පසුගිය මැයි මාසයේ දී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් වරක් ගැටුම් ඇවිලීයාම නිසා ගෙවුණු සතිවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුව තිබුණා. දැනට දශක 7කට වැඩි කාලයක් පුරා පවතින මෙම ගැටුම හේතුවෙන් දෙරටේම දහස් සංඛ්‍යාත ජනතාවකට ජීවිත අහිමි වුණා. තවත් විශාල පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්වුණු අතර සරණාගතයන් විශාල ප්‍රමාණයක් බිහිවුණා. මෙයින් පලස්තීන වැසියන් වැඩි ප්‍රමාණයක් සරණාගතයන් බවට පත්වුණේ ඊශ්‍රායලය පලස්තීන භූමියෙන් විශාල කොටසක් යුද්ධකොට අල්ලාගත් නිසා යි.
ඊශ්‍රායල-පලස්තීන අර්බුදය ගැන කියවන්න: ඊශ්‍රායල – පලස්තීන අර්බුදය: කවුද හරි? කවුද වැරදි?
ඊශ්‍රායෙල් යුද ශක්තිය හමුවේ පලස්තීන වැසියන් අසරණ වෙද්දී පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටි එක්තරා නායකයෙකු සිටියා. යසර් අර්ෆත් නම් වුණු එම නායකයා ඊශ්‍රායෙල්-පලස්තීන ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදීමට සෑම විටම උත්සාහ කළා. එනිසා අර්ෆත්ට 1994 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය පවා හිමිවුණා. මෙම ලිපිය වෙන් වන්නේ යසර් අර්ෆත් නම් නායකයාගේ දිවියේ වැදගත් තොරතුරු ස්වල්පයක් සඳහා යි.
ජීවිතයේ මුල් අවධිය
1929 අගෝස්තු 24 වැනිදා පලස්තීන ජාතික රෙදි වෙළෙන්දෙකුට දාව දරුවෙකු බිහිවුණා. දරුවන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක පස්වැන්නා වුණු ඔහුට “යසර් අර්ෆත්” යන නම තැබුවා. ඔහු උපන් ස්ථානය ජෙරුසෙලම වශයෙන් ඇතැම් මූලාශ්‍රවල දක්වා තිබුණ ද, තවත් සමහර මූලාශ්‍රවල දැක්වෙන්නේ ඔහුගේ උපන් බිම ඊජිප්තුවේ කයිරෝ නගරය බව යි. කෙසේ වෙතත් අර්ෆත් කුඩාකල සිටම කයිරෝ නගරයේ ජීවත් වුණු නිසා ඔහුගේ උපන් බිම කයිරෝ නගරය බවට අනුමාන කළ හැකියි.
කයිරෝවේ හැදී වැඩුණු යසර් අර්ෆත්ගේ ළමා කාලය එතරම් සුන්දර එකක් වුණේ නැහැ. ඔහුට වයස අවුරුදු 4 සම්පූර්ණ වෙද්දී මව මියයාම නිසා දුක්ඛිත ජීවිතයක් ගතකරන්නට ඔහුට සිදුවුණා. අර්ෆත්ගේ මව මියයන විට ඔහු සහ බාල සොයුරන් දෙදෙනා කුඩා අවධියේ පසුවුණා. එනිසා අර්ෆත්ගේ පියා ඔහු සහ බාල සොයුරන් දෙදෙනා ජෙරුසලමට පිටත්කර හැරියා. එහි ජීවත් වුණු ඔවුන්ගේ මාමා කෙනෙකු වුණු සලීම් අබ්දුල් ඔවුන් හොඳින් රැකබලා ගත්තා. වසර 4ක පමණ කාලයක් ජෙරුසලමේ වාසය කළ අර්ෆත් යලි ඊජිප්තුවට ගියා. එහි දී සිය පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු ඉංජිනේරුවෙකු වීමට සිහින දුටුවා.
විශ්වවිද්‍යාල ජීවිතයේ දී සිදුවුණු පෙරළිය
1947 වසරේ දී යසර් අර්ෆත් පළමුවන ෆවුඩ් රජු විශ්වවිද්‍යාලයයට (වර්තමාන කයිරෝ විශ්වවිද්‍යාලයය) ඇතුළත්ව ඉංජිනේරු විද්‍යාව හදාරා, සිය අනාගත සිහිනය සැබෑ කරගැනීම සඳහා ඇපකැප වී වැඩ කළා. නමුත් 1948 වසරේ දී අර්ෆත්ගේ ජීවිතයේ ගමන්මඟ වෙනස් කරන ආකාරයේ සිදුවීමක් මැද පෙරදිග කලාපයේ සිදුවුණා. 1948 වසරේ අලුතින් බිහිවුණු ඊශ්‍රායෙල් රාජ්‍යය, ඊට යාබදව පිහිටි ජෝර්දානය, ඊජිප්තුව, ලෙබනනය, ඉරාකය, සහ සිරියාව යන රටවල් සමග ගැටුමක් ඇතිකර ගත්තා.
උපතින් පලස්තීන ජාතිකයෙකු වුණු අර්ෆත්, ඊශ්‍රායලය විසින් පලස්තීනයට අයත්ව තිබුණු ප්‍රදේශ අල්ලාගැනීමට ආරම්භ කරන ලද මෙහෙයුමට විරෝධය පළකළා. එදා ගැටවර වියේ පසුවුණු අර්ෆත්ට සිය ආවේගශීලි හැඟීම් පාලනය කරගැනීමට නොහැකි වුණා. එනිසා ඔහු ඊශ්‍රායලයට එරෙහිව යුධ වැදීම සඳහා සටන් බිමට යාමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. නමුත් එකල ඊජිප්තු හමුදාව නුපුහුණු සටන්කරුවන්ට යුධ පෙරමුණ වෙත යාමට ඉඩ ලබාදුන්නේ නැහැ. අර්ෆත්ට ආපසු හැරී එන්නට සිදුවුණා.
1949 වසරේ ජූලි මාසය වෙද්දී මැද පෙරදිග යුද්ධය අවසන් වුණා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස, ඊශ්‍රායලයට පලස්තීනයේ බිම් ප්‍රදේශවලින් 2/3ක පමණ බලය හිමිවුණා. එනිසා ලක්ෂ 7කට වැඩි පලස්තීනුවන් පිරිසක් සරණාගතයන් ලෙසින් යාබද අරාබි රටවල්වලට සංක්‍රමණය වුණා. සිය ජාතියේ මිනිසුන්ට නිවහනක් අහිමිවීම නිසා අර්ෆත් දැඩි ලෙස වේදනාවට පත්වුණා. අර්ෆත්, යුදෙව්වන්ට වෛර කරන්නට පටන්ගත් බව කියැවෙනවා.
ඊජිප්තු යුධ හමුදාවට එකතු වීම
1950 දශකයේ මුල් භාගයේ දී අර්ෆත් සිය මව්බිම වුණු පලස්තීනයේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම ආරම්භ කළා. 1952 වසරේ දී ඔහු විශ්වවිද්‍යාලයයේ පලස්තීන ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට පත්වුණා. 1956 වසර වන තුරු එම තනතුරේ කටයුතු කළ අර්ෆත් අරාබිකරය පුරා විසිරී සිටි පලස්තීන සිසුන් එකට එකතු කරමින් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් දිනාගැනීම වෙනුවෙන් සටන් කළා. ඒ අතරතුර සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකළ ඔහු සිවිල් ඉංජිනේරු උපාධියක් ලබාගත්තා.
උපාධිය ලැබීමෙන් පසු දෙවන ලුතිනන්වරයකු ලෙස ඊජිප්තු යුධ හමුදාවට එක්වුණු අර්ෆත්, 1956 සූවස් ඇළ අර්බුදයේ දී සටන් පෙරමුණ වෙත ගියා. එම යුද්ධය නිමාවට පත්වීමෙන් පසුව ක්වේට් රටට ගිය අර්ෆත්, සිවිල් ඉංජිනේරුවෙකු වශයෙන් එහි සේවය කළා. පසුව තමන්ගේම කොන්ත්‍රාත් සමාගමක් ආරම්භ කළ ඔහු, ඉන් හොඳ ආදායමක් ලබාගත්තා. මෙසේ සැපවත් ජීවිතයක් ගතකිරීමට අවස්ථාව උදාකර ගෙන තිබුණත්, අර්ෆත් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ගොඩනැගීමට සිහින දැක්කා. 1960 දශකයේ මැද භාගයේ දී, ඒ සඳහා වටපිටාව සකස් කිරීමට මූලික පියවර ගනු ලැබුවේ ඔහු යි.
සූවස් ඇළ අර්බුදය ගැන දැනගන්න කැමති නම්, මෙම ලිපිය සහ මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වේවි.
පලස්තීනය වෙනුවෙන් හඬක් නැගීම සඳහා සංවිධාන බිහිවීම
1959 වසර වන විට ඊශ්‍රායලය යුද ශක්තිය අතින් තව තවත් බලවත් වෙමින් සිටියා. එනිසා පලස්තීන වැසියන් දැඩි ලෙස පීඩාවට පත්වුණා. එවැනි කාල සමයක යසර් අර්ෆත් ඇතුළු පිරිසක් ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදීම සඳහා සංවිධානයක් පිහිටුවාගත යුතුයැ යි තීරණය කළා. 1959 වසරේ දී “Fatah” හෙවත් පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරය බිහිවුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. එය පිහිටුවීමට යසර් අර්ෆත්, සලාහ් කලාෆ්, කලීල් අල් වසීර් (අබු ජිහාඩ්), කලීඩ් යෂ්රුති යන පුද්ගලයන් මූලිකත්වය ගත්තා. Fatah සංවිධානය පිහිටවූ මුල් යුගයේ දී, අබු ජිහාඩ් රචනාකොට සංස්කරණය කරන ලද “අපේ පලස්තීනය” නම් සඟරාව නිසා දසත විසිරී සිටි දහස් සංඛ්‍යාත පලස්තීනුවන්ට ජාතික හැඟීම ඇතිවුණා. 1962 වසරේ දී අර්ෆත් ඇතුළු පිරිස සිරියාවට සංක්‍රමණය වුණා. ඒ වන විට Fatah සංවිධානය සතුව සාමාජිකයන් 300ක් පමණ සිටියා. නමුත් ඊශ්‍රායලය සමග සටන් කිරීමට ඔවුන් සතුව කිසිදු සටන්කරුවෙකු සිටියේ නැහැ. එනිසා සිරියාවේ දී, Fatah සංවිධානයට සටන්කරුවන් බඳවා ගැනුණා.
Fatah සංවිධානය ක්‍රමයෙන් ශක්තිමත් වෙද්දී, ඊශ්‍රායලය සමග බද්ධ වෛරයෙන් සිටි පලස්තීන ජාතිකයන් පිරිසක් එක්ව 1964 වසරේ දී “පලස්තීන විමුක්ති සංවිධානය” පිහිටවනු ලැබුවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අරාබි ලීගය විසින් සැපයුනා. මේ නව විමුක්ති සංවිධානයේ නායකත්වය අහම්ඩ් ෂුකෙයිරිට හිමිවුණා. 1965 වසරේ වසරේ දී පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර මාලාවක් ආරම්භ කළා. 1965 වසරේ දී ප්‍රහාර 35කුත්, 1966 වසරේ දී ප්‍රහාර 41කුත් ඔවුන් ඊශ්‍රායලය වෙත එල්ලකර තිබුණා. 1967 වසරේ පළමු කාර්තුව ඇතුළත සංවිධානය විසින් ප්‍රහාර 30කට වැඩි ප්‍රමාණයක් දියත් කළා. නමුත් එම ප්‍රහාරයන් එල්ල වුණේ ඊශ්‍රායලයේ නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන යි. එනිසා පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තිබුණු වෛරය තවත් වැඩි වුණා.
පලස්තීන ගරිල්ලා කණ්ඩායම් දිගටම සටන් කරයි
1967 වසරේ දී සිදුවුණු සයදින යුද්ධයෙන් ඊශ්‍රායලය ජයග්‍රහණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට පලස්තීන භූමියෙන් තවත් කොටස් කිහිපයක් අත්පත් කරගැනීමට හැකිවුණා. ඒ සමගම, නිදහස් පලස්තීනයක් ගොඩනැගීම සඳහා සටන් වදිමින් සිටි සංවිධාන අරාබි ලීගය ගැන තබා තිබුණු විශ්වාසය පළුදු වුණා. එනිසා 1967 වසරේ දී පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරය (Fatah සංවිධානය) සහ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) එකට එකතු වුණා. 1968 වසරේ දී Fatah සංවිධානයේ සන්නද්ධ අංශය ජෝර්දානයේ කරමේ නම් ගම්මානයේ දී ඊශ්‍රායෙල් හමුදාව සමග සටන් වැදුණා. එහි දී ඊශ්‍රායෙල් හමුදාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට Fatah සංවිධානයේ සන්නද්ධ අංශයට හැකිවුණා. අවසානයේ දී ඊශ්‍රායෙල් හමුදාවට සටනේ ජයග්‍රහණය හිමිවුණත් සැලකිය යුතු ඊශ්‍රායෙල් භටයන් පිරිසක් සටනේ දී මියගියා. එනිසා 1968 කරමේ සටනින් පසුව යසර් අර්ෆත් නම් චරිතය වඩාත් ඉස්මතු වී පෙනෙන්නට වුණා.
පලස්තීන විමුක්ති සංවිධානයේ නායකත්වය හිමිවීම
1967 දෙසැම්බර් 24 වැනිදා සිට 1969 පෙබරවාරි 3 වැනිදා දක්වා යාහියා හම්මුඩා නම් පුද්ගලයා පලස්තීන විමුක්ති සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළා. ඔහු එම තනතුරෙන් ඉවත්වීමෙන් පසුව 1969 පෙබරවාරි 4 වැනිදා සිට යසර් අර්ෆත් පලස්තීන විමුක්ති සංවිධානයේ නායකත්වය භාරගත්තා. ඒ වන විට පලස්තීන විමුක්ති සංවිධානය ජෝර්දානය තුළ ක්‍රියාකාරීව සිටියා. පලස්තීන විමුක්ති සංවිධානයට අයත් වුණු PFLP (පලස්තීන විමුක්තිය සඳහා මහජන පෙරමුණ) නම් සංවිධානය 1970 සැප්තැම්බර් 15 වැනිදා පැහැරගන්නා ලද ගුවන් යානා 3ක් ජෝර්දානයට ගෙනැවිත් පුපුරවා හැරියා. කෝපයට පත්වුණු ජෝර්දානයේ හුසේන් රජු, එම සිදුවීම වලකාලීමට හැකියාවක් තිබුණු බව කියමින් යසර් අර්ෆත්ට චෝදනා කළා.
ජෝර්දානයේ හමුදාව සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර සැප්තැම්බර් 16-27 කාල සමයේ දී දරුණු සටන් ඇවිලී ගියා. එම සටනින් පසුව පලස්තීන විමුක්ති සංවිධානයට ජෝර්දානය අතහැර යන්නට සිදුවුණා. 1970 සැප්තැම්බර් මාසයේ සිදුවුණු මෙම සිදුවීම නිසා “කළු සැප්තැම්බර්” යන යෙදුම කරළියට පැමිණියා. මෙම සිදුවීමෙන් පසුව බිහිවුණු කළු සැප්තැම්බර් නම් සංවිධානයක් එම යුගයේ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුකළා. 1972 මියුනික් ඔලිම්පික් තරගාවලියේ දී ඊශ්‍රායෙල් ක්‍රීඩකයන් පිරිසක් මරා දැමුවේ ද කළු සැප්තැම්බර් සංවිධානය යි. කළු සැප්තැම්බර් සංවිධානය විසින් සිදුකෙරුණු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට අනුබල දුන් බවට අර්ෆත්ට ද දිගින් දිගටම චෝදනා එල්ල වුණා. බොහෝ දෙනෙකුගේ මතය වුණේ අර්ෆත්ට එම ප්‍රචණ්ඩක්‍රියා පාලනය කිරීමට හැකියාව තිබුණු බව යි. මින් පසු ජෝර්දානයෙන් පළාගිය අර්ෆත් ලෙබනනයේ ජීවත් වෙමින් ඔහුගේ අරගලය ඉදිරියට ගෙන ගියා.
කියවන්න: ලේ ගලාගිය මියුනික් ඔලිම්පික් ශෝකාන්තය
ලෙබනනයේ ගතකළ කාලය
යසර් අර්ෆත් ලෙබනනයේ සිට පලස්තීන විමුක්ති සංවිධානයේ ශක්තිය තවත් වැඩි කළා. 1975 වසර පමණ වන විට පලස්තීන විමුක්ති සංවිධානය ලෙබනනය තුළ ද සැලකිය යුතු බලයක් හිමිකර ගත්තා. ලෙබනනයේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් සංවිධාන අතර ඇතිවුණු ගැටුම් නිසා 1975 වසරේ දී ලෙබනන් සිවිල් යුද්ධය ආරම්භ වුණා. එම සිවිල් යුද්ධයට පලස්තීන විමුක්ති සංවිධානය ද මැදිහත් වුණා. වසර ගණනාවක් පුරාවට පැවතුණු ලෙබනන් සිවිල් යුද්ධයේ තීරණාත්මක සිදුවීමක් 1982 වසරේ දී වාර්තා වුණා. ඒ, ඊශ්‍රායෙල් හමුදාවන් විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීම යි. ඊශ්‍රායෙල් හමුදාව එවැනි ආක්‍රමණයක් සිදුකළේ ද පලස්තීන විමුක්ති සංවිධානය විනාශ කිරීමේ අරමුණ ඇතිව යි. ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති යසර් අර්ෆත් විනාශ කිරීම සඳහා “සෝල්ට් ෆිෂ්” නමින් වෙනම බලකායක් යොදවා තිබුණා. ලෙබනනයේ තවදුරටත් රැඳී සිටීම අවදානම් බව තේරුම්ගත් අර්ෆත් ටියුනීසියාවට පළා ගියා.
සාම මාවතට පිවිසීම
1988 නොවැම්බර් 15 වැනිදා පලස්තීන විමුක්ති සංවිධානය විසින් නිදහස් පලස්තීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා. 1989 අප්‍රේල් 2 වැනිදා සිට, මේ උපකල්පිත පලස්තීන රාජ්‍යයේ ජනාධිපති තනතුරට යසර් අර්ෆත් පත්වුණා. 1988 දී එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වුණු අර්ෆත් විසින් සිදුකෙරුණු කතාව ද ඉතා විශේෂ එකක්. එයින් කොටසක් අපි පහතින් දක්වනවා.
“අපි ඊශ්‍රායෙල්-පලස්තීන ගැටලුවට යුධමය විසඳුමක් ලබාදෙන්න දශක කිහිපයක් තිස්සේ උත්සාහ කළා. ඒකෙන් වුණේ පාර්ශව දෙකේම උදවිය නිකරුණේ මරණයට පත්වුණු එක විතර යි. ඇත්තටම පහුගිය කාලෙ අපි අතිනුත් ගොඩක් වැරදි වුණා. විශේෂයෙන්ම අපගේ පලස්තීන විමුක්ති සංවිධානය විසින් සිදුකෙරුණු සමහර ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳව මම අද කණගාටු වනවා. දැන් අපි යුද්ධ කළා හොඳටම ඇති. දැන් අපි උත්සාහ කරන්න ඕනේ පැරණි පලස්තීන රාජ්‍යය තුළ යුදෙව්වන්ට, මුස්ලිම්වරුන්ට, සහ ක්‍රිස්තියානිවරුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න යි. ඒකට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබාගන්න ඕනි. එනිසා මම ඊශ්‍රායෙල් නායකත්වයෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවෙ අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා”.
90 දශකයේ මුල්භාගය වන විට ඇමරිකාව සහ නෝර්වේ එකතු වී ඊශ්‍රායෙල්-පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබාදීමට ඉදිරිපත් වුණා. ඉන්පසු සාම සාකච්ඡාවලින් ඇතිවූ අතර, 1993 දී ඔස්ලෝ සම්මුතිය අත්සන් කෙරුනා. පලස්තීන පාලනාධිකාරියක් පිහිටුවා ස්වයං පාලන බලතල ලබාදීමට ඊශ්‍රායලය එකඟ වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. 1994 වසරේ දී යසර් අර්ෆත්ට පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති තනතුර හිමිවුණා. ඊශ්‍රායෙල්-පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබාදීමට මුල්වුණු යසර් අර්ෆත්, යිසාක් රාබීන් (එවකට ඊශ්‍රායෙල් අගමැති), සහ ෂිමොන් පෙරෙස් (එවකට ඊශ්‍රායෙල් විදෙස් ඇමති) යන තිදෙනාට 1994 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය හිමිවුණා.
යිසාක් රබීන්ට සිදුවුනේ කුමක් ද? කියවන්න: සාමයට අත වනා මරු කැඳවාගත් ඊශ්‍රායල් අගමැති – යිසාක් රබීන්
අර්ෆත්ගේ අවසාන කාලය
යසර් අර්ෆත් පලස්තීන පාලනාධිකාරියේ ජනාධිපතිවරයා වී වසර 2ක් පමණ ගෙවුණු පසු ජනාධිපතිවරණයක් පැවැත්වුණා. එම ජනාධිපතිවරණයේ දී ඡන්ද 643,079ක් ලබාගත් අර්ෆත්, 89.80%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින් යලි ජනාධිපති වශයෙන් තේරී පත්වුණා. යසර් අර්ෆත්ගේ නායකත්වයෙන් යුත් Fatah පක්ෂය පලස්තීන ව්‍යවස්ථාදායක සභාවේ ආසන 88න් 50ක් දිනාගත්තා. ඉන් පසුව ගෙවුණු වසර 8 පුරාවට ඊශ්‍රායලයෙන් සහ අනිකුත් රටවල්වලින් එල්ලවුණු විවිධ බාධක මධ්‍යයේ අර්ෆත් පලස්තීනයේ පාලනය ගෙන ගියා.
2004 වසරේ අග භාගයේ දී හදිසියේම අසනීප වුණු අර්ෆත් නොවැම්බර් 11 වැනිදා ප්‍රංශයේ රෝහලක දී අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ මරණය සඳහා නිශ්චිත හේතුව පැහැදිලි නොවුණත් එය විෂක් ශරීරගත වීමෙන් සිදුවුණු මරණයක් බව පසුකාලීනව විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය වුණා. නමුත් එහි ඇත්ත නැත්ත සොයාගැනීමට නොහැකි වුණු නිසා අර්ෆත්ගේ මරණය අදටත් අභිරහසක්.