Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෲක්ලින්හි වැම්පයරයා – ඇල්බට් ෆිෂ්

විසිවන සියවසේ මුල් දශක කිහිපය තුළ ඇමෙරිකාවෙන් බිහිවූ තවත් එක් දරුණු දාම ඝාතකයෙක් ලෙස ඇල්බට් ෆිෂ් හඳුන්වන්නට පුළුවන්. කුඩා දරුවන් මරා, අනතුරුව ඔවුන්ගේ ශරීර කොටස් ආහාරයට ගන්නට තරම් ඔහු සැහැසි වූ අතර බෲක්ලින්හි වැම්පයරයා, විස්ටීරියාවේ වෘකයා හා අළු මිනිසා වැනි අන්වර්ථ නාම කිහිපයකින්ම ඔහු හැඳින්වුණා. මොහු විසින් සිදු කරන ලද මිනිස් ඝාතන ප්‍රමාණය ආසන්න වශයෙන් 100ක් පමණ වෙනවා.

අසාමාන්‍ය කුඩා කාලය

හැමිල්ටන් හොවාර්ඩ් ඇල්බට් ෆිෂ් උපත ලැබුවේ 1870 වසරේ මැයි මස 19 වන දා ඇමෙරිකාවේ වොෂිංටන් නුවර යි. ඔහුගේ පවුලේ බොහෝ දෙනෙක් විවිධාකාරයේ මානසික ගැටළුවලින් පෙළුණා. මව භින්නෝන්මාදයෙන් පෙළුණු අතර, ඔහුගේ සොයුරෙක් යම් උන්මත්තකභාවයකින් දැඩි ලෙස ගිලන් වීම නිසා මානසික රෝහලක ද නවත්වා තිබුණා. ෆිෂ්ගේ පියා ඔහුට වඩා හැත්තෑ පස් වසරක් වැඩිමහළු වූ අතර ඔහු කුඩා කල දීම මියගියා. මේ හේතු කිහිපය නිසා අවසන ඔහුට අනාථ නිවාසයක සිය කුඩා කාලය ගත කරන්නට සිදුවුණා. සිය මුල් ළමා වියේ දී මෙම අනාථ නිවාසය තුළ විඳි කටුක අත්දැකීම් ඇල්බට් ෆිෂ් කුරිරු ඝාතකයෙකු බවට පත් කරනු ලැබුවා.

ඇල්බට් ෆිෂ්- rebelcircus.com

ෆිෂ් සිටි ළමා නිවාසයේ භාරකරුවන් නිතරම දරුවන්ට අඩන්තේට්ටම් සිදුකළ අතර, එකිනෙකා අඩන්තේට්ටම්වලට ලක් කර ගැනීමට ද රුකුල් දුන්නා. මේ හේතුව නිසා බොහෝ දරුවන් එම ස්ථානය අප්‍රිය කරන්නට පටන්ගත් නමුත් ෆිෂ්ට ඒ කෙරේ ලැදියාවක් ඇති වුණා. පසුකාලීනව ඔහුගේ මව ඔහු අනාථ නිවාසයෙන් රැගෙන ගිය ද මෙලෙස ඔහුගේ සිතෙහි පැලපදියම් වූ ‘අඩන්තේට්ටම් කිරීමට හා ලක් වීමට වූ ලැදියාව’ දිනෙන් දින මෝරා වැඩුණා.

යෞවනයෙකු ලෙස

ඇල්බට් ෆිෂ් නව යෞවනයෙකු බවට පත් වූ විට කෙමෙන් කෙමෙන් ලිංගික හැඟීම් ඔහු තුළ මෝදු වන්නට පටන්ගත්තා. ඔහුගේ සිත කඩවසම් තරුණයින් අසල ද නැවතුණා. 1882 වසරේ දී විදුලි පණිවුඩ ගෙනයන්නෙකු ලෙස සේවය කළ තරුණයෙකු සමග ඔහු සම්බන්ධයක් ඇති කරගත්තා. අසාමාන්‍ය චර්යාවන් සහිත ඔහු ෆිෂ්ට මුත්‍රා හා අසූචි ආහාරයට ගන්නට හුරු කළා. ෆිෂ් මෙයට ද ඇලුම් කළ අතර මඳ කාලයකට පසු සිය ශරීරයට විවිධ දෑ ඇතුළ් කරගන්නට ද හුරු වුණා. ෆිෂ් නිතරම සිය පාද හා උදරයට ඉඳිකටු ඇතුළු කරගත්තා. මීට අමතරව ඔහු තමන්ටම පහර දීගත්තා.

ෆිෂ් සිය ශරීරයට ඇතුළු කරගත් ඉඳිකටු දැක්වෙන එක්ස් රේ ඡායාරූපයක්- Wikimedia Commons

කාලයක් ගත වූ පසු තමන්ටම වේදනා පමුණුවාගැනීම ෆිෂ් හට ඒකාකාරී වුණා. මේ අනුව අනුන් වේදනාවට ලක් කර සතුටුවන්නට ඔහු තීරණය කළා. 1910 වසරේ දී ඔහුට තෝමස් කෙඩන් නැම් තැනැත්තෙක් හමුවන අතර ඔහුත් සමග සම්බන්ධයක් ගොඩනගාගත්තා. මෙහිදී කෙඩන්ට දස වධ දුන් ඔහු ඉන් සතුටක් ලැබුවා. අවසානයේ ඔහු අත්හැර දමන ලද ගොවිපොළක වූ කුටියක සිර කළ ෆිෂ් එහිදී ඔහුගේ සිරුරෙහි තැනින් තැන කැපුම් තුවාල ඇති කොට ඔහුගේ පුරුෂ ලිංගය ද කපා දැමුවා. සියල්ල අවසානයේ දී තමන්ට දුන් ‘ආශ්වාදයට’ ප්‍රතිඋපකාරයක් ලෙස ඩොලර් 10ක නෝට්ටුවක් කෙඩන් අසල දමා යන්නටත් ඔහු අමතක කළේ නැහැ.

මානසික ආබාධ උත්සන්න වෙයි

ෆිෂ් හට ඔහුගේ දෙමපියන්ගෙන් උරුම වූ මානසික ආබාධය වැළඳුණා. 1917 වසර වන විට එය උත්සන්න වුණා. ඔහුට නිතරම විවිධ මායාවන් පෙනෙන්නට පටන්ගත්තා. එමෙන්ම අනෙක් පසින් අසාමාන්‍ය චර්යාවන්වල ද වර්ධනයක් සිදුවුණා.

ඇල්බට් ෆිෂ් සිය ආබාධයන් හා අසාමාන්‍යතා සියල්ල මැදින් විවාහ වීමට ද සමත් වූ අතර දරුවන් සය දෙනෙකුගේ පියෙකු ද වුණා. තම දරුවන්ට හානි නොකළ ද ඔහු මේ කාලයේ දී කුඩා දරුවන් රාශියකට වධ හිංසා පැමිණෙව්වා. මින් බහුතරය පිරිමි දරුවනුයි. මේ කාලය තුළ දී මිනී මස ආහාරයට ගන්නට ද ඔහුට රුචියක් උපන් අතර නිතර නිතර අමු මස් වර්ග සිය දරුවන්ට පිළිගැන්වූවා.

1919 වසරේ දී ෆිෂ් මනුෂ්‍ය ඝාතනයක් කිරීමට සැලසුම් කළා. ඒ, වධහිංසා පැමිණුවීමේ සිය ආශාව ඉටු කරගන්නට හා මිනීමස් ආහාරයට ගැනීම සඳහා යි. මේ අනුව ඔහු තමන්ට ගොදුරු කරගන්නට පහසු මානසික ආබාධ සහිත හෝ, රැකවරණය නොලබන කුඩා දරුවන් පසුපස වැටුණා. දෙවියන්වහන්සේ තමන්ට එසේ කරන ලෙස උපදෙස් දෙන බව ඔහු නිතරම පවසන්නට වුණා.

ග්‍රේස් බඩ් ඝාතනය

ග්‍රේස් බඩ් (වමේ) හා ඇගේ සිරුරු කොටස් සොයා පොලිස් පරීක්ෂණ සිදුකෙරෙමින්- onedio.co

කුඩා දරුවන් වෙත ළඟාවන්නට ෆිෂ් අපූරු ක්‍රමයක් අනුගමනය කළා. ඒ මෙහෙකරුවෙකු ලෙස කුඩා දරුවන් සිටින නිවාසවල සේවයට යාම යි. එසේත් නැතිනම් රැකියා සොයන තරුණයින් තම නිවසට ගෙන්වා ගැනීම යි. පුවත්පත් දැන්වීම් ඔස්සේ මේවා සිදුකළ ඔහුට ග්‍රේස් බඩ් නම් ගැහැණු දරුවා හමුවන්නේ 1920 දශකයේ අග භාගයේ දී යි. ෆිෂ් ඇත්තෙන්ම ඉළක්ක කර තිබුණේ ග්‍රේස් ගේ වැඩිමල් සොයුරා එඩ්වඩ්ව යි. එඩ්වඩ් රැකියාවක් සොයා පුවත්පත් දැන්වීමක් දමා තිබූ අතර, ෆිෂ් “ෆ්‍රෑන්ක් හොවාඩ්” යන නාමයෙන් පෙනී සිට, තමන් සන්තකයේ එඩ්වඩ්ට සරිලන රැකියාවක් ඇති බවට අදාල දැන්වීමට පිළිතුරු සපයනවා. මේ අනුව බඩ් පවුල සිය දරුවන් දෙදෙනා රැගෙන ෆිෂ් හමුවන්නට එනවා. ග්‍රේස් ඔහුගේ ඇස ගැටෙන්නේ මේ හමුවේ දී යි. ඇය ‘ආහාරයට ගන්නට’ එක් වරම ඔහුට සිතක් උපන් අතර, තම ඥාති දියණියගේ උපන්දින සාදයට මේ සුරතල් දියණිය රැගෙන යන්නට කෙසේ හෝ බඩ් යුවල කැමති කරවාගන්නට ඔහු සමත් වෙනවා. ඉන් අනතුරුව කිසිම දිනෙක ග්‍රේස් බඩ් පිළිබඳ අසන්නට ලැබුණේ නැහැ.

ෆිෂ්, ග්‍රේස් මරා දමන ලද අතර ඇගේ සිරුර කැබලි කොට කොට ආහාරයට ගත්තා. මේ සිදුවීම 1928 වසරේ දී සිදු වූ අතර ඉන් වසර ගණනාවක් ගතවන තුරු ඇගේ දෙමව්පියන්ට ඇයට අත් වූ ඉරණම ප්‍රහේලිකාවක් වී තිබුණා. අඩුම ගණනේ ඇය කැටුව ගිය ෆ්‍රෑන්ක් හොවාඩ් සොයාගැනීමටවත් ඔවුනට නොහැකි වෙනවා. කෙසේ නමුත් 1934 වසරේ දී ග්‍රේස්ට අත් වූ ඉරණම සවිස්තරාත්මකව ලියා බඩ් මහත්මිය වෙත යවන්නට ෆිෂ් ක්‍රියා කරනවා.

ලිපිය ඔස්සේ පරික්ෂණ

ග්‍රේස්ට අත් වූ ඉරණම සහිත නිර්නාමික ලිපිය ලැබීමත් සමග බඩ් යුවල මහත් සන්තාපයට පත් වුණා. වහාම සිය දියණියගේ ඝාතකයා සොයාගන්නට අදිටන් කළ ඔවුන් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කළා. ඒ අනුව ඔවුන් පර්යේෂණ ආරම්භ කළා. ලිපිය ලියූ කඩදාසිය නිව්යෝක් නුවර ආයතනයකින් ඉවත දැමූ එකක් බැව් ඉක්මණින්ම හඳුනාගත් ඔවුන් එය එහි සේවයේ නියුතු අයෙකු විසින් ඔහු නැවතී සිටි නිවාස සංකීර්ණයට ගෙන ගිය බැව් හෙළි වුණා. එයට ගොස් පරීක්ෂා කිරීමේ දී ග්‍රේස් පැහැරගන්නා ලද ෆ්‍රෑන්ක් හොවාඩ්ට සමාන රූපකායක් සහිත ඇල්බට් ෆිෂ් නැමැත්තෙකු පොලිසියේ ඇස ගැටුණා. වහාම ඔහු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් ඇරඹි අතර එහිදී තමන් ෆ්‍රෑන්ක් හොවාඩ් බවත්, ග්‍රේස් බඩ් ඝාතනය කළේ තමන් බවත් ඔහු පිළිගත්තා. එමෙන්ම තමන් ඒ ආකාරයෙන්ම තවත් දරුවන් රාශියක් ඝාතනය කළ බවට ද ඔහු පාපොච්ඡාරණය කළා. මේ අනුව ගිය පොලිසියට වෙස්චෙස්ටර් හිල්ස් පෙදෙසේ අතැර දමා තිබූ ගෙයක් හා ඒ අවට තිබී ග්‍රේස් බඩ්ගේ අස්ථි කොටස් හමුවුණා.

පොලිස් පරීක්ෂණ අතරතුර- New York Daily Mirror

වහාම ඇල්බට් ෆිෂ්ට එරෙහි නඩු විභාගය ඇරඹුණු අතර එහිදී ඔප්පු කරගත හැකි වූයේ ඝාතන තුනක් පමණ යි. නඩු විභාගය අවසන දඬුවම් පැමිණවීමේ දී ඇල්බට් ෆිෂ්ගේ මානසික තත්ත්වය පිළිබඳව ද දැඩි ලෙස සැලකිල්ලට ගැණුනා. කෙසේ නමුත් අවසන ඔහුට මරණ දඬුවම හිමි වූ අතර, එය 1936 වසරේ ජනවාරි මස 16 වන දා ක්‍රියාත්මක වෙනවා. මරණයට පෙර ෆිෂ් ‘සතුටින්’ තමන් සිදුකළ ඝාතන ලියා මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට ලබා දුන්නේ ඒවා පළ කරන ලෙස පවසමින්. කෙසේ නමුත් ඔවුන් ඒවා සියල්ල ඉවත දමා තිබුණේ ඒවා තමන් එදා මෙදා තුර කියවූ පහත්ම මෙන්ම අධම ඝාතන ක්‍රම සහිත ලිපි කිහිපයක්යැ යි පවසමින්.

Related Articles