Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙමුහුන් වී සොයා ගත් චීන කෘෂි විද්‍යාඥයා- යුවාන් ලෝන්ග්පිං

ලොව වැඩිපුර ම වගා කරන සහ පරිභෝජන කරන බෝග වර්ග කිහිපය අතරට සහල් ද අයත්. වර්තමානය වන විට ලොව වැඩි ම වාර්ෂික සහල් නිෂ්පාදනය සිදු කරන්නේ ආසියා කලාපයේ යි. ආසියා කලාපයේ සාර්ථකව වී වගාව සිදු කරමින් වැඩි ම සහල් නිෂ්පාදන කරන රටවල් අතර ඉදිරියෙන් ම සිටින්නේ චීනය යි.

2021 දී සහල් මෙට්‍රික් ටොන් මිලියන 212.84ක් නිෂ්පාදනය කළ චීනය 2011-2021 කාලයේ සෑම වසරක ම සහල් මෙට්‍රික් ටොන් මිලියන 200කට වඩා නිෂ්පාදනය කිරීමට සමත් වුණා. චීනය හෙක්ටයාර මිලියන 30කට ආසන්න බිම් ප්‍රමාණයක වී වගාව සිදු කරමින් වාර්ෂික ව විශාල අස්වැන්නක් ලබා ගන්නවා.

ලොව ප්‍රමුඛත ම සහල් නිෂ්පාදකයා

ලොව ප්‍රමුඛත ම සහල් නිෂ්පාදකයා බවට පත් ව සිටින චීනය අද වන විට වැඩි අස්වැන්නක් ලැබෙන දෙමුහුන් වී ප්‍රභේද වගා කරනවා. 1970 දශකයේ දී දෙමුහුන් වී ප්‍රභේද එරටට හඳුන්වා දුන්නේ යුවාන් ලෝන්ග්පිං නම් චීන කෘෂි විද්‍යාඥයා යි. ඉන් නොනැවතුණු ලෝන්ග්පිං ලෝකයේ තවත් රටවල්වලට එම තාක්ෂණික දැනුම ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1970 දශකයෙන් පසු ව ලෝකයේ සහල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

මේ දෙමුහුන් සහල් පියා ලෙස හඳුන්වන චීන කෘෂි විද්‍යාඥ යුවාන් ලෝන්ග්පිංගේ ජීවිත කතාව යි.

යුවාන් ලෝන්ග්පිං – chinatalks.com

ජීවිතයේ මුල් අවධිය

යුවාන් ලෝන්ග්පිං චීනයේ බීජිං හි දී 1930 සැප්තැම්බර් 7 වැනි දා උපත ලැබුවා. ඔහුගේ පියා වුණු යුවාන් සිංග්ලි සහ මව වුණු හුවා යන දෙදෙනා ම ජිං පීකිං යුනියන් වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරුන් ලෙස රැකියාව කළා. සහෝදර සහෝදරියන් 6 දෙනකුගෙන් යුත් පවුලේ දෙවන දරුවා වුණු ලෝන්ග්පිං කුඩා කාලයේ සිට ම ඉගෙනීමට දක්ෂ දරුවෙක් වුණා. ඒ ඔහුගේ මාපියන්ගෙන් ලද ආභාසය නිසා යි.

ලෝන්ග්පිං දරුවා ඉගෙනීම් කටයුතුවලට දක්ෂයෙක් වුණත් ඔහුට රිසි සේ එම වැඩ කටයුතුවල නිරත වීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ, එම අවධියේ පැවති දෙවන චීන – ජපන් යුද්ධය සහ චීන සිවිල් යුද්ධය යන යුද්ධවලින් ඔහු සහ පවුලේ උදවිය දැඩි ලෙස පීඩා විඳි නිසා යි.

දෙවන චීන-ජපන් යුද්ධයේ අවස්ථාවක් – gettyimages.com

එහි ප්‍රතිඵලයක් වශයෙන් යුවාන් පවුලේ උදවියට හූනාන්, චොංකිං, හැන්කූ සහ නැන්ජිං යන පළාත්වලට ගොස් ජීවත් වීමට සිදු වුණා. එනිසා ලෝන්ග්පිං දරුවාට පාසල් කිහිපයකට යාමට සිදු වුණා. එසේ වරින් වර පාසල් කිහිපයකට ගියත් සිය ඉගෙනීම් කටයුතු අතපසු නොකිරීමට ලෝන්ග්පිං දරුවා වග බලා ගත්තා. එනිසා ඔහු ඉතා හොඳින් සිය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කළා.

පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ඔහු යම් ක්ෂේත්‍රයක් ඔස්සේ වැඩි දුර ඉගෙන ගැනිමට කල්පනා කළා. එහි දී ලෝන්ග්පිං සිය උසස් අධ්‍යාපන කටයුතු කිරීම සඳහා තෝරා ගත්තේ කෘෂිකර්ම ක්ෂේත්‍රය යි. ලෝන්ග්පිං නිරිතදිග කෘෂිකර්ම විද්‍යාලයට ඇතුළු වී සාර්ථක ව එහි අධ්‍යයන කටයුතු සිදු කරමින් 1953 දී උපාධිය සම්පූර්ණ කළා.

කෘෂිකර්ම ආචාර්යවරයෙක් ලෙස වෘත්තීය ජීවිතය ඇරඹීම

සිය උපාධිය සම්පූර්ණ කළ ලෝන්ග්පිං ඉන් අනතුරු ව කෘෂිකර්ම ආචාර්යවරයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. එහි දී ඔහුගේ මුල් ම රාජකාරි ස්ථානය වුණේ හුනාන් පළාතේ ඇන්ජියැං කෘෂිකාර්මික විද්‍යාලය යි. ඔහු එහි ඉගැන්වීම් කටයුතු ඉතාමත් හොඳින් සිදු කළ නිසා වැඩි කලක් යන්නට පෙර සිසුන් අතර ජනප්‍රිය වුණා. ඒ අතරතුර ඔහු විවිධ පර්යේෂණවල ද නිරත වුණා. එහි දී ඔහුගේ අරමුණ වුණේ යම් දිනයක කෘෂි විද්‍යාඥයෙක් බවට පත් වීම යි.

ලෝන්ග්පිං සිය රැකියාවට පිවිසි මුල් අවධිය – asianscientist.com

1959-1961 යුගයේ දී චීනය පුරා මහා සාගතයක් පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විශාල චීන වැසියන් ප්‍රමාණයක් මරණයට පත් වුණා. එකල ඇතැම් චීන වැසියන් ගස්වල කොළ, පොතු, මුල් පවා අනුභව කරමින් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළා බවයි වාර්තා වන්නේ.

සිය රටේ ජනතාව ආහාර නොමැති ව දුක් විඳින ආකාරය දැකීමෙන් ලෝන්ග්පිං දැඩි ලෙස කම්පාවට පත් වුණා. ලෝන්ග්පිං සැලසුම් කළේ ඉදිරි අනාගතයේ දී චීනයේ ආහාර අර්බුදයක් ඇති වීම වැලැක්වීම සඳහා ඔහු සතු ව ඇති දැනුමෙන් ප්‍රයෝජනයක් ගැනීමට යි.

මහා සාගතයෙන් පීඩා විඳි චීන ජනතාව – gettyimages.com

දෙමුහුන් බෝග වගා කිරීමට අවධානය යොමු කිරීම

එකල බටහිර රටවල් ආශ්‍රිත ව තිරිඟු සහ බඩ ඉරිඟු වැනි බෝග වර්ග දෙමුහුන් කිරීම පිළිබඳ පර්යේෂණ සිදු වුණා. එයින් ලද ආභාසයෙන් ලෝන්ග්පිං ද බතල සහ බඩ ඉරිඟු දෙමුහුන් කිරීම සඳහා පර්යේෂණ ආරම්භ කළා. ඔහු යටතේ ඉගෙන ගනිමින් සිටි සිසුන් එම පර්යේෂණ සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නා. ලෝන්ග්පිං ඇතුළු කණ්ඩායම එම පර්යේෂණ සඳහා මුලින් ම යොදා ගත්තේ බඩ ඉරිඟු සහ බතල යන බෝග යි.

එසේ සිදු කළ පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට ලෝන්ග්පිං ඇතුළු පිරිසට හැකි වුණා. දෙමුහුන් වී වර්ග නිෂ්පාදනය කිරීම පිළිබඳ ව ඉන් පසු ව ලෝන්ග්පිං අවධානය යොමු කළා. වී ස්වයං පරාගණය සිදු කරන ශාකයක් නිසා එය දෙමුහුන්කරණය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත නොහැකි බවට එකල මතයක් පැවතුණා.

දෙමුහුන් වී නිපදවීම සඳහා සිදු කළ පර්යේෂණ

එක ම බෝගයේ එකිනෙකට වෙනස් ප්‍රභේද දෙකක් හරස් කිරීමෙන් දෙමුහුන් ප්‍රභේදයක් නිර්මාණය කරනවා. හරස් කිරීම යනු එක් ප්‍රභේදයක පිරිමි මලෙන් පරාග ගෙන වෙනත් ප්‍රභේදයක ගැහැනු මල් කොටස් වෙත මාරු කිරීම යි. එහි දී ගැහැනු මලෙහි ඩිම්බකෝෂ පරාගණය වුණු පසු ව එය ඉදි මී ගෙඩියක් සෑදෙනවා. එම ගෙඩිය තුළ වර්ධනය වන බීජ දෙමුහුන් බීජ ලෙසින් හැඳින්වෙනවා.

ලෝන්ග්පිං ඇතුළු කණ්ඩායම දෙමුහුන් වී නිපදවීම සඳහා සුදුසු වී ප්‍රභේද සොයමින් වසර කිහිපයක් පුරා පර්යේෂණ පැවැත්වූවා. එම පර්යේෂණවල දී අනාවරණය වුණේ ස්වභාවික ව විකෘති වුණු පිරිමි වඳ වී පැළ යොදා ගෙන දෙමුහුන් වී ප්‍රභේද නිපදවිය හැකි බව යි. ඔහු ඇතුළු පිරිස එවැනි පැළ සෙවීමට සැලකිය යුතු තරම් කාලයක් වැය කළා. දිගින් දිගට ම පර්යේෂණ සිදු කළ ලෝන්ග්පිං වසර 2කට පසුව “Male Sterility in Rice” නමින් විද්‍යාත්මක පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළා.

ලෝන්ග්පිං පර්යේෂණවල නිරතවෙමින් (bllnr.sg)

දෙමුහුන් කිරීම සඳහා මාපියන් ලෙස වෙනම ගැහැනු සහ පිරිමි ශාක වුවමනා යි. වී ස්වයං පරාගණය සිදු කරන ශාකයක් නිසා දෙමුහුන් කිරීම සඳහා වී පුෂ්පයේ පිරිමි කොටස් ප්‍රවේශමෙන් අතින් ඉවත් කිරීමට සිදු වුණා. එය ප්‍රායෝගික ව එතරම් පහසුවෙන් සිදු කළ නොහැකි වුණා. එනිසා දෙමුහුන් වී විශාල ලෙස නිපදවීමට හැකියාවක් ලැබුණේ නැහැ.

එවැනි තත්ත්වයක් යටතේ ලෝන්ග්පිං උපකල්පනය කළේ දෙමුහුන් වී නිපදවීම සඳහා ස්වභාවික ව විකෘති වුණු පිරිමි වඳ වී පැළ යොදා ගත හැකි බව යි. අවසානයේ දී ලෝන්ග්පිංට සිය උපකල්පනය නිවැරදි බව ඔප්පු කිරීමට හැකි වුණා. ඔහු “Male Sterility in Rice” නම් විද්‍යාත්මක පත්‍රිකාවේ දක්වා තිබුණේ ද ඒ පිළිබඳව යි.

මුල් ම දෙමුහුන් වී ප්‍රභේදය

1960 දශකය පුරාවට දෙමුහුන් වී නිපදවීම පිළිබඳ පර්යේෂණ සිදු කළ ලෝන්ග්පිං ඇතුළු කණ්ඩායම සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත් නිසා 1970 දශකය ආරම්භයේ දී ඔවුන්ට දෙමුහුන් වී නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකි වුණා. එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට ලෝන්ග්පිං ඇතුළු කණ්ඩායමට හැකි වුණා. එනිසා නෑන්-යූ අංක 2 (Nan-You No 2) නම් මුල් ම දෙමුහුන් වී ප්‍රභේදය හඳුන්වා දීමට ලෝන්ග්පිංට හැකි වුණා. ඒ 1973 වසරේ දී යි. එම නව වී ප්‍රභේදය මඟින් 20%ක වැඩි අස්වැන්නක් ලැබුණු බව එකල චීන කෘෂිකර්ම දත්ත වාර්තාවල සටහන් වී තිබෙනවා.

දෙමුහුන් ප්‍රභේද නිසා චීනයේ සහල් නිෂ්පාදනය ඉහළ ගිය අයුරු

පළමු දෙමුහුන් වී ප්‍රභේදය මඟින් ලැබුණු වාර්ෂික සහල් අස්වැන්න වැඩි වීම නිසා ලෝන්ග්පිං උද්දාමයට පත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු තව තවත් දෙමුහුන් වී ප්‍රභේද නිර්මාණය කිරීම සඳහා උනන්දු වුණා. ඒ සඳහා ඔහු කළ පර්යේෂණ සාර්ථක වුණා. එනිසා 1980 දශක අවසන් වෙද්දී සැලකිය යුතු තරම් දෙමුහුන් වී ප්‍රභේද ප්‍රමාණයක් හඳුන්වා දීමට ඔහුට හැකි වුණා.

Li You 57, Wel You 6, Xiu You 57, Yan You 57, Qiu You 20, Dang You 9, Feng You 9, Ai You 82 එසේ හඳුන්වා දුන් දෙමුහුන් වී ප්‍රභේදවලින් කිහිපයක්. ගෙවුණු දශක 5ක කාලය තුළ චීනයේ වගා කළ දෙමුහුන් වී ප්‍රභේද අතුරින් වඩාත් ජනප්‍රිය වුණේ Shan You 63 නම් ප්‍රභේදය යි.

චීනයේ වාර්ෂික සහල් නිෂ්පාදනය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ දත්තවලට අනුව 1970 දී චීනයේ වාර්ෂික සහල් නිෂ්පාදනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 110ක් ලෙසින් සටහන් වුණා. එම ප්‍රමාණය 1980 වන විට මෙට්‍රික් ටොන් මිලියන 139.9ක් දක්වා වැඩි වුණා. 1980 දශකයේ දී වැඩි වැඩියෙන් දෙමුහුන් වී ප්‍රභේද නිෂ්පාදනය කිරීම හේතුවෙන් 1990 වන විට චීනයේ වාර්ෂික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 189.3ක් දක්වා ඉහළ ගියා. එසේ ක්‍රමයෙන් වැඩි වුණු චීනයේ වාර්ෂික සහල් නිෂ්පාදනය 2020 වන විට මෙට්‍රික් ටොන් මිලියන 211.9ක් ලෙස සටහන් වුණා.

කෘෂි විද්‍යාඥ කෘෂි විද්‍යාඥ යුවාන් ලෝන්පිං – Zhang Lang/China News Service via Getty Images

දැනුම වෙනත් රටවල්වලට බෙදා දුන් හැටි

1970 දශකයේ අග භාගය වෙද්දී කීර්තිමත් කෘෂි විද්‍යාඥයෙක් බවට පත්ව සිටි යුවාන් ලොන්ග්පිං සිය දැනුම වෙනත් රටවල්වලට ද ලබා දුන්නා. ඔහු 1979 දී දෙමුහුන් සහල් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණික දැනුම අමෙරිකාවට ලබා දුන්නා. ඉන් නොනැවතුණු ලෝන්ග්පිං ලෝක සහල් පර්යේෂණ ආයතනය හරහා තව තවත් රටවල් සමඟින් සිය දැනුම බෙදා ගත්තා. ඒ ලොව ප්‍රමුඛත ම සහල් නිෂ්පාදකයන් වන ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය, බංග්ලාදේශය, මියන්මාරය, පිලිපීනය වැනි රටවල් සමඟ යි.

එසේ ලබා දුන් දැනුම නිසා එම රටවල්වල වාර්ෂික සහල් නිෂ්පාදනය ද ඉහළ ගියා. එක්සත් ජාතීන්ගේ ජාතීන්ගේ සංවිධානය ආහාර වැඩසටහනේ දත්තවලට අනුව 1970 දී මෙට්‍රික් ටොන් මිලියන 63.3ක් ලෙසින් පැවති ඉන්දියාවේ වාර්ෂික සහල් නිෂ්පාදනය 1990 වන විට මෙට්‍රික් ටොන් මිලියන 111.2ක් දක්වා ඉහළ යාම එයට හොඳ ම උදාහරණයක් ලෙස දක්වන්නට පුළුවන්.

ලෝන්ග්පිං සිය දැනුම බෙදා දෙමින් – gettyimages.com

දෙමුහුන් වී නිසා ඉහළ ගිය ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් නිෂ්පාදනය

1990 දශකයේ මැද භාගයේ දී ශ්‍රී ලංකාවේ දෙමුහුන් වී වර්ග පිළිබඳ පර්යේෂණ ආරම්භ වුණා. ඒ සඳහා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ පූර්ණ සහයෝගය ලැබුණා. එහි දී BgHR1, BgHR6, BgHR12 යන දෙමුහුන් වී ප්‍රභේද පර්යේෂණ සඳහා යොදා ගත්තා.

ඒවා අතුරින් වඩාත් ම සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නේ BgHR6 ප්‍රභේද යි. එනිසා එම ප්‍රභේදය තවත් දියුණු කර 2005 දී Bg 407H දෙමුහුන් වී ප්‍රභේදය මෙරටට හඳුන්වා දුන්නා.

චීනයේ සරුසාර කුඹුරු යායවල අස්වැන්න නෙළන ආකාරය – gettyimages.com

එය මෙරට පළමු දෙමුහුන් වී ප්‍රභේදය බවට පත් වුණා. දෙමුහුන් වී වර්ග හඳුන්වා දීමත් සමඟින් මෙරට වාර්ෂික සහල් නිෂ්පාදනය ඉහළ ගියා.

2002 වන විට මෙට්‍රික් ටොන් මිලියන 2ක් ලෙසින් පැවති අප රටේ වාර්ෂික සහල් නිෂ්පාදනය ගෙවුණු වසරවල දී මෙට්‍රික් ටොන් මිලියන 3 ඉක්මවා ගියා.

ශ්‍රී ලංකාවේ වී ගොවිතැන් කරන ජනතාව – araliyarice.com

ලැබුණු ගෞරව සම්මාන

යුවාන් ලෝන්ග්පිං දශක කිහිපයක් පුරා කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් කළ අනගි සේවයට ඔහුට ගෞරව සම්මාන සහ තනතුරු ද පිරිනැමුණා. 8117 Yuanlongping ලෙස කුඩා ග්‍රහලෝකයක් ද, ග්‍රාහක 4ක් සහ චීනයේ විද්‍යාලයක් ද ලෝන්ග්පිංට ගරු කිරීමක් ලෙස ඔහුගේ නමින් නම් කළා.

2000 දී චීනයේ ප්‍රමුඛත ම විද්‍යා තාක්ෂණ සම්මානය හිමිවීම ද, 2004 දී කෘෂිකර්මය සඳහා පිරිනැමෙන වුල්ෆ් ත්‍යාගය සහ ලෝක ආහාර ත්‍යාගය හිමි වීම ද ලෝන්ග්පිංගේ ජීවන දිවියේ අමතක නොවන මතක සටහන් වුණා.

ලෝන්ග්පිංට ලෝක ආහාර ත්‍යාගය හිමි වුණු මොහොත – nytimes.com

ගෞරව සහ සම්මානවලින් පුද ලද ලෝන්ග්පිං සිය කීර්තිමත් වෘත්තීය දිවියේ වැදගත් තනතුරු කිහිපයක් ද දැරුවා. චීන දෙමුහුන් සහල් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර, චීනයේ හූනාන් කෘෂිකාර්මික විශ්ව විද්‍යාලයේ ප්‍රධානි තනතුර, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන උපදේශක තනතුර එසේ ඔහු දැරූ තනතුරුවලින් කිහිපයක්.

ලෝක කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් කළ මෙම සුවිශේෂී පුද්ගලයා රෝගාතුර වීම නිසා 2021 මැයි 22 වැනිදා සදහට ම දෙනෙත් පියා ගත්තා. ලෝන්ග්පිං අද වන විට ජීවතුන් අතර නැතත් ඔහු සොයා ගත් කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රම තවත් සියවස් කිහිපයක් පුරා නොනැසී පවතිනු ඇති බවට සැකයක් නැහැ.

යුවාන් ලෝන්ග්පිං හයිබ්‍රිඩ් සහල් විද්‍යා කෞතුකාගාරයේ දී කෘෂි විද්‍යාඥ කෘෂි විද්‍යාඥ යුවාන් ලෝන්පිංට උපහාර දක්වමින් – Zhang Lang/China News Service via Getty Images

කවරයේ ඡායාරූපය- යුවාන් ලෝන්ග්පිං - gettyimages.com
මූලාශ්‍ර:
china.org.cn
asianscientist.com
nature.com
nytimes.com
irri.org
researchgate.net
thericejournal.springeropen.com
doa.gov.lk/Rice-Congress-2010.pdf
asianscientist.com

Related Articles