Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පියවරුන් දෙදෙනකුට දාව උපත ලත් නිවුන් දරු යුගළයක්

‘නිවුන්’ දරුවන් යන යෙදුම භාවිත කරන්නේ මවකගේ ගර්භාෂයේ එක ම විටෙක විකසනය වී, එකට ම උපත ලබන දරුවන්ට යි. මොවුන් සම නිවුන්නු සහ විසම නිවුන්නු යන දෙයාකාර වෙනවා. සම නිවුන්නු එක ම යුක්තානුවක් දෙකට බෙදී ඇතිවන අතර, විසම නිවුන්නු, එක ම විටෙක ඇතිවන යුක්තානු දෙකක් නිසා උපත ලබනවා. මේ දෙකට ම වඩා සුවිශේෂී නිවුන් දරු උපතක් බ්‍රසිලයෙන් පසුගිය දා වාර්තා වුණා. 

බ්‍රසීල කාන්තාවක් නිවුන් දරු උපතක් සිදු කළ අතර, පසුව හෙළි වූයේ එම දරුවන් දෙදෙනා පියවරුන් දෙදෙනකුට දාව උපත ලබා ඇති බව යි. මේ කාන්තාව ආසන්න දිනවලදී පුරුෂයන් දෙදෙනකු හා ලිංගික ව එක් වී ඇති අතර, මේ දෙදෙනාගෙන් ම ගැබ් ගෙන තිබුණා. මෙය වෛද්‍ය විද්‍යාත්මක ව ඉතාමත් කලාතුරකින් සිදුවන්නක් වෙනවා.

සැක සංකා දුරු කරගන්නට සිදු කළ පරීක්ෂණය

19 හැවිරිදි බ්‍රසීල ජාතික කාන්තාවක් තම නිවුන් දරුවන් අපේක්ෂිත ව සිටියා. කෙසේ නමුත් මේ දරුවන්ගේ පියා කවුදැයි යන්න පිලිබඳ ව ඇය හට යම් යම් සැක සංකා මතු ව තිබුණා.

එයට හේතුව වී තිබුණේ, ඇය සිය ගැබ පිළිසිඳ ගෙන තිබූ දිනයේ පුරුෂයන් දෙදෙනෙක් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා තිබීම යි. මේ නිසා මේ දෙදෙනාගෙන්, සිය කුස පිළිසිඳගෙන තිබෙන දරු දෙදෙනාගේ පියා කවුදැයි යන්න පිළිබඳ ව ඇය නිශ්චිතව ම දැන සිටියේ නැහැ.

දරුවන් දෙදෙනා – Newsflash

කෙසේ හෝ සාර්ථක ලෙ,ථ දරුවන් දෙදෙනෙක් ඇයට ලැබුණා. මොවුන් විසම නිවුන්නු බවට කාටත් පෙනී ගියා. ඒත් තවමත් මේ දරුවන්ගේ පීතෘත්වය සම්බන්ධ ව ඇයගේ සැක සංකා දුරු වී නොතිබුණු නිසා, අවසානයේ ඔවුන්ගේ පියා කවුදැයි හරියාකාර ව ම දැනගැනීම සඳහා පීතෘත්ව පරීක්ෂණයක් සිදු කරන්නට ඇ‍ය තීරණය කළා. මෙහි ප්‍රතිඵලය වූයේ කිසිවෙක් නොසිතූ දෙයක්.

මේ කාන්තාව පීතෘත්ව පරීක්ෂණය සඳහා යොමු කොට තිබුණේ, ඉහත පුරුෂයින් දෙදෙනාගෙන් එක් අයකු පමණ යි. ඔහුගේ ජාන හා සැසඳුණේ දරු දෙදෙනාගෙන් එක් අයකු පමණ යි. සරලව ම කිවහොත් මේ දරු දෙදෙනාගේ පියවරුන් දෙදෙනෙක් බැව් පරීක්ෂණයෙන් ඔප්පු වී තිබුණා.

දුර්ලභ සිදුවීමක්

“මට මතක ආකාරයට, මා පිළිසිඳ ගත් දිනයේ පුරුෂයන් දෙදෙනෙක් සමඟ හැසිරුණා. මින් එක් අයෙක් සමඟ අදටත් මට සම්බන්ධතා තිබෙනවා. මා ඔහු හට පීතෘත්ව පරීක්ෂණයට සම්බන්ධ වන ලෙස පැවසුවා. ඔහු ඊට එකඟ වුණා. මේ ආකාරයට, එක් දරුවකු සම්බන්ධයෙන් පමණක් ඔහුගේ පීතෘත්වය තහවුරු වූයේ ඒ අනුව යි.” සිය අනන්‍යතාව හෙළි කරන්නට අකැමැති වූ කාන්තාව මාධ්‍ය හමුවේ පවසා තිබුණා. 

” ප්‍රතිඵල දුටු විට මා පුදුමයෙන් පුදුමයට පත් වුණා. මෙය මෙසේ විය හැකි බැව් මා දැන සිටියේ නැහැ. කොටින් ම දරුවන් දෙදෙනාගේ පෙනුම ද සෑහෙන දුරට එක සමාන යි.”

විද්‍යාවට අනුව මෙවැන්නක් සිදුවිය හැකි මුත්, එසේ සිදුවීමේ සම්භාවිතාව අතිශය දුර්ලභ වෙනවා.

“එකම මවකගේ ඩිම්බ දෙකක්, එක ම විටෙක දී නිකුත් වී, එය පුද්ගලයන් දෙදෙනකුගෙන් සංසේචනය වෙන්නට පුළුවන්” මේ කාන්තාවගේ පවුලේ වෛද්‍යවරයා වන ටුලියෝ ජෝර්ජ් ෆ්‍රැන්කෝ පවසනවා.

 ” මේ දරුවන් මවගේ ජාන සහ වෙනස් පියවරුන්ගේ ජාන දරමින්, වැදෑමහ දෙකක එක විට වැඩෙනවා”

ට පෙර මෙවැනි සිදුවීම් ලොව වාර්තා වී ඇත්තේ 20 ක් පමණකි – Ridarz’9 / Getty Images

“heteropaternal superfecundation,” යනුවෙන් වෛද්‍ය විද්‍යාත්මක ව හඳුන්වන මෙය ඇතිවන්නේ ඉතාමත් කලාතුරකිනු යි. එය සිදුවීමට නම්, එකම ආර්තව චක්‍රයක දී ඩිම්බ දෙකක් නිකුත් විය යුතු අතර, එක ළඟ සිදුවන ලිංගික එක්වීම් දෙකක දී මේ දෙක ම සංසේචනය ද විය යුතු වෙනවා. මෙය පුද්ගලයන් දෙදෙනකුගෙන් සිදුවීම නිසා, පළමු සංසර්ගයේ දී එක් ඩිම්බයක් සංසේචනය නොවී, බේරී තිබීම ද විය යුතු වෙනවා.

ෆ්‍රැන්කෝ පවසන ආකාරයට මෙවැන්නක් සිදුවිය හැක්කේ උපරිම වශයෙන් මිලියනයකට එක් වතාවක් පමණයි. මීට පෙර මෙවැනි සිදුවීම් ලොව වාර්තා වී ඇත්තේ 20 ක් පමණ වන අතර, වාර්තා නොවූ සිදුවීම් ද සැලකිල්ලට ගැනීමේ දී මෙවැනි සිදුවීම් 400 ක් පමණ පසුගිය කාලයේ සිදුවන්නට ඇති බැව් වෛද්‍ය ෆ්‍රැන්කෝ ගණන් බලා තිබෙනවා.

අතීත සිදුවීම්

මේ ආකාරයේ පිළිසිඳගැනීම මිනිස් ලෝකයට වඩා සත්ත්ව ලෝකයේ සිදුවෙනවා. ගවයන්, සුනඛයන් මෙන් ම බළලුන් අතර ද මෙය දක්නට ලැබෙන අතර, තමන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි කර ගැනීම සඳහා මේ වර්ගවල ගැහැනු සතුන් සරු සමයේ දී සහකරුවන් රාශියක් හා සම්බන්ධ වීම දැකිය හැකි යි. මෙය මිනිස් ලෝකයේ සිදුවන්නේ අල්ප ව නිසා, මෙවැනි සිදුවීම් අසන්නට ලැබෙන්නේ කලාතුරකින්.

2015 වසරේද මෙවැනි සිදුවීමක් වාර්තා වුණා. අමෙරිකා එක්සත් ජනපදයෙහි නිව් ජර්සි හී නිවුන් දරු උපතක දී, එක් පුද්ගලයකුට වියදම් කරන ලෙස අධිකරණයෙන් නියම කෙරුණේ එක් දරුවෙක් සඳහා පමණ යි. එයට හේතුව ඔහුට පීතෘත්වය තිබුණේ ඉන් එක් දරුවකුට පමණක් වූ නිසා යි. මෙම දරුවන්ගේ මව, මෙම පුද්ගලයා අධිකරණය හමුවට ගෙන ගොස් තිබුණේ, මොහු සිය නිවුන් දරුවන් දෙදෙනාගේ ම පියා බැව් පවසමිනු යි. නමුත් ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් තහවුරු වූයේ අනෙකක්.

ලොව සෑම නිවුන් දරු උපත් 13000 කින් ම එකක් පියවරුන් දෙදෙනකුගේ වීමේ විද්‍යාත්මක සම්හාවිතාවක් තිබෙනවා – Today.com

“මෙය නිව් ජර්සි හි මෙවැන්නක් විභාග වන පළමු වතාව යි. මෙවැනි සිදුවීම් අමෙරිකාව පුරා ම වාර්තා වන්නේ කීපයක් පමණ යි” විනිසුරු සොහේල් මොහොමඩ් තීන්දුව දෙමින් ප්‍රකාශ කර තිබුණා.

1997 වසරේදී ඩී.එන්.ඒ සම්බන්ධව ප්‍රවීණ දැනුමක් ඇති කාල්-හාන්ස් වූසින්ගර්, වාර්තාවක් එළිදක්වමින් පවසා තිබුණේ, නිවුන් දරු උපත් 13,000 කට එකක් පමණ මේ ආකාරයේ, වෙනස් පීතෘත්වය දරන ඒවා විය හැකි බව යි.

විද්‍යාත්මක සම්හාවිතාව

ශුක්‍රාණුවක ආයු කාලය දින 7-10 දක්වා විය හැකි බැවින්, යම් කාන්තාවකගේ එක් ආර්ථව චක්‍රයකදී ඩිම්බ දෙකක් පිටවුවහොත්, මෙවැන්නක් සෛද්ධාන්තික ව සිදුවීමේ සැලකිය යුතු ඉඩක් තිබෙන බැව්, මේ පිළිබඳ හසළ දැනුමැති ව්ද්‍යාඥයෙක් වන කීත් එඩ්ල්මන් පවසනවා. මේ ආකාරයෙන් ජාතීන් දෙකකට අයත් පියවරුන්ගේ දරුවන් ද බිහි වූ සිද්ධීන් ලොව වාර්තා වී තිබෙනවා.

“මෙය අපි සිතා සිටිනවාට වඩා සුලබ සංසිද්ධියක්” එඩ්ල්මන් පවසනවා. “මින් බොහොමයක් හඳුනා නොගැනෙන්නේ, පීතෘත්වය සඳහා පරීක්ෂණ නොකෙරෙන නිසා යි” 

කවරයේ ඡායාරූපය - Rebecca Emery / Getty Images
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Newslivetv.com
Timesofindia.indiatimes.com

Related Articles