ ආබකල් (Pinterest)

සිනමා කෘති

වර්ෂ 1921 දී කීටන් සිය පළමු බිරිඳ වන නටාලී සමඟ විවාහ ගිවිසගත් අතර ඉන් පුතුන් දෙදෙනෙකු ද ලැබුවේය. විවාහයෙන් අනතුරුව උදා වූ යුගය තුළ ද ඔහු පර්යේෂණාත්මක සිනමා කෘති ගණනාවක් බිහි කළේය. One Week (1920), The Boat (1921), Cops (1922) යනාදී කෙටි සිනමා කෘති අතිශයින් ජනාදරයට පාත්‍ර විය. ප්‍රහසන සිනමා කලාවෙහි පෙරැළියක් කිරීමේ අපේක්ෂාවෙන් කීටන් විසින් Three Ages (1923) සිනමාපටය නිර්මාණය කළ අතර එය ඔහුගේ කලා ජීවිතයෙහි හැරවුම් ලක්ෂයක් විය.

බස්ටර් කීටන් වයස අවුරුදු පහේදී (Terri Maxfield Lipp)

මෙහිදී ඔහු, කතාව ගොඩනැගෙන ආකාරය සහ එහි චරිත කවරාකාර විය යුතුද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේය. ඒ අනුව ආරම්භයේදී විනාඩි විස්සක පමණ කාලයකට සීමා වුණු කීටන්ගේ නිර්මාණයන්, පැයකට අධික කාලයක් ධාවනය වන සිනමාපට බවට ක්‍රමයෙන් පරිවර්තනය විය. Our Hospitality (1923), The Navigator (1924), The General (1926) යන ප්‍රහසන චිත්‍රපට, ඔහුගේ හොඳම සිනමා කෘති ලෙස ජනාදරයට පාත්‍ර විය. කීටන්ගේ Sherlock Jr (1924), විශේෂ තාක්ෂණික ප්‍රයෝගයන් ඇසුරෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට ගණයේ සිනමා කෘතියකි.

කීටන් රංගනයෙහි යෙදෙමින් (PBS)

කීටන්ගේ The General (1924) සිනමා කෘතිය එතෙක් බිහි වූ විශිෂ්ට සිනමා නිර්මාණයක් විය. මෙතෙක් නුදුටු දර්ශන රාමු ගණනාවකින් එය ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගන්නා ලදි. ඉන් අනතුරුව College (1927), Steamboar Bill Jr. (1928), The Cameraman (1928), Spite Marriage (1929) යන නිර්මාණ ඔහු අතින් බිහි වූ නමුත්, මෙකී නිර්මාණ අතරින් කිහිපයක් බිහි කිරීමට ඔහුට සිදු වූයේ MGM නමැති ආයතනය යටතේ වන බැවින් ඔහු ඒ පිළිබඳ එතරම් සතුටට පත් වූයේ නැත. ඔහු සිය නිහඬ සිනමා කෘතීන්හිදී සැබවින්ම වික්‍රමාන්විත ක්‍රියාදාමයන්හි නිරත වූයේය. ඇතැම්විට ශාරීරික වේදනාවන්ට මුහුණදීමට මෙන්ම තුවාලයන් විඳ දරා ගැනීමට ද ඔහුට සිදුවිය. කාලයක් සමඟ දෙබස්වලින් තොර නිහඬ සිනමාපට කෙරෙහි වූ ජනාදරය ක්‍රමයෙන් හීන වී ගිය අතර ඒ වෙනුවට දෙබස් සහිත චිත්‍රපට නිර්මාණය වන්නට විය. කීටන් රංගනයට දායක වූ දෙබස් සහිත ප්‍රථම චිත්‍රපටය වූයේ The Hollywood Revue of 1929 (1929) වේ. කීටන්ට කටයුතු කිරීමට සිදු වූයේ MGM නමැති ආයතනය යටතේ වන බැවින් සිනමාපට තුළට රිසි පරිදි සිය නිර්මාණශීලී අදහස් ඇතුළත් කිරීමට ඔහුට ඉඩක් නොවීය.

Grand Slam Opera සිනමාපටය (smokingholesthatwereoncemyeyes.blogspot.com)

විවාහය

වර්ෂ 1932 දී කීටන්ගේත් නටාලිගේත් විවාහය, ඇය විසින් දික්කසාදය ඉල්ලා නඩු පැවරූ පසු දෙදරා යන අතර මේ හේතුවෙන් ඔහුට ඔහුගේ නිවසත්, සැලකිය යුතු දේපල ප්‍රමාණයකුත්, දරුවන් සමඟ පැවති සබඳතාවත් අහිමි වී යයි. වසර දහයකට පමණ පසු යළිත් ඔහුගේ දරුවන් ඔහු සමඟ සබඳතා පැවැත්වීම ආරම්භ කරන අතර ඒ වන විටත් කීටන් මත් ලෝලියෙකු බවට පත් වී සිටී. කීටන්ගේ හැසිරීම පාලනයෙන් තොර, කලහකාරී, පීඩිත එකක් වීමත් සමඟම MGM ආයතනය ඔහුව තමන්ගේ ආයතනයෙන් නෙරපා දමයි. මත්වතුර සඳහා වූ ඇබ්බැහියෙන් මිදීමට රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටින අවධියේදී ඔහුට සිය දෙවන බිරිඳ වන මායීව මුණ ගැසෙයි. ඇය හෙදියක වූ අතර ඔවුනගේ විවාහය ද වර්ෂ 1935 පමණ වන විට බිඳ වැටේ. ඒ වන විට කීටන්ගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් හීන වෙමින් පැවති අතර ඔහුගේ වෘත්තියට යළිත් සුළු ආලෝකයක් ලැබෙන්නේ ඔහු විසින් නිෂ්පාදනය කළ Grand Slam Opera (1936) සිනමාපට යෙන් අනතුරුවය.

කීටන් සිය බිරිඳ නොරිස් සමඟ (Popsugar)

ඔහු වර්ෂ 1940 දී ඔහු සිය ඉරණම් කාන්තාව වූ නොරිස්ව සිය ජීවිතයට ළං කරගන්නා අතර ඇය ඔහුගේ ජීවන ගමනෙහි අවසානය දක්වාම, ඔහු වෙනුවෙන්ම කැප වෙමින් රැඳී සිටී. තෙවන විවාහයෙන් පසුව ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන ‍කීටන් In the Good Old Summertime (1949) සිනමාපටයේ එක්තරා චරිතයකට පණ පොවන අතර ඔහුගේ ජීවිතේ ඉතිරි කාලය කාර්යබහුල එකක් කිරීමට තරම් අවස්ථාවන් ගණනාවක් සහ ජනප්‍රියත්වයක් ඉන් ලැබේ. එතෙක් පැමිණි ගමන් මග දෙස හැරී බලන කීටන්, වර්ෂ 1960 දී පමණ My Wonderful World of Slapstick නමින් ස්වයං චරිතාපදානයක් රචනා කරන අතර ප්‍රමාණයෙන් 150ක් පමණ වන ඔහුගේ සිනමාපට පිළිබඳ මතකයන් ඒ තුළ ආවර්ජනය කරයි. කීටන් රංගනයෙන් දායක වූ අවසාන චිත්‍රපටය වන A Funny Thing Happened on the Way to the Forum (1966) තිරගත වූයේ, වර්ෂ 1966දී පෙනහලු පිළිකාවක් හේතුවෙන් කීටන් සිය ජීවන ගමනට ආයුබෝවන් කියා මාස 7ක් ඉක්ම ගිය පසුවය. කීටන්ගේ මතකයන් තවම ජීවමානව, සුවහසක් දනන්ගේ මුවගට සිනහව නංවමින් තිබේ.

කවරයේ පින්තූරය (Pinterest)

මූලාශ්‍ර

www.imdb.com

www.biography.com

www.britannica.com

www.wikiquote.org

www.pbs.org

Related Articles