Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෞදියේ ශ්‍රේෂ්ඨතම රජු: ෆයිසාල්

සෞදි පවුල විසින් නිර්මාණය කළ රාජ්‍යය සෞදි අරාබිය ලෙස හැඳින්වේ. ආරම්භක අවධියේ පටන්ම මෙහි පාලනය සිදුවන්නේ රජ පවුලක් මඟිනි. ඉතිහාසය පුරාවට සෞදියේ ශ්‍රේෂ්ඨතම රජු විදිහට සැලකෙන්නේ ෆයිසාල් රජු ය. බොහෝ දෙනාගේ විවේචන මැද සෞදියට නව තාක්ෂණය සහ එරටට සාපේක්ෂ ව විප්ලවකාරී දෑ හඳුන්වා දී ක්‍රියාත්මක කළේ ය. මෙම සියලු දේ නිසා සුප්‍රකට ටයිම් සඟරාව විසින් ෆයිසාල් රජු ව ‘වසරේ මිනිසා’ ලෙස නම් කිරීමට මැළි වූයේ නැත. අවසානයේ ඔහුගේ සියලු කර්තව්‍යයන් නිසා තම පවුලේ සාමාජිකයෙක් විසින් ම ෆයිසාල් රජු ව ඝාතනය කරයි. මේ ඔහුගේ කතාව යි.

මුල්කාලීන ජීවිතය

ෆයිසාල් බින් අබ්දුලාසිස් උපන්නේ 1906 අප්‍රේල් මස 14 වන දින රියාද් හි දී ය. ඔහු එවකට සෞදි අරාබියේ සිටි රජු වූ අබ්දුලාසිස් රජුගේ තුන්වන පුත්‍රයා විය. අබ්දුලාසිස් රජු 1902 දී රියාද් අල්ලාගැනීමෙන් පසු එහි සිටි ෆයිසාල්ගේ මව ව විවාහ කරගනියි. ඇය 1912 දී එනම්, ෆයිසාල්ගේ කුඩාකල දී ම ඇය මිය යයි. 1919 දී බ්‍රිතාන්‍යය ආණ්ඩුව අබ්දුලාසිස් රජුට ලන්ඩනයට පැමිණීමට ආරාධනා කරයි. නමුත් මේ වන විට රජු රෝගී ව සිටි නිසා රජු ව නියෝජනය කිරීමට යන්නේ ෆයිසාල් කුමරු ය. සෞදි රජ පවුලෙන් බ්‍රිතාන්‍යයට පැමිණි ප්‍රථමයා ලෙස එම ගමනෙන් සනිටුහන් වෙනවා. බ්‍රිතාන්‍යය පාලකයන් හමු වූ පසු ඔහු එතැනින් ප්‍රංශය බලා පිටත් වේ. එම ගමනෙන් ද සෞදි රජ පවුලෙන් ප්‍රංශයට පැමිණි ප්‍රථමයා ලෙස ෆයිසාල් කුමරුගේ නම ඉතිහාසයට එක් වේ.

ෆයිසාල් කුමරු කුඩා අවධියේ දී (kff.com)

මුල්කාලීන අත්දැකීම්

අබ්දුලාසිස් රජුගේ වැඩිමහල් පුත්‍රයන්ගෙන් කෙනෙක් වූ නිසා ඔහුට අරාබියේ පාලනය පිළිබඳ නොයෙක් වගකීම් රජු විසින් පවරන ලදී. 1922 වන විට හේල් ප්‍රදේශය අල්ලාගෙන අසීර් ප්‍රදේශය අල්ලාගැනීමේ කටයුතුවල නිරත වෙමින් පැවතුණි. එම වසරේ දී අබ්දුලාසිස් රජු ෆයිසාල් ව සටන්කරුවන් හයදහසක් සමග අසීර් වෙත යැවූ අතර වසර අවසාන වන විට අසීර් හි සම්පූර්ණ ආධිපත්‍යය ඔවුන් අතට ගැනීමට ෆයිසාල් සමත් විය.

ඉන්පසු ඔහු විසින් හමුදාව මෙහෙයවා තවත් ප්‍රදේශ කිහිපයක් ම අත්පත් කරගන්නා ලදී. 1930 දී ෆයිසාල් ව තම පියා විසින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරයට පත් කළේ ය. (පසුකාලීන ව ෆයිසාල් කුමරු රජ වී මිය යෑමට වසර දෙකකට පෙර දක්වා ම මෙම තනතුර හොබවන ලදී.) මෙම කාලය තුළ ෆයිසාල් කුමරු කිහිප වතාවක් ම යුරෝපයේ රාජ තාන්ත්‍රික සබඳතා තර කිරීමට සංචාරය කළ අතර 1933 දී රුසියාවට ද ගියේ ය.  

ෆයිසාල් රජු (pinterest.com)

ඔටුන්න හිමි කුමාරයා හා අගමැති ලෙස

සාමාන්‍යයෙන් කුමන හෝ රටක රජ පවුලක රජකම හිමිවන්නේ පියාගෙන් වැඩිමහල් පුතාට යි. මෙයින් වෙනස් වූ ක්‍රමයකට රජකම හිමිවන රටවල් නොතිබුනා නොවේ. නමුත් සාමාන්‍ය ක්‍රමය එය යි. සෞදි රජ පවුල මෙයින් බැහැර වූ ක්‍රමයක් අනුගමනය කරයි. එහි දී රජ කෙනෙක් මියගිය පසු රජකම හිමිවන්නේ කාටදැ යි කියා රජ පවුලේ සාමාජිකයන් එක් වී සාකච්ඡා කර වඩා හොඳ පුද්ගලයා තෝරා ගනියි. ඒ අනුව අබ්දුලාසිස් රජතුමාගෙන් පසු රජකම ෆයිසාල්ගේ වැඩිමහල් සහෝදරයා වූ සවුද් හට ලැබුණු අතර ෆයිසාල් ව ඔටුන්න හිමි කුමාරයා බවට නම් කරන ලදී.

සවුද් රජු එතරම් දක්ෂ පාලකයෙක් වූයේ නැත. අනෙක් රාජ්‍යයන් සමග ඇති රාජතාන්ත්‍රික සබඳතා දුර්වල වන ආකාරයේ ක්‍රියාපිළිවෙත් අනුගමනය කළ අතර රියාද් හි රජ පවුලට මාළිගයක් සෑදීම වැනි රටේ දේපළ රජ පවුලේ උන්නතිය උදෙසා පමණක් යොදාගැනීම් ආකාර දෑ කළේ ය. සවුද් රජුගේ මෙම ක්‍රියා කලාපය රටේ ආර්ථිකයට හා රාජ තාන්ත්‍රික සබඳතාවලට අහිතකර ලෙස බලපාවියැ යි සිතා රජ පවුලේ සාමාජිකයන් හා ආගමික නායකයන් විසින් සවුද් රජුට කියා සිටියේ ෆයිසාල් කුමරු ව රටේ අගමැති කරන ලෙස යි. ඒ අනුව 1958 දී ෆයිසාල් කුමරු රටේ අගමැති වූ අතර එනයින් ඔහුගේ බලතල වර්ධනය විය.

ෆයිසාල් රජු එළිසබෙත් රැජිණ සමග (pinterest.com)

සවුද් රජු තමන්ගේ ආර්ථික වැඩපිළිවලට අතගසා ඒවා වළක්වනවා කියා වාද කර ෆයිසාල් කුමරු 1960 දී අගමැති ධූරයෙන් ඉල්ලා අස් විය. නමුත් රජ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත ෆයිසාල් තුළ වූ බැවින් 1962 දී හේ දෙවන වරට අගමැති ධූරයට පත් විය. තමන් රටේ රජතුමා නොවූව ද අගමැති ලෙස රට නව්‍යකරණය කරා යොමු කළේ ය. ඔහු ප්‍රථම වතාවට 1963 දී සෞදියට රූපවාහිනිය හඳුන්වා දුන් අතර රූපවාහිනී විකාශන මධ්‍යස්ථනයක් ද ඇරඹී ය. මෙය රටේ ආගමික නායකයින්ගේ හා බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ නමුත් එයින් ෆයිසාල් කුමරු ව නැවැත්විය හැකි වූයේ නැත. 1961 දී මදීනා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අතහිත ලබා දුන්නේ ය. මීට පෙර අවධිවල දී මෙරටේ කාන්තාවන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබුණේ නැත. ෆයිසාල් කුමරු විසින් ප්‍රථම වතාවට සෞදියේ කාන්තාවන් සඳහා පාසල් නිර්මාණය කළේ ය.

සෞදිය නිර්මාණය වීමටත් පෙර මෙම ජන කණ්ඩායම්වල මූලාරම්භයේ පටන් ම තිබූ දෙයකි වහල් වෙළඳාම. පළමු වතාවට ෆයිසාල් කුමරු විසින් 1962 දී සෞදිය තුළ වහල් වෙළඳාම තහනම් කරන ලදී. බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට එකල වහලුන් 1682 දෙනෙක් නිදහස් කර තිබේ. මෙසේ එක් වහලෙක් නිදහස් කිරීම සඳහා එකල වටිනාකමින් ඇමරිකානු ඩොලර් 2000ක මුදලක් වැය වී තිබේ.

රජතුමා සමග ගැටුම්

මෙකල වන විට සවුද් රජතුමා හා ෆයිසාල් කුමාරයා අතර ඇති මතභේද දරුණු වන්නට ගත්තේ ය. 1963 වසරේ මුල්කාලයේ දී සවුද් රජතුමා තම සෞඛ්‍ය හේතු මත රටින් පිට ව ප්‍රතිකාර ගන්නට ගොස් සිටි කාලය තුළ ෆයිසාල් කුමරු උපරිම ප්‍රයෝජන ගත්තේ ය. ඉහත තනතුරුවල සවුද්ට පක්ෂපාතී ව සිටි අය තනතුරුවලින් නෙරපා ෆයිසාල්ට හිතවත් අය පත්කරන ලදී. ආගමික නායකයන්ගේ ද සහය මේ වන විට ෆයිසාල් දිනාගෙන සිටියේ ය. සවුද් රජතුමා නැවත සෞදියට පැමිණි පසු ෆයිසාල් කුමරු ඔහුට පවසා සිටියේ තමන්ට රාජ්‍ය පාලනය ලබාදෙන බව යි. සවුද් රජතුමා මෙය ප්‍රතික්ෂේප කළ නිසාවෙන් ආරක්ෂක සෙබළු ලවා සවුද් රජු සිටි මාළිගය වටලන්නට විය. ආරක්ෂක අංශයත් මේ වන විට බාර ව සිටියේ ෆයිසාල්ගේ සහෝදරයෙකු වූ අබ්දුල්ලා කුමරු යටතේ ය. අවසානයේ දී ෆයිසාල් කුමරු හට රජකම හිමි වූ අතර සවුද් රජතුමා ව ග්‍රීසියට පිටුවහල් කළේ ය.

ෆයිසාල් රජු ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් සමග

සෞදියේ රජු ලෙස

“සහෝදරවරුනි, සහෝදරයෙක් හා සේවකයෙක් ආකාරයට මා දෙස බලන ලෙස යටහත් පහත් ව අයැද සිටිනවා. රාජකීය බලය ඇත්තේ දෙවියන්ට පමණයි. කිරුළ වන්නේ ස්වර්ගය හා පෘථිවිය යි.”

මේ 1964 නොවැම්බර් 2 දින ෆයිසාල් කුමරු රජ වී සුළු වේලාවකට පසු පැවැත්වූ කතාවක කුඩා කොටසකි.

හැකි සෑම අවස්ථාවක දී ම පාහේ සෞදියට නවීකරණය ගෙන එන්නට ෆයිසාල් රජු උත්සාහ කළේ ය. පෙර දී සඳහන් කළ ආකාරයට බොහෝ දෙනාගේ විරුද්ධත්වය මැද සෞදියට රූපවාහිනිය හඳුන්වා දුන්නේ ය. ෆයිසාල් හතර වතාවක් විවාහ වූ අතර ඔහුගේ තුර්කි බිරිදගේ (දෙවන වර විවාහය) මඟපෙන්වීම ද සමග සෞදි කාන්තාවන්ට ප්‍රථම වතාවට පාසල් ඇති කළේ ය. එකල උසස් පවුල්වල සෞදි පිරිමින් අධ්‍යාපනය සඳහා පිටරට යෑම සාමාන්‍ය දෙයකි. ෆයිසාල් කුමරු විසින් මෙය අඩපණ කර උසස් පවුල් පිරිමින්ට සෞදිය තුළ ම අධ්‍යාපනය ලැබීමට යොමු කළේ ය.

සෞදිය සමන්විත වූයේ විවිධ ජන කණ්ඩායම්වල එකතුවක් ලෙස යි. නමුත් මෙම ජන කණ්ඩායම්වලට සමාන සැලකුම් ලැබුණේ නැත. ෆයිසාල් රජු මෙම ජන කණ්ඩායම් එක්සත් කළ අතර සමාන සැලකුම් ලබන තත්ත්වයකට ගෙනාවේ ය. නමුත් අවාසනාවකට ෆයිසාල් රජුගෙන් පසු අද දක්වා ම මෙම ජන කොටස්වලට සමාන සැලකුම් නොලැබේ. පෙර දී පැවසූ ආකාරයට ෆයිසාල් රජුට රාජ්‍ය බලය ලබා ගැනීමට ආගමික කණ්ඩායම් උපකාර කළේ ය. නමුත් ඔහුගේ විප්ලවකාරී ක්‍රියාමාර්ගවලට මෙම ආගමික නායකයින් ද විටෙක විරුද්ධ වූ නිසා (කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීම වැනි) ඔවුන්ගේ බලතල ක්‍රමක්‍රමයෙන් නිශේධනය කිරීමට ෆයිසාල් රජු පියවර ගත්තේ ය.

ෆයිසාල් රජු ගඩාෆි සමග (pinterest.com)

තම පියාගේ කාලයේ මෙන් ෆයිසාල් රජු ඇමරිකාව සමග මුල්කාලයේ දී කිට්ටු රාජ තාන්ත්‍රික සබධතාවක් තබා ගත්තේ ය. මොහු සමාජවාදය ප්‍රිය නොකළ අතර ඒ නිසා රුසියාව සමග රාජතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගත්තේ නැත. 1970 දී අබ්දුල් ගමාල් නසාර් මියයාමෙන් අනතුරුව ඊජිප්තුවේ නව ජනාධිපති ලෙස අන්වර් සදාත් පත් විය. ෆයිසාල් රජු ඔහුට කිට්ටු වූ අතර අන්වර් 1973 දී අරාබි ඊශ්‍රායෙල් යුද්ධය දියත් කළේ ය. මෙම යුද්ධයේ දී බටහිර රටවල් ඊශ්‍රායලයට සහයෝගය දැක්වූ නිසා එයට විරුද්ධත්වය පෑමට ෆයිසාල් රජු බටහිර රටවල්වලට තම රටෙන් තෙල් ලබාදීම නතර කළේ ය. 1973 දී ඇතිවූ උග්‍ර තෙල් හිඟයට හේතු වූයේ මෙය යි. මේ නිසා ඔහු අරාබිකරයේ රටවල්වල ගෞරවාදරයට පාත්‍ර විය. 1974 දී ෆයිසාල් රජු ව ටයිම් සඟරාව විසින් ‘වසරේ මිනිසා’ ලෙස නම් කරනු ලබයි.

ඝාතනය

ෆයිසාල් රජු ව ඝාතනය කරන ලද්දේ ඔහුගේ ම බෑණා කෙනෙක් වූ ෆයිසාල් අල් සාවුද් විසිනි. ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය ලද අයෙක් වූ අතර ෆයිසාල්ගේ දේශපාලනයට කැමැත්තක් දැක්වූයේ නැත. 1975 මාර්තු 25 වැනි දා රියාද් නගරයේ පිහිටි රජ මාළිගයට ගිය අල් සාවුද් කුමාරයා තම මාමා වූ ෆයිසාල් රජතුමා හමුවීමට අවශ්‍ය බව කීය. රජතුමා වෙත ඔහු ගෙනයන ලදු ව තම බෑණා හඳුනාගත් ෆයිසාල් රජතුමා ඉස්‌ලාමීය රාජකීයයන්ගේ ඥතිත්ව සම්ප්‍රදායට අනුව සිය බෑණාට සිපාචාර පැවැත්වීමට පහසුවන පරිදි හිස පහත් කළේ ය. එවිට තම ලෝගුව තුළින් පිස්‌තෝලයක්‌ ඇදගත් අල් සාවුද් කුමාරයා රජුගේ මුහුණට දෙවරක් වෙඩි තිබ්බේ ය. එක් උණ්ඩයක් කම්මුල හරහා ගිය අතර අනෙක කනට වැදුණේ ය.

ටයිම් සගරාවේ කවරය (pinterest.com)

තම මරණ මංචකයේ දී ද ෆයිසාල් රජු පවසා සිටියේ ඔහු ව නොමරණ ලෙස යි. නමුත් අවසානයේ දී ඔහු ව හිස ගසා ඝාතනය කරන ලදී. තමන් ව ඝාතනය කිරීමට මොහු තැත් කරන බව ෆයිසාල් රජු කල්තියා දැනගත්තේ ය. ඝාතකයා ඔහුගේ මව සමග තමන් රජු ව ඝාතනය කිරීමට යන බව පවසා ඇති අතර ඇය එම තොරතුර ෆයිසාල් රජු හට පවසා ඇත. එවිට ෆයිසා රජු පවසා ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත එය නම් එය එසේ ම සිදුවේවි කියා යි.

මෙම ඝාතනය පිටුපස ඇමරිකාව සිටින බව එකල අරාබි පුවත්පත් මඟින් හෙළි කළ අතර, ෆයිසාල් රජු විසින් බටහිර රටවල්වලට සැපයූ තෙල් නැවැත්වීම ඝාතනයට මූලික හේතුවක් වූ බව නොරහසක්. ෆයිසාල් රජුගෙන් පසු ව සිටි පාලකයන් ඔහු විසින් ඇති කරන ලද සමහර ප්‍රතිසංස්කරණ නිශේධනය කළේ ය. සෞදි ඉතිහාසයේ මෙන්ම ලෝක දේශපාලනයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් ෆයිසාල් රජුගේ ජීවිතය මෙතැනින් අවසන් විය.

මූලාශ්‍රයයන්:

  1. දිවයින පුවත්පත
  2. economist.com
  3. bbc.com
  4. history.com
  5. Youtube හි ඇති වාර්තා වැඩසටහන්

කවරයේ පින්තූරය: karsh.org

Related Articles