ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාකෝප් කමිටුවේ දී ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ ලංකාවේ ව්‍යාපෘති ගැන පසුගිය සතියේ සිදු කළ ප්‍රකාශයක් නිසා මේ වන විට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඉහළ දේශපාලනය දෙදරීමකට ලක් ව තිබෙනවා.
ඔහු සඳහන් කළ කරුණ නිසා ශ්‍රී ලංකාවේ ආයෝජන කිහිපයක් ම ඇරඹීමට බාර ගෙන සිටින කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ද කනස්සල්ලෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. රටවල්වලට බලපෑම් කර තම ව්‍යාපාර අධිරාජ්‍යය පුළුල් කර ගන්නා අදානි කව්ද කියා සොයා බලමු.
ලංවිම සභාපති කිවූ දේ
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය දා කැඳවා තිබුණා. එහිදී මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොර ව ඉන්දියානු අදානි සමාගමට ලබාදීමට තීරණය කළේ ඇයි ද යන ප්‍රශ්නය ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ඇසුවා.
ඊට පිළිතුරු දුන් සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිතුමා තමන්ට එය අදානි සමාගමට දෙන්න යයි පැවසූ නිසා එසේ කළ බව යි. ජනාධිපතිවරයා ඔහුට කියා ඇත්තේ ඉන්දිය අගමැති මෝදි, මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදෙන්නයි තමාට බල කරන බව පැවසූ බව යි.
මේ ප්‍රකාශය නිසා ලංවිම සභාපතිට ජූනි 13 වැනි දා ඉල්ලා අස්වීමට සිදු වුණා. ඒ අතර ම පසුව ඔහු තමා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේ එය ඒ අවස්ථාවේ ඇතිවූ පීඩනය නිසා පැවසූ බව කියමින්.
අදානි සමාගමේ ශ්‍රී ලංකා ව්‍යාපෘති
අදානි සමාගම ශ්‍රී ලංකා රජය හා අලුතින් ගිවිසුම්ගත ව සිටින්නේ මන්නාරම සහ පූනරීන්හි මෙගාවොට් 500ක සුළංබල ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා යි. මේ දිනවල එයට විවිධ පාර්ශ්වවලින් විරෝධතා ද එල්ල වෙනවා.
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියත් ශ්‍රී ලංකා ආණ්ඩුව ලබාදී ඇත්තේ ද අදානි සමාගමට යි. එම ආයෝජනය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. තව ම එහි ඉදිකිරීම් කිසිවක් සිදු කිරීම අරඹා නැහැ. ගිවිසුම මඟින් වරාය ජැටියේ 51%ක කොටස් අදානි සමූහයට අයත් වෙනවා. අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් අයිතියෙන් 34%ක් හිමි වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක් හිමි වෙනවා. මෙම ජැටිය ඉදිකිරීමට ඩොලර් මිලියන 700ක ආයෝජනයක් සිදුකිරීමට අපේක්ෂිත යි.
ගෞතම් අදානි ශ්‍රී ලංකාවට පැමිණෙයි
ගෞතම් අදානි 2021 ඔක්තොබර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණියේ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක් ද ඇතුළු 10 දෙනකු සමඟ යි. ඒ පෞද්ගලික ගුවන් යානා දෙකකින්. ඔවුන් ජනාධිපතිවරයා සහ එවකට අගමැති මහින්ද රාජපක්ෂ ද හමු වී සාකච්ඡා කර තිබෙනවා. කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අමතර ව, අදානි සමූහය හවුල්කාර පදනමින් ක්‍රියා කළ හැකි අනෙකුත් යටිතල පහසුකම් පිළිබඳ ව ද සොයා බලමින් සිටින බව එහිදී පැවසුණා.
ආසියාවේ ධනවතා
අදානි සමූහයේ සභාපතිවරයා වන ගෞතම් අදානි ආසියාවේ ම ධනවතා බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය 2022 පෙබරවාරියේ දී සඳහන් කර සිටියා. පෙබරවාරි 7 වැනි දා වනවිට තම වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 88.5ක් දක්වා වර්ධනය කරගනිමින් තමයි ගෞතම් අදානි මෙම ස්ථානයට පත්ව සිටින්නේ. මෙම ජුනි මාසය වන විට ඔහුගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 96.6ක් ලෙස ෆෝබ්ස් සඟරාව සඳහන් කර තිබෙනවා.
මෙතෙක් කලක් ආසියාවේ ම ධනවතා වුණේ ඉන්දියාවේ රිලයන්ස් සමාගමේ සභාපති මුකේෂ් අම්බානි යි. 2022 පෙබරවාරි 7 වැනි දා වනවිට මුකේෂ් අම්බානිගේ වත්කම එක්සත් ජනපද ඩොලර් 87.9ක් ලෙස සටහන් වුණා. බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව 2022 වසරේ ජනවාරි මාසයේ දී පමණක් අදානි සිය වත්කම තවත් ඩොලර් බිලියන 12කින් වැඩිකර ගැනීමට සමත් ව සිටිනවා. මුළු ලෝකයෙන් ම දහතුන් වැනියාට ධනවත් ම තැනැත්තා වන්නේ ද අදානි යි.
ව්‍යාපාරික පවුලක්
1962 ජුනි 24 වැනිදා ගෞතම් ශාන්තිලාල් අදානි උපත ලැබුවේ ජෛන පවුලකට අයත් දරුවකු ලෙස ගුජරාටයේ යි. ඔහුගේ පියා ශාන්තිලාල් අදානි වූ අතර මව ශාන්ති අදානි යි. ගෞතම්, එම පවුලේ දරුවන් සත්දෙනාගෙන් අයෙක් වුණා. අදානිගේ පියා රෙදිපිලි අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කෙනෙක්. පාසල් අධ්‍යාපනයෙන් පසු ගෞතම් අදානි ගුජරාට සරසවියට ඇතුළු වූයේ වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට යි. අවුරුදු දෙකක් සරසවියේ ඉගෙන ගත් ඔහු විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී යනවා.
ඉන්පසු පියාගේ ව්‍යාපාර ක්ෂේත්‍රය අත්හැර අහමදාබාද් සිට මුම්බායි නගරයට පැමිණ දියමන්ති වෙළඳාම සඳහා ප්‍රසිද්ධ සවේරි මාර්කට්ටුවට එනවා. එහි ‘මහේන්ද්‍ර බ්‍රදර්ස්’ ආයතනයේ දියමන්ති තෝරන්නකු ලෙස වෘත්තිය ජීවිතය පටන් ගන්නවා. දෙතුන් වසරක් දියමන්ති සමාගමේ සේවය කිරීමෙන් පසු මුම්බායි නගරයේ තමාගේ ම දියමන්ති තැරැව්කාර ව්‍යාපාරයක් ඇරඹීමට අදානිට හැකියාව ලැබෙනවා. මෙම ව්‍යාපාරය කෙතරම් සාර්ථක වුණේ ද යත් ඊළඟ වසර තුන ඇතුළත ඔහු දියමන්ති ව්‍යාපාරයේ දසලක්ෂපතියන් අතරට එකතු වෙනවා.
ඒ අතර ඔහු දන්ත වෛද්‍යවරියක වන ප්‍රීති සමඟ විවාහ වෙනවා. එම විවාහයෙන් ඔහුට පුතුන් දෙදෙනෙක් සිටිනවා. වැඩිමල් පුතු කරන් ඔහුගේ ව්‍යාපාරවලට එක්ව කටයුතු කරනවා.
ව්‍යාපාරික ගිවිසුම්
ගෞතම් අදානි ඉන්දියාවේ වගේ ම ලෝකයේ අනෙක් රටවලත් ප්‍රකට ව ඇත්තේ වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේ දක්ෂයකු ලෙස යි. ඔහුගේ ව්‍යාපාර බොහෝවිට විවිධ සමාජ මත ගැටුම්වලට කැළඹිලිවලට හේතුවන ඒවා යි. ශ්‍රී ලංකාවේ ඔහු ගිවිසුම්ගත මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය වගේ ම බටහිර ජැටියේ කතාවත් මෙරට තුළ හැලහැප්වීම්වලට ලක් වූ ආයෝජන යෝජනා යි.
ගෞතම් අදානි බලපුළුවන්කාර පුද්ගලයන් නම්මා ගැනීමෙහි ලා ප්‍රවීණයෙක් ලෙස සැලකෙනවා. දේශපාලනඥයන්ට බලපෑම් කර ව්‍යාපාරික වාසි සලසා ගන්නා බවට ද ඔහුට චෝදනා එල්ල වෙනවා. පසුගිය ඉන්දීය මහ මැතිවරණයේ දී ඔහු අගමැති නරේන්ද්‍ර මෝදිට සහයෝගය දැක්වූවා. මෝදිට ඡන්ද රැස්වීම්වලට ගමන් කිරිමට අදානි පෞද්ගලික ගුවන් යානා සපයා ඇති බවට ද චෝදනා තිබෙනවා.
ව්‍යාපාර අධිරාජ්‍යයක්
ගෞතම් අදානි මුම්බායිහි දියමන්ති ව්‍යාපාරයේ යෙදෙමින් සිටින විට ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන මන්සුක්ලාල්, අහමදාබාද්හි ප්ලාස්ටික් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා. ඔහු සිය ප්ලාස්ටික් ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම ගෞතම්ට පැවරුවා. ගෞතම් අදානි කළේ එම සමාගමේ ප්ලාස්ටික් බඩු හදනු වෙනුවට ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන PVC සහ පොලිමර් ආනයනය කරන සමාගමක් බවට පත්කිරීම යි. එම සමාගම අමුද්‍රව්‍ය ගෙන්වා කුඩා ව්‍යාපාරවලට බෙදා හැරීමට පටන් ගත්තා. අදානිගේ ව්‍යාපාර අධිරාජ්‍යයේ ප්‍රථම ඒකාබද්ධ වෙළඳ සමාගම වූ ‘අදානි එක්ස්පෝට්ස්’ ආරම්භ වුණේ ඒ ආකාරයෙන්. මෙම සමාගම අද වන විට තවත් වර්ධනය වී ඇති අතර “අදානි එන්ටර්ප්‍රයිසස්” යනුවෙන් හැඳින්වෙනවා. එය අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රධානත ම සමාගම යි.
1980 ගණන් වන විට තරුණ ගෞතම් විදුලි සංදේශ හා මෘදුකාංග ක්ෂේත්‍රයට ද තම ව්‍යාපාර පුළුල් කළා. ‘අදානි එක්ස්පෝට් ලිමිටඩ්’ යනුවෙන් සමාගමක් ස්ථාපිත කළ ඔහු කෘෂිකාර්මික හා බලශක්ති ක්ෂේත්‍ර කරා ද සිය ව්‍යාපාර විහිදවූවා. 1991 දී ඉන්දියාව ලිබරල් ආර්ථික පිළිවෙතක් ආරම්භ කළා. ඉන්පසු අදානිගේ ව්‍යාපාර වානේ, කෘෂි, ඇඟලුම් ආදී විවිධ අංශ කරා යොමුවිම ද දකින්න පුළුවන්.
වරාය ක්ෂේත්‍රය
පුද්ගලික ජැටියක් ඉදි කිරීමේ සිහිනයක් අදානිගේ සිතේ කුඩා කාලයේ පටන් ම තිබුණා. ඔහුට එම අංශයට එළඹීමට හැකියාව ලැබුණේ 1994 දී ගුජරාට ප්‍රාන්ත රජය මුන්ඩ්‍රා වරාය කළමනාකරණ සේවා සඳහා ටෙන්ඩරයක් කැඳවීම නිසා යි. එම ටෙන්ඩරය හිමි කර ගත් අදානි 1995දී එහි පළමු පෞද්ගලික ජැටිය ඉදි කළා. මුන්ඩ්‍රා වරාය මේ වන විට ඉන්දියාවේ පෞද්ගලික අංශය සතු විශාලත ම වරාය බවට පත්ව තිබෙනවා. වාර්ෂිකව ඒ මගින් මෙහෙයවන බහාලුම් ගණන ටොන් මිලියන 210ක් ලෙස සඳහන්.
1996 දී ඔහු අදානි පවර් සමාගම පිහිටෙව්වේ විදුලි බලය සැපයීම සඳහා යි. ගුජරාටයේ පිහිටි එය ඉන්දියාවේ විශාලත ම පුද්ගලික බලශක්ති සමාගම යි. මේ වනවිට එහි විදුලිබල සැපයුම මෙගාවොට් 12450ක්. මෙගාවොට් 40ක සූර්ය බල ශක්ති ව්‍යාපෘතියක් ද අදානි සමාගම සතු වෙනවා.
2008 දී අදානිගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන අටක් වූ අතර, 2021 වන විට එය අමෙරිකා ඩොලර් බිලියන 78 දක්වා ඉහළගොස් තිබුණා.
අගමැති මෝදිගේ ගජ මිතුරා
අදානිට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ තිබූ සමීප සබඳතා නිසා, ඉතා වැදගත් ජාතික මට්ටමේ ව්‍යාපෘතීන් කීපයක ආයෝජන අවස්ථා පහසුවෙන් ඔහුට හිමි වූ බවට චෝදනා එල්ල වෙනවා.
ඉන්දියාවේ මධ්‍යම රජය, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හයක් පෞද්ගලීකරණය කිරීමට 2018 වසරේ දී තීරණය කළ අතර ඒ සඳහා ටෙන්ඩර කැඳවා තිබුණා. එම ටෙන්ඩරයේ කොන්දේසියක් වන, ‘උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගුවන්තොටුපොළ ව්‍යාපාරයේ පෙර පළපුරුද්ද තිබිය යුතුයැ’යි යන කොන්දේසිය ඉන් ඉවත් කර තිබුණා. මේ නිසා පෙර පළපුරුද්දක් නැති අදානි සමාගමට එම කොන්ත්‍රාත්තුව හිමි වුණා. මාධ්‍යවලින් පසුව චෝදනා එල්ල කළේ අදානිට වාසි වනු පිණිස කොන්දේසි ලිහිල් කෙරුණුබව යි.
පාරිසරික නීති බිඳදැමීම්
ගෞතම් අදානි මේ වන විට පුනර්ජනනීය බලශක්තිය සහ තිරසර බලශක්ති ව්‍යාපෘති කෙරෙහි ද උනන්දුවක් දක්වනවා. නමුත් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඔහුගේ උනන්දුව නමට පමණක් බව ද, පරිසර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරමින් පතල් කැණීම් කරන බව ද ඔහුගේ බලශක්ති සහ පතල් කැණීම් සමාගම්වලට චෝදනා එල්ල වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ පතල් කැණීම සඳහා කොන්ත්‍රාත්තුව අදානි දිනා ගැනීම එරට විශාල විරෝධයකට හේතු වුණා. අදානි එම කොන්ත්‍රාත්තුව ලබා ගැනිමේ දී ප්‍රාදේශීය පරිසර නියාමන ආයතනයට වංචාකර ඇති බව හෙළි වූ අතර මේ වංචාව නිසා අදානිගේ සමාගමට ඩොලර් 20000ක දඩයක් ද නියම කෙරුණා. ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ අදා සමාගමේ ගල් අඟුරු පතල සම්බන්ධ ආරාවුල ද අධිකරණය දක්වා පැමිණ තිබෙනවා.