බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්, ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, සිනමා ශිල්පී ලයනල් වෙන්ඩ්ට් සහ ඔලිම්පික් පදක්කම්ලාභී ඩන්කන් වයිට් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් බිහි කළ ශ්‍රී ලංකාවේ බර්ගර් සමාජයේ ඉතිහාසය ගැනයි මේ ලිපිය.
ක්‍රිස්තු වර්ෂ 16-17 සියවස්වල ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන බර්ගර් ජාතිකයන් අවුරුදු සිය ගණනක් තිස්සේ අපේ ජනසමාජයේම කොටසක් හැටියට ජීවත් වෙලා තියෙනවා.
යුරේසියානු (යුරෝපා-ආසියා මිශ්‍ර) ජන කොට්ඨාශයක් වන බර්ගර් ජාතිකයන් අතීතයේදී මෙරට පදිංචි වුණු පෘතුගීසි, ලන්දේසි වගේම බ්‍රිතාන්‍යයන් ඇතුළු අනෙකුත් යුරෝපීය ජාතිකයන්ගෙනුත් පැවත එන පිරිසක්. ඔවුන් අතර තවමත් ඔවුන්ගේ බටහිරට හුරු ගති පැවතුම්, සිරිත් විරිත් වගේම භාෂාව සහ ආගම පවා සුරැකිව තියෙනවා. ඔවුන් තමන්ගේ ජනසමාජය සලකන්නේ පෙරදිග අපරදිග අභිමානවත් සංකලනයක් කියලයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සහ සමාජයට ඔවුන්ගෙන් බොහෝ දේ එකතු වෙලා තියෙනවා.
අපේ රටේ ඉන්න බහුතරයක් ජන වර්ගවල හම දුඹුරු පාටට හුරුයි. බොහෝ දෙනා හිතන්නේ බර්ගර් ජාතිකයන් සුදු පැහැයට හුරු හමක්, ලා පාට ඇස් සහ හිසකෙස් සහිත පිරිසක් විදිහට වුණත් සමහර බර්ගර් ජාතිකයන්ව සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න පවා අපහසු අවස්ථා තියෙනවා. ඔලිව් පාට හරි, සමහරවිට ඊටත් වඩා තද පාට හරි හමක් තියෙන, අඳුරු හිසකෙස් සහ ඇස් තියෙන බර්ගර් ජාතිකයන් බොහෝ දෙනා සිටිනවා. මිශ්‍ර විවාහයන් නිසා ඔවුන්ට ජාතීන් බොහොමයකගේ ලක්ෂණ ලැබිලා.
බර්ගර් කියන වචනය ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් වුණේ ලන්දේසි භාෂාවෙන්. ඔවුන් “burger” කියලා හැඳින්වූවේ “berg” එකක, නැතිනම් නගරයක /මිටියාවතක ජීවත් වෙන අය යි. මේක ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවලින් මධ්‍යම පාන්තිකයන් හඳුන්වන්න යෙදෙන “bourgeois” කියන වචනයට තරමක් සමානයි. ඉස්සරම කාලේ මේ වචනය වර්ගයට හෝ ජාතියට කිසිම අදාලත්වයක් නැති සමාජ තත්වය හඟවන යෙදුමක් විධියටයි භාවිතා වුණේ. කොහොම වුණත් ලන්දේසි පාලන සමයේදී මේ නගරබද වාසය කරන පිරිස සංඛ්‍යාත්මකව වගේම පැතිරීම අතිනුත් ඉහළ යන්න ගත්තා.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය මෙරට ස්ථාපිත වීමත් එක්ක පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන පිරිස බර්ගර් කියලා හඳුන්වන එක ඔවුන්ව ස්වදේශිකයන්ගෙන් වෙන් කර හඳුනා ගන්න ලොකු පහසුවක් වුණා. නමුත් මේ පිරිස ජීවත් වුණේ පෘතුගීසි බර්ගර් සහ ලන්දේසි බර්ගර් කියලා අනන්‍ය ජන කොට්ඨාශ දෙකක් විදිහට. ජාතිය, ආගම, භාෂාව සහ බාහිර පෙනුම මේ ජන සමාජ දෙක අතර තිබුණු ප්‍රධාන වෙනස්කම් විදිහට දක්වන්න පුළුවන්.
කොහොම වුණත් පිටස්තර අයට මොවුන් දෙගොල්ලන්වම බර්ගර් කියලා පොදු ජාතියක් විදිහට හඳුන්වන එක පහසුවක් වුණා. නමුත් කලින් කියපු වෙනස්කම් නිසා මේ ජන කොට්ඨාශ දෙක සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වුණේ නැහැ.
බ්‍රිතාන්‍ය පාලකයන් පවා බර්ගර් ජාතිකයන් පෘතුගීසි ලන්දේසි කියලා කොටස් දෙකකට බෙදන්න උනන්දු වුණේ නැහැ. පරිපාලන කටයුතු පහසු වෙන්නත් එක්ක ඔවුන් සියලු දෙනා නම් කෙරුණේ බර්ගර් ජාතිකයන් විදිහට. කොහොම වුණත් මේ බර්ගර් කියන නම ලන්දේසීන්ගෙන් පැවත එන පිරිස භාර ගත්තේ නැහැ, සිංහල පිරිසත් ඒක පිළිගන්න අකමැති වුණා.
1833 අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය (විශේෂයෙන්ම අග විනිසුරු ශ්‍රීමත් රිචඩ් ඔට්ලී මහතා – Sir Richard Ottley) තීන්දුවක් නිකුත් කරමින් “පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන්නන් සහ යුරෝපීය ජාතිකයන්ට දාව ලංකාවේදී උපත ලබන සියළුම දෙනා මින් පසු බර්ගර්වරුන් ලෙස හැඳින්වෙනු ඇත” කියලා ප්‍රකාශ කිරීමත් එක්ක නිල වශයෙන්ම බර්ගර්වරුන් අතර තිබුණු වෙනස්කම් නොසලකා හැරලා ඔවුන් එකම ජාතියක් බවට පත් කෙරුණා.
පසුකාලීනව බර්ගර් කියන වචනය වර්ගවාදී වචනයක් විදිහට සියළුම යුරේසියානුවන් (පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේම සමහර අවස්ථා වල ජර්මන්, ප්‍රංශ හෝ රුසියානු සම්භවයක් ඇති සියලු දෙනා) හඳුන්වන්න පාවිච්චි වුණා. මව්පියන් විවාහ වීමකින් තොරව බිහි වුණු බ්‍රිතාන්‍ය සහ සිංහල මිශ්‍ර දරුවන්ව හැඳින්වුණේත් බර්ගර් කියන නමින්මයි.
මේ වන විටත් පෘතුගීසීන්ගෙන් පැවත එන සුවිශේෂී අනන්‍යතාවක් සහිත බර්ගර් පිරිසක් ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ, විශේෂයෙන්ම මඩකලපුව ආශ්‍රිතව ජීවත් වෙනවා. කොළඹ සහ ඒ අවට ජීවත් වෙන පෘතුගීසි සහ ලන්දේසි බර්ගර්වරුන් නම් බොහෝ දුරට සම්මිශ්‍රණය වෙලා. මේ ප්‍රදේශයේ බර්ගර්වරුන් බොහෝ දෙනෙක් තමන්ගේ ක්‍රෙයෝල (Creole) භාෂාවන් (පෘතුගීසි ක්‍රෙයෝල සහ ලන්දේසි ක්‍රෙයෝල) අත හැරලා සිංහල හෝ ඉංග්‍රීසි භාවිත කරන්න පුරුදු වුණු එක මේකට ප්‍රධාන වශයෙන් හේතු වුණා.
පෘතුගීසි බර්ගර් ජාතිකයන්
දැනට ජීවත් වන පෘතුගීසි බර්ගර්වරුන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකික “මෙස්ටිසෝ” (Mestiços) ජනතාවගෙන් පැවත එන පිරිසක්. 1505 අවුරුද්දේ පෘතුගීසි ජාතිකයන් මුල්වරට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පදිංචි වුණාට පස්සේ ඔවුන් හා සිංහල / දෙමළ ජනතාව අතර මිශ්‍ර ජාතියක් විදිහට තමයි මෙස්ටිසෝ ප්‍රජාව බිහි වුණේ.
මේ පෘතුගීසි පදිංචිකරුවන් මුලින්ම ලංකාවට ආවේ වෙළඳාම් කටයුතු දියුණු කරගන්න වුණත් පසු කාලීනව ඔවුන් පාලන බලය අල්ලා ගන්න පවා උනන්දු වුණා. මෙරට පදිංචි වුණු පෘතුගීසි ජාතිකයන් සිංහල සහ දෙමළ කාන්තාවන් විවාහ කර ගන්න පටන් ගත්තේ ඒ අනුවයි. මේ විදිහට සිංහල හා දෙමළ ජාතීන් එක්ක විවාහ සම්බන්ධතා ඇති කර ගන්න පෘතුගීසි ජාතිකයන්ට ඔවුන්ගේ ඉහළ පිරිස්වල අනුබල පවා ලැබුණා. නමුත් පසුව පාලන බලය අල්ලා ගත්තු ලන්දේසි ජාතිකයන් නම් මිශ්‍ර විවාහයන් ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ.
මේ විදිහට පෘතුගීසි ජාතිකයන් ලංකාවේ ජන සමාජයට එකතු වීමේ ප්‍රධාන ප්‍රතිඵලය වුණේ මෙස්ටිසෝ ජන වර්ගය මෙරට බිහි වුණු එක. ඔවුන් තමයි වර්තමාන පෘතුගීසි බර්ගර්වරුන්ගේ මුතුන් මිත්තන් වුණේ. ඔවුන්ව ඒ කාලේ සිංහල භාෂාවෙන් “තුපාසි” කියලත්, දෙමළ භාෂාවෙන් “තුප්පයි” කියලත් හඳුන්වනු ලැබුවා.
අවාසනාවට මොවුන්ට සිංහල ජාතිකයන්ගේ, ලන්දේසීන්ගේ වගේම ඉංග්‍රීසීන්ගේත් කෙනෙහෙළි කම්වලට මුහුණ දෙන්න සිදු වුණා. ලන්දේසීන් මෙරට පාලනය අල්ලා ගැනීමත් එක්ක මෙස්ටිසෝ ජනවර්ගයා ආර්ථිකමය වශයෙන් පවා ඇද වැටෙන්න පටන් ගත්තා. ඔවුන් මේ විදිහට ලන්දේසීන්ගේ හිරිහැරවලට ලක් වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ උග්‍ර ප්‍රොතෙස්තන්තවරුන් වුණු ලන්දේසීන්ට ස්පාඤ්ඤ ජාතික කතෝලිකයන් අතින් සිදු වුණු හිරිහැර යි. ස්පාඤ්ඤ ජාතිකයන් සහ පෘතුගීසී ජාතිකයන් දේශපාලනික වගේම ආගමික වශයෙනුත් සමාන මත දරපු මිත්‍ර පිරිසක්.
තමන්ට ආපු ආර්ථිකමය බාධාවන් මැද්දේ, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලකයන්ගෙනුත් බාධා හිරිහැර සිදු වෙද්දී වුණත් තමන්ගේ පෘතුගීසි භාෂාව, සිරිත් විරිත් සහ කතෝලික ඇදහීම් දිගටම පවත්වා ගෙන යන්න පෘතුගීසි බර්ගර්වරුන් උත්සුක වුණා.
තමන්ගේ පෘතුගීසි මුතුන් මිත්තන්ගෙන් ලැබුණු සපත්තු මැසීම, ඇඳුම් මැසීම, වඩු වැඩ, මුද්‍රණ කටයුතු සහ ලෝහ කර්මාන්තය වගේ කලා ශිල්ප ඇසුරින් ඔවුන් තමන්ගේ ජීවිකාව ගෙන ගියා. මොවුන්ව පසුකාලීනව “මයික්‍රෝ බර්ගර්වරුන්” සහ “මිකැනික් බර්ගර්වරුන්” කියලා හඳුන්වන්න හේතු වුණෙත් යන්ත්‍ර සූත්‍ර නඩත්තුව වගේ යාන්ත්‍රික කටයුතුවල වැඩිපුර යෙදී හිටපු නිසයි.
කොහොම වුණත් ඔවුන්ගේ මේ ශිල්ප හැකියාවන් ඒ කාලේ සමාජය තුළ ලොකු පිළිගැනීමකට ලක් වුණේ නැහැ. ගොවිතැන සහ සේවා ආශ්‍රිත රැකියාවන්ට ඉහළම තැන හිමි වෙද්දී මේ වගේ ශිල්පයන් සැලකුණේ බොහොම පහත් මට්ටමේ ඒවා විදිහට. තවමත් මේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා නැහැ. පන්ති මූලික සමාජයේ ඔවුන් තවමත් සැලකෙන්නේ අඩු කුලයේ පිරිසක් විදිහටයි.
මේ වන විට මඩකලපුව ප්‍රදේශයේ පෘතුගීසි බර්ගර්වරුන් 2,000ක පමණ පිරිසක් වාසය කරනවා. පෘතුගීසි සහ ලන්දේසි මිශ්‍ර වුණු නම් තමයි ඔවුන් සියලු දෙනාටම තියෙන්නේ. මොවුන් ජීවත් වෙන්නේ වෙනස්ම ජන කොට්ඨාශයක් විදිහටයි.
උග්‍ර කතෝලික ලබ්ධිකයන් වන මේ පිරිස පෙනුමෙන් නම් ඒ ප්‍රදේශයේ වාසය කරන සිංහල, දෙමළ, යෝනක වගේ අනෙකුත් ජනවර්ගවලින් වෙන් කරලා හඳුනා ගන්න අපහසුයි. ඔවුන්ගේ හමේ වර්ණය වගේම කතා කරන භාෂාවේ වුණත් ලොකු වෙනසක් නැහැ, හැමෝටම වගේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් ඉතා හොඳින් කතා කරන්න හැකියාව තියෙනවා. මඩකලපුවේ වෙසෙන පිරිසට අමතරව කොළඹ අවටත් පෘතුගීසි බර්ගර්වරුන් කුඩා ප්‍රමාණවලින් ජීවත් වෙනවා. ත්‍රිකුණාමලය, අක්කරෙයිපත්තු, මන්නාරම සහ දකුණු කොළඹ ප්‍රදේශවලත් ඒකරාශී වුණු කුඩා කණ්ඩායම් දකින්න පුළුවන්.
මඩකලපුව ප්‍රදේශයේ කතෝලික බර්ගර් එකමුතුව කියලා හැඳින්වෙන පෘතුගීසි බර්ගර් සමිතියක් තියෙනවා. මොවුන් තමන්ගේ උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම ගැන බොහොම බරපතලව හිතන පිරිසක්. පෘතුගීසීන් ලංකාව අත හැරලා ගිහින් මේ වෙනකොට අවුරුදු 350ක් විතර ගෙවිලා තිබුණත් ඔවුන් තවමත් රැස්වීම් පවත්වන්නේ පෘතුගීසි “පත්වා” (Patois) භාෂාවකින්. මේක පෘතුගීසි ක්‍රෙයෝල භාෂාවෙන් බිඳී ආපු, ඉංග්‍රීසි උච්චාරණයන් සහිත, තැනින් තැන සිංහල වචනත් පාවිච්චි වෙන අමුතුම භාෂාවක්.
ලන්දේසි බර්ගර් ජාතිකයන්
ලන්දේසි බර්ගර් ජාතිකයන් බොහෝ දුරට ලංකාව පාලනය කරපු ඕලන්ද ජාතිකයන්ගෙන් පැවත එන පිරිසක් වුණත් පෘතුගීසි බර්ගර්වරුන් වගේම සිංහල සහ දෙමළ ජාතිකයන් එක්ක මිශ්‍ර වුණු පිරිසුත් ඔවුන් අතර ඉන්නවා. ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම (VOC එක) ලංකාවේ මුහුදු ප්‍රදේශවල පාලනය අල්ලා ගන්නේ 1602 අවුරුද්දේදී යි. පෘතුගීසීන් හා ලන්දේසීන් අතර සටන් පැවතුනු කාලය පුරාවටම ඔවුන් අතර විවාහ ගණනාවක්මත් සිදු වෙලා තියෙනවා.
18 වැනි ශතවර්ෂය තුළ සිංහල සහ දෙමළ ජාතිකයන් “ලංසි මිනිසුන්” කියලා හඳුන්වපු මේ ජන කොට්ඨාශය සංඛ්‍යාත්මකව වැඩි වෙනවා. ඔවුන් බොහෝ දෙනා කතා කරන්නේ පෘතුගීසි ක්‍රෙයෝල සහ ලන්දේසි භාෂාවෙන්.
1796 අවුරුද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට ඇවිත් මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගැනීමත් එක්ක මෙරට පදිංචි වෙලා හිටපු ලන්දේසි ජාතිකයන් අතරින් තමන්ගේ මව්රට එක්ක සම්බන්ධතා තිබුණු වැඩි පිරිස ආපසු ඕලන්දයට ගියා. සමහරක් VOC නිලධාරීන් තමන්ගේ සමාගමේ මූලස්ථානය තිබුණු බතාවියේ පදිංචියට ගියා. කොහොම වුණත් තමන් කොන්දේසි විරහිතව බ්‍රිතාන්‍ය පාලනයට අවනත වෙනවා කියලා ගිවිසුමක් අත්සන් කරන්න කැමති වුණු බොහොමයක් ලන්දේසි බර්ගර්වරුන් ලංකාවේම නැවතුණා. ඒ කාලය වන විට කොළඹ, යාපනය, ගාල්ල සහ මාතර ආශ්‍රිතව ලන්දේසි බර්ගර් පවුල් 900ක් පමණ ජීවත් වුණා කියලා සඳහන් වෙනවා.
ලන්දේසි බර්ගර්වරුන් ස්වභාවයෙන්ම ප්‍රොතෙස්තන්තවරුන් සහ ලන්දේසි රෙපරමාදු පල්ලියේ සාමාජිකයන්. කොහොම වුණත් බ්‍රිතාන්‍යන්ට ලංකාවේ තිබුණු බලය නිසා සමහර ලන්දේසි බර්ගර්වරුන් ඇන්ග්ලිකන් ආගමට මාරු වුණා. සමහරු තමන්ගේ භාෂාව විදිහට ඉංග්‍රීසි භාෂාවත් තෝරා ගන්න පෙළඹුණා.
ඉංග්‍රීසීන් නිසා ඔවුන්ගේ දිවිපැවැත්මට තරමක් බාධා ඇති වුණත් 19 වැනි ශතවර්ෂය වන විටත් ලන්දේසි බර්ගර් ජාතිකයන් ලංකාවේ (සිලෝන් දිවයිනේ) ආර්ථික සහ සමාජීය කටයුතුවලට සැලකිය යුතු දායකත්වයක් දක්වපු පිරිසක් විදිහට සැලකෙනවා. ඔවුන් තමන්ගේ පාරම්පරික රැකියා වෙනුවට අධ්‍යාපන සහ පොදු වැඩකටයුතු ක්ෂේත්‍රවල රැකියාවන්ට මාරු වුණා. බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වුණු මුල් අවධියේ වෘත්තීය සහ නිලධාරී කටයුතුවලට වැඩි වශයෙන් දායක වුණෙත් ලන්දේසි බර්ගර්වරුන්. සිංහල බහුතරය සහ අලුතෙන් රට අල්ලා ගත් ඉංග්‍රීසි පාලකයන් අතර තිබුණු ඝට්ටනය යම් තාක් දුරකට සමනය වුණේ ඔවුන් නිසා.
බ්‍රිතාන්‍ය ජාතිකයන් යුරෝපයේ තිබුණු නව තාක්ෂණය සහ ක්‍රම ශිල්ප මෙරටට ගෙන ආවත් ඒවා සාර්ථකව ලංකාවේ සමාජයට හඳුන්වා දෙන්න දායක වුණේ බර්ගර්වරුන් (විශේෂයෙන්ම ලන්දේසි බර්ගර්වරුන්) කියලා සලකන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතුව වුණේ රටේ සිංහල බහුතරය එක්ක ගනුදෙනු කරන්න ඔවුන්ට ඉංග්‍රීසින්ට වඩා හොඳ හැකියාවක් තිබුණු එකයි. ලන්දේසි බර්ගර්වරුන් මැනුම් කටයුතු, ඉදිකිරීම් කටයුතු, සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා, මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය නඩත්තු කිරීම වගේ රටේ වැදගත් ක්ෂේත්‍රයන් ගණනාවක ප්‍රධාන තැන අරගෙන කටයුතු කළා.
ඒ වගේම ඔවුන් අධ්‍යාපන අංශයේ සහ නීතිය බලාත්මක කිරීමේදීත් මුල් තැන ගත්තා. නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යන්නත්, රජයේ සේවා සාධාරණ ආකාරයෙන් ජනතාව වෙත ලබා දෙන්නත්, ඒ තුළින් විවිධ ජන වර්ගවලට සාමකාමීව ජීවත් වෙන්නත්, උසස් ජීවන තත්වයක් පවත්වා ගෙන යන්නත් උදව් කළේ ලන්දේසි බර්ගර්වරුන්.
බොහෝ ලන්දේසි පවුල් තමන්ගේ පවුලේ ඉතිහාසය ගැන ගොඩක් උනන්දු වෙනවා දකින්න පුළුවන්. ඒ නිසාම ඔවුන් විස්තරාත්මක “ස්ටැම්බොයිකන්” (Stamboeken) එකක්, නැතිනම් ලන්දේසි ගෝත්‍ර සටහන් වාර්තාවක් පවත්වාගෙන යනවා. පරම්පරාවේ හැමෝගෙම උපත්, විවාහ, මරණ සහ අනෙක් වැදගත් සිදුවීම් දින වකවානුත් එක්කම මෙහි දැක ගන්න පුළුවන්.
ලන්දේසි බර්ගර් එකමුතුවත් (Dutch Burgher Union) මේ වගේ වාර්තා සටහන් සංරක්ෂණය කරලා පවත්වා ගෙන යන්න අනුබල දෙනවා. ඒ නිසා බොහෝ ලන්දේසි බර්ගර් ජාතිකයන්ගේ මුල් පරම්පරාවන් ගැන පහසුවෙන් විස්තර හොයා ගන්න පුළුවන්. ඔවුන්ගේ ඇතැම් පවුල්වලට ඕලන්දයට අමතරව ජර්මන්, ස්වීඩන, හංගේරියානු, ඉතාලියානු, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, පෘතුගීසි සහ සිංහල සම්භවයන් තියෙන බවත් දකින්න ලැබෙනවා.
ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයන්
කාල් මුලර්
ප්‍රසිද්ධ බර්ගර් ජාතිකයන් ගැන කතා කරනකොට කාල් මුලර් මහතා ගැන කතා නොකරම බැහැ. සුප්‍රසිද්ධ රචකයෙක් වන ඔහු ලංකාවේ 1930 ගණන් වල වාසය කළ බර්ගර් පවුලක් ගැන ලියපු ප්‍රබන්ධ කතා ත්‍රිත්වය නිසා ලෝකය පුරා අවධානයට ලක් වුණා. ඔහු ලේඛකයෙකු විදිහට වගේම කවියෙකු සහ ජනමාධ්‍යවේදියෙක් විදිහටත් ප්‍රසිද්ධයි. 1993 අවුරුද්දේ ඔහුගේ The Jam Fruit Tree (ජෑම් පලතුරු ගස) නව කතාව වෙනුවෙන් ග්‍රෙජියන් සම්මානය (Gratiaen Award) පවා පිරිනැමුණා. ඔහුගේ Children of the Lion (සිංහයාගේ දරුවෝ) ඉතිහාස කතාව වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් හිමි වුණා.
ඩන්කන් වයිට්
බ්‍රිතාන්‍ය පරම්පරාවකට අයත් ශ්‍රී ලාංකිකයෙක් වන මේජර් දේශමාන්‍ය ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නට සමත් වුණු මුල්ම ලාංකිකයා විදිහට ඉතිහාස ගත වෙනවා. ඔහු 1948 දී ලන්ඩන් නුවර පැවැත්වුණු වසන්ත ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා. ඔහු අවුරුදු 50කටත් වැඩි කාලයකින් පිටිය ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනා ගත් මුල්ම දකුණු ආසියානු ක්‍රීඩකයා විදිහටත් ප්‍රසිද්ධියට පත් වුණා.
ශ්‍රීමත් ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චි සහ මයිකල් ඔන්ඩච්චි
ලන්දේසි සහ ඉන්දියානු සම්භවයක් ඇති බර්ගර් පවුලක උපත ලබපු ඔන්ඩච්චි සොහොයුරන් සාහිත්‍ය අංශයේ දියුණුවට ඉමහත් දායකත්වයක් දක්වලා තියෙනවා. ඔවුන්ගේ සාහිත්‍ය කටයුතු වෙනුවෙන් පිරිනැමුණු සම්මාන බොහොමයි. මයිකල් ඔන්ඩච්චි මහතා වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ ඔහුගේ සම්මාන ගණනාවකට පාත්‍ර වුණු The English Patient (ඉංග්‍රීසි රෝගියා) නව කතාව වෙනුවෙන්. මේ නවකතාව ආශ්‍රයෙන් බිහි වුණු චිත්‍රපටය පවා සම්මාන විශාල ගණනක් දිනා ගන්න සමත් වුණා. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චි මහතා කැනේඩියානු පුරවැසිභාවය ලබාගෙන බොබ් ස්ලෙඩ් (bob sled) තරඟ අංශයෙන් ඔලිම්පික් පදක්කමක් පවා දිනා ගෙන තියෙනවා. ඉන්දියාවේ සහ අප්‍රිකාවේ සංචාරය කරමින් වටිනා පොත් බොහොමයක් ලියා පළ කරපු ක්‍රිස්ටෝපර් මහතා නයිට් නාමයකිනුත් පිදුම් ලැබුවා.
ඇන්ජලෝ මැතිව්ස්
ඇන්ජලෝ මැතිව්ස් ගැන නම් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. වර්තමාන ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායකයා වන ඔහු ලංකාවෙන් බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. 2014 අවුරුද්දේ ලෝක T20 කුසලානය දිනා ගැනීම සඳහාත් ඔහු විශාල දායකත්වයක් දැක්වුවා.
ජීන් අරසනායගම්
මහනුවර උපත ලබපු ජීන් අරසනායගම් (විවාහයට පෙර ජීන් සොලමන්ස්) මහත්මිය ලන්දේසි බර්ගර් පරම්පරාවට අයත් ඉංග්‍රීසි ලේඛිකාවක් සහ කිවිඳියක් විදිහට ප්‍රසිද්ධියක් දරනවා. Kindura (කිඳුරා), The Cry of the Kite (සරුංගලේ වැළපුම) සහ Trial by Terror (භීෂණයෙන් අත්හදාබැලීම/නඩු ඇසීම) වගේ නිර්මාණ ඇයගේ හැකියාව විදහා පාන හොඳම උදාහරණ විදිහට සලකන්න පුළුවන්.
වෙන්ඩි වට්මෝ
ප්‍රසිද්ධ කිවිඳියක් වන වෙන්ඩි වට්මෝ මහත්මියට අවුරුදු නවයක වයසේ සිටම කවි ලියන්න සහජ දක්ෂතාවක් තිබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසු ඇය වැඩි කාලයක් වෙන් කළේ කතා පැවැත්වීමට සහ නාට්‍ය ඉදිරිපත් කිරීම්වලට. 1940 දී ඇය ආරම්භ කළ වෙන්ඩි වට්මෝ කථන හා නාට්‍ය ඇකඩමිය (Wendy Whatmore Academy of Speech and Drama) අදටත් ලංකාවේ ඉහළම ප්‍රමිතියක් සහිත කථන පුහුණු ආයතනයක් විදිහට ගෞරවයට පාත්‍ර වෙනවා.
ලයනල් වෙන්ඩ්ට්
ලයනල් වෙන්ඩ්ට් රඟහල කොළඹ ප්‍රදේශයේ කලාවට සම්බන්ධ ප්‍රසිද්ධම ස්ථානයක්. ඉතින් මෙය අපේ රටේ හිටපු දක්ෂතම කලාකරුවෙක් වන ලයනල් වෙන්ඩ්ට් මහතා වෙනුවෙන් නම් කරලා තිබීම පුදුමයක් නෙවෙයි. සම්මානලාභී පියානෝ වාදකයෙක්, ඡායාරූප ශිල්පියෙක්, සාහිත්‍ය නිර්මාණ රැස් කරන්නෙක්, විචාරකයෙක් වගේම සිනමාකරුවෙක්ද වන එතුමා ’43 කොළඹ හවුලේ ආරම්භක සාමාජිකයෙක්. (’43 කොළඹ හවුල කියන්නේ ලංකාවේ දක්ෂතම කලාකරුවන්ගේ එකමුතුවක්) බර්ගර් සම්භවයක් ඇති ලයනල් මහතා ජෝර්ජ් කීට් සහ හැරෝල්ඩ් පීරිස් ඇතුළු සමකාලීන කලාකරුවන්ගේද දායකත්වය ඇතිව උඩරට නර්තනය සහ වෙනත් දේශීය නර්තන ක්‍රම රැක බලා ගැනීම වෙනුවෙන් ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කළා.
ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා හඳුනන ඉංග්‍රීසි ජනමාධ්‍යවේදිනියක් වන ජෑන්ස් මහත්මිය ලන්දේසි බර්ගර් පරම්පරාවක කාන්තාවක්. ඇය කාලයක් සන්ඩේ ලීඩර් ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන කතුවරිය විදිහටත් කටයුතු කළා. ජෑන්ස් මහත්මිය තමන්ගේ මාධ්‍යවේදී වෘත්තීය පටන් ගත්තේ යුද්ධ සමයේ පුවත් වාර්තා කරපු Visnews ආයතනය හරහායි. නිර්භීත මාධ්‍යවේදිනියක් විදිහට ප්‍රසිද්ධියක් උසුලන ඇය 2004 අවුරුද්දේ ශ්‍රී ලාංකීය කතුවරුන්ගේ සංගමයෙන් ප්‍රදානය කෙරුණු වසරේ හොඳම ජනමාධ්‍යවේදී සම්මානය දිනාගන්නත් සමත් වුණා.
ජැකලීන් ෆර්නැන්ඩස්
බහරේන්හිදී මිශ්‍ර දෙමව්පියන්ට දාව උපත ලබපු ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මිය මුලින්ම ප්‍රසිද්ධියට පත් වුණේ 2006 වසරේ මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගැනීමත් එක්කයි. පසුව බොලිවුඩ් සිනමාවට පිවිසුණු ඇය මේ වන විට මහා පරිමාණයේ සිනමා පට ගණනාවකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇතැම් චිත්‍රපට වෙනුවෙන් ඇයට සම්මාන පවා හිමි වුණා. 2014 අවුරුද්දේ IIFA සම්මාන උළෙලේ House Full – 2 හි රංගනය වෙනුවෙන් හොඳම සහායක රංගන ශිල්පිනිය විදිහටත් නම යෝජනා වුණේත් ඇයවයි. ජැකලීන් 2014 දී ප්‍රධාන චරිතය නිරූපණය කළ Kick චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 350කට අධික ආදායමක් ලබා ගනිමින් බොලිවුඩ් ඉතිහාසයේ 12 වැනියට ඉහළම ආදායම ලැබූ චිත්‍රපටය බවට පත් වී තිබෙනවා.
පසුගිය ශත වර්ෂ ගණනාවක් තිස්සේ අපේ රටේ බහු ආගමික, බහු වාර්ගික ජන සමාජයේ වැදගත් තැනක් අත්පත් කරගන්නට බර්ගර්වරුන් සමත් වෙලා තියෙනවා. ලන්දේසි බර්ගර්වරුන් අපේ රට අධිරාජ්‍ය පාලනයන්ට නතු වෙලා තිබුණු කාලවල සංවර්ධනය වෙනුවෙන් අති විශාල දායකත්වයක් දැක්වූවා. පෘතුගීසි බර්ගර්වරුන් අදටත් ඔවුන්ගේ මුතුන්මිත්තන් ඉතිරි කර ගිය අනන්‍යතාව රැකගෙන ජීවත් වෙනවා. ප්‍රමාණයෙන් බොහොම කුඩා ප්‍රතිශතයක් වුණත් ශ්‍රී ලංකා සමාජයට ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නැහැ. ඔවුන් අනාගතයේදීත් අපේ රටට බොහෝ දේ දිනා දෙන්නට තමන්ගේ දායකත්වය ලබා දේවි.
පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ