ඉන්දියාව බැබලවූ මිසයිල් මිනිසා – අබ්දුල් කලාම්  

අපිට අබ්දුල් කලාම්ව මතක 2000න් පසු පත් වූ ඉන්දීය ජනාධිපතිවරයෙක් විදිහට පමණක් වුවත් ජනාධිපතිවරයා වීමට පෙරත් පසුත් ඔහු සැමදා ඉන්දීය ජනයාගේ ගෞරවාදරයට පත් වූයේ මිසයිල මිනිහා (Missile Man) යන නමිනි. අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල තාක්ෂණය තිබෙන ලෝකේ රටවල් ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුය. එයින් ඉන්දියාවත් එක් රටකි. එම මිසයිල තාක්ෂණයේ දියුණුව යුධ ශක්තියට මෙන්ම පණිවුඩ චන්ද්‍රිකා ඉහළට යැවීම, ආකාශ වස්තු ගවේශණය, වැනි කාරණා රැසකට ඉන්දියාවට වැදගත් විය.

එදා බයිසිකලයක පටවාගෙන තුඩුව වෙත රැගෙන යන ඉන්දීය රොකට්ටුවක් (pbs.twimg.com)

දෙවන ලෝක යුද්ධයට පසුකාලීනව ඇමරිකාව සහ රුසියාව තරඟයට මෙන් එකිනෙකා පරයා රොකට් යවන විට ඉන්දීය තාක්ෂණය සැබැවින්ම තිබුණේ ප්‍රාථමික මට්ටමේය. 1950 දශකයේදී ඉන්දියාවේ රොකට් සහ චන්ද්‍රිකා තාක්ෂණය තබා තැනූ රොකට්ටුවක් ගුවන් ගත කරන ස්ථානයට රැගෙන යාමට තරමේ හරිහමන් වාහන පහසුකම් වත් තිබී නැත. කලාම් මහතාම සඳහන් කරන පරිදි 1950 ට පෙර රොකට් ගුවන් ගත කරන තැනට ගෙනගොස් ඇත්තේ බරකරත්ත සහ බයිසිකල වල පටවා ගෙනය.

කලාම් විශේෂ වන්නේ ඇයි?

කලාම් යනු මදුරාසි විශ්ව විද්‍යාලයේ ‍භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. ඉන්දීය හමුදා පර්යේෂණ අංශවලට සම්බන්ධ වූ ඔහු මුල්කාලීනව හෙලිකොප්ටර සහ රොකට් යන්ත්‍ර රැසක අත්හදාබැලීම්වලට සක්‍රීයවම දායක වී තිබේ. එහෙත් ඔහු අයින්ස්ටයින්, හෝකින්ස් වැනි සෛධාන්තික භෞතික විද්‍යාඥයෙක්වත් ග්‍රැහැම් බෙල්, එඩිසන් වැනි නව නිපැයුම් එළිදැක්වූ අයෙකුවත් නොවේ. සැබැවින්ම ඔහු විද්‍යාඥයෙකු යැයි සලකා බැලූ විට ඔහු සාමාන්‍ය විද්‍යාඥයෙක්ම වූ බැව් ඔහුගේ සමකාලීන මිතුරන්ගේ අදහස් කියවීමෙන් සනාථ වේ.

පෙලපාලියක උජාරුවෙන් වැඩමවන ඉන්දීය මිසයිලයක්  (thewire.in)

අබ්දුල් කලාම් ගේ විශේෂත්වය වන්නේ තාක්ෂණික අතින්, ආකල්පමය අතින් මෙන්ම මූල්‍යමය අතින්ද පසුගාමී පරිසරයක් වූ ඉන්දියාවේදීම ඔහු සාර්ථක පරිපාලකයෙක් සහ ප්‍රධානියෙක් බවට පත්වීමයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල විද්‍යාඥයන් වර්තමානයේදී  පවා බොහෝ විට සාර්ථක වන්නේ මව්රටේදී නොව ඈත දුරක පිහිටි ඇමරිකාවේදී හෝ ‍යුරෝපයේදීය. අප වැනි සමාජ ආර්ථික පද්ධතියකදී නව නිපැයුම් කිරීම, ඒවාට දේශපාලන අවධානය ලබාගැනීම සහ ආයතනික ව්‍යුහ සකස් කොට වැඩ ක්‍රියාත්මක කිරීම සැබැවින්ම අමාරු ක්‍රියාවකටත් වඩා කළ නොහැකි තරමේ විශාල ව්‍යායාමයකි.

භෞතික විද්‍යාඥයෙක් ලෙස උකහා ගත් විෂය දැනුමෙන් ද, ගුවන් යානා තාක්ෂණය ගැන කරන ලද පරීක්ෂණවලින් ඉංජිනේරු කුසලතාවයද හිමිකරගත් කලාම් පසු‍කලෙක රොකට් ව්‍යාපෘති හා න්‍යෂ්ඨික ව්‍යාපෘතිවලට පණ පොවන්නේ සාර්ථක මෙහෙයවන්නකුගේ භූමිකාව සිය කර මතට ගනිමිනි. බොහෝ ඉන්දියානු උගත්හු හා බුද්ධිමත්හු සිය කුසලතාවයන් වර්ධනය කරගැනීමට වෙනත් රටවල් කරා සංක්‍රමණය වෙද්දී 1963 දී අබ්දුල් කලාම් ඇමරිකාවට ගියේ නාසා ආයතනයේ දැනුම සිය රටෙහි දියුණුවට වැඩදායක ලෙස යොදාගන්නේ කෙසේදැයි සොයා බලා ඒ දැනුම ලබාගන්නට ය.

ඔහු මෙහෙයවූ ව්‍යාපෘති

ඉන්දියාවේ මිසයිලවල විකාශනය (commonstupidman.com)

1980 ගණන්වලදී SLV-III (Space Launch Vehicle) සහ PSLV  හඳුන්වා දෙමින්, පෘථිවි කක්ෂයෙන් පිටතට රෝහිණී චන්ද්‍රිකාව යවමින් අභ්‍යවකාශ යානා යැවූ රටවල් අතලොස්ස අතරට ඉන්දියාවද එකතු විය. එම වැඩසටහනේ ප්‍රධාන නියමුවෙක් වූයේ අබ්දුල් කලාම් මහතාය.

1980න් පසුව අබ්දුල් කලාම් මහතා සිය රටේ නිපදවන මිසයිල වැඩසටහන්වලට දායකත්වය ලබා දුන්නේය. ඒ යටතේ ඉන්දීය නිපැයුම් ලෙස අග්නි සහ පෘථිවි මිසයිල පද්ධතිය ඉන්දියාවට හිමිකර දීමට කලාම්ගේ නායකත්වය සහිත කණ්ඩායම සමත් විය.

පසුකාලීනව ‍“පොක්රාන්-2” නැමැති න්‍යෂ්ඨික අවි පද්ධතියටද දායකත්වය ලබාදුන් කලාම් මහතා න්‍යෂ්ඨික බලයෙන් විදුලිය නිපදවන අවස්ථාවලදී පැන නැගුණු ජනතා විරෝධය සමනය කිරීමටද මැදිහත් වී ක්‍රියා කළේය.

පියෙක් මෙන් පාලකයෙක්

(ibnlive.in)

දිනක් අබ්දුල් කලාම් යටතේ රාජකාරි කළ විද්‍යාඥයෙක් සිය දරුවන් එදින සවස ප්‍රදර්ශනයකට කැඳවාගෙන යෑමට උදෑසනම ගොස්, සවස නිවාඩුවක් ඉල්ලා සිටියේය. වැඩ අධික වීම නිසා විද්‍යාඥ පියාට එදින සවස යෙදී තිබුණු සිය දරුවන්ගේ කාර්යය අමතක විය. ඔහු සවස වැඩ නිමවී දරුවන්ට කුමක් කියම්දෝයි සිතමින් වැනි වැනී නිවසට ගොස් බලන විට දරුවන් නිවසේ නැත. බිරියගෙන් ඒ ගැන විමසූ විට ඇය, “ඔෆිස් එකෙන් පත්කර එවූ නිලධාරියෙක් දරුවන් ප්‍රදර්ශනයකට රැගෙන ගිය බව නොදන්නේදැ”යි පෙරළා විද්‍යාඥයාගෙන් ප්‍රශ්න කළාය. සොයා බලන විට එම විද්‍යාඥයා රාජකාරි කරන අතරතුර දරුවන් රැගෙන ප්‍රදර්ශනයට ගොස් තිබුණේ අබ්දුල් කලාම් නම් ආයතන ප්‍රධානියාමය.

අබ්දුල් කලාම් මහතා ජනාධිපති වූ පසු කේරළයේ තිරුවනාදපුරම්හි ඔහු එකල වැඩ කළ පර්යේෂණායතනයක් බලන්නට පැමිණියේය. ඔහු ඒ ගමනේදී කුඩා කෑම කඩයකට ගොස් එහි හිමිකරු සමග කතාබහ කොට එයින් ආහාර ස්වල්පයක්ද ලබාගන්නේ මීට වසර ගණනාවකට පෙර අතීතයේදී තිරුවනාදපුරම් රොකට් මධ්‍යස්ථානයේ පර්යේෂණවල නිරතව සිටියදී එම කඩයෙන් නිතර කෑම ගැනීම වෙනුවෙන් තම කෘතඥතාවය පළකිරීමක් වශයෙනි.

රාමේශ්වරම් අතීතය

රාමේශ්වරම් හි ජීවත් වූ කලාම් ගේ මුතුන් මිත්තෝ එවකට නිදහස් මුහුදු සීමාවක් වූ පෝක් සමුද්‍ර සන්ධිය හරහා 1900 ගණන්වලදී ලංකාවට බඩු භාණ්ඩ ප්‍රවාහනය කළ සරු ව්‍යාපාරිකයෝ වූහ. ඔවුහු පසු කලෙක පෝක් සමුද්‍ර සන්ධිය හරහා රාම සේතුව සේ අහසින් පේන දූපත් පෙළේ ඉන්දියාවට ලංව පිහිටි දූපතක් වූ පම්බන් දූපත දක්වා ගමන් කළ ඔරු සේවාවේ හිමිකරුවෝද වූහ. නමුත් 1915 දී පම්බන් දූපත සහ ඉන්දියාව අතර වර්තමානයේද ජනප්‍රිය ව ඇති පම්බන් පාලම ඇති වීමත් සමග කලාම්ගේ පියාගේ සහ සීයාගේ ආර්ථික තත්වය පිරිහෙන්නට විය.

භක්තිමත් මුස්ලිම් ලබ්ධිකයෙකු වූ අබ්දුල් කලාම්ගේ පියා පම්බන් දිවයිනේ මුස්ලිම් පල්ලියේ ඉමාම්වරයාද විය. එකල ඒ කුඩා දූපතේ කටයුතු ගැන මුස්ලිම්, හින්දු, සහ ක්‍රිස්තියානි නායකයන් එක්ව කතාබහ කොට සාමයෙන් තීරණ ගත් බව කලාම් සදහන් කොට තිබේ. මුල් කාලයේදී කලාම් පුවත්පත් විකිණීමේ රැකියාවක්ද සුළු වශයෙන් කොට සිය පවුලට ශක්තියක් වී තිබේ.

ජනපති භූමිකාව

අබ්දුල් කලාම් ජනාධිපති සමයේ ඔහුගේ සහෝදරයා කුඩ අලුත්වැඩියා කරන වෙළදසැලේ සිට  (pbs.twimg.com)

අබ්දුල් කලාම් ඉන්දිරා ගාන්ධි මැතිණියගේ කාලයටත් පෙර පටන්ම රාජ්‍ය නායකයින්ගේ ඇසුර ලැබූ ප්‍රකට චරිතයක් විය. ඉන්දීය න්‍යෂ්ඨික වැඩකටයුතුවලද කලාම් මූලිකත්වය ගෙන ක්‍රියාකොට තිබේ. ඉන්දිරා ගාන්ධි අගමැතිනිය සමයේ රොකට් වැඩසටහන්වලට කැබිනට් සහ පාර්ල‍ිමේන්තු අනුමැතිය ලැබුණේ නැත. එවිට ඉන්දිරා ගාන්ධි මහත්මිය පෞද්ගලික මැදිහත් වී අබ්දුල් කලාම් යොදවා එම කටයුතු දිගටම කරගෙන ගියේය. ජනාධිපති සමයේ යුරෝපා පාර්ලිමේන්තුව මගින් අබ්දුල් කලාම් ශ්‍රේෂ්ඨ නායකයෙක් ලෙස පිළිගෙන ඔහුට විශේෂ දේශනයක්ද පිරිනමන ලදී.

වර්ෂ 2002 දී අබ්දුල් කලාම් ජනාධිපති බවට පත් වන්නේ ඉන්දීය කොන්ග්‍රසය සහ භාරතීය ජනතා පක්ෂය යන පක්ෂ දෙකේම අනුමැතිය සහිතවය. ඔහු හමුදා කඳවුරුවල තාප්පවලට ඉහලින් වීදුරු කටු ගැසීම තහනම් කළේ එයින් කුරුල්ලන්ට විය හැකි හානි ගැන සිතා බලාය. එසේම ඉන්දියාවේ ඈත දුෂ්කර ගම්වල ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වෛද්‍ය උපකරණ කට්ටලයක්ද කලාම් විසින් හඳුන්වා දෙන ලදී.

පෞද්ගලික ජීවිතය

කලාම් එදා දුටු සැබෑවක්ම වූ සිහිනය (i.ytimg.com)

අබ්දුල් කලාම් මහතා ජනාධිපතිව සිටි කාලයේදී පවා ඔහුගේ සහෝදරයා රාමේශ්වරම් හි කුඩ සපත්තු අළුත්වැඩියා කරන පුද්ගලයෙක් විය. අබ්දුල් කලාම්ගේ ‍ජීවිතයම බ්‍රහ්මචාරීව ගත වූ අතර ඔහුට විවාහයක් කරගන්නට හෝ සහකාරියක් සොයා ගන්නට වෙලාවක් නැතිවන්නට ඇත. ජනාධිපති වැටුප ලැබුණු විට ඔහු එය දුප්පත් ඉන්දීය ගැමියන් වෙනුවෙන් වියදම් කළේ “මගේ සියලු වියදම් රජයම දරනවා නම් මට මොනාටද තව වැටුපක්“ යනුවෙන් පවසමිනි.

අවසාන කාලයේ අබ්දුල් කලාම් ඉන්දියාව වටා සංචාරයේ යෙදෙමින් දරුවන්ට සිය ගමන් මගේ සාර්ථකත්වයේ රහස් කියාදීමට වෙහෙස විය. ඒ ගැන අදහස් දැක්වූ මුම්බායි හි ගුරුවරයෙකු, පාසැල් දරුවන්ගෙන් ‍තමුන් කවුරුන් වෙන්නට කැමති දැයි දරුවන්ගෙන් ඇසූ විට බොහෝ දෙනා අබ්දුල් කලාම් මෙන් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වී රටට සේවය කිරීමට කැමති යැයි පවසා තිබුනි.

“ ඇල්බට් අයින්ස්ටයින්ට පවා එවකට තිබුණු සාමාන්‍ය ක්‍රමයට විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබාගන්න නොහැකි වුණා. ඒ ඔහුට අවශ්‍ය සුදුසුකම් සපුරාගන්න නොහැකි වූ නිසා. අයින්ස්ටයින්ට පසුව ස්විට්සර්ලන්තයේ පොලිටෙක්නික් ආයතනයට බැඳිලා තමුන්ගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන්නට සිදු වුණා.”

ඒ අබ්දුල් කලාම් ගුවාටි ප්‍රදේශයේ ශිලොන්හි දී පැවැත්වූ අවසාන දේශනයේ වදන් කිහිපයක්. අවසාන අවස්ථාවේ දේශනයට පෙර මඳ අපහසුතාවයක් පැවතුණත් අබ්දුල් කලාම් තම දේශනය කල් දැමීමට කැමති වූයේ නැහැ. ඔහු දේශනය කරන අතරමැදදීම ඇද වැටුණේ සිය අවසාන ගමන රාජකාරිය කරන අතරතුරදීම යන්නට ලැබුණු වාසනාවන්ත යුග පුරුෂයෙක් ලෙසයි.

Related Articles

Exit mobile version