Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් දුරකතනවල එන Storage තාක්ෂණය: UFS 3.0

OnePlus 7 ලිපියේ දී අප UFS 3.0 ගැන සඳහන් කළ අවස්ථාවේ මේ කියන්නේ මොකක් ගැන ද කියලා ඔබ බලන්න ඇති. ඊට පෙර ආ Galaxy Fold උපාංගයේත් තිබුණු මේ Flash storageවල දත්ත ගබඩා කිරීමේ නවතම තාක්ෂණය වඩාත් වේගවත් දත්ත සංසරණයන් අප වෙත ගෙන එනවා.

UFS තාක්ෂණයේ වතගොත

Samsung eUFS චිප්පත් (anandtech.com)

Flash Storage අපට Pen driveවල, දුරකතනවල දකින්න ලැබෙනවා. මේවායේ ඇති විශේෂත්වය Hard Diskවල වගේ චලනය වන කොටස් නොමැතිව දත්ත ගබඩා කළ හැකි වීම යි. එවිට ගෙවීයාම් වැනි භෞතික හානි නිසා ඊට සිදුවන බලපෑම් වලකිනවා. SSDවලත් Flash ආකාරය පාවිච්චි වුණත් ඒවායේ ධාරිතා ප්‍රමාණය වැඩිවත්ම මිල වැඩිවන නිසා එය වළක්වා ගන්නට Penවලට වඩා ටිකක් වේගය අඩු Flash memory තමයි පාවිච්චි වෙන්නේ.

UFS යන කෙටි යෙදුමෙන් කියැවෙන්නේ Universal Flash Storage යන්න යි. විවිධ නිෂ්පාදක සමාගම්වලින් විවිධ ආකාරයට සකසන්නේ නැතිව ලොව පුරා සම්මතයක් ලෙසින් මේ තාක්ෂණය පවත්වාගෙන යා යුතු නිසා මයික්‍රොඉලෙක්ට්‍රොනික කර්මාන්තය සඳහා අවශ්‍ය ගෝලීය සම්මතයන් JEDEC කමිටුව තීරණය කරනවා. Storage chip එකක් උපාංගයට සබැ‍‍ඳෙන ආකාරය, දත්ත හුවමාරු වන ආකාරය එහිදී සැලකිල්ලට ගැනෙනවා. මුල්ම UFS පද්ධතිය හඳුන්වා දුන්නේ 2011 දී යි. 2013 දී දෙවැන්න එනම්, UFS 2.0 හඳුන්වා දෙනු ලැබුවා.

JEDEC කමිටු ලාංඡනය (jedec.org)

මෙම පද්ධතිය නිසි ආකාරව, වේගවත්ව ක්‍රියා කරන තරමට ෆෝන් එකේ Apps install වීමට සහ විවෘත වීමට යන කාලය අඩු වෙනවා. ඒ වගේම වාහනවල, ක්‍රෝම්බුක් වැනි උපාංගවල, VR පද්ධතිවල සහ මීඩියා ප්ලේයර්වල ක්‍රියාකාරීත්ව වේගය වැඩි වෙනවා.

මුල් වරට UFS පද්ධතිය දකින්නට ලැබුණේ 2015 දී Samsung Galaxy S6 දුරකතනයේ යි. ඉන් අනතුරුව S8 සහ OnePlus 5 වැනි ඉදිරිපෙළ දුරකතන රැසක UFS 2.1 වැනි නවතම තාක්ෂණයන් දකින්නට ලැබුණා.

අලුතින්ම එන UFS 3.0

OnePlus 7 Pro සතුව UFS 3.0 Storage එකක් තිබෙනවා (phonearena.com)

2018 පෙබරවාරියෙන් පසු UFS 3.0 ඉදිරිපෙළ උපාංගවලට යෙදීම ඇරඹුණා. ඒ සමග යි අපිට OnePlus 7 Pro, Galaxy Note 10 ආදියේ මෙය අත්විඳින්නට අවස්ථාව උදා වන්නේ.

නව 3.0 තාක්ෂණය මඟින් වැඩි ඝනත්වයක් සහිත NAND මතකයන් භාවිතයට ගැනෙන අතර විදුලි බලය ද භාවිතා වන ප්‍රමාණය ඒ සමග අඩු වෙනවා. එසේම අත්‍යාවශ්‍ය කොටස් දෙකක් වන memory සහ chipset අතර සබඳතා වේගය ද වැඩි කරලනවා. තත්පරයට ගිගාබයිට් 23.2ක් තරම් ඉහළ වේගයකින් අපට UFS 3.0 මඟින් දත්ත සංසරණය පුළුවන්.

මේ සියල්ලම එකතු වුණාම අපට වේගවත් ප්‍රතිචාර කාලයක් ලැබෙනවා. ගොනු සංසරණය කරන්නට, App විවෘතව වීමට හෝ ෆයිල් කොපි කිරීමට ගතවන කාලය අඩු වෙනවා. ඉන් අදහස් වන්නේ උපාංගයේ එක්වර Apps කිහිපයක් භාවිතය, එකිනෙක අතර මාරු වීමේ දී අතරමැද සිරවීම් නොමැතිවීම, Download කිරීම්වල දී හෝ ගොනු හුවමාරු කිරීම් වේගවත් වීම සමග දත්ත ගබඩා කිරීමට සහ කියවීමට ගතවන කාලය අඩුවීම මෙහි අවසාන ප්‍රතිඵලය බවට පත් වෙනවා.

UFS 3.0 චිප් (wccftech.com)

විශේෂයෙන් ඡායාරූප ගැනීමේ දී එකක් ගත්තාට පසු උපාංගය හිරවීම් ඔබ අත්විඳ ඇත්නම්, එසේ වීමට එක් හේතුවක් වන්නේ Flash storage එකෙහි එය රැඳවීමට ගතවන කාලය වැඩි වීම යි. නව තාක්ෂණය සමග විදුලි බල භාවිතයත් අඩු නිසා දුරකතනයේ වේගය සමග බැටරි බල භාවිතයත් අවම වෙනවා. 3-bit V-NAND flash memory chip භාවිතය මඟින් 2.5V නව බල සැපයුම් ක්‍රමවේදයක් එක්වන නිසා වඩාත් අඩු බලයකින් එයට ක්‍රියාත්මක වන්නට හැකියි.

ඒ වගේම, ඉතා අඩු -40°C සිට 105°C තරම් ඉහළ උෂ්ණත්ව තත්ත්ව යටතේ ගැටළුවකින් තොරව ක්‍රියාත්මක වීම ස්මාර්ට් කාර් රථවලට මහත් වාසියක් බවට පත් වෙනවා.

පෙර තිබූ UFS 2.1වලට එකතුවූ නව හැකියාවන්

වේග සංසන්දනය (@UniverseIce)

මූලික වශයෙන් UFS 3.0 සමග සිදුවන්නේ දත්ත සංසරණ වේගය UFS 2.1ට වඩා දෙගුණයකටත් වඩා වැඩි වීමයි. UFS 2.1වල දත්ත සංසරණ වේගය තත්පරයට මෙගාබයිට් 1200ක් වන අතර UFS 3.0 සමග 2900 MB/s අගයක් ලැබෙනවා.

තවත් වෙනස්කමක් වන්නේ සන්නිවේදන මාර්ග (චැනල) වෙනස් වීම යි. නව 3.0 ගබඩා කිරීමේ තාක්ෂණයට වඩාත් හොඳ සහ ස්ථාවර ක්‍රියාකාරීත්වයක් දක්වන්නට පුළුවන්. බල සැපයුම අනුව ද UFS 2.1වල 3.3V ක් වෙත්දී UFS 3.0 සඳහා අවශ්‍ය වන්නේ 2.8V තරම් අඩු අගයක්.

නව වෙළුමෙහි Replay attacks වැළකීමට සහාය දක්වනවා. Replay attack එකක් කියන්නේ, අවසන් වරට දත්ත ගබඩා කළ සංඥාවක් දෙස බලා හිඳ එය සතුව තිබුණු අනන්‍යතා පත්‍රය (සත්‍ය ලොව ID කාඩ් එක; මේ අවස්ථාවේදී, hash එක) හොරකම් කරගෙන තවත් කෙනෙක් (වෛරසයක් / සැහැසි කේතයක්) එම පිවිසුම නැවත සිදු කිරීමයි. එවිට දත්ත ගබඩාවට වෙනත් කෙනෙකුගේ මුවාවෙන් අනවශ්‍ය ලෙස හානි පමුණුවන්නට හෝ දත්ත උපුටා ගන්නට හැකි‍ වෙනවා. මෙය වැළැක්වීමට Replay Protected Memory Block හෙවත් RPMB නමින් ක්‍රමවේදයක් ඇති අතර UFS 3.0 ඊට සහාය දක්වනවා.

අත්විඳින්න ලැබෙන්නේ කවදා ද?

UFS තාක්ෂණය යොදාගත් මෙමරි චිප් (aolcdn.com)

පැරණි UFS 2.1 පසුගිය වසරවල දී ආ Galaxy S8 වැනි දුරකතනවල දකින්නට ලැබුණා. 2018 දී හඳුන්වාදුන් මෙම නව 3.0 ක්‍රමවේදය 2019 වර්ෂය සඳහා හඳුන්වාදුන් ඉදිරිපෙළ දුරකතන රැසක දැනටමත් දකින්නට ලැබෙනවා. Flash Storage නිෂ්පාදකයන් වන Western Digital, Samsung වැනි සමාගම් මෙය ඔවුන්ගේ නිෂ්පාදන වෙත ලබා ගනු ඇති.

අඩු මිල දුරකතන වෙත මෙය පියමං කිරීමට නම් තවත් අවුරුද්දක් පමණ ගත වීමට ඉඩ තිබෙනවා. Quick Charge 4.0 වැනි විශේෂාංග ද උපාංග වෙත ලැබීමට කල් ගත වනු අපට දකින්නට ලැබෙන නිසා මෙය ද හැමෝටම දැරිය හැකි මිල සහිත දුරකතන උපාංගයකට පැමිණෙද්දී තවත් කල් ගතවී තිබිය හැකි බවට අනාවැකි පළ කළ හැකියි.

කවරය: anandtech.com

Related Articles