අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු ව සිව් වසරක සිර දඬුවම් ලබමින් සිටි රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගිය 26වැනි දා පිටතට පැමිණියේ කොන්දේසි සහිත ජනාධිපති සමාව ලබාදීම නිස යි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට කොන්දේසි සහිත සමාවක් ලබාදී තිබෙනවා. කොන්දේසි සහිතව ජනාධිපති සමාව හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පූර්ණ නිදහස හිමි වී නොමැති නිසා වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. මෙයට හේතුව වන්නේ කිසියම් දේශපාලනඥයකු මාස 06කට වඩා සිරදඩුවම් විඳ ඇත්නම් වසර 07කට ඔහුගේ හෝ ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි වීම යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) වගන්තිය යටතේ ඔහුට සමාව හිමි වූයේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දඒ සමඟ ම හිමි වනවා.
රන්ජන් රාමනායකට ජනාධිපති සමාව හිමි ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) වගන්තිය යටතේ යි. ඒ අනුව රන්ජන්ට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කිරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ හැකි වන්නේ නැහැ. අවශ්‍ය අවස්ථාවක දී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රන්ජන් රාමනායකට ඉඩ ලබා දිය හැකි බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට නිදහස ලබා දීමේ දී ද පළමුව මෙවැනි කොන්දේසි සහිත සමාවක් ලබා දී ඉන්පසුව පූර්ණ සමාවක් ලබාදුන් බවයි අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ.
නිදහස් ලෝකයට පැමිණි සිනමා නළු රන්ජන් පිළිගැනීමට විශාල රසිකයන් පිරිසක් මෙන් ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන් ද පැමිණ සිටියා.
රන්ජන්ට ජනපති සමාව
රන්ජන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් ද බොහෝ දෙනා ඉල්ලා සිටියත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සහයෝගය දක්වා සිටියා. ඒ අනුව අධිකරණ ඇමැතිවරයා අදාළ නීතිමය කටයුතු ඉදිරියට ගෙන ගොස් එම කටයුත්ත සිදු කළා. අවසානයේ ජනාධිපති සමාව ලබා ගැනීමේ එක පියවරක් ලෙස හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන දිවුරුම් පෙත්සමකට අත්සන් කිරීමට සිදුවුණා.
ඔහු පසුගිය 25වැනි දා එසේ දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව අයැද සිටියේ තමන් කළ ප්‍රකාශ සම්පුර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් සඳහන් කරමිනු යි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළ ව අධිකරණයෙන් ඔහු මෙසේ සමාව ඉල්ලා සිටි තිබෙනවා. ඉදිරියේ දී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් රන්ජන් අධිකරණයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.
රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ඉන්පසුව 26වැනි දා අත්සන් තැබුවා. ඉන් අනතුරුව එම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදීමෙන් පසුවරන්ජන් රාමනායක බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් එදින පස්වරුවේ නිදහස ලබා පිටතට පැමිණියා. මිය යෑමට පෙර ඡන්දය ඉල්ලා ජනතාවට සේවය කිරීම තමන්ගේ අපේක්ෂාව බව ජනපති සමාව ලද රන්ජන් රාමනායක සිරගෙදරින් පිටතට පැමිණි අවස්ථාවේ පවසා සිටියේ.
අධිකරණයට අපහාසයක්
2017 අගෝස්තු 21දා රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයෙක්ව සිටි කාලයේ දී අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන අවස්ථාවේ එහි දොරටුවේ සිට මාධ්‍ය හමුවේ දරුණු ප්‍රකාශයක් සිදු කළා. එමඟින් ඔහු විනිසුරුවරුන්ටත්, නීතිඥවරුන්ටත් බරපතළ චෝදනාවක් එල්ල කළා.
මේ බරපතළ චෝදනාවෙන් සමස්ත අධිකරණ පද්ධතියට ම ඇති කළේ කළු පැල්ලමක්. එම සිද්ධියෙන් පසුව විනිසුරුවරුන්, නීතිඥවරුන් එම චෝදනාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කරමින් අදහස් පළ කළා. එම ප්‍රකාශයටට එරෙහිව අධිකරණයට යාමට ඔවුන් උත්සාහ කළේ නැහැ.
රන්ජන් රාමනායක අධිකරණ නඩු කටයුතු සඳහා උසාවියට පැමිණ ආපසු යන සෑම අවස්ථාවක් ගාණේ ම නැවත නැවතත් එම චෝදනා එල්ල කර සිටියා. මධ්‍යවලින් එයට ලොකු ප්‍රචාරයක් ද ලබා දුන්නා. ඔහු නිතර පැවසුවේ තමන් පෙර සිදු කළ චෝදනා ඉල්ලා අස්කර නො ගන්නා බව යි. 2017 දෙසැම්බර් 14, ඉන් පසුව 2018 මාර්තු 23, ජූනි 4, ජූනි 18, සැප්තැම්බර් 5 යන දිනවල ඔහු එසේ අධිකරණයට චෝදනා එල්ල කර තිබෙනවා.
රන්ජන් රාමනායක පවසන්නේ ඔහුට එරෙහිව එකල පැවති නඩු සංඛ්‍යාව 21ක් බව යි. එම නඩුවලට අදාළ ව රන්ජන් අධිකරණයට පැමිණෙන අවස්ථාවලදී තමයි මේ චෝදනාව දිගින් දිගට ම එල්ල කළේ. පසුව රන්ජන්ගේ ප්‍රකාශයට එරෙහි ව අධිකරණය වෙත ගියේ මාගල්කන්දේ සුදත්ත හිමි සහ විශ්‍රාමික ගුවන් නිලධාරියකු වන සුනිල් පෙරේරා යන අය යි. ඒ යහපාලන ආණ්ඩු සමයේදීම යි.
නඩු විභාය අවසානයේ දී 2021 ජනවාරි 12වැනි දා ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය වසර හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළා. තීන්දුව ප්‍රකාශයට පත් කළේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්.
මෙහි බරපතළ ම තත්ත්වය වූයේ මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් හෝ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැතිවීම යි. ඒ මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හරහා විභාග කිරීම නිසා යි. බන්ධනාගාරගත කිරීමෙන් පසු ව රන්ජන් රාමනායක මුලින් ම මීගමුව පල්ලන්සේන තරුණ රැඳවූවන් රඳවා සිටින විශෝධන මධ්‍යස්ථානයට රැගෙන ගියා. එහි දින හතරක් සිටීමෙන් පසු ව රන්ජන් වැලිකඩ බන්ධනාගාරයට ගෙන ඒම සිදුවුණ අතර පසු ව ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර තිබුණා.
එහිදී රන්ජන් රාමනායකගේ දණහිසේ ඇති වූ ආබාධයකට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර එවූවා. කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඔහු යොමු කෙරුණා. නිදහස ලැබූ දිනය (26) වන තෙක් ඔහු බන්ධනාගාර රෝහලේ රැඳවියතු ව සිටියා. තමන් රඟපෑ ‘ද ගේම්’ චිත්‍රපටය නැරැඹීමට බන්ධනාගාර රැඳවියකු ලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මැද ඔහු කොළඹ සිටි සෙන්ටර්හි සිනමාහලට ගියා.
මං කිව්වේ තිත්ත ඇත්ත
තීන්දුවෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයෙන් පිටතට රැගෙන ආ අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙසේ පවසා සිටියේ ඔහු අසලට පැමිණි මාධ්‍යවේදීන්ට: “මං තිත්ත ඇත්ත කතා කළේ. හොරකම් කළේ නෑ. පිල්ලෙයාන්ව එළියට දැම්මා. මාව ඇතුළට දානවා. මං කුඩු, ගංජා විකුණලා නෑ. මං සටන දිගට ම ගෙනියනවා ” යි පැවසුවා.
අධිකරණයට අපහාස කරමින් කට වරද්දා ගත් අය
මෑත ඉතිහාසයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු ඇමති එස්.බී. දිසානායකට වසර දෙකක සිර දඬුවම් ලැබුණා. 2004 වසරේ දෙසැම්බරයේ තමයි ඔහු සිරගත කළේ. එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එස්.බී. සිරගත කෙරුණේ ඒ නඩු තීන්දුවක් ගැන ලබා දුන් ප්‍රකාශයක් නිසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත යි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ නඩුව අවස්ථාවේ අධිකරණ භූමියේදී ප්‍රගීත්ගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණවැදී අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද වසර හතකට බන්ධනාගාර ගත කෙරුණා. මේ දෙදෙනා ම ජනාධිපති සමාව යටතේ නිසි ඳඬුවමට කලින් එළියට පැමිණියා. මේ දෙදෙනාට ම සිපිරි ගෙදර උරුම වුණේ කට වරද්දා ගත් නිසා යි.
රන්ජන්ගේ ජීවන තතු
රන්ජන්ගේ සම්පූර්ණ නම සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු යි. ඔහු මීගමුවේ දී උපත ලද්දේ 1963 මාර්තු 11 වැනිදා යි. රාමනායක යන කොටස නමට එකතු කර ගත්තේ ඔහුට ප්‍රධාන චරිතයක් ලබදී සිනමාවට මං විවරකර දුන් චිත්‍රපටි අධ්‍යක්ෂවරයකු වන සෝමරත්න රාමනායකට ගරු කිරීමක් විදිහට යි.
රන්ජන් පාසල් ගියේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට යි. ඔහු මුලින් ම ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ 1990 දී ‘ජය කොතැනද’ නම් වාණිජ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින්. ඔහු ඉන් පසු දිගට ම වාණිජ චිත්‍රපටවල පෙම්වතාගේ චරිතය රඟපානවා. ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අවරගිර’ චිත්‍රපටියේ නිරූපණය කරන්නේ වාණිජ චරිතයක් නොවෙයි.
රන්ජන් ඉතා ඉක්මනින් සිනමාවේ දයාබර පෙම්වතා වගේ ම වීරයා බවටත් පත්වෙනවා. විජය, ගාමිණී, රවීන්ද්‍ර, සනත් ආදී නළුවන්ගෙන් පසු ව සිනමා තාරකාවක් බවට පත් නළුවා ඔහු යි. පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන රන්ජන් නිර්මාණය කළ පළමු චිත්‍රපටය වුණු ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ ආදායම් වාර්තා තැබීමටත් සමත් වුණා. වසරේ ජනප්‍රියත ම චිත්‍රපටය ලෙසින් සරසවිය සම්මානයට පාත්‍ර වූයේ ද මෙම චිත්‍රපටය යි.
දේශපාලනික සමාජ පරිසරය තුළ සිදු වන විවිධ සංසිද්ධීන් නිර්දය ලෙස උපහාසයට, විවේචනයට ලක් කරමින් නරඹන්නා තුළ සිනහවක් ජනිත කිරීමට පාර්ලිමන්ට් ජෝක්ස් සමත් වුණා.
පසුව වන්ෂොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන් ආදී ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ද ඔහු අධ්‍යක්ෂණය කළා. මේ සෑම චිත්‍රපයක ම ප්‍රධාන චරිතය රඟපෑවෙත් රන්ජන්ම යි. සමාජ අසාධාරණයට එරෙහි ව නැඟී සිටින සාම්ප්‍රදායික වීර චරිතයි ඔහු ඒවායේ නිරූපණය කළේ. ඔහු පසු ව යකඩ පිහාටු, බහු භාර්යා, නිලම්බරේ වැනි මැද මාවතේ චිත්‍රපටවල ද ප්‍රධාන චරිත නිරූපණය කළා. නිලම්බරේ චිත්‍රපටයේ රංගනයට සරසවි සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය හිමිවුණේ රන්ජන්ට යි.
ස්ලිම් නිල්සන් ජනතා සම්මාන
ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උලෙළේ දී “ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා” සම්මානයත්, “ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ ප්‍රියත ම රංගන ශිල්පියා” යන සම්මාන ද්විත්ව යම රන්ජන් රාමනායක වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව ලබා ගත්තා. 2022 ස්ලිම් ජනප්‍රියත ම රංගන ශිල්පියා සම්මානය ද හිමිවුණේ එවකට සිරගත ව සිටි රන්ජන්ට යි.
රන්ජන් රාමනායක සිරගත කිරීමට පෙර රඟපෑ ‘ද ගේම්’ චිත්‍රපටය පසුගිය ජුනි 17 වනදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීම ඇරඹුණා.
රන්ජන් රාමනායක දේශපාලනයට
එක්සත් ජාතික පක්ෂයෙන් සබරගමුව පළාත් සභාවට ඔහු 2008 දී තේරී පත්වුණා. ඉන් පසු ව පැවැත්වූ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේත් රත්නපුර එ.ජා.ප. මන්ත්‍රීවරයෙක් වශයෙන්. පසුව එජාපයට බලය ලැබුණු 2015 මහ මැතිවරණයෙන් එජාපයෙන් ගම්පහින් තරග කළ රන්ජන් 216463ක විශාල ඡන්ද ප්‍රමාණයකින් පාර්ලිමේන්තුවට පිවිසියා. ආණ්ඩුවේ මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමති ධූරය ද ඔහුට හිමි වුණා.
සිනමාවේ විරයෙක් වුණු රන්ජන්ට දේශපාලනයේ වීරයෙක් වීමට අපහසු වුණා. ඔහු කළ ආන්දෝලනාත්මක වැඩ හා ප්‍රකාශ නිසා කිහිප වරක් නිතර පොලිස් අත්අඩංගුවට ගැනුණු බව කවුරුත් දන්නවා. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගැන ඔහු නිතර ම මාධ්‍යවලට පවසා සිටියේ ‘එයාල සේරම යාලුවෝ මල්ලි’ කියල යි. එම අදහස පසුව සමාජය තුළ ජනප්‍රියව පැතිරුණා.
2020 දී එළියට ආපු ‘හඬපට’ සිද්ධියත් එවැන්නක්. ඒ වනවිට ඔහු සිටියේ විපක්ෂ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන්.
හඬපට සිද්ධිය
ප්‍රසිද්ධ පුද්ගලයන්, අධිකරණ ක්ෂේත්‍රයේ පුද්ගලයන්, පොලිස් නිලධාරින්, නිළියන් ඇතුළු බොහෝ දෙනෙක් යහපාලන ආණ්ඩු කාලයේ රන්ජන් රාමනායක සමඟ දුරකථනයෙන් කතා කළ හඬ පට සහිත සීඩී තැටි තොගයක් පිටවීම සමාජයේ විශාල කතාබහක් ඇති කළා. අදාළ චෝදනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ පොලිසිය කියා සිටියේ 2020 ජනවාරි 02 දා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රී රෝද රථ රියදුරෙක් යම් අයකු සිය රථයේ අමතක වී දමා ගිය දෘඩ තැටියක් මිරිහාන පොලිසියේ පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා වෙත ගෙනවිත් භාර දී ඇති බව යි. එය පරීක්ෂා කිරීමේදී “පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිදු කළ සංවාද විශාල ප්‍රමාණයක් පටිගත ව ඇති බව පෙනී ගොස් ඇතැයි” ද අදාළ නිවේදනයේ සඳහන් වුණා. සමහර දුරකතන සංවාද සමාජ මාධ්‍යවලටත් නිකුත් වී තිබුණා.
2020 දී පැවති රාජපක්ෂ ආණ්ඩුවට සහාය පළ කරන සංවිධානවල මතය වුණේ රාජපක්ෂවරුන් සහ ඔවුන්ට සහාය පළ කළ ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් පැවති විමර්ශන සහ නඩු විභාගවලට රන්ජන් බලපෑම් කර ඇති ආකාරය අදාළ හඬපට ඔස්සේ පෙනී යන බව යි.
ෆේස්බුක් හරහා සජීවීව ප්‍රචාරය
හඬපට සිද්ධිය විමර්ශනයේ පියවරක් ලෙස පොලිසිය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කර මන්ත්‍රීවරයා පසුව අත්අඩංගුවට ගත්තා. රන්ජන් මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධි ෆේස්බුක් හරහා සජීවීව ප්‍රචාරයක් ද සිදු කළා. නිවස පරික්ෂාවේ දී තවත් සංවාද ඇතුළත් බවට සැක කරන සංයුක්ත තැටි ගණනාවක් සහ ලැප්ටොප් පරිගණකයක් සහ බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ඇතුළු භාණ්ඩ ද එහිදී පොලිස් අත්තඅඩංගුවට ගෙන තිබුණා.
එම හඬපටවල ඇතුළත් කටහඬ තමන්ගේ ම බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිල වශයෙන් පිළිගත් බවක් වාර්තා වුණේ නැහැ. ටික කලක් ගතවන විට හඬපට සිද්ධිය කාටත් අමතක වුණා.