Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නූතන ගෘහනිර්මාණ ශිල්පයේ විශ්වකර්මයා: මෝෂේ සෆ්ඩි

කොළඹ නගරයට ජාත්‍යන්තර වටිනාකමක් එකතු කරමින්, මේ දිනවල බේරේ වැවට නුදුරින් ඉදිවෙන ඇලවුණු ගොඩනැගිල්ල ඇත්තෙන්ම හරිම පුදුමසහගත යි. ඒ මනස්කාන්ත නිර්මාණයේ නිර්මාණකරු, ලොව අංක එකේ ගෘහ නිර්මාණ ශිල්පයෙකු වන මෝෂේ සෆ්ඩි යි.

දිවියේ මුල් සමය 

මෝෂේ සෆ්ඩි 1938 ජූලි 14 වන දින ඊශ්‍රායලයේ හයිෆාහි දී, ඊශ්‍රායල හා කැනේඩියානු-ඇමරිකානු සම්භවයක් සහිත පවුලක උපත ලැබීය. වයස අවුරුදු පහළොව දී ඔහු සිය පවුල සමග කැනඩාවේ මොන්ට්‍රියල් නගරයට සංක්‍රමණය වූ අතර වෙස්ට්මවුන්ට් උසස් පාසලෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කළේ ය.

මෝෂේ සෆ්ඩි/Wikimedia 

 

මොන්ට්‍රියල්හි මැක්ගිල් විශ්වවිද්‍යාලයයේ ගෘහනිර්මාණ ශිල්ප අධ්‍යයන ආයතනයට එක්වූ ඔහු විශ්වවිද්‍යාලයයේ පස්වන වසරේ දී ශිෂ්‍යත්වයක් දිනාගත් අතර, එයින් ඔහුට උතුරු ඇමරිකාවේ සංචාරය කරමින් නිවාස ව්‍යාපෘති හා ප්‍රධාන නගර අධ්‍යයනය කිරීමේ අනගි අවස්ථාව උදාවිය. අවසාන වසර සඳහා මෝෂේ විසින් සම්පාදනය කළ, ත්‍රිමාණ ආකාරයේ ගොඩනැගිලි පද්ධතියක් පිළිබඳව ලියැවුණු “A Case for City Living” නම් වූ නිබන්ධනය පසුකලෙක ඔහුගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය. ඔහු කලක් ලුයිස් අයි. ඛාන් නමැති සුප්‍රකට හා ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පයා යටතේ පුහුණුව ලබාගත්තේ ය. 

මේ අතර මෝෂේගේ නිබන්ධනය සඳහා උපකාර කළ සැන්ඩි වෑන් ගින්කල්ගේ ආරාධනයකට අනුව, මෝෂේ සිය නිබන්ධනයේ අන්තර්ගත වූ Habitat-67 නම් ව්‍යාපෘතිය 1967 ලෝක ගෘහනිර්මාණ ශිල්ප ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේ ය. මෙම නව ව්‍යාපෘතිය මෝෂේගේ දිවියේ පමණක් නොව, ගෘහනිර්මාණ ශිල්ප ක්ෂේත්‍රයේ ද නවමු මංමාවත් විවර කරන ලද්දක් බවට පත්විය. එය ලොවට ත්‍රිමාණ හා පෙර සැකසූ ගෘහනිර්මාණ ශිල්ප ක්‍රමය හඳුන්වා දුනි. ලොව බොහෝ ජනප්‍රිය නගරවල ජන ඝනත්වය තීව්‍ර ලෙස ඉහළ යමින් තිබූ කලෙක නව නාගරීකරණ කලාවක් මෝෂේ හඳුන්වාදුන් අතර, එහි වූ අවකාශ කළමනාකරණය, ගෙවතු අවකාශ කළමනාකරණය, හා විශාල අසල්වැසි ප්‍රජාවක් නිර්මාණය වන පරිදි කළ සැලසුම්කරණය වැනි ලක්ෂණ නිසා කෙටි කලකින් බොහෝදෙනා එම නව මොඩලය වැළඳගනු ලැබුණි.

කැනඩාවේ මොන්ට්‍රියෙල්හි පිහිටි Habitat 67/The Spaces

තම ගෘහ නිර්මානකරණ ආයතනය ඇරඹීම 

මේ අතර මෝෂේ ස්වකීය ගෘහනිර්මාණ සේවා ආයතනය පිහිටුවනු ලැබුවේ ය. ඒ, “Safdie Creations” නමින් මොන්ට්‍රියල්හි දී ය. 1970 දී එහි ශාඛාවක් ජෙරුසලමේ දී විවෘත කෙරෙන අතර, එනිසා ඔහුට ඊශ්‍රායලයේ බොහෝ නව ව්‍යාපෘතිවලට එකතුවීමට අවස්ථාව උදාවිය. පැරණි ජෙරුසලම ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල කාර්යභාරයක් ඉටුකළ මෝෂේ නව ජෙරුසලම නගරය පිහිටුවීමට ද සිය දායකත්වය ලබා දුන්නේ ය. එසේම මේ නගර සම්බන්ධ කරමින් නිර්මාණය වූ මැමිලා සෙන්ටර් නම් අක්කර 28ක ප්‍රදේශය ද මෝෂේගේම නිර්මාණයක් විය. ඔහුගේ අද්විතීය නිර්මාණකරණයෙන් වශීකෘත වූ ඊශ්‍රායලය, ඔවුන්ගේ රටේ තවත් වැදගත් ඉදිකිරීම් කිහිපයකම නිර්මාණකරණ වගකීම මෝෂේ වෙතම පැවරුවේ ය. ඒ අනුව, මෝෂේ ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ඊශ්‍රායල ජාතික පුරාවිද්‍යා විශ්වවිද්‍යාලයය, නව මෝඩි නගරය, යාද් වශේම් ඓතිහාසික කෞතුකාගාරය, යිට්සාක් රාබින් ඊශ්‍රායල අධ්‍යනායතනය ආදී වැදගත් ස්ථාන කිහිපයකම නිර්මාණකරු බවට පත්විය. 

නව නූතනවාදියෙකු වූ මෝෂේ නිරන්තරයෙන්ම සම්ප්‍රදායට එහා ගිය යමක් ස්ථාපිත කිරීමට වෙරදැරූවකු ලෙස ප්‍රකට ය. ආර්ථික පසුබිමකට වඩා වටිනා මානුෂ පසුබිමක් නාගරික පරිසරය තුළ ගොඩනැගීම, ඔහු සිය අභිමතාර්ථය බවට පත්කරගෙන සිටියි. ඒ නිසාම ඔහුගේ සෑම නිර්මාණයක්ම නූතනවාදයේ හා ස්වාභාවිකත්වයේ රසවත් සම්මිශ්‍රණයක් බව කිවයුතුම ය.

මෝෂේ සෆ්ඩිගේ නිමැවුම් 

උතුරු ඇමරිකාව පුරා සිය ආධිපත්‍යය පතුරවාලීමට සමත්වීම, මෝෂේ සෆ්ඩිගේ වෘත්තීය ජීවිතයේ තවත් කඩයිමක් ලෙස හැඳින්විය හැකිය. තම සේවාදායකයාගේ අවශ්‍යතා, උවමනා මෙන්ම කැමැත්ත හඳුනාගැනීමට ඔහුට තිබූ මහඟු හැකියාව නිසාම කැනඩා ජාතික කලාගාරය, ක්විබෙක් ශිෂ්ටාචාර කෞතුකාගාරය, චැන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්වර්ණාභරණ වෙළඳපොල, වෑන්කුවර් පුස්තකාල චතුරස්‍රය, කල්සා උරුම අනුස්මරණ සංකීර්ණය, පන්ජාබයේ සීක් ජාතික කෞතුකාගාරය, වොෂින්ටනයේ එක්සත් ජාතීන්ගේ සාම කාර්යාලය, ක්‍රිස්ටල් බ්‍රිජස් කෞතුකාගාරය වැනි සුවිසල් ව්‍යාපෘති ඔහුට හිමිවුණි.

යාද් වශෙම්/The Times of Israel

 

මෝෂේගේ නිර්මාණ අතර කැපී පෙනෙණු යාද් වශේම් ඓතිහාසික කෞතුකාගාරය ජ්‍යාමිතිකව ත්‍රිකෝණාකාර ප්‍රිස්මයකි. එහි භූගත ගුහා තුළ ශාඛා කරන ලද කුටි රාශියක් දැකගත හැකිය. 

කල්සා අනුස්මරණ සංකීර්ණය ගොඩනගද්දී මෝෂේ විසින් වසර දෙකක් සීක් සංස්කෘතිය අධ්‍යයනය කෙරුණු බව ඇසීමත් පුදුම සහගත ය. එසේ කළ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ජලාශ්‍රිත ගොඩනැගිලි සංකීර්ණයක් නිමවන්නේ සීක් සංස්කෘතියට ආවේණික වූ තවත් ලක්ෂණ කිහිපයක්ම ඊට ඔබ්බවමිනි.

වරෙක එක්සත් ජාතීන්ගේ සාම කාර්යාලයේ සැලසුම්කරණය පිළිබඳ කළ සාකච්ඡාවක දී මෝෂේ පවසන්නේ එය හුදු ගොඩනැගිල්ලක් නොවී, එය දකින්නාට ද සැහැල්ලු, මෘදු හැගීම් දනවන්නක්, සාමය ගෙන එන්නක් විය යුතු බව තමා පෙර සිටම විශ්වාස කළ බව යි. මේ සියල්ලෙන් පෙනෙන්නේ ඔහු ගොඩනැගිල්ලකට මානුෂත්වය ආරෝපණයට ගත් උත්සාහය යි.

 

විසි එක්වන සියවසේ මෝෂේගේ හොඳම නිර්මාණ අතරට එකතු වන සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස්  හෝටල් සංකීර්ණය කුලුණු ත්‍රිත්වයක් මත පිහිටි, මීටර එකසිය පනහක් පමණ දිග පිහිනුම් තටාකයකින් ද සමන්විත ගොඩනැගිල්ලකි. ලොව වැඩිම වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල වන මෙය හෝටල් පරිශ්‍රයක්, ප්‍රදර්ශන කුටි, සිනමා ශාලා, විනෝද ශාලා, භෝජනාගාර මෙන්ම නෙළුම් මලක හැඩය ගත් කලා හා විද්‍යා කෞතුකාගාරයකින් ද යුක්ත ය. එපමණක් නොවේ; ඔහු මෙය ගොඩනැගීමේ දී සාම්ප්‍රදායික ෆෙන්ෂුයි විශේෂඥයින්ගෙන් පවා උපදෙස් ලැබූ බව කියැවේ.

මරීනා බේ සෑන්ඩ්ස්/South China Morning Post

මෝෂේ කෞතුකාගාර නිර්මාණ කලාවේ ද ප්‍රවීණයෙකි. එකිනෙකට වෙනස් බොහෝ අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණ කළ ඔහු ඒවාට එකිනෙකට වෙනස් ලක්ෂණ ද ආරෑඪ කරනු ලැබුවේ ය. මෝෂේ කැනඩා ජාතික කලාගාරය නිර්මාණයට වීදුරු හා ග්‍රැනයිට් භාවිත කළ අතර මැසචුසෙට්ස්හි පීබොඩි එසෙක්ස් කෞතුකාගාරයට ඔහු වීදුරු හා ගඩොල් භාවිත කළේ ය. ඔහුගේ නිර්මාණවල ඒ ඒ රටට ආවේණික ස්වදේශික ගෘහ නිර්මාණ ලක්ෂණ නිතරම පාහේ ඇතුළත්වේ. එසේම ඔහු දැව හා වීදුරු භාවිත කරමින් තැනූ ක්‍රිස්ටල් බ්‍රිජස් කෞතුකාගාරය කාබනික ගෘහනිර්මාණ ශිල්පයේ කූටප්‍රාප්තිය යි.

ලැබූ ත්‍යාග සහ සම්මාන 

මේ සා අපූර්ව නිර්මාණකරුවෙකු වූ මෝෂේ, මැක්ගිල්, බෙන් ගූරියන්, යේල් ආදී විශ්වවිද්‍යාල කිහිපයකම සිය දැනුම හා අත්දැකීම් බෙදාහරියි. දශක ගණනාවක් මුළුල්ලේ මේ දක්වා මෝෂේගේ නිර්මාණ කාර්යයන්ට ලැබුණු පිළිගැනීම හා වටිනාකම ඔහුට ලැබුණු ත්‍යාග හා තනතුරුවලින් කියාපායි. ගෞරව ආචාර්ය උපාධි ගණනාවකින්ම පිදුම් ලද මේ අපූරු මිනිසා, කැනඩාවේ හා ඇමරිකාවේ රාජකීය ගෘහනිර්මාණ ශිල්ප ආයතනවලින් රන් පදක්කම් දිනාගෙන තිබේ. ජීවිතයටම එක් වරක් ලැබෙන කූපර් හෙවිට් ජාතික නිර්මාණකරණ සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා තිබේ. ගෘහනිර්මාණ ශිල්ප උදෙසා පිරිනමන වුල්ෆ් ත්‍යාගය, ලිබර්ටි විද්‍යායතනයේ උසස් ත්‍යාගය වැනි ඉතා වටිනා සම්මාන සිය ගණනක් තම දක්ෂතාවය මත තමා සතු කර ගන්නට ද ඔහු සමත්විය. එපමණක් ද නොවේ; මේ ක්ෂේත්‍රය සම්බන්ධ තමා සතු දැනුම් සම්භාරය බෙදාහදා ගැනීම සඳහා ඔහු විසින් ග්‍රන්ථ රාශියක් ද රචනාවී තිබේ.

ඉතින්, මේ වන් ප්‍රවීණයෙකුගේ බුද්ධියේත් නිර්මානකරණයේත් අග්‍රඵලයක් ලෙස ගොඩනැගුණු නිර්මාණයක් අප රටට ද හිමිවීම අප ලද භාග්‍යයක් නොවේ ද?

මූලාශ්‍රයයන්: Dream cities-Wade Graham

safdiearchitects.com/

Related Articles