මේ සටහන විජය නන්දසිරි නමැති විශිෂ්ට කලාකරුවා ගැනය. විශේෂයෙන්ම ඔහුගේ කලා භාවිතාව පිළිබදවය. දුක්ගනවන කරුණක් වුනත් ඇත්තටම ඒ සම්බන්ධයෙන් කතා කරන්නට පටන් ගෙන ඇත්තේ ඔහු මිය ගිය පසුය. මේ ලියන දේවල් ඔහු ඇස ගැටෙන්නේ නැත. ඔහු ගැන කියන දේවල්, ගුණ කථන ආදිය ඔහුට ශ‍්‍රවණය වන්නේ නැත. එතුමන්ගේ හැකියාවන් ගැන, රංගන ප‍්‍රාතිහාර්යයන් ගැන කතා කළ යුතුව තිබුණේ එතුමා ජීවත් වෙමින් සිටියදී ය. නමුත් එය එසේ සිදුවූයේ නැත. එය ඛේදනීය තත්වයකි. මන්ද යත්, කලාකරුවකුගේ ඉමහත් තෘප්තිය බවට පත්වන්නේ පැසසුම් සහ ඇගයුම් ය.
විජය නන්දසිරි මහතා රංගනයට පිවිසෙන්නේ එක්දහස් නවසිය හැට හය වසරේ අමරදාස ගුණවර්ධනයන්ගේ ‘විදුරු දිව’ වේදිකා නාට්‍යයෙනි. ඉන් පසුව සිංහබාහු, මනමේ, මහාසාර, නරිබෑනා, රත්නාවලී, තාරාවෝ ඉගිලෙති, හුණුවටයේ කතාව, කුවේණි ආදී වේදිකා නාට්‍ය ගණනාවකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නේ ය.
රංගනය යනු ඉතා අසීරු කටයුත්තකි. ඒ අතරින් වේදිකා නාට්‍ය රංගනය යනු අතිශය අසීරු කටයුත්තකි. විජය නන්දසිරි නමැති කලාකරුවා ප‍්‍රතිභාපූර්ණ කලාකරුවකු බවට පත්කිරීමට ඉහත කී නාට්‍ය මාලාව ඉවහල් වුණා යැයි කීවොත් එය නිවැරදිය. එය එසේ වූයේ ඔහු විසින් එම නාට්‍ය සදහා පෙරළා දැක්වූ රංගන දායකත්වයේත්, කැපකිරීමේත් ප‍්‍රතිඵලයක් වශයෙනි. ප‍්‍රකෘතියෙහි සෞන්දර්යාත්මක ප‍්‍රතිනිර්මාණයන් ඔස්සේ රසික හදවත්වල විජය නන්දසිරි කලාකරුවා සදාතනිකව ලැගුම් ගත්තේ ඒ නිසාවෙනි. ඔහු ඉතිරි කර ගිය මතකය සදා නොමැකෙනු නොඅනුමානය.
මෑත කාලයේ ඔහු රංගනයෙන් දායක වූ ‘බල්ලොත් එක්ක බෑ’ ප‍්‍රහසන වේදිකා නාට්‍යයේ රංගනය ඉතා වෙනස් ආරක එකකි. පවතින පක්ෂ දේශපාලන ක‍්‍රමය සහ මනාප ඡන්ද ක‍්‍රමය අළලා නිර්මාණය කර ඇති එම නාට්‍යය වර්තමාන පක්ෂ දේශපාලන ක‍්‍රමයට ප‍්‍රබල විවේචනයක් ගෙන එන්නකි. ඒ නාට්‍යය තුළ විජය නන්දසිරි මහතා චරිත තුනක් හෝ හතරක් විටින් විට නිරූපනය කරයි. එහි එන භික්ෂූන් වහන්සේගේ චරිත නිරූපනය තුළ සමාජයේ එළිපිට කතා නොකරන යථාර්ථයක් සාකච්ඡාවට ගනු ලබයි. එවැනි දේවල් වලට රටේ අන්තවාදී ආගම්වාදී කදවුරු විසින් එල්ල වන විරෝධතා සහ ප‍්‍රහාරයන් ගැන පවා නොතකමින් සිදු කළ එම යථාර්ථවාදී රංගනය ඉතා විශිෂ්ටය. ඔහු විසින් කළ ප‍්‍රහසන රංගනයන්ට පරිභව කළ විචාරකයන්ට එකී නිර්භය රංගනය පිළිබද ඇගයීමක් කිරීමට නොහැකිවීම කණගාටුදායකය.
තිලක සහ තිලකා, නෑදෑයෝ, බංගලි වළලු වැනි සිනමා නිර්මානයන්හි එකිනෙකට වෙනස් චරිත හොබවමින් ඔහු කළ රංගන කාර්යය අති විශිෂ්ටය. හැත්තෑව-අසූව දශකයන්වල සිනමා ප‍්‍රගමණය උදෙසා ලැබුණු ඔහුගේ දායකත්වය ඉහළ වටිනාකමකින් යුක්තය. මෑත කාලය තුළ සිකුරු හතේ වැනි සිනමා නිර්මාණයක ඔහු රගපෑ මංගලජය කපු මහතාගේ චරිතය පේ‍්‍රක්ෂක අවධානය දිනාගත් චරිතයක් විය. හාස්‍ය කැටි වූ රංගයක් සහිත සිනමා පටයක් වන ‘සිකුරු හතේ’ චිත‍්‍රපටය සමාජයීය කාරණාවන් කිහිපයක් පිළිබදව ගොඩනැගුනකි. චිත‍්‍රපටයේ ජනප‍්‍රියතාවයට විජය නන්දසිරි රංගවේදියාගේ බලපෑම ප‍්‍රධාන සාධකයක් විය. ඒ තරමට ඔහුගේ හාස්‍ය පිරි රංගනය පේ‍්‍රක්ෂක සිත්වලට කාවැදී තිබුණි.
හාස්‍යෝත්පාදක නිර්මාණයන්ට සහ එම රංගනයන්ට බොහෝ විචාරකයන් අතුල් පහරවල් එල්ල කරමින් සිටිති. නමුත් කලාවේ රසයන් අතර හාස්‍ය රසය උසුලන්නේ ප‍්‍රධාන ආස්ථානයකි. මෑත කාලීනව විජය නන්දසිරි මහතා රංගනයෙන් දායක වූයේ හාස්‍ය සපිරි නිර්මාණ වලටය. ‘යර්ස් බොස්’, ‘එතුමා’ වැනි ටෙලි නිර්මාණ හරහා ඔහු සිනහා රසය ආලින්දය වෙත ගෙන ආවේය. විශේෂයෙන්ම මේ සටහනේ මූලික හරය බවට පත් විය යුත්තේ විජය නන්දසිරි නමැති ප‍්‍රතිභාපූර්ණ රංගනවේදියා තමන්ට ලැබුණු සියළු චරිත වලට උපරිම සාධාරණයක් කළ බවට වූ ඇගයීමයි. පේ‍්‍රක්ෂකයන් බලාපොරොත්තු වූයේද එයයි. ඒ නිසා ඔහු පේ‍්‍රක්ෂකාගාරය තම ග‍්‍රහණයට නතු කරගත් රංගන ශිල්පියකු වශයෙන් හැදින්වීමට පුළුවන. එසේම පේ‍්‍රක්ෂක සිත්වල සදාකාලිකව තැන්පත් වුණු කලාකරුවෙක් වශයෙන්ද ඔහුව හැදින්වීමට පුළුවන.
මේ සියළු කරුණු සළකා බැලීමේදී ඔහු කලාව වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක්, සැලකිය යුතු මැදිහත්මක් සහ කැපකිරීමක් කර ඇති බව පැහැදිළිය. ප‍්‍රධාන කලා මාධ්‍යයන් ත‍්‍රිත්වයම ජයගත් කලාකරුවන් සිටින්නේ අතලොස්සකි. මන්ද යත් එය එතරම්ම අසීරු කාර්යයක් බැවිනි. නමුත් ඔහු වේදිකාව, සිනමාව, සහ ටෙලි නාට්‍ය යන මාධ්‍යයන් තුනෙහිම සාර්ථක වුයේ ය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු තුළ වූ ප‍්‍රතිභාපූර්ණ බව නිසාම සිදුවූවකි. ඒ නිසා මෙවැනි අති දක්ෂයෙක් නික්ම යාම සැබවින්ම රටට ඉමහත් පාඩුවකි. ඒ රික්තය පිරවීම සැබවින්ම අභියෝගයකි.
අවසන් වශයෙන් විජය නන්දසිරි නමැති අසහාය රංගනවේදියා පිළිබදව චරිතාපදාන කෘතියක් සමාජයට දයාද කළ යුතුයැයි යෝජනාවක් කිරීමට කැමැත්තෙමු. එසේ කළ යුත්තේ මේ අමරණීය මිනිසාට සැබෑ ගෞරවයක් ලබා දෙනු පිණිසය. ඔහු ගැන අනාගත පරම්පරාවන් කියවිය යුතුය. එනිසා මේ යෝජනාව එතුමන්ගේ සමීපතමයන් ඉතා ඕනෑකමින් බාරගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
කවරයේ පින්තුරය: dailynews.lk