Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැන්සි ස්පේන් ගේ තැබෑරුම යට තරුණ සිරුරු වළ දැම්මේ කවුරුන් ද?

ලොව සිදු වන සමහර භයානක මිනිස් ඝාතන පිළිබඳ ව තොරතුරු බාහිර ලෝකයට නිරාවරණය වන්නට බොහෝ කලක් ගතවෙනවා. සමහර අවස්ථාවල දී ඒ සඳහා වසර සිය ගණනක් ගත වෙනවා. මේ ආකාරයට ඝාතනය වූ සය දෙනකුගේ සිරුරුවල කොටස් පසුගිය දිනෙක අයර්ලන්තයේ තැබෑරුමක් යට තිබී හමු වුණා. බලධාරීන් පවසන පරිදි මේ සිරුරු කොටස් අවම වශයෙන් වසර 500 ක් වත් පැරණි ඒවා වෙනවා.

තැබෑරුම ඉවත් කිරීමේදී හමු වූ දේ

අයර්ලන්තයේ කෝක් හි, බැරැක් වීදියේ නොම්මර 48 දරන ස්ථානයේ ස්ථාපිත ව තිබූ ‘නැන්සි ස්පේන් ගේ තැබෑරුම’ ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ ව තිබූ තැබෑරුමක් වුණා. ප්‍රදේශයේ තරුණ ප්‍රජාව නිතර මෙහි එක් රැස් වී, මධුවිත තොල ගෑමට මෙන්ම, නර්තනයේ යෙදෙන්නටත් පුරුදු වී සිටියා. මෙය 2021 වසරේ දී කඩා ඉවත් කෙරුණු අතර, එහිදී එහි අත්තිවාරම යට තිබී, සිරුරු කිහිපයකට අයත් මිනිස් ඇටකටු මතුවීමත් සමඟ, එහි සේවයේ නියුතු පිරිස ඒ පිළිබඳ ව ප්‍රදේශයේ පොලිසිය දැනුම්වත් කළා.

එහි පැමිණි පොලිස් නිලධාරීන්ට වැටහී ගියේ මෙම සිරුරු කොටස් වසර සිය ගණනක් පැරණි ඒවා බව යි. ඒ අනුව අයර්ලන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණ කිරීම භාර වුණු අතර, ඔවුන් ඒවා වසර 500 ක් පමණ පැරණි බවත්, ඉතා අමානුෂික ලෙස ඒ සියල්ලක් ම ඝාතනය කර ඇති බවත් සොයා ගෙන තිබෙනවා.

නැන්සි ස්පේන් ගේ තැබෑරුම – Corkbeo.ie

වැඩිදුර පර්යේෂණ

‘එම ඇට කැබලි හමුවීම ඇත්තෙන් ම ඉතාමත් අපූර්ව දෙයක්’ මේ සිරුරු භාර ව වැඩිදුර පර්යේෂණ සිදුකරන ජෝන් ක්‍රොනින් ඇන්ඩ් ඇසෝසියේට්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ ඩේවිඩ් මර්ෆි පවසනවා. මෙම ඇටකටු වසර 500 ක් පමණ පැරණි බැව් මුලින් ම සොයාගත්තේ එම සමාගම යි.

 ” මෙවැනි දේ හමුවන්නේ ඉතා කලාතුරකිනු යි. එබැවින් මේවා පිළිබඳ ව නිසියාකාරයෙන්, ඉතා සූක්ෂම ව පර්යේෂණ සිදුකළ යුතු යි” ඔහු වැඩිදුරටත් පවසනවා.

මර්ෆි සහ අනෙකුත් ඉතිහාසඥයන්  මුලින් ම මේ සිරුරු පිළිබඳ ව පර්යේෂණ ආරම්භ කළේ 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි. ඒ අදාළ තැබෑරුම කඩා ඉවත් කිරීම ආරම්භ කළ අවධියේ ම යි. ගොඩනැඟිල්ල කඩා ඉවත් කළ පිරිසට පුරාවිද්‍යාව හෝ අපරාධ විද්‍යාව පිළිබඳ එතරම් දැනුමක් නොතිබී ඇති අතර, පළමු ඇට කැබලි කිහිපය මතු වූ වනම ඔවුන් ප්‍රදේශයේ පොලිසිය දැනුම්වත් කර තිබුණේ යම් අපරාධයකට මේවා සම්බන්ධ බව සිතමිනු යි. එලෙස පැමිණි පොලිස් කණ්ඩායමේ අපරාධ විද්‍යාව පිළිබඳ හසළ දැනුමැත්තන් සිට ඇති අතර, ඇට කැබලි පරීක්ෂා කළ ඔවුනට ඉක්මනින් ම වැටහී ඇත්තේ මෙම පර්යේෂණ තමන්ට කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර එකක් බව යි. මර්ෆි සහ පිරිස එම ස්ථානය වෙත කැඳවා ඇත්තේ ඒ අනුව යි.

“මෙම තැබෑරුම පිහිටි ස්ථානය හා ඒ අවට ප්‍රදේශය සැලකෙන්නේ කෝක් හි පුරාවිද්‍යා වටිනාකමක් ඇති පෙදෙසක් ලෙස යි. මේ පෙදෙස මධ්‍යතන යුගයේ දී ජනාකීර්ණ ව පැවති බවට සාධක හමු වී ඇති අතර, වසර සිය ගණනක් පැරණි විවිධ දෑ ඒ පෙදෙසින් මීට පෙරත් හමු වී තිබෙනවා ” යි මර්ෆි  පුවත්පත් වෙත පවසා තිබුණා.

හමු වූ ඇට කැබලි- thestar.com

මිය ගිය අයගේ විස්තර

නැන්සි ස්පේන්’ගේ තැබෑරුමට යට වී තිබී හමු වූ මිනිස් සිරුරු සය සඳහා විකිරණශීලී කාබන් පරීක්ෂාව සිදු කළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මිය ගොස් ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1447-1636 අතර කාලයේ බව යි. මේ සියල්ල ම මිය යන විට වයස අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසු වී අති බව සහ ඒ සියල්ල ම පුරුෂයන්ගේ ඇටකටු බවත් සොයා ගැනුණා. මේවායේ තිබූ විවිධාකාරයේ සලකුණු අනුව, මේ සියලු දෙනා බොහෝ විට ඉතා අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.කෙසේ නමුත් මේවා සාමාන්‍ය සමූහ මිනී වළක මෙන් නොව, යම් ගෞරවයකින් යුක්තව, පිළිවෙළට අසුරා එහි තැන්පත් කර තිබීමත් විශේෂිත යි. කෙසේ නමුත් මේ සියල්ලගේ ම අත් පිටි කර බැඳ තිබූ බවට සහ, පාද ද වළළලුකරවලින් තදින් ගැටගසා තිබූ බවටත් සාධක හමු වී තිබෙනවා. මේ නිසා මොවුන් සියල්ල ඝාතනය කළ බවට වූ මතය තවත් තහවුරු වී තිබෙනවා.

මේ සියලු දෙනා කුමනාකාරයෙන් ඝාතනය වූවාද යැයි යන්න තවමත් හෙළි කර ගන්නට කිසිවෙක් සමත් වී නැහැ. මරණයට පත්වන අවස්ථාවේ දී මේ සියලු දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවට වැඩිදුර පර්යේෂණ මඟින්  හෙළි වී තිබෙන අතර, දත් මැළියම් හැර වෙනත් රෝගාබාධයක් ඒ කිසිවකින් ප්‍රකට වී නැහැ. මේ ඇටකටු කිසිවක ගැඹුරු කැඩීම්, කැපීම් සහ තැලුම් දක්නට නැහැ. ඒ නිසා මේ කිසිවෙක් එල්ලා, පිහි හෝ කඩු වැනි තියුණු ආයුධවලින් කපා හෝ මොට ආයුධයකින් පහර දී ඝාතනය කළ බවට සාධක ද හමු වී නැහැ. හී පහර, වෙඩි පහර ලකුණු ද කිසිවක් ඒවාවල දක්නට නැහැ.

පර්යේෂණ සිදු කෙරෙමින්- www.irishexaminer.com/

මොවුන් මිය ගියේ කෙසේ ද?

මේ සිරුරු දැරූ අය මිය ගියේ කෙසේ ද යන්න පිළිබඳ ව යම් මතවාද කිහිපයක් වර්තමානය වන විට විද්වතුන් සකසා තිබෙනවා. ඒ 1447 වසර හා 1636 වසර අතරතුර අයර්ලන්තයේ සිදු වූ ඓතිහාසික සිදුවීම් අනුසාරයෙනු යි. පර්යේෂකයන්ට අනුව බොහෝ විට  මෙම මරණ පළමු ඩෙස්මන්ඩ් කැරැල්ල (1569 -1573 ), දෙවන ඩෙස්මන්ඩ් කැරැල්ල (1579 -1583), නව අවුරුදු යුද්ධය (1593-1603) හෝ පළමු එළිසබෙත් රැජන මිය ගිය පසු 1603 වසරේ දී කෝක් හි ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ සිදු ව තිබෙනවා.

පුරාවිද්‍යාඥයන් පවසන පරිදි වැඩිදුර පර්යේෂණවලින් බොහෝ විට මොවුන් වළ දැමූ දින පිළිබඳ ව වඩාත් නිවැරදි තොරතුරු හෙළිවනු ඇති. කෝක් හි දේශපාලනික බලධාරීන් ද ඔවුන් සමඟ හවුල් වී මේ වැඩ කටයුත්තට අත ගසා තිබෙනවා. ඒ ඔවුන් සතු ව ඇති ඉපැරණි වාර්තාවල තොරතුරු පිරික්සීමෙනු යි. තවමත් ඔවුනට ඒවා මඟින් මෙම සිරුරු හා විශ්වාසනීය ලෙස සමපාත කළ හැකි තොරතුරු හමු වී නැහැ.

කවරයේ ඡායාරූපය - සය දෙනකුගේ සිරුරුවල කොටස් අයර්ලන්තයේ තැබෑරුමක් යට තිබී හමු වුණා - gruposaedal.com
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Washingtonpost.com
irishcentral.com

Related Articles