Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ෂර්ලොක් හෝම්ස් සහ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්

ඔබත් රහස් පරීක්ෂක කථා කියවන්නට ඇළුම් කරන අයෙක්ද? එසේනම් ඔබ ෂර්ලොක් හෝම්ස් නැමැති රහස් පරීක්ෂකයා සහ ඔහුගේ සහායකයා වන දොස්තර වොට්සන් ගැන නොදන්නවා වෙන්නට බැහැ. මෙම ලිපියෙන් විස්තර වෙන්නේ ලෝකය පුරා බොහෝ පාඨකයන්ගේ අවධානය දිනා ගන්නට සමත් වූ ෂර්ලොක් හෝම්ස් කථා මාලාව සහ එය රචනා කළ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් පිළිබඳවයි.

ඩොයිල්ගේ ළමා අවධිය සහ අධ්‍යාපනය

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් (fictionfanblog.wordpress.com)

චාර්ල්ස් ඩොයිල් සහ මේරි ෆ්ලෝයි යන දෙමව්පියන්ට දාව 1859 මැයි මස 22 දා ආතර් ඉග්නේශියස් කොනන් ඩොයිල් උපත ලබනවා. ඒ ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි දීයි.

මත්පැනට ඇබ්බැහි වූ, එතරම් සාර්ථක නොවූ චිත්‍ර ශිල්පියෙකු වූ මොහුගේ පියා විසින් එතරම් ආදායමක් ඉපයූ අයෙකු නොවූ නිසා කුඩා කාලයේ කොනන් ඩොයිල් ට සැප පහසුකම් වලින් පිරි ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපූරු කථා කියන්නියක් වූ මොහුගේ මව විසින් අගහිඟ කම් වලින් පිරි ළමා කාලය කථාන්දර වලින් රසවත් කරන්නට සමත් වූ බව පසුකාලීනව ආතර් කොනන් ඩොයිල් විසින් රචනා කළ ඔහුගේ ස්වයං චරිතාපදානයේ සඳහන් කරනවා.

කෙසේ නමුත් මොහුට වයස අවුරුදු නවයක් සම්පූර්ණ වෙද්දී පවුලේ ධනවත් ඥාතීන් පිරිසක් විසින් කොනන් ඩොයිල් ට අධ්‍යාපන වියදම් දැරීමට එකඟ වෙනවා. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබිමෙන් පසු, ඩොයිල් පවුලේ සාම්ප්‍රදාය වූ චිත්‍ර කලාව ඉගෙනීම පසෙක ලා ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඒ 1877 දී යි.

මහාචාර්ය ජෝශප් බෙල් ගේ ඇසුර

මහාචාර්ය ජෝශප් බෙල් (wikipedia.com)

තරුණ වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ කොනන් ඩොයිල් ට ජේම්ස් බැරී සහ රොබට් ලුවී ස්ටීවන්සන් වැනි අනාගත කතුවරයන් කිහිප දෙනෙක්ම එඩින්බරෝ විශ්වවිද්‍යාලයේදී මුණ ගැසෙනවා. නමුත් ඔහුගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කරනු ලබන්නේ එවකට එම වෛද්‍ය පීඨයේ ආචාර්යවරයෙකුව සිටි මහාචාර්ය ජෝශප් බෙල් ගේ හමුව මඟින්. මහාචාර්ය බෙල් දක්ෂ වෛද්‍යවරයෙක් ලෙස මෙන්ම රෝගීන් නිරීක්ෂණයට සහ ඒ මඟින් නිගමනයන්ට එළඹීමට අතිශය දක්ෂයෙකු ව සිටි බවයි පැවසෙන්නේ. පසුකාලීනව කොනන් ඩොයිල් විසින් රචනා කළ ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය බිහි වූයේ මහාචාර්ය ජෝශප් බෙල් ගේ චරිතය ඇසුරිනුයි.

ලේඛන දිවිය සහ ෂර්ලොක් හෝම්ස්

Study in Scarlet පළවූ සඟරාවේ මුල් පිටුව (arthurconandoyle.com)

වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ඔහු විසින් The Mystery of Sasassa Valley නම් කෙටිකථාවක් රචනය කළා. එය එවකට එඩින්බරෝ හි සඟරාවක් වන චැම්බර්ස් සඟරාව මඟින් ප්‍රකාශයට පත් කළා.

ඉන් පසුවද ඔහු විසින් විවිධ කථා නිර්මාණය කළත් කොනන් ඩොයිල් ලේඛකයෙකු වශයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා ගන්නේ ෂර්ලොක් හෝම්ස් කථා මාලාව නිර්මාණය වීමෙන් පසුවයි. ඔහු වෛද්‍යවරයෙකු ලෙස ජීවන වෘත්තිය ඇරඹුවත් වැඩි සාර්ථකත්වයක් අත්කර ගන්නේ නැහැ. මේනිසා ඔහු තමන්ගේ විවේක කාලයේදී නිර්මාණකරණයට පෙළඹෙනවා.  1886 මාර්තු මාසයේ දී ඔහු තමන්ගේ මුල්ම ෂර්ලොක් හෝම්ස් නිර්මාණය A Study in Scarlet  නමින් නිර්මාණය කරනු ලබනවා. එයින් ටික කාලයකින් ඉක්බිතිව මෙම ෂර්ලොක් හෝම්ස් කථා ඉමහත් ජනාදරයට පත් වෙන අතර කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් කථා මාලාවක් නිර්මාණය කරනවා. ඒ කෙටි කථා 56 කින් සහ දීර්ඝ කථා 4 ක් ලෙස. එසේම ලෝකය පුරා ඉමහත් ජනාදරයක් හිමි කරගනු ලබන මෙම කථා මාලාව පසුකාලීනව බොහෝ භාෂා ගණනකට පරිවර්තනය වෙනවා.

ලොව පුරා පැතිර ගිය ෂර්ලොක් හෝම්ස් උන්මාදය

ෂර්ලොක් හෝම්ස් කථා මාලාව නිර්මාණය වී අදට සියවසකට අධික කාලයක් ගත වී ඇතත් තවමත් එය ලොව පුරා පාඨකයන්ගේ ඉමහත් ආදරයට බඳුන් වූ කථා මාලාවක්. ප්‍රබන්ධයේ ෂර්ලොක් හෝම්ස් ජීවත්ව සිටියා යැයි සැලකෙන බේකර් වීථියේ අංක 221/B  දරණ ස්ථානය ලන්ඩන් නගරයට පැමිණෙන සංචාරකයන් බොහෝමයකගේ අවධානයට ලක් වන ස්ථානයක්.

බේකර් වීථියේ අංක 221/B දරණ ස්ථානය (lorcan.biz)

එසේම එදා මෙදා තුර ෂර්ලොක් හෝම්ස් චරිතය ආශ්‍රිතව බිහිවී ඇති චිත්‍රපට සහ නාට්‍ය සංඛ්‍යාව ද විශාල ගණනක්.

2009 වසරේදී තිරගත වූ ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටිය (independent.co.uk)

1930 ජූලි මස 7 වෙනිදා කොනන් ඩොයිල් මෙලොවෙන් සමුගත්තත් ඔහු විසින් නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් නම් රහස් පරීක්ෂකයා අදටත් පාඨකයන්ගේ සිත්සතන් වල ජීවමානයි.

මූලාශ්‍ර – arthurconandoyle.com

කවරයේ පිංතූරය – scoopwhoop.com

Related Articles