Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මධ්‍යධරණී මුහුද තරණය කර ‘රියෝ 2016’ සිහිනය වෙත ළඟා වූ දියකිඳුරිය – යුස්රා මර්දානි

හීන දකිනවා කියන දෙය අපි හැම වෙලාවෙම ගන්නේ බොහොම සැහැල්ලුවට. තමන්ගේ  හිතේ පොපියන බලාපොරොත්තුවක් ගැන කියවෙනකොට, ‘අනේ බොරුවට හීන දකින්න එපා’ කියන කතාව මේ කියවන ඔබ අතරින් ගොඩක් දෙනෙක් අනිවාර්යයෙන්ම අහලා ඇති. ඇස් ඇරගෙන ඉන්න වෙලාවට ජීවිතය ගැන දකින හීන විහිළුවට ගන්න අපි, නින්දේදී දකින හීන හරිම ‘සීරියස්’ විදිහට ගන්න දක්ෂයි. ඒ අපේ බහුතරයකගේ හැටි. හැබැයි අපි එහෙම වෙනකොට ලංකාවේ ඉඳන් හරියටම කිව්වොත් ගුවන් කිලෝමීටර් 5200ක දුරකින් තියෙන සිරියාවේ අවුරුදු 17ක පොඩි ගෑණු ළමයෙක් තමන්ගේ හීන හැබෑකරගන්න මධ්‍යධරණී මුහුද ඩිංගි බෝට්ටුවකින් තරණය කරන්න හිත හදා ගන්නවා.

ඩමස්කස් නුවර සිට ග්‍රීසිය කරා

යුස්රා 2016 මාර්තු 18 ජර්මනියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්/ AFP

යුස්රා 2016 මාර්තු 18 ජර්මනියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්/ AFP

වසර කිහිපයක සිට සිරියාවේ දරුණු ලෙස ඇවිලෙමින් පවතින යුධමය වාතාවරණය ගැන කියවන ඔබ දන්නවා කියල අපි උපකල්පනය කරනවා. මේ ශාපලත් යුද්ධයෙන් පීඩාවට පත්වුණ, ඒ නිසාම ඒ ප්‍රදේශවල තව දුරටත් රැඳී සිටින්නට අකමැති වුණ ජනතාව සිය දහස් ගණනක් යුරෝපයට පලා එන්නට පටන් ගන්නවා. යුස්රා මර්දිනී කියල කියන මෙතැන් පටන් අපේ කතා නායිකාව බවට පත්වෙන ගෑණු ළමයත් ග්‍රීසියට එන්න තීරණය කරන්නේ එහෙම. ඒ 2015 අගෝස්තු මාසයේ දී.

තමන්ගේ නංගි, සාරාවත් එක්කගෙන සිරියාවේ ඩමස්කස් නගරයේ ඉඳල ලෙබනනයේ බීරූට් නගරයට එන යුස්රා එතැන ඉඳන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර හරහා ඉෂ්මීර් නගරයට එන්න වාසනාවන්ත වෙනවා. ඉෂ්මීර් නගරයේ ඉඳලා ග්‍රීසියට පය තබන බලාපොරොත්තුවෙන් පොඩි ඩිංගි බෝට්ටුවකට නගින්නේ ඇගේ සොයුරිය සාරා ඇතුළු තවත් 20 දෙනෙකු සමගයි.

ඩිංගි බෝට්ටුවකින් මුහුදක් තරණය කරනවා කියන්නේ සෑහෙන අසීරු දෙයක් කියල අපි දන්නවා. මේ වගේ අවස්ථාවකදී හදිසි අනතුරු නිසා බෝට්ටු පෙරලිලා ජීවිතය කෙලවර වෙන්න තියෙන අවදානම වැඩියි. ඔබට මතක ඇති 2015 සැප්තැම්බර් මාසයේදී ලෝකය හඬවන්න සමත්වුණ ආල්යාන් කුර්දිගේ ඡායාරූපය. ඔහුගේ පවුලත් යුස්රා වගේම බෝට්ටුවකින් මුහුද තරණය කර තුර්කියට පය තැබීමට උත්සහ කළ පිරිසක්. තත්වය එහෙම වුණත් ජීවිත අවදානම කියල කියන්නේ කෙනෙකුගේ ජීවත් වීමේ හීනය සැබෑ කරගැනීමේ ආශාව එක්ක බලනකොට හරිම සුළු දෙයක්.

ලොව සසල කළ තුන් හැවිරිදි ආල්යාන් කුර්දිගේ මළ සිරුර තුර්කි වෙරළට ගොඩ ගසා තිබූ අයුරු/ AFP

ලොව සසල කළ තුන් හැවිරිදි ආල්යාන් කුර්දිගේ මළ සිරුර තුර්කි වෙරළට ගොඩ ගසා තිබූ අයුරු/ AFP

ආයෙත් අපේ ප්‍රධාන කතාවට ආවොත් යුස්රා ඇතුළු පිරිස රැගත් බෝට්ටුවට කිසිදු උපද්‍රවයක් නොවී ඉදිරියට ඇදෙන්නට ලැබුණේ පැය බාගයක් වැනි සුළු වෙලාවක්. හදිසියේ බෝට්ටුවේ එන්ජිම ඇණහිටිනවා. අනතුරුව උදාවෙන්නේ සුළඟ සහ රළ පහරේ වේගය නිසා බෝට්ටුව අනෙක් අතට පෙරළිලා සියළු දෙනාගේම ජීවත් වීමේ හීනවලට තිත තැබේවි කියල හිතෙන අවිනිශ්චිත මොහොතක්.

එහෙත් ඔවුන් තමන්ගේ හීන එහෙම ලෙහෙසියෙන් අත හරින්න සූදානම් නැහැ. යුස්රා පිහිනුම් ශූරියක්. ඇගේ සොයුරිය සාරාටත් පිහිනන්න පුළුවන්. සොයුරියෝ දෙදෙනාට අමතරව පිරිසේ හිටි තවත් කාන්තාවකටත් පිහිනීමේ හැකියාව තියෙනවා. තමන් තනි තනිව ජීවිත ගලවාගන්නවා වෙනුවට මේ තුන්දෙනා තීරණය කරනවා මුහුද මැද නතරවුණ බෝට්ටුවත් ඇදගෙන ග්‍රීසිය කරා පිහිනන්න. තමන්ගේ හීන තනිව සැබෑ කරගන්නවා වෙනුවට අනුන්ගේ හීන සැබෑ කරන්නටත් උදව් කරන්නට.

එක් අතකින් බෝට්ටුවේ ලණු පටක් අල්ලාගෙන අනෙක් අතෙන් මුහුදු රළට එරෙහිව සටන් කරමින්  පැය තුනක් පමණ කාලයක් පිහිණන ඔවුන් බෝට්ටුවේ සිටි සියලු දෙනාගේම ජීවිතත් බේරාගනිමින් ග්‍රීසියට පැය තැබීමට සමත් වෙනවා.

“පිහිනුම් ක්‍රීඩිකාවක් වුණ මම වතුරෙදී මිය ගියොත් ඒක මොන තරම් ලැජ්ජාවක් වේවිද කියලයි මම එදා හිතුවේ” මේ වික්‍රමාන්විත ගමන ගැන අදහස් විමසූ මාධ්‍යවේදීන්ට ඇය ලබා දුන්නේ එවන් පිළිතුරක්.

ඔලිම්පික් සිහිනය

යුස්රා ජර්මනියේ ඇගේ පාසලේ පුහුණුවීම් කරන අතරතුරදී/ Daily Mail

යුස්රා ජර්මනියේ ඇගේ පාසලේ පුහුණුවීම් කරන අතරතුරදී/ Daily Mail

සමුදුර තරණය කර ග්‍රීසියේ ලෙස්බොස් නගරයට පා තබන යුස්රා සහ සාරා එතැනින් යන්නේ ජර්මනියට. ඔවුන් ජර්මනියේ බර්ලින් නුවර පදිංචි වෙන්නේ 2015 වසරේ සැප්තැම්බර් මාසයේදීයි. පසුව සිරියාවෙන් ගැලවී වෙනම පැමිණි ඔවුන්ගේ දෙමව්පියන් ද එහිදී ඔවුන් හා එක්වෙනවා.

යුස්රා මර්දිනී උපත ලබන්නේ 1998 වසරේ මාර්තු 05 වෙනිදායි. පිහිනීමට උපන් හපන්කම් දක්වන්නියක් වූ ඇය සිරියානු ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් ආරම්භ කරන්නේ ළාබාල වියේදීමයි. සිරියාව නියෝජනය කරමින් 2012 වසරේ අන්තර්ජාතික පිහිනුම් ෆෙඩරේෂණය මගින් පැවැත්වූ ලෝක ශූරතා පිහිනුම් තරඟාවලියට ඇය සහභාගී වෙනවා. ඒ මීටර් 200 කේවල, මීටර් 200 නිදහස් ආර, සහ මීටර් 400 නිදහස් ආර ඉසව් සඳහා.

සිරියාවේ සිට ජර්මනියට පැමිණි පසුත් බර්ලින් නගරයේ පිහිටි ‘වෝසර්ෆ්‍රොයින්ඩර් ස්පැන්ඩාවු 04’ නම් වූ පිහිණුම් සමාජයකට බැඳෙන ඇය නැවත සිය පුහුණුවීම් අරඹන්නේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත 2020 වසරේ ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකියාව ලැබේවි යන බලාපොරොත්තුවෙන්. එහෙත් ඒ ඔලිම්පික් සිහිනය 2016දීම සැබෑ කරගැනීමට තරම් ඇය වාසනාවන්තියක් වෙනවා.

සරණාගතයන්ගේ  ඔලිම්පික් කණ්ඩායම

සරණාගතයන්ගේ ඔලිම්පික් කණ්ඩායම සමාරම්භක උළෙලේදී  ඔලිම්පික් ධජය යටතේ ගමන් කරමින්/ AFP

සරණාගතයන්ගේ ඔලිම්පික් කණ්ඩායම සමාරම්භක උළෙලේදී  ඔලිම්පික් ධජය යටතේ ගමන් කරමින්/ AFP

මැද පෙරදිග ඇවිලෙමින් පවතින යුධමය වාතාවරණය (විශේෂයෙන්ම සිරියාවේ සහ ඉරාකයේ) නිසා ඒ රටවලින් මිදී යුරෝපයට පලා එන සරණාගතයන්ගේ ගැටළුව දෙස  මුළු ලොවම බලා සිටින්නේ දැඩි විමසිල්ලෙන්.

මේ වන විට බ්‍රසීලයේ රියෝ ද  ජැනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් ප්‍රථම වරට  දේශ සීමා නොමැතිව එසේ අවතැන් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කරන්නට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කළේ මේ වසරේ මුල් භාගයේදීයි. ඒ යුද්ධයෙන් පීඩාවට පත්ව තම උපන් බිම් අත්හැර නාදුනන භූමීන් කරා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කරගැනීමට අවස්ථාවක් ලබා දීම වෙනුවෙන්.

ඒ අනුව එම කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනා අතරින් එක් අයෙකු ලෙස සුදුසුකම් ලබන්නට  යුස්රා සමත් වෙනවා. ඒ මීටර් 100 නිදහස් ආර සහ මීටර් 200 සමනළ ආර යන පිහිනුම් ඉසව් නියෝජනය කිරීමට.

කුමන විපතකට මුහුණ දෙන්නට සිදුවුවත් කිසි දිනෙක බලාපොරොත්තු අත්හැර නොගත යුතු බව කියැවෙන තමන්ගේ පණිවිඩය ලොව පුරා වෙසෙන සරණාගතයන්ට ලබා දීමට මෙය මහඟු අවස්ථාවක් බව මෙම සරණාගතයන්ගේ ඔලිම්පික් කණ්ඩායමට තේරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසනවා.

ග්‍රීසියේ සිට ‘රියෝ 2016’ කරා

යුස්රා ඔලිම්පික් පිහිනුම් තඩාගයේ තරඟ වදිමින්/ Telegraph

යුස්රා ඔලිම්පික් පිහිනුම් තඩාගයේ තරඟ වදිමින්/ Telegraph

ඉතින් ඉහත සඳහන් කළ ඉසව්වලින්  අගෝස්තු 6 වෙනිදා  මීටර 100 සමනල ආර ඔලිම්පික් මූලික වටයේ තරඟයක් විනාඩි 1 යි තත්පර 9 යි දශම 21 කින් තරඟය නිම කර පළමු මූලික තරඟය ජය ගන්න යුස්රා සමත් වුණ අතර සමස්ථ තරඟකාරියන් අතුරින් 41 වැනියා බවට පත් වූවා. කෙසේ වෙතත් ඇයට අර්ධ අවසාන වටය සඳහා සුදුසුකම් ලැබීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ.

ඒ වගේම මීටර් 200 සමනළ ආර තරඟය විනාඩි 1 යි තත්පර 04 යි දශම 66කින් නිමා කළ ඇයට 45 වෙනි ස්ථානයයි හිමි වූවේ. එයින්ද මූලික වටයේ තරඟ ජය ගැනීමට ඇය සමත් වුණා.

එම තරඟයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ මෙවැන්නක්.

“මේ හැමදෙයක්ම හරිම විශ්මය ජනකයි. මගේ ජීවිතේ එකම අරමුණ වුණේ කවදාහරි ඔලිම්පික් තරඟයක් වෙනුවෙන් සහභාගී වෙන එක. මම මේ වතුරට කැමතියි. ඒ වගේම ලෝකයේ ඇති දක්ෂ ක්‍රීඩිකාවන් සමඟ තරඟ වැදීමට ලැබීම හරිම අපූරුයි..”

එමෙන්ම සිය පිහිනුම් පුහුණුවීම් කටයුතු නොකඩවා සිදු කරගෙන යාම මෙන්ම තමා සේම උපන් බිම්වලින් පලා එන සරණාගතයන්ට හැකි ආකාරයට උපකාර කිරීම තම බලාපොරොත්තුව බව යුස්රා පවසා සිටිනවා.

ඇය ඇතුළු සරණාගතයන්ගේ ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයන්ගේ තොරතුරු දැනගැනීමට මේ වන විට මුළු ලොවම උනන්දුවෙන් පසු වුණත් යුස්රා පවසන්නේ ඔවුන්ගේ අත්දැකීම් පිලිබඳ වාර්තා චිත්‍රපට, පොත් ආදී දේ ප්‍රකාශයට පත්කිරීම පිලිබඳ සිතා බලන්නේ ඔලිම්පික් අවසන් වීමෙන් අනතුරුව බවයි.

සුප්‍රකට ලතින් ඇමරිකානු ලේඛක පාවුලෝ කොඑලෝ තමන්ගේ වැඩිම අලෙවි වාර්තා තැබූ ‘The Alchemist’ කෘතියේ එක් තැනක මෙසේ පවසනවා.

“ඔබට සැබෑවටම යමක් අවශ්‍ය වේ නම්, එය ඔබ වෙත ලඟා කර දීමට මුළු මහත් විශ්වයම ඒකරාශී වෙයි” ඉතින් අපේ කතා නායිකාව, යුස්රා, ඒ කියමන සැබෑවක් බව ඔප්පු කරන ජීවමාන සාධකයක් කියා සිතීම ගැන ඔබ පුදුම වෙන්නේ නැහැ නේද?

කවරයේ පින්තුරය: The Guardian

Related Articles