ජෝන් කොතලාවලගේ දේශපාලන දිවියේ රස කතා

ලංකාවේ තෙවන අගමැතිවරයා ලෙසින් කටයුතු කළ ජෝන් කොතලාවල එඩිතර, විනෝදකාමී පුද්ගලයෙකු බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. 1931 වසරේ දි පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වුණු ජෝන් කොතලාවල 1950 දශකය අවසන් වන තුරුම දේශපාලන පිටියේ රැඳී සිටියා. එම කාල සමය තුළ දී ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වුණු මෙම නායකයාගේ දේශපාලන දිවිය සම්බන්ධ රස කතා රැසක් තිබෙනවා. පහත දක්වන එම කතා තුළින් අද සහ එදා දේශපාලනයේ තිබෙන වෙනස ඔබට වටහාගැනීමට හැකිවනු ඇති. 

1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී සුද්දන්ව කටින් මට්ටු කිරීම

1931 වසරේ පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා කුරුණෑගල ආසනයෙන් තරග කිරීමට ජෝන් කොතලාවල තීරණය කළා. ලාංකීය ජනයාට මුල්මවරට ඡන්ද අයිතිය ලැබුණු මැතිවරණය එය වුණු නිසා ඒ වන විට ජනතාවට මැතිවරණයක් යනු කුමක්‌දැ යි අවබෝධයක් තිබුණේ නැහැ. එම නිසා එකල මෙරට තුළ බලවත්ව සිටි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය දිවයින පුරාම ඡන්ද රැස්වීම් පවත්වා, මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විමසා සිටියා. එහි දී ඔවුන්ට වඩාත් ගැලපෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට සහාය දීමට වැවිලිකරුවන්ගේ සංගමය තීරණය කළා. එම රැස්වීම් මාලාව යටතේ පැවති එක් රැස්වීමක් කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වුණා. ඒ සඳහා සහභාගි වුණු කොතලාවල සිය කතා වාරය ලැබෙන තුරු නිසොල්මනේ බලා සිටියා. 

එදා කොතලාවලට පෙර කතා වාරය ලැබී තිබුණේ සිංහල නොතාරිස්වරයෙකුට යි. එම නොතාරිස්වරයා තම කතාව ඇරඹීමට පෙර එක් එක් සුද්දා ඉදිරියට ගොස් වැඳවැටී නමස්කාර කළා. ඉන් පසුව ඔහු බැගෑපත් හඬින් සිය කතාව අරඹමින් ප්‍රකාශ කර සිටියේ තමා කුරුණෑගල මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වුවහොත් “සුදු මහත්තුරුන් කියන විදිහටම වැඩකිරීමට කැමති” බව යි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ නොතාරිස්වරයා පවසා සිටියේ, “සිංහලයන්ට වැරදී ඇත්තේ සුදු මහත්වරුන් කියන විදිහට වැඩ නොකිරීමෙන්” බව යි. එසේම,  “සිංහලයන් කවදා හෝ දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ සුදු මහත්වරුන් කියන හැටියට වැඩ කිරීමෙන්” බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. අනතුරුව නැවතත් සුද්දන්ට වැඳවැටී නමස්කාර කළ එම නොතාරිස් වේදිකාවෙන් බැසගිය පසු පැමිණියේ කොතලාවලගේ වාරය යි. මෙම උත්සවය සඳහා කොතලාවල කතාවක් සූදානම් කරගෙන පැමිණියත්, නොතාරිස්වරයා තම ජාතිය පහත හෙලමින් කළ කතාව නිසා ඔහුගේ රතු කට්ට පැන තිබුණා. එම නිසා කොතලාවල සූදානමින් සිටි කතාව වෙනුවට වෙනත් කතාවක් සිදුකළා.

සුදු ජාතිකයන් ඉදිරියේ නොබියව සිය කතාව ඇරඹි කොතලාවල පෙර කී නොතාරිස්වරයාට සහ සුදු ජාතිකයන්ට ද මෙලෙස දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළා.

මට කලින් කතා කළ සිංහල මහතා ජාතියටම නින්දාවක් කළා. ඒ විදියේ සිංහල බල්ලන් මන්ත්‍රණ සභාවට යැව්වොත් අපේ රට නම් විනාශ වෙන එක විනාශ වෙනවාම යි. දැන් අපට පැවරිල තියෙන්නෙ වැදගත් කටයුත්තක්. අපට මෙවර යන්න වෙලා තියෙන්නෙ ජාතියට නිදහස දිනාගැනීමේ සටනකට යි. මම කොහොම වුණත් මේ පාර කුරුණෑගල ආසනය දිනල, මන්ත්‍රණ සභාවට යන එක යනවාම යි. හැබැයි ඒ යන්නෙ මට කලින් කතා කරපු කැණහිලා කියපු දේවල් කරන්න නෙවෙයි. එංගලන්තෙ ඉඳල ආපු උඹල මේ රටින් එලවල දාන්න යි. ශීලාචාර විදිහට බැරිනම්, ගුටි ගහල පෙති ගහල හරි තොපි එළවල දාන්න යි!

එම අවස්ථාවේ එම කතාවට සවන් දුන් වතු අධිකාරීවරුන් දැඩිලෙස කෝපයෙන් දැවෙද්දී ඉදිරියට පැමිණි ඩයිසන් නම් ප්‍රධාන වතු අධිකාරිවරයා, “මගෙ දෑසට නොපෙනී පලයන්!” කියා කොතලාවලව එළවාගත්තත්, එදා කොතලාවල කළ බව පැවසෙන එම ප්‍රකාශය ප්‍රදේශයේ ජනතාව අතර කටින් කට ප්‍රචාරය වන්නට වුණා. එම නිසා වැඩි ඡන්ද 9045කින් කුරුණෑගල ආසනය ජයග්‍රහණය කිරීමට කොතලාවලට අවස්ථාව ලැබුණා.

පක්ෂයේ ප්‍රබලයෙකු සමග යළි මිතුරු වුණු හැටි 

1947 වසරේ දී බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජයේ ගමනාගමන සහ ප්‍රසිද්ධ වැඩ අමාත්‍යධුරය හිමි වුණේ ජෝන් කොතලාවලට යි. එකල පක්ෂයේ තවත් ප්‍රබලයෙකු වුණු සිරිල් ද සොයිසා සෙනෙට් සභාව නියෝජනය කළා. දිනක් යම් කිසි සිදුවීමක් දුරදිග යාම නිසා කොතලාවල සහ සොයිසා අමනාප වුණා. එකල මෙරට අගමැතිවරයා ලෙසින් කටයුතු කළ ඩී. ඇස්. සේනානායක (සේනානායක ගැන වැඩි තොරතුරු මේ ලිපියෙන්: රටට නිදහස ලබාගත් ජ්‍යෙෂ්ඨය අසමත් අගමැති) ඔවුන් දෙදෙනාව සමගි කරවීමට කෙතරම් උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. එලෙස ඔවුන් දෙදෙනා සමගි නොවීමට ප්‍රධානතම හේතුව වුණේ එකෙකුට හිස නැමීමට අනෙකා අකමැති වීම යි.

නමුත් කොතලාවල සහ සොයිසා යන දෙපලගේ සමීපතම මිතුරන් කිහිපදෙනෙකු එකතු වී දෙදෙනාට කරුණු කාරණා පැහැදිලි කරදුන්නා. ඉන්පසුව කඳවල වලව්වට ගොස් කොතලාවලව හමුවීමට සොයිසා එකඟ වුණා. ඉන්පසු මිතුරන් කිහිපදෙනෙකු සමග කඳවල වලව්වට ගිය සොයිසා ඔහුගේ තාවකාලික සතුරෙකු වුණු කොතලාවල පැමිණෙන තුරු බලා සිටියා. එම අවස්ථාවේ දී සොයිසා හමුවට පැමිණි කොතලාවල ඔහුගේ උරහිසට අත තබමින් “කොහොමද යකෝ”යි අසා සිටි බව කියැවෙනවා. එවිට සොයිසා ද කොතලාවලගේ ඇඟට අත තබා “කොහොමද යකෝ” යනුවෙන් පිළිතුරු දුන්නාලු. එම සිදුවීමෙන් පසුව දෙදෙනාටම සිනා ගිය නිසා ආරවුල සමථයකට පත්වුණා. අනතුරුව සොයිසා කඳවල වලව්වෙන් උදෑසන ආහාරය ගෙන ආපසු ගියේ ජෝන් කොතලාවලගේ හොඳ මිතුරෙකු බවට පත්වීමෙන් පසු යි.

සිරිල් ද සොයිසා (Daily News)

බැංඩුන් වීරයා 

ජෝන් කොතලාවල මෙරට අගමැතිවරයා ලෙසින් කටයුතු කළ අවධියේ දී බැන්ඩුන් නගරයේ පැවති ආසියානු සමුළුවකට සහභාගි වුණා. එම සමුළුව සඳහා අප අසල්වැසි ඉන්දියාව නියෝජනය කරමින් සහභාගි වුණු දූත පිරිසේ නායකයා ලෙසින් කටයුතු කළේ ශ්‍රී ජවහර්ලාල් නේරු (ජවහර්ලාල් නේරු ගැන තොරතුරු ස්වල්පයක් මේ ලිපියෙන්: ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු) යි. එම සමුළුවේ දී කොතලාවලට කතාව පැවැත්වීමට අවස්ථාව හිමිවුණේ අගමැති නේරුගේ කතාවෙන් පසුව යි. 

අවස්ථාව පැමිණි විට සිය අදහස් දක්වමින් කොතලාවල පවසා සිටියේ “අද ආසියාවෙන් අධිරාජ්‍යවාදය නැතිවී ගොස් යටත්විජිත ප්‍රමාණය අඩු වී යාම ඉතාමත් හොඳ දෙයක්” බව යි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ “දැන් බටහිර යටත්විජිත වාදය පිළිබඳව ආසියාවේ අපට බියක් දැනුනේ නැතත්, මාක්ස්වාදය පිළිබඳව බිය විය යුතු” බව යි. එම නිසා ඉන් ආරක්ෂා වීම සඳහා යම් පියවරක් ඉදිරියේ දී ගත යුතු බව කොතලාවල අවසන් වශයෙන් පවසා සිටියා.

කොතලාවලගේ කතාවේ දී මාක්ස්වාදයට පහර ගැසීම නිසා නේරු කලබලයට පත්වුණා. එම නිසා කතාව  නිමා කිරීමෙන් පසුව අසුනේ වාඩි වුණු කොතලාවලව ඇමතූ ඔහු මෙසේ අසා සිටියා.

“මොනවද අයිසෙ අර කිව්වෙ? ඇයි ඒ කතාව කරන්න ඉස්සෙල්ල මට පෙන්නුවෙ නැත්තෙ?”

බලාපොරොත්තු නොවුණු අවස්ථාවක අසල්වැසි රටේ අගමැතිතුමා පැවසූ දෙය අසා කොතලාවල දැඩි ලෙස   කෝපයට පත්වුණා. සාමාන්‍යයෙන් කෝපයට පත්වුණු අවස්ථාවල බුද්ධියට වඩා හදවතින් කටයුතු කරන කොතලාවල අගමැතිවරයා නේරු හමුවේ මෙම වචන කිහිපය පවසා සිටියා.

“මගේ කතාව තමුසෙට පෙන්නන්නෙ මොකට ද? ඇයි තමුසෙ කතාව කරන්න කලින් මට පෙන්නුවා ද?”

එදා සිටි නායකයන් අප අසල්වැසි මහා බලවතාට කිසි බියකින් නොසිටි බව මෙම උදාහරණයෙන් පැහැදිලි වනවා. එදා කොතලාවලගේ කතාවට බොහෝ ආසියානු රටවල පුවත්පත් මඟින් විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණා. 

අගමැති කොතලාවල සමුළුව අවසන් කර ලංකාවට පැමිණි පසු එක්සත් ජාතික පාක්ෂිකයන් ඔහුව “බැංඩුන් වීරයා” ලෙසින් හඳුන්වනු ලැබුවත්, සමසමාජ සහ කොමියුනිස්ට් පාක්ෂිකයන් ඔහුව හඳුන්වනු ලැබුවේ “බැංඩුන් බූරුවා” ලෙස යි.

නේරු සහ කොතලාවල (Sri Lanka Guardian)

මැතිවරණ වේදිකාවේ දී නම් මාරු වීම 

1956 වසරේ මහා මැතිවරණය අප්‍රේල් මාසයේ දී පැවැත්වුණා. මැතිවරණය කැඳවූ අවස්ථාව වන විට එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට වාසිදායක තත්ත්වයක් තිබුණත් පසුව එම වාසිය බණ්ඩාරනායක (බණ්ඩාරනායක ගැන වැඩි තොරතුරු මේ ලිපියෙන්: ලංකාවේ අගමැති වුණු ආසියාවේ රිදී සීනුව) ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ දෙසට නැඹුරු වුණා. එවර මැතිවරණයේ දී බද්දේගම ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හෙන්රි අමරසූරිය තරග කරන විට මහජන එක්සත් පෙරමුණෙන් තරග කළේ හෙන්රි අබේවික්‍රම යි.

මැතිවරණය ක්‍රමයෙන් ආසන්න වන විට රට පුරාම පැවති රැස්වීම්වලට සහභාගි වුණු කොතලාවල, බද්දේගම ආසනයේ පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමටත් සහභාගි වුණා. ඒ වන විටත් ලබන්නට යන පරාජය පිළිබඳව යම් ඉඟියක් ලැබී තිබුණු නිසා කොතලාවල පසුවුණේ එතරම් සතුටකින් නොවෙයි. ඔහු තරමක කණගාටුවෙන් සහභාගි වුණු රැළියේ දී සිය කතාව කරමින් සිටි අවස්ථාවක තරුණයන් කිහිපදෙනෙකු හූ හඬක් නැගුවා. ඒ සමගම කෝපයට පත්වුණු කොතලාවල මඳ වේලාවකින් සිය කතාව අවසන් කළේ මෙවර මැතිවරණයේ දී හෙන්රි අබේවික්‍රමට ඔබගේ මනාපය ලබාදෙන්න යන වචන කිහිපය පවසමින්. 

එම අවස්ථාවේ දී සිදුවුණු අත්වැරැදීම නිසා කලබලයට පත්වුණු හෙන්රි අමරසූරිය වහාම කොතලාවල ළඟට ගොස් ආයාචනය කර සිටියේ වහාම සිදුවුණු වැරැද්ද නිවැරදි කරන ලෙස යි. ඒ වන විට රැස්වීමට සහභාගි වී සිටි ජනතාව නොනවත්වාම තැබූ හූ හඬ නිසා තවත් කෝපයට පත්ව සිටි කොතලාවල සිය සගයාට පවසා සිටියේ “වැරදුනා නම් වැරදුනාවෙ කියපු දෙයක් මට වෙනස් කරන්න බැහැ” යන්න යි. කොතලාවලගේ මේ මුරණ්ඩු ක්‍රියාව නිසා, මැතිවරණ දිනයේ දී බද්දේගම ආසනයේ බොහෝ දෙනෙකු මහජන එක්සත් පෙරමුණු අපේක්ෂක හෙන්රි අබේවික්‍රමගේ නම ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එම නිසා ඔහු ප්‍රතිවාදී අපේක්ෂකයාව පරදවා වැඩි ඡන්ද 7752කින් බද්දේගම ආසනය ජයගත්තා.

හෙන්රි අබේවික්‍රම (geni.com)

කවරයේ ඡායාරූපය- ජෝන් කොතලාවල (gettyimages) 

මූලාශ්‍රයයන්- දේශපාලඥයන්ගේ රස කතා- සෝමදාස අබේවික්‍රම

 

Related Articles

Exit mobile version