Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දාම ඝාතකයෙකු වූ රෙස්ලිං ශූරිය

මෙක්සිකානු කාන්තාවක වන ජුවානා බරාසා මෙක්සිකෝව තුළ වඩා ප්‍රසිද්ධියට පත් ව සිටියේ තරමක් දක්ෂ රෙස්ලිං ශූරියක හැටියට යි. ‘ලා දාමා ඩෙල් සයිලන්සියෝ’ යන අන්වර්ත නාමයෙන් හැඳින්වුණු ඇය, මෙක්සිකෝවේ රෙස්ලිං රසික රසිකාවියන් අතර ජනප්‍රිය ව සිටියේ රෝස පැහැති අසාමාන්‍ය ඇඳුම හා වෙස්මුහුණත් සමග යි.
‘ලා දාමා ඩෙල් සයිලන්සියෝ’ යන ස්පාඤ්ඤ වදනෙහි ඉංග්‍රීසි අර්ථය වන්නේ ‘නිහඬතාවේ කාන්තාව’ යන්න යි. කවදත් ඇගේ පෞද්ගලික ජීවිතය ඇය නිහඬ ව ගත කළ අතර, එම නිහඬතාවට යටින් සැඟවුණු භයානක කතාවක් ඇති බැව් ලොවට හෙළි වෙන්නට ගත්තේ මෑතක යි.

මධ්‍යම මෙක්සිකෝවේ සිදු වූ ඝාතන

1990 දශකයේ මැදභාගයේ සිට 2000 දශකයේ මැදභාගය වන තුරු කාලය සැලකීමේ දී මධ්‍යම මෙක්සිකෝවේ සිදු වූ මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය සැලකිය යුතු තරම් ඉහළ ගොස් තිබුණා. කවදත් මේ ප්‍රදේශය සැලකිය යුතු තරමේ මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදුවන පෙදෙසක් ලෙස නම් දරා තිබුණත්, පෙර කී කාලය තුළ සිදු වූ ඝාතනවල බැලූ බැල්මට සුවිශේෂීතාවක් දක්නට ලැබුණා. සාමාන්‍යයෙන් මේ පෙදෙසේ වන ඝාතන බහුතරයකට ගොදුරු වන්නේ මැර කල්ලිවලට සම්බන්ධ තරුණ තරුණියන්ව යි. කෙසේ නමුත් ඉහත සඳහන් කළ කාලයේ දී වැඩිමනක් ම ඝාතනය වී තිබුණේ වයස 60ට වැඩි වියපත් කාන්තාවනුයි. මෙම ඝාතන සියල්ල ම පාහේ සිදු ව තිබුණේ එක ම ආකාරයකට යි.

ජුවානා බරාසා සිය රෙස්ලිං ඇඳුම සමග- Susana Vargas/ hyperallergic.com

ඝාතනය වූ කාන්තාවන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් තුළ දී ඝාතනය කර තිබූ අතර, පහර දීමෙන් හෝ ගෙල සිරකිරීමෙන් ඒවා සිදුකර තිබුණා. ඉන් අනතුරුව ආගමික වැදගත්කමක් ඇති කුසලාන හා සුරුවම් වැනි දේ පමණක් සොරකම් කොට තිබුණා. මේ කිසිවක් නිවෙස් බිඳ ඇතුළු වී සිදුකර තිබූ ඒවා වූයේ නැහැ.

ජුවානා වෙත සැකය යොමු වීම

මධ්‍යම මෙක්සිකෝවේ සිදුවන මේ ඝාතනවල අසාමාන්‍යතාව ඉව වැටුණු මෙක්සිකානු පොලිසිය ඒ පිළිබඳ අවධානයෙන් පසු වුණා. ඝාතකයා මිනිසුන් රවටා මිත්‍රශීලී ව නිවෙස්වලට ඇතුළු වන බැව් පෙනී ගිය නිසා ප්‍රදේශය පුරාවට ම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2006 දී යම් ‘ඔත්තුවක්’ ඔවුනට ලැබුණා. එම වසරේ දී මෙක්සිකෝ සිටි නගර සීමාවේ නිවසක කාන්තාවක් වෙද නලාවක් ගෙල සිර කිරීම මඟින් ඝාතනය කෙරුණු අතර, එම අපරාධ ස්ථානයෙන් හැඩි දැඩි, මැදිවියේ කාන්තාවක් නික්ම යනු කිසිවෙකු දැක තිබුණා. ඇය හෝ ඔහු කාන්තා ඇඳුමවලින් සැරසී සිටියත් පුද්ගලයාගේ ස්වභාවය පිළිබඳ ව ඇසින් දුටු සාක්ෂ්‍යකරුගේ විස්තරය අනුව, එම පුද්ගලයා හරස් විලාසිනියක් හෝ මිනිමැරුම සඳහා ම ගැහැණු ඇඳුම් ඇඟලාගත් මිනිසෙකු බව පොලිසිය විසින් අනුමාන කළා.

ජුවානා ඇය වෙනුවෙන් සෑදූ අනුරුවත් සමග – PA

ඇසින් දුටු සාක්ෂිකරුගේ විස්තර කිරීම ඉතා පැහැදිලි වූ නිසා ඒ අනුව සැකකරුගේ අනුරුවක් ඇඹීමට පොලීසිය උත්සුක වුණා. එය කිරීමෙන් අනතුරුව රට පුරා ප්‍රසිද්ධ කිරීම සිදු වූ අතර, පැය 48ක් යන්න්ටත් මත්තෙන් ඒ කවුරුන්දැ යි නිසි ලෙස ම අනාවරණය වුණා. සාක්ෂ්‍යකරු ලබාදුන් විස්තරය කිසිදු පිරිමියෙකුට සමාන නොවූ අතර, එය රෙස්ලිං ශූරී ජුවානා බරාසාට හැම අතින් ම සමාන වූයේ බොහෝ දෙනා පුදුමයට පත් කරමිනු යි.

රහස් හෙළි වෙයි

සාක්ෂ්‍ය මත පදනම් ව ජුවානා බරාසා වහා ම සැක පිට අත්අඩංගුවට පත් වූ අතර, වහා ම ඇය ඔස්සේ ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණා. කෙමෙන් කෙමෙන් මෙතෙක් ලොවෙන් සැඟ ව තිබූ ජුවානාගේ ජීවිත කතාව ලොවට හෙළි වෙන්නට පටන් ගත්තා.

ජුවනා කුඩා කල ගෙවා තිබුණේ දැඩි කම්කටොළු සහිත ජීවිතයක්. මේ නිසා ඇය ඉතා දැඩි සිතැති කාන්තාවක් බවට පත් ව තිබූ අතර, මහමඟ සිදු වූ අඩත්තේට්ටම් කිරීමක ප්‍රතිඵලයක් ලෙස ඇගේ දරුවා මියයාම, දාම ඝාතකයෙකු බවට පත්වීම සඳහා මංපෙත් විවර කර තිබුණා. මුලින්ම ඇයට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ 2000 වසරෙන් පසු ව සිදු වූ මිනිමැරුම්වලට පමණක් වුවත්, 1990 දශකයේ මැදභාගයේ සිදු වූ ඇයගේ පුත්‍රයාගේ ඝාතනය සිදු වූ දිනයේ සිට ම වාගේ ඇය විසින් මිනිමැරුම් සිදුකර ඇති බැව් පසු ව අනාවරණය වුණා. කුඩා කල ජුවානා වැඩිපුර ම කම්කටොළු විඳ තිබුණේ ඇයගේ මවගෙන් වන අතර, ඇය විසින් වැඩිහිටි කාන්තාවන් ඉලක්ක කරන්නට යෙදුණේ මේ නිසා බව අනුමාන කෙරෙනවා.

සැන්තා මුඑර්තෙ- traceyrollin.com

ජුවානා මෙක්සිකානු සංස්කෘතියේ එන ‘මරණයේ සාන්තුවරයා’ ලෙස හැඳින්වෙන සැන්තා මුඑර්තෙගේ තද බැතිමතියක් ව සිටීම ද, මෙම මිනිමැරුම් කිරීමට උරදුන් එක් සාධකයක් වන්නට ඇති බැව් අනුමාන කෙරෙනවා. ඇගේ නිවස තුළ සැන්තා මුඑර්තෙ වන්දනාමාන කිරීමේ ස්ථානයක් ද තිබී හමුවුණා.

ඇත්තෙන් ම ජුවානා රෙස්ලිං ශූරියක වීමට අදහස් කර ඇත්තේ කාන්තාවක ලෙස සමාජයෙන් තමා වෙත පැමිණිය හැකි අතවර හා අඩත්තේට්ටම් අවම කර ගැනීමට බව විද්වතුන් පවසනවා. රෙස්ලිං ශූරියක ලෙස සමාජයට පෙනී සිටීම නිසා ඇය වෙත යම් ‘භීතිය මුසු ගෞරවයක්’ සමාජයේ මුල් බැසගැනීම තම ආරක්ෂාවට යහපත් බව ඇය විසින් හඳුනාගන්නට ඇතැ යි ඔවුන් අනුමාන කරනවා.

ජුවානාට දඬුවම් නියම වෙයි

පර්යේෂණ හමුවේ තමන් විසින් කරන ලද මිනිමැරුම් කිහිපයක් ම සාක්ෂ්‍ය සහිත ව ඔප්පු වීම නිසා තමන්ට ගැලවීමක් නොවන බව ජුවානා විසින් වටහා ගන්නවා. ඒ නිසා එසේ කරන ලද මිනිමැරුම් 4ක් පිළිබඳ පාපොච්ඡාරණය කරන්නට ඇය තීරණය කරනවා.

ජුවානා සිරගත ව -EFE

ජුවානා විසින් කරන ලද මිනිමැරුම් පිළිබඳ පර්යේෂණ පවත්වන්නන් පවසන්නේ මිනිමැරුම් 11ක් සඳහා ඇය නියත වශයෙන් ම වරදකරු බව මේ වන විට ඔප්පු වී ඇති බව යි. කෙසේ නමුත් ඇය විසින් සිදුකරන ලද සියලු මිනීමැරුම් ප්‍රමාණය ඊට වඩා බොහෝ වැඩි බවත්, එය 24 සිට 49ක් දක්වා ගණනක් විය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා. මෙය මෙක්සිකෝව තුළ දාම ඝාතකයෙකු විසින් සිදුකළ වැඩි ම මිනිමැරුම් ප්‍රමාණය යි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ජුවානාට මෙක්සිකානු අධිකරණය වසර 759ක සිරදඬුවමක් ලබා දෙනවා.

සිරදඬුවම් විඳිමින් සිටිය දී ජුවානාගේ ජීවිතයේ තවත් පෙරළියක් සිදුවෙනවා. 2015 දී ඇය සිරගෙය තුළ දී ම තවත් මිනිමැරුම් චූදිතයෙකු හා විවාහ වෙනවා. කෙසේ නමුත් එය කටුගා දමන්නට ඊළඟ වසරේ දී ඇය කටයුතු කරනවා.

 

කවරයේ පින්තූරය -tiempo.hn

Related Articles