නම ඇසූ පමණින් සතුරන් භීතියෙන් ඇලලී ගිය, වීදිය බණ්ඩාර

ඉංග්‍රීසින් ලංකාවේ විසූ කාලයේ ඇතැම් විස්තර වාර්තාවන් වල එක් වෙඩි උණ්ඩයක් අහසට තැබීමෙන් වුව සිංහලුන් බිය ගන්වා හිස් ලූ ලූ අත දුවයන්නට සැලැස්විය හැකි යැයි ලියවී තිබුණත්, ඊට වසර දෙතුන් සීයකට එපිට පෘතුගීසින් හා සටන් කළ සිංහලයෝ එසේ නිවට නියාලු ජාතියක් නොවූහ. පළමු රාජසිංහ, දෙවන රාජසිංහ, මායාදුන්නේ, විමලධර්මසූරිය වැනි විරුවෝ නොවන්නට ලංකා දේශය ඉන්දියාවේ ගෝව වැනිව බොහෝ කලකට පෙරම පෘතුගිසින්ගේ යටත් රාජධානියක් වන්නට ඉඩ තිබුණි. එවන් විරුවන් අතරේ, කෝට්ටේ රාජධානියේ මහ සෙනෙවි වූ වීදිය බණ්ඩාර ගේ නාමය හෙළ රණකාමීත්වය හා බැඳි, රන් අකුරින් ලියවුනකි.

ඔහුගේ රට

වර්තමාන කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෙලින්කන්ද ගම්මානය ආශ්‍රිතව වීදිය බණ්ඩාර කුඩා කාලයේ ද, ඉන් පසුව ද වරින් වර සැඟවී සිය සේනා සංවිධානය කළේ ය. පැළෑද වීදිය බණ්ඩාර විහාරස්ථානය ආශ්‍රිතව තවමත් ඒ යුගයට ආසන්න කාලයන් වල පුරාවස්තු රැසක් තිබේ. වීදිය බණ්ඩාර කුඩා කාලයේදීත්, ඉන් පසුව ඇති වූ අර්බුධකාරී අවස්ථාවන් වලදීත් සැඟව සිටීමටත් කඳු වලින් වට වූ මෙම භූමිය යොදාගන්නට ඇතැයි සැලකේ. වීදිය බණ්ඩාරට සවිය දෙමින් ඔහු වටා සිටි නිර්භීත සේනාවෙන් කිහිප දෙනෙකුම මෙම පළාතේ අය යැයි ද ජනප්‍රවාද වල සදහන් වේ. ඊට ආසන්නයේ පැලවත්ත පෙදෙසේ ද වීදිය බණ්ඩාර සම්බන්ධ ජනප්‍රවාදයන් වේ. “හෙවෙස්ස” නැමැති ගම හේවායන් විස්සක් නිසා සැදුනකැයි හෙවෙස්ස විහාරාධිපති හිමියන්ද සනාථ කොට ඇත.

4.bp.blogspot.com

ධර්මපාල පුවත

දොන් ජුවා ධර්මපාල සිංහල දේශය පාවා දී, කිතුදහම වැළඳගත් අයෙකු ලෙස සැලකුණු බැවින් පැරණි සිංහලයෝ ඔහු සිංහල රජෙකු සේ සැලකීමට මැලි වූවෝ ය. සත්වන බුවනෙකබා රජුගේ දියණියක වූ සමුද්‍ර දේවිය සහ වීදිය බණ්ඩාරට දාව ඉපදුනු කනිටු පුත්‍රයා දොන් ජුවා ධර්මපාල වේ. එහෙත් වීදිය බණ්ඩාර කෙරේ තිබූ රණකාමීත්වය හෝ උපායශිලිත්වයෙන් අබ මල් රේණුවක තරම් වත් දෙයක් දොන් ජුවා ධර්මපාල කෙරේ නොතිබූ බව ඔහුගේ ජීවන වෘත්තාන්තය කියවිමේ දී පෙනී යයි. ඇතැම් ඉතිහාස කතාන්දර වල දොන් ජුවා ධර්මපාලගේ සැබෑ පියා වීදිය බණ්ඩාර නොවිය හැකි බවටත් අදහස් පල වේ. වීදිය බණ්ඩාර විසින් සමුද්‍ර දේවිය දියවන්නාවේ ගිල්වා කෘෘර ලෙස ඝාතනය කළේ ඇය සහ පෘතුගිසි සෙනවියකු අතර අයථා සම්බන්ධයක් ඇති බවට කට කතාවක් වීදිය බණ්ඩාරට ආරංචි විමෙනි.

කෝට්ටේ රජුගේ අයෝමය හස්තය

කෝට්ටේ රජ කළ 7වන බුවනෙකබාහු රජුගේ අසහාය සේනාධිපතිව සිටියේ වීදිය බණ්ඩාර ය. කෝට්ටේට ඉහළින් සිටි මායාදුන්නේ ගේ තර්ජන වලටත් පහළින් වරින් වර වූ පෘතුගිසි තර්ජන වලටත් මුහුණ දීමට බුවනෙකබාට තිබූ ප්‍රබලතම ආයුධය වීදිය බණ්ඩාර විය. වීදිය බණ්ඩාරත් ඔහුගේ සෙනෙවිවරු ඇතුලු හමුදාවත් යනු සටනටම උපන් කණ්ඩායමක් විය. සිය දියණියව දියවන්නාවේ ගිල්වා මරා දැමුවේ වීදිය බණ්ඩාර වුව ද, ඔහු එලවා රාජ්‍යය රැකගැනීමට හැකියාවක් ඒ අවස්ථාවේ කෝට්ටේ බුවනෙකබා රජට නොවී ය. එබැවින් අමනාපය ස්වල්ප කලකින් දුරුකොට ගෙන නැවතත් සිය මහ සෙනවියා ලෙස වීදිය බණ්ඩාරව බුවනෙකබා රජ විසින් තෝරා පත්කර ගන්නා ලදී.

ටිකිරි කුමාරයා වීදිය බණ්ඩාර අල්වාගැනීම

කුඩා ටිකිරි කුමාරයා සීතාවක පාලනය ගෙනගිය මායාදුන්නේ රජතුමාට ලැබුනු නොසිතූ විරූ මහාර්ඝ දායාදයක් විය. කෝට්ටේ මහ සෙනෙවි වූ වීදිය බණ්ඩාරට පවා අභියෝග කරන්නට ටිකිරි කුමාරයා සැරසුනේ වයස 12-14 තරම් කුඩා කාලයේදීම ය. ටිකිරි කුමාරයා එකම සේනාව පෙරමුණු දෙකකට බෙදා, එක් පසෙකින් නවගමුවෙන් යුද්ධය අවුලුවා, අනෙක් පසින් පන්නිපිටියෙන් කෝට්ටේට පැමිණෙන ලෙසින් සටන් මෙහෙයවීය. අවසන, යුධබිමක සටන් නිම වී තාවකාලිකව සුළු නින්දක සිටි වීදිය බණ්ඩාරට ටිකිරි කුමාරයාට යටත් වන්නට සිදු විය.

www.theindiapost.com

ටිකිරි කුමරියගේ වික්‍රම

සීතාවක රජු වූ මායාදුන්නේ ගේ දුවනිය, ටිකිරි කුමරිය, වීදිය බණ්ඩාර කෙරේ සිය පෙම් සිත වඩන්නේ  වීදිය බණ්ඩාරයන් සිය පියාගේත් මලනුවන්ගේත් සිරකරුවෙකු ලෙස සිරගෙයි සිටියදී ය. බොහෝ උත්සාහයන්ගේ අවසන කුමරිය වීදිය බණ්ඩාර හිරෙන් නිදහස් කොටගත් අතර, ඔහුගේ දෙවන බිරිය ද විය.

උමං කැණීම

මිතුරු වෙසින් පැමිණි පෘතුගිසි මහ සේනාවක් කෝට්ටේ මාළිගයටම පැමිණ උපක්‍රමයෙන් වීදිය බණ්ඩාර අත්අඩංගුවට ගෙන, කොළඹට ගෙනගොස් සිරගත කරන ලදී. ටිකිරි කුමරිය සිය සැමියා නිදහස් කරගැනීමට පියරජු මායාදුන්නේගෙන් සහාය ඉල්ලූ බව සඳහන් වෙතත්, පසු කලෙක පළමු රාජසිංහ ලෙස කිරුළු පලන් ටිකිරි කුමාරයා සිය සතුරා වන වීදිය බණ්ඩාර හා සිය සොයුරිය අතර වූ සබඳතාවයට අකමැති විය.

ටිකිරි කුමාරයාගේ රණකාමීත්වය නිසා එවකට ලක්දිව ප්‍රබලතම පාලකයා මායාදුන්නේ රජතුමා විය. සැමියා වූ වීදිය බණ්ඩාර නිදහස් කර දෙන ලෙස ඉල්ලන සිය දියණියගේ විලාපය ඇසූ මායාදුන්නේ මහරජතුමාගේ හද උණු විය. යුද්ධ කොට වීදිය බණ්ඩාර ගලවාගැනීමට අපේක්ෂා නොකළ ඔහු ගල්ගමුව ප්‍රදේශයෙන් දක්ෂ උමං කනින්නන් පිරිසක් ටිකිරි කුමරියට සපයා දුන්නේ ය. ඔවුන් යොදාගෙන උමඟක් කණින ඇය, පෘතුගිසි හේවායකුගේ සහ පූජකයකුගේ ද සහායය ඇතිව කොළඹ කොටුවෙන් වීදිය බණ්ඩාර ගලවාගන්නී ය. වීදිය බණ්ඩාර නැව් නංවා ගෝවට ගෙනයන්නට තිබෙන දිනට පෙර දින රාත්‍රියේ වීදිය බණ්ඩාර ගලවාගෙන කෝට්ටේ මාළිගයට රැගෙන එන්නට ඈ සමත් විය.

වීදිය බණ්ඩාර පෘතුගීසින්ගේ පල්ලි විනාශ කිරීම

සිය අවසාන කාලයේ දී පරංගින් සමඟ යම් ආකාරයක සබඳතාවයක් වර්ධනය කරගෙන තිබුණු බුවනෙකබා රජු පරංගි හේවායකුගේම වෙඩිපහරකින් මරණය පත් විය. ඉන්පසු ධර්මපාල කුමරුන් “දොන් ජුවා ධර්මපාල” ලෙස අභිසෙස් ලැබීමත් සමඟම ඉන්දියාවේ ගෝවෙන් විශාල පෘතුගිසි සේනාවක් මෙරටට කඩා වැදී, කෝට්ටේ සහ සීතාවක රාජ මාළිගා වල තිබූ සියලුම වස්තුව කොල්ල කා, මහ ජනයාටත් නොයෙකුත් හිංසා පීඩා කොට නික්මී ගියේය. එම අවස්ථාවේ අවශ්‍ය සේනා බලය නොතිබූ නිසා පසුබැස සිටි වීදිය බණ්ඩාර පසුව කොළඹ සිට ගාල්ල දක්වා වූ සියලුම පෘතුගීසි පල්ලි විනාශ කිරීමට සිය අසිපත මෙහෙයවන්නට විය. සේනා මෙහෙය වූ වීදිය බණ්ඩාර පල්ලි වල වස්තුව කොල්ල කා, එහි සිටි පාදිලිවරුන් ද ඝාතනය කරන්නට යෙදුනේ ය. එම සිද්ධියෙන් පසු වීදිය බණ්ඩාර පෘතුගීසින්ගේ සදාතනික සතුරෙකු බවට පත්විය.

වීදිය බණ්ඩාරගේ සේනාව

වීදිය බණ්ඩාර යනු තනි නමකි. එහෙත් ඔහුගේ රණශූරත්වය හුදෙක් ඔහු අත තිබූ කඩුවෙන් හෝ ඔහුගේ පුද්ගලික රණකාමීත්වය මතම ඉපදුනු දෙයක් නොවේ.  කළු ගං මිටියාවතේ සැඟවී කුඩා රාජ්‍යයක් තනාගෙන, එහි කම්මල් වල යකඩ උණුකර ආයුධ තනමින්, සිය සේනාව ශිල්ප වලින් සවිමත් කරමින්, සැබෑ යුධ හමුදාවක් පවත්වාගෙන යන්නට හැකි වූ ඔහුගේ සමත්කම ඔහුගේ ශක්තිය විය. වීදිය බණ්ඩාර යම් පාර්ශවයකට පක්ෂ වීම යනු හුදෙක් තවත් වංශවතෙකු ඒ පාර්ශවයට පැමිණීමක් පමණක්ම නොවේ, ඔහු සතුව තිබූ  ප්‍රබල යුධ සේනාව ද නිතැතින්ම වීදිය බණ්ඩාර පසුපසින් විය.

www.sundaytimes.lk

වීදිය බණ්ඩාරගේ අවසානය

වීදිය බණ්ඩාර ගේ පුත්‍රයා ධර්මපාල කෝට්ටේ රාජ්‍යය පෘතුගිසින්ට පාවා දුන්නෙකු විය. අනෙක් අතට කලක් වීදිය බණ්ඩාර ද පෘතුගිසින්ගේ උදව් ලබාගෙන කෝට්ටේ රාජ්‍යය රැකගන්නට ක්‍රියා කළේ ය. ඒ අතින් ගත් කල සමකාලීන ටිකිරි කුමාරයා ප්‍රබලයෙකි. ඒ කාලයේ දී වීදිය බණ්ඩාරට වඩා පළමු රාජසිංහ ලෙස නම් ලද ටිකිරි කුමාරයා ජනප්‍රිය චරිතයක වන්නට ඇත. එබැවින් සේනාවෙන් සවිමත්, ආකර්ශනීය වඩාත් නැවුම් සෙන්පතියකු වූ ටිකිරි කුමාරයා හමුවේ  වීදිය බණ්ඩාරට පසුබැස යාපනයට පලා යන්නට සිදු විය.

එහි දී පිරිස් බලයෙන් සේනාවක් ඉදිරියේ මහා සටනකට මැදි වූ වීදිය බණ්ඩාර සහ ඔහුගේ උප සෙනවිවරුන් දරුණු ලෙස සතුරන් කඩුගාන්නට සමත් විය. වීදිය බණ්ඩාර සියඹලා ගසක් යට යුද්ධ කරමින් සිටිය දී ඔහුට ඉදිරියෙන් ද පසුපසින් ද පැමිණෙන සතුරන් සියල්ලන්ටම දරුණු පහර දෙමින්, අකුණු ගසන්නාක් මෙන් සිය අසිපත ලෙලවමින්, ප්‍රතිවිරුද්ධ සේනාවට සිතාගත නොහැකි අන්දමින් යුධ කළ බව සඳහන් වේ. සතර දිශාවෙන්ම පැමිණෙන සේනාවන්ට බැට දෙමින් යුධ බිම සතුරු ලෙයින් නැහැවූ වීදිය බණ්ඩාරට උඩින් ආ මාරයා නොපෙනේනට ඇත. දෙමළ සෙබලෙකු ගස මතට නැග වීදිය බණ්ඩාරගේ ලය පසාරු වී යන්නට හෙල්ල පහරක් එල්ල කළේ ය. මුහුණට මුහුණ සටනකින් බිම හෙලිය නොහැකි වූ වීදිය බණ්ඩාර ගුවනින් පැමිණි අදිසි හෙලි පහර කාගෙන කෙසෙල් කඳක් මෙන් සටන් බිම ඇද වැටුනි. කලක් යනතෙක්, වීදිය බණ්ඩාර අවසන් වරට යුද්ධ කළ යාපනයේ නල්ලූර් කෝවිල ආසන්නයේ වීදිය බණ්ඩාර වෙනුවෙන් දෙවොලක් ද තිබී ඇත.

මහා සේනා කඩුගාමින්, කැතිගාමින් විදේශික ආක්‍රමණිකයන්ගෙන් සහ සතුරන්ගෙන් සිය භූමිය රැකගන්නට වෙර දරන විදෙස් චරිත අපි රූපවාහිනියෙන් හෝ සිනමාවෙන් මහත් උත්කර්ශවත් ලෙස නරඹමු. එහෙත් ඒ බොහෝ වික්‍රමාන්විත කතා වස්තු බටහිර ඒවා ය. නැතහොත් දමිළ හෝ ඉන්දියානු ඒවා ය. අපගේ ඉතිහාසය පීරා බැලූ විට, කෝට්ටේ යුගය යනු පවුල් ගැටුම්, රජධානි ගැටුම්, සහ විදෙස් බලපෑම් මතින් තැනුණු දීර්ඝ කතා වස්තුවකි. ඉතිහාසය මගින් අනාවරණය කරගෙන ඇති සත්‍යම වූ එම සිද්ධීන් ඇතැම් විට ගොතන ලද සිනමාපට හෝ ටෙලිනාටක මාලාවන්ට ද වඩා රසවත් ය.

Cover: southasiandaily.com  

 

Related Articles

Exit mobile version