ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ තරුණයෙකු වන ඩේවිඩ් චාල්ස් හාන්ගේ ජීවිත කතාව කිසිසේත් ම සාමාන්‍ය එකක් නොවේ. කුඩා කල සිට ම රසායන විද්‍යාව කෙරෙහි පෙම්බැඳ සිටි ඔහු නිතර ම ඒ ගැන කියැවූවා. සම වයසේ දරුවන් ඔවුන්ගේ විනෝදාංශ ලෙස ක්‍රීඩාවල නිරත වන විට ඩේවිඩ් එම කාලය කැප කළේ විවිධාකාරයේ රසායන විද්‍යා පර්යේෂණවල නිරත වීම සඳහා යි. කෙසේ නමුත් ගැටවර වියට එළැඹීමත් සමග සිය ගෙවත්තෙහි ඔහු විසින් කුඩා ‘න්‍යෂ්ටික බලාගාරයක්’ ඉදිකිරීමට සමත් වේයැ යි කිසිවෙකුත් අපේක්ෂා කළේ නැහැ. ඉතා දුක්මුසු අවසානයක් සහිත වූවත්, දීප්තිමත් අනාගතයක ලක්ෂණ පෙන්වූ ඇමෙරිකාවේ ‘විකිරණශීලී බාලදක්ෂයා’ගේ කතාව යි මේ.
කුඩා කාලය
1976 වසරේ ඔක්තෝබර් මස 30 වන දා මිචිගන් හි උපන් ඩේවිඩ් හාන් කුඩා කල සිට ම බුද්ධිමත් දරුවෙකුගේ ලක්ෂණ ප්‍රකට කළා. පාසල් වියේ දී බාලදක්ෂයෙකු ලෙස ද දස්කම් පෙන්වූ ඔහු, රසායන විද්‍යාව පිළිබඳ ව ද නිතර ම කරුණු සෙව්වා. ඔහු කුඩා කාලයේ ම ඔහුගේ මව හා පියා දික්කසාද වන්නට යෙදුණු අතර, මව නව පෙම්වතෙකු සමග වෙනත් නිවසක පදිංචි වෙනවා. සති අන්තයන්හි දී ඔහුට එහි ගොස් නතර වී සිටීමට සිදු වූ අතර, මේ හේතුවෙන් කුඩා කල සිට තමන් ආශ්‍රය කළ මිතුරන්ගෙන් සෑහෙන දුරකට ඈත් වී කල් ගෙවීමට ඩේවිඩ්ට සිදුවෙනවා. මේ හේතුවෙන් රසායන විද්‍යාව පිළිබඳ ව වැඩි වැඩියෙන් කියැවීමටත්, ඒ පිළිබඳ ව අත්හදා බැලීම කිරීමටත් ඔහුට වැඩි කාලයක් ලැබෙනවා. ඩේවිඩ්ට ඔහුගේ සීයා ගෙන් රසායන විද්‍යාව පිළිබඳ ව වූ ‘The Golden Book of Chemistry Experiments’ නම් ග්‍රන්ථය තෑගි ලැබෙන්නේ මේ අතර යි.
සීයා දුන් පොතෙහි සඳහන් පර්යේෂණ පිළිබඳ ඉක්මනින් අවබෝධ කරගත් ඩේවිඩ්, සිය මවගේ නව නිවසෙහි කොටසක තමන්ට ම කියා ‘විද්‍යාගාරයක්’ තනාගැනීමට අදහස් කරනවා. තමන්ට හැකි දේ වටපිටාවෙන් සොයාගන්නා ඔහු, රසායන ද්‍රව්‍ය සමහරක් සීයාගෙන් හා මවගෙන් ඉල්ලා ගන්නවා. කුඩා දරුවෙකු වෙන් වෙන් වශයෙන් කරන මෙම ඉල්ලීම් පිළිබඳ ව වැඩිදුර සොයා නොබලා ඔවුන් ඩේවිඩ්ට, ඔහු ඉල්ලා සිටින සමහර දේ ගෙනැවිත් දෙනවා. මේ අනුව අලුතින් තනාගන්නා ලද ‘විද්‍යාගාරය’ තුළ ඔහු උක්ත පොතෙහි සඳහන් පරීක්ෂණ එකින් එක අත්හදා බලන්නට පටන් ගන්නවා.
ඩේවිඩ්ගේ පර්යේෂණ හෙළිවන්නට පටන්ගනී
ඩේවිඩ් සිය දිවියේ මුල්ම අවධියේ දී සිදුකළේ ඉතා සරල රසායනික විද්‍යා පර්යේෂණ පමණයි. ඒ නිසා ඒවා සිදුවන බව ඔහුගේ නිවැසියන්වත් හරිහැටි හඳුනාගෙන තිබුණේ නැහැ. කෙසේ නමුත් නව යොවුන් වියට එළැඹීමත් සමග බුද්ධියෙන් වඩා මුහුකුරා ගිය ඔහුට වඩා සංකීර්ණ පර්යේෂණ කිරීමට අවැසි වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය හා උපකරණ මිල දී ගැනීම සඳහා සිය නිවැසියන්ගේ සහාය පැතීමට නොහැකි වූ නිසා ඒවා මිල දී ගැනීම උදෙසා පුවත්පත් විකිණීම වැනි රැකියාවලත් ඔහු ඉඩ ලද විගස නිරත වෙනවා.
ඩේවිඩ්ගේ පර්යේෂණවල ‘බරපතල’භාවය වැඩිවීමත් සමග ඒ පිළිබඳ ව බාහිර ලෝකයාට විවිධ ඉඟි ලැබෙන්නට පටන් ගන්නවා. විටෙක ඔහු බාලදක්ෂයින් සඳහා වූ හමුවකට සහභාගී වන්නේ තැඹිලි පැහැති රසායන ද්‍රව්‍ය තැවරුණු මුහුණක් සහිතව යි. තවත් විටෙක බාලදක්ෂ කඳවුරක දී ඔහු සතු වූ මැග්නීසියම් කැබැල්ලක් වැරදීමකින් ඔහුගේ මිතුරන් විසින් දැල්වීම නිසා ද කලබගෑණියක් සිදුවුණා. ඩේවිඩ්ගේ නිදන කාමරය හා ඔහු සිය මවගේ නිවසෙහි විද්‍යාගාරය පිහිටුවාගෙන තිබූ ස්ථානයෙන් විටින් විට පිපුරුම් ශබ්ද ඇසෙන්නට පටන්ගන්නේ මේ තදාසන්නව යි. මේ පිළිබඳ ව නිවැසියන් විමසිලිමත් වුව ද, සිය ‘රහස’ තවදුරටත් සඟවා තබාගන්නට ඩේවිඩ් සමත් වෙනවා.
ඩේවිඩ් සිය ජීවිතයේ මුහුණදුන් භයානකම අත්දැකීමකට මුහුණදෙන්නේ මේ අතර යි. පර්යේෂණ කටයුත්තක් සඳහා රතු පොස්ෆරස් ස්වල්පයක් විද්‍යාගාරයට ගෙන එන ඔහු එය යොදාගෙන පර්යේෂණයක් කිරීමට සූදානම් වෙද්දී ම එය පුපුරා යනවා. මේ නිසා නිවසේ ගින්නක් ඇති වන අතර ඔහුගේ අත් මෙන්ම ඇස්වලට ද සුළු තුවාල ඇති වෙනවා.
න්‍යෂ්ටික බලාගාරයක් ගෙවත්තේ
නිවස පිපිරී යාමත් සමග ම ඩේවිඩ්ගේ පර්යේෂණ පිළිබඳ සුලමුල එහි නිවැසියන්ට හෙළි වුණා. කෙසේ නමුත් සිය පුතුගේ දක්ෂතා පිළිබඳ ව පැහැදුණු ඔහුගේ මව, ඒවා නැවැත්වීමට බලකරනු වෙනුවට ඔහුගේ විද්‍යාගාරය නිවසෙන් පිටතට ගෙන ගොස් ගෙවත්තේ කොණක ස්ථාපිත කරගන්න ලෙස දැනුම් දුන්නා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩේවිඩ් එය ඔවුන්ගේ ගෙවත්තේ ම එක් කොනක වූ සංවෘත මඩුවකට ගෙන යනවා.
ඩේවිඩ 14 වියැති ව සිටිය දී න්‍යෂ්ටික විද්‍යාව පිළිබඳ ව සෑහෙන දුරකට ප්‍රගුණ කර තිබුණා. ඒ සඳහා පාසලෙන් ඔහුට ඉහළ ඇගැයීම් ද ලැබුණා. මේ නිසා ඔහුට අපූරු අදහසක් පහළ වෙනවා. ඒ සිය ගෙවත්තේ න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක පද්ධතියක් ඉදිකිරීම යි.
මේ සඳහා ගුරුවරයෙකුගේ වෙසින් බලධාරීන් හා අධ්‍යාපනික ආයතන හා සම්බන්ධ වන ඔහු එවැන්නක් ඉදිකිරීමට අවශ්‍ය අතිරේක ඥානය ලබාගන්නවා. ඒ ආකාරයට ම විකිරණශීලී මූලද්‍රව්‍ය හා අනෙකුත් උපකරණ ද සියතට ගෙන්වා ගැනීමට තරම් ඔහු උපක්‍රමශීලී වෙනවා. වසර දෙකක් තුළ ඔහු, ඔහුගේ න්‍යෂ්ටික බලාගාරය ඉදිකොට අවසන් කරනවා.
ඩේව්ඩ්ගේ න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග ඔහුගේ නිවස හා තදාසන්නයේ විකිරණශීලීතාවය භයානක ලෙස ඉහළ යන්නට පටන්ගන්නවා. මෙය වටහාගත් ඔහු සිය ‘බලාගාරය’ තාවකාලික ව ගලවා වෙන තැනකට ගෙනයන්නට තීරණය කරනවා. මේ සඳහා ඔහු එහි කොටස් ගලවා සිය පවුලේ කාරයෙහි අසුරන්නට පටන් ගන්නවා.
ඩේවිඩ් අත්අඩංගුවට පත් වෙයි
ඩේවිඩ් සිය බලාගාරයේ කොටස් ගලවා ඉවත් කරනු අසල්වැසියන්ගේ නිරීක්ෂණයට ලක්වෙන්නේ මේ අතර යි. ඉන් එක් අයෙකු පොලීසියට ඇමතුමක් ලබා දෙන්නේ ඩේවිඩ් මෝටර් රථ අමතර කොටස් ජාවාරමක නිරත වෙන බව පවසමිනුයි. මේ අනුව පොලිස් නිලධාරීන් ඩේවිඩ්ගේ නිවස පරීක්ෂා කිරීම සඳහා පැමිණෙනවා. ඔවුනට දැකගන්නට ලැබෙන්නේ ඇස් අදහාගත නොහැකි දර්ශනයක්.
න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක පද්ධතිය විමතියෙන් යුතු ව පරීක්ෂා කරන නිලධාරීන්ට ඩේවිඩ පවසන්නේ සිය කාරය ඉතා විකිරණශීලී බවත්, එනිසා එය ආරක්ෂාකාරී නොවී පරීක්ෂා නොකරන ලෙස යි. ඔහු විසින් පරමාණු බෝම්බයක් නිපදවන්නට ඇතැ යි සැක කෙරූ පොලිසිය වහා ම ඔහුගේ නිවසින් නිවැසියන් ඉවත් කෙරූ අතර, විකිරණශීලීතාවය සඳහා එය පරීක්ෂා කරනු ලැබුවා. එහි දී අනාවරණය වූයේ ඩේවිඩ්ගේ කාරය සාමාන්‍ය පරිසරයේ විකිරණශීලීතාව මෙන් දහස් ගුණයක් පමණ විකිරණශීලී බව යි.
ඩේවිඩ්ට එරෙහිව නඩු පැවරුණත් ඔහුට එරෙහිව නිසියාකාර ව චෝදනා ගොනු කිරීමට නොහැකි වූ නිසා ඉක්මනින් ම ඔහු නිදහස් වෙනවා. කෙසේ නමුත් සිය න්‍යෂ්ටික බලාගාරයේ වැඩ කටයුතු එතෙකින් නිමා කිරීමට ඔහුට සිදුවෙනවා. ඒ වන විට ඔහු 17 වියැති වුණා.
පසුවදන
ඩේවිඩ් පිළිබඳ සිදුවීම ලොවට හෙළිවීමත් සමග ම ඔහු පිළිබඳ ව රට පුරා ම කසු කුසු ඇති වුණා. වෛද්‍යවරුන් පැවසුවේ දීර්ඝකාලීන ව විකිරණශීලී මූලද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා ඔහුගේ ශරීරයේ ද විකිරණශීලතාව සාමාන්‍ය මිනිසෙකුට වඩා බොහෝ වැඩි අගයක පැවතීමට වඩා ඉඩ ඇති බව යි. මේ නිසා ඔහුට ‘විකිරණශීලී බාලදක්ෂයා’ යනුවෙන් ද නමක් පටබැඳුණා. විකිරණශීලීතාව සඳහා ඔහු පරීක්ෂා කිරීමට ඇමෙරිකානු බලධාරීන්ට අවශ්‍ය වුවත්, ඔහු එය ප්‍රතික්ෂේප කළා. කෙසේ නමුත් ඇමෙරිකානු නාවුක හමුදාවට බැඳීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයක ඔහු සිටියා.
ඩේවිඩ් හාන්ගේ අසාමාන්‍ය ජීවිත කතාවට නැවතීමේ තිත වැටෙන්නේ ඉතා දුක්ඛිත ලෙසට යි. 2016 වසරේ සැප්තැම්බර් මස 27 වන දා ඔහු හදිසියේ ම මිය යනවා. ඒ වන විට ඔහුගේ 40 වන ජන්ම දිනයට ඉතිරි ව තිබුණේ මාසයකුත් දින 3ක් පමණයි. කෙසේ නමුත් ඔහුගේ සිරුර පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ ඇල්කොහොල් විෂවීම නිසා ඔහු මියගොස් ඇති බව යි. ඔහුගේ මරණය සඳහා විකිරණවලට නිරාවරණය වී තිබීම කිසිලෙසකින් දායක වී නොතිබූ බවට ඔවුන් වැඩිදුරටත් වාර්තා කර සිටියා.