Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා තියෙන අමුතු ම ග්‍රහලෝක

කාලයක් තිස්සේ අපි දන්නා ග්‍රහලෝක තිබුණේ නවයක් විතරයි. ඒ අතරිනුත් ප්ලූටෝ ග්‍රහලෝකයක් ද නැද්ද කියන එක ගැන ගැටලුවක් තිබුණා. කොහොම නමුත් දුරේක්ෂවල සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක දැන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත තිබෙන ග්‍රහලෝකත් දහස් ගණනක් සොයාගෙන තිබෙනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ දකින්න නැති අපූරු ලක්ෂණ තිබෙන, අමුතු ම ග්‍රහලෝක කිහිපයක් ගැන යි අද කතා කරන්නේ.

සූර්යයා තරම් ම උණුසුම් ග්‍රහලෝකය – KELT-9b

මෙය බ්‍රහස්පති වගේ තුන් ගුණයක් තරම් විශාල යි (glbimg.com)

සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම් ම ග්‍රහලෝකය වන සිකුරුගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 500කටත් අධික යි. කොහොම නමුත් අපිට ආලෝක වර්ෂ 650ක් විතර ඈතින් තිබෙන KELT-9b හි මතුපිට සූර්යයා තරම් ම උණුසුම්. බ්‍රහස්පති වගේ තුන් ගුණයක් විතර විශාල වායු යෝධයෙක් වන මෙය අධික උණුසුම් තරුවකට ආසන්නයෙන් තිබෙන නිසා එහි උෂ්ණත්වය සෙල්සියස් 4600ක් තරම්. තරුවක් තරම්ම උණුසුම් වුණත් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සිදු නොවන නිසා මෙය ග්‍රහලෝකයක් විදිහට හඳුනා ගැනෙනවා.

ජලයෙන් වැසුණු ග්‍රහලෝකය – GJ 1214b

hi-news.ru

සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු තරම් ජලය පවතින්නේ පෘථිවියේ පමණයි. පෘථිවියේ මතුපිටෙන් 75%ක්ම ජලයෙන් වැසී තිබුණත් ඇත්තෙන් ම සාපේක්ෂ ව එහි ජලය තියෙන්නේ සුළු ප්‍රමාණයක් විතරයි. ජල ප්‍රමාණය පෘථිවියේ මුළු ස්කන්ධයෙන් 0.05%ක්වත් නැහැ. අපේ මුහුදේ ගැඹුරත් උපරිමයෙන් කි. මී. 11ක් වගේ. නමුත් අපිට ආලෝක වර්ෂ 42ක් තරම් දුරින් පිහිටි GJ 1214b ග්‍රහලෝකයේ මතුපිට කිලෝමීටර සිය ගණනක් ගැඹුරට ජල වාෂ්පවලින් පිරුණු වායුගෝලයක් වගේ ම ගැඹුරු සාගරයකිනුත් වැසී පවතිනවා. එහි ස්කන්ධයෙන් 10%ක්ම තිබෙන්නේ ජලය යි. මේ නිසා මෙය ජල ග්‍රහලෝකය ලෙස යි හැඳින්වෙන්නේ.

කළු කුහරයක් වගේ ආලෝකය උරා ගන්නා ග්‍රහලෝකය – TrES-2b

eurozpravy.cz

පෘථිවියේ අපිට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක බොහොමයක් රෑ අහසේ හොඳින් දකින්න පුළුවන්. මේකට හේතුව හිරු එළියට පරාවර්තනය වෙලා අපේ ඇස් වෙත එන්න පුළුවන් වීම යි. කොහොම නමුත් ආලෝක වර්ෂ 750ක් ඈතින් තිබෙන TrES-2b ග්‍රහලෝකය නම් ළඟට ම ගියත් හරිම අඳුරු යි. තරුවකට ආසන්නයේ තිබෙන නිසා ආලෝකයෙන් අඩුවක් නැතත් මේ ග්‍රහලෝකයේ තිබෙන සෝඩියම්, පොටෑසියම්, සහ ටයිටේනියම් ඩයොක්සයිඩ් වාෂ්ප නිසා එයට වැටෙන ආලෝකය මුළුමනින්ම වගේ උරා ගන්නවා. එයින් පරාවර්තනය වෙන්නේ වැටෙන මුළු කිරණවලින් 1%කටත් වඩා අඩු ප්‍රමාණයක්. මේ නිසා ම එය හරිතාගාර ආචාරණයෙනුත් ඉහළ ම ග්‍රහලෝකයක් බව කියවෙනවා.

වීදුරු වහින ග්‍රහලෝකය – HD 189733b

space.com

පෘථිවියේ වහින, ජල බිංදුවලින් හැදුණු වැස්සේ තෙමෙන්න අපි හරිම ආස වුණත් ආලෝක වර්ෂ 63ක් දුරින් තිබෙන HD 189733b ග්‍රහලෝකයේ නම් තත්ත්වය ටිකක් වෙනස්. තරුවකට ඉතා ම ආසන්නයෙන් තිබෙන මෙහි අධික සිලිකන් ප්‍රතිශතයක් තිබෙන නිසා තරුව දෙසට හැරුණු පැත්තේ සිලිකන් වාෂ්ප වී වලාකුළු නිර්මාණය වෙනවා. නිතර ම පැ. කි. මී. 8000කටත් වඩා වේගයෙන් හමන අධික සුළං නිසා මේ සිලිකන් වාෂ්ප ග්‍රහලෝකයේ අනෙක් පැත්තට ඇදී ගිහින් ඝන වෙලා වහින්න පටන් ගන්නවා. නමුත් සිලිකන් වාෂ්ප ඝන වුණා ම වහින්නේ වීදුරු. පැ. කි. මී. 8000කට වඩා වේගවත් සුළං නිසා මේ වීදුරු වැස්ස පොළොවට සමාන්තරව යි වැටෙන්නේ. ඉතින් මේ ග්‍රහලෝකයේ තෙමෙන්න ගියොත් නම් වැඩි වෙලා ඉන්න වෙන්නේ නැහැ.

කවරයේ රූපය : Roar Media

 

Related Articles