Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කහ ජර්සියේ තරු ගැලවී පාපැදියෙන් ඇඳ වැටුණු, ‘ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්

ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් යන නාමය අප කාටත් හුරු පුරුදු යි. ඒ ප්‍රංශ පාපැදි සවාරිය හත්වරක් ජයග්‍රහණය කළ ශූරයෙක් ලෙසත්, පිළිකාවක් සෑදී එය සුව කරගෙන නැවත ක්‍රීඩාවට පැමිණි අතළොස්සක් ක්‍රීඩකයන් අතරින් එක් ක්‍රීඩකයෙක් ලෙසත්, හා තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් තමන් දිනාගත් සියලු සම්මාන අහිමි වූ ක්‍රීඩකයෙක් ලෙසත් ය.

ලෝක වාර්තා තබමින් ප්‍රංශ පාපැදි සවාරිය එක පිට එක ජයග්‍රහණ කළ ඒ ඇමෙරිකානු ජාතික ක්‍රීඩකයාට අද වන විට ඒ සියල්ල අහිමි වී තිබෙනවා. ඒ පිළිබඳව යි මේ ලිපිය.

වයස අවුරුදු 18 දී ඇමෙරිකානු ජාතික පාපැදි කණ්ඩායමට

තුන් ප්‍රයාමය ඉසව්ව (Tokyo Gaijins)

1971 වසරේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උපත ලබන ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්, වයස අවුරුදු 12 වන විට තම ක්‍රීඩා දිවිය සඳහා අත්පොත් තබනවා.

වයස අවුරුදු 12 පසුවෙනවාත් සමග පිහිනුම් ක්‍රීඩාව සඳහා ඔහුව යොමු කිරීමට දෙමාපියන් තීරණය කරනවා. වයස අවුරුදු 16 වන විට පාපැදි, දිවීම, හා පිහිනුම් යන ක්‍රීඩා අංග තුන ම ඇතුළත් කර නිර්මාණය කර තිබෙන තුන් ප්‍රයාමය ඉසව්වේ දක්ෂයෙක් බවට ඔහු පත්වෙනවා. ඒ ඔස්සේ ජාතික ශූරතාවය දිනාගැනීමට ද ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සමත් වෙනවා. 1989 වසරේ දී මොස්කව් හි කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියේ පාපැදි තරගය සඳහා සහභාගී වෙනවා.

තරුණ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (CNN.com)

1989 වසරේ දී ඇමෙරිකානු ජාතික පාපැදි කණ්ඩායමට ඇතුල්වීමට සුදුසුකම් ලබන ආම්ස්ට්‍රොන්ග්, 1991 වසරේ දී ඇමෙරිකානු පාපැදි ශූරතාවය දිනා ගැනීමට සමත් වෙනවා.

1993 වසරේ ලෝක පාපැදි ශූරතාවය දිනා ගැනීමට ඔහු සමත්වෙන අතර, එම වසරේ ම ඔහු ප්‍රංශ පාපැදි සවාරියට සහභාගී වුව ද, එය සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ.

පිළිකාවකින් පීඩා විඳි ක්‍රීඩකයා

පිළිකාවෙන් පීඩා විඳින අවධියේ (NBC News)

1995 වසරේ ඔහුට ප්‍රථම වතාවට ප්‍රංශ සවාරියේ සියලුම තරග වට සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙනවා. ඔහු තරගය අවසන් කරන්නේ තරගකරුවන් අතරින් 35 වන ස්ථානය ලබා ගනිමින්. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගයට සහභාගී වෙන අතර, තරගය නිම කරන්නේ 12 වන ස්ථානය ලබා ගනිමින්.

1996 වසරේ ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව සොයාගන්නා අතර, එය වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකාවක් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. හැකි ඉක්මන් ශල්‍යකර්මයකින් ඒවා ඉවත් කරන අතර, ඒ වන විට පිළිකාව මොළය දක්වා වර්ධනය වී ඇති බව ද අනාවරණය වෙනවා. පසුව කළ ශල්‍යකර්මයකින් මොළයේ වර්ධනය වී තිබූ පිළිකා සෛල ඉවත් කිරීමට වෛද්‍යවරු සමත්වෙන අතර, ඉන්පසු ඔහුට සම්පූර්ණ සුවය ලැබුණු බවත් සඳහන් වෙනවා.

පිළිකාවෙන් සම්පූර්ණ සුවය ලැබූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්, ඉන්පසු ව ලෝකයේ පිළිකාවෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් ආම්ස්ට්‍රොන්ග් පදනම නිර්මාණය කරනවා. මේ වන විට එය “ලිව්ස්ට්‍රොන්ග් පදනම” ලෙස හඳුන්වන අතර, පිළිකා රෝගීන් වෙනුවෙන් කටයුතු කරන ලෝකයේ ප්‍රධාන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි යි.

නැවතත් ප්‍රංශ සවාරියට

කහ ජර්සිය හැඳ ප්‍රංශ සවාරියේ ඉදිරියෙන් ම ගමන් කරන්නා (The New York Times)

පිළිකාව සුව වීමෙන් පසුව නැවතත් ක්‍රීඩාව සඳහා අවතීර්ණ වෙන ඔහු, 1999 වසරේ ප්‍රංශ සවාරියට සහභාගී වී ශූරතාවය දිනා ගන්නවා. එය ඔහුගේ ප්‍රථම ප්‍රංශ සවාරි ශූරතාවය ලෙස නම් කළ හැකි යි. ඔහු නියෝජනය කරන්නේ එක්සත් ජනපදයේ “පෝස්ටල් සර්විස්” කණ්ඩායම යි.

2000 වර්ෂය, ඔහුට ඉතා අනගි ජයග්‍රහණ රැසක් අත්කර දුන් වර්ෂයක් ලෙස නම් කළ හැකි අතර, ඔහු දෙවන වරටත් ප්‍රංශ සවාරිය ජයග්‍රහණය කරනවා. ඒ වගේ ම එවර සිඩ්නි ඔලිම්පික් හි ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් වෙනවා. ඒ වගේ ම ආම්ස්ට්‍රෝන්ග් විසින් “It’s Not About the Bike: My Journey Back to Life.” නමින් කෘතියක් පළ කරනවා.

ඔහු ඇතුළු පෝස්ටල් සර්විස් කණ්ඩායම, ප්‍රංශ සවාරියේ ඉදිරියෙන් ම ගමන් කරන්නාට කහ ජර්සියක් හිමි වෙනවා. එය පැළඳ සිටින්නේ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්

2001 වසරේ ප්‍රංශ සවාරිය පිට පිට තෙවන වතාවටත්, 2002 වසරේ සිව්වෙනි වතාවටත් ජයග්‍රහණය කරමින් පාපැදි ලෝකයේ ජය කෙහෙළි නැංවීමට ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සමත් වෙනවා.

2002 වසරේ දී තමයි ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රමුඛ ඇමෙරිකානු පෝස්ටල් සර්විස් පාපැදි කණ්ඩායමට පළමුවෙනි වතාවට තහනම් උත්තේජක චෝදනා එල්ල වෙන්නේ. ඒ 2000 වසරේ පැවති ප්‍රංශ සවාරිය අතරතුර තහනම් උත්තේජක ලබා ගත්තේයැ යි කියන චෝදනාව. නමුත්, මෙය ඔප්පු කිරීමට තරම් සාක්ෂ්‍ය ප්‍රබල වන්නේ නෑ.

2003 ප්‍රංශ සවාරිය ජයග්‍රහණය කරමින් (Wikimedia Commons)

2003 වසරේත් ප්‍රංශ සවාරිය ජයග්‍රහණය කිරීමට ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සමත් වෙන අතර, ඒ ඔහු පිට පිට ජයග්‍රහණය කළ පස්වෙනි අවස්ථාව යි. 2004 හා 2005 වසරේ දීත් ප්‍රංශ සවාරියේ ජයග්‍රාහකයා බවට පත්වෙන ඔහු, එදාමෙදා තුර ප්‍රංශ සවාරිය පිට පිට හත්වතාවක් ජයග්‍රහණය කළ ප්‍රථම හා එකම තරගකරුවා ලෙස ඉතිහාසයට එකතු වෙනවා. 2005 ප්‍රංශ සවාරියෙන් පසුව ඔහු තම ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරනවා.

2008 වසරේ දී නැවතත් පාපැදි තරග සඳහා තමන් පැමිණෙන බව ප්‍රකාශ කරන ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්, නැවත එතරම් සාර්ථක වන්නේ නෑ. 2009 හා 2010 වසරවල ප්‍රංශ සාවාරිවල ඔහුට හිමිවන්නේ පිළිවෙළින් 3 හා 23 වන ස්ථාන යි. ඉන්පසු ව නැවතත් ඔහු පාපැදියට සමුදෙනවා.

තහනම් උත්තේජක නිසා ශූරතා සියල්ල අහිමි වේ

මාධ්‍යය හමුවේ (USA Today)

මේ කාලයේ දී ඔහු ප්‍රංශ පාපැදි සවාරි අතරතුර තහනම් උත්තේජක ලබා ගත්තේයැ යි චෝදනා එල්ල වෙනවා. ඒ පිළිබඳ ව දිගින් දිගටම පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නේ එක්සත් ජනපද තහනම් උත්තේජක නියෝජිත ආයතනය යි. ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ඇතුළු පෝස්ටල් සර්විස් කණ්ඩායමේ සාමාජිකයන්ගේ මූත්‍රා සාම්පල ඔස්සේ පරීක්ෂණ වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා.

තමන් තහනම් උත්තේජක භාවිතා නොකළ බව පවසමින් ඊට විරුද්ධ ව නඩු පැවරීමට ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් කටයුතු කරන නමුත්, අධිකරණය විසින් ඒවා නිෂ්ප්‍රභ කරනවා.

මේ පිළිබඳ ව සම්පූර්ණ වාර්තාවක් 2012 වසරේ දී ඉදිරිපත් වෙන අතර, ඔහු තහනම් උත්තේජක ලබාගත් බවක් පරීක්ෂණවලින් ඔප්පු කර තිබෙන බව එහි සඳහන් වෙනවා. 2012 ඔක්තෝම්බර් මාසයේ දී ජාත්‍යන්තර පාපැදි සංගමය විසින් ඔහුගේ ප්‍රංශ ශූරතා හත ම තහනම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් දන්වනවා. ඊට අමතර ව 2000 වසරේ දිනාගත් ඔලිම්පික් පදක්කම ද අවලංගු වෙනවා.

පසුව තහනම් උත්තේජක චෝදනාව පිළිගන්න ඔහු, ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් පදනමේ භාරකාරත්වයෙන් ඉවත්වෙන අතර, ඉන්පසු ව එය ලිව්ස්ට්‍රොන්ග් පදනම ලෙස නම් වෙනවා. ඔහු කළ වංචාවට එරෙහිව වන්දි ගෙවන ලෙස ඇමෙරිකානු රජයෙන් ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ට නඩු පවරනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන පහක් වන්දි ලෙස ගෙවීමට ඔහු මේ වන විට එකඟ වී සිටිනවා.

කවරයේ පින්තූරය: Ozy

මූලාශ්‍රයයන්:

lancearmstrong.com

nytimes.com

cnn.com

Related Articles