”දූෂණය කියන්නේ පගාව ගන්න එක විතරක් නෙවෙයි. දූෂණය කියන්නේ නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් කරන වැරදි ගණනාවක එකතුවක්. අල්ලස, වංචාව බලහත්කාරය, තීරණ ගැනීමේ අයිතිය වැරදි ලෙස යොදා ගැනීම, හිත මිත්‍ර සංග්‍රහ, ඥාති සංග්‍රහ, අසාධාරණ අයකිරීම්, පොදු දේපළ අයථා ලෙස පරිහරණය, නීති විරෝධී ප්‍රදාන කියන මේ සියලු දේ ම දූෂණය කියන වචනය තුළ නිර්වචනයට ලක්වෙනවා” යනුවෙන් දූෂණය යන වචනය නිර්වචනයට ලක් කරන්නේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යි.
ලෝකයේ මිනිසුන් මෙන් ම ආයතන, සංවිධාන හා රාජ්‍ය ද තම අවශ්‍යතා සපුරා ගැනීමට නිරන්තරයෙන් අතිශය තරගකාරි බවක් තුළ කටයුතු කිරීම නිසා කෙසේ හෝ තම අරමුණු ඉටු කර ගැනිමට යාමේ අහිතකර තත්ත්වයක් උද්ගත ව පවතියි. රාජ්‍ය දුෂණය මාතෘකාව කරලියට පැමිණ ඇත්තේ ද මේ හේතුවෙනි. ලොව සියලු දෙනාට සාමය, සාධාරණත්වය, සමානාත්මතාව ආදිය නිවැරදි ව ක්‍රියාත්මක වීමට නම් දුෂණය පිටු දැකිය යුතු ය.
දූෂණ සංජානන දර්ශකය
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය වර්ෂයක් පාසා ඉදිරිපත් කරන දූෂණ සංජානන දර්ශකය මේ සම්බන්ධ අවබෝධයක් ලබනු පිණිස උපයෝගී කර ගත හැකි ප්‍රාමාණික දර්ශකයකි. 2021 වර්ෂයේ දී ඉදිරිපත් කළ දර්ශකය අනුව රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 102 වෙනි ස්ථානය යි. එය 2020 වර්ෂයට සාපේක්ෂව ස්ථාන 8ක පහළ වැටීමකි. මෙහි විශේෂත්වය වන්නේ මාලදිවයින, ඉන්දියාව හා භුතානය යන දකුණු ආසියාතික රටවල් තුනක් අපට වඩා එම දර්ශකයේ ඉදිරියෙන් සිටිම ය.
1990 මුල් කාලයේ දූෂණය යන වචනය කතා කිරිමටත් තහනම් වකවානුවක දූෂණය පිටු දැකිම මුලික කර ගනිමින් විශ්‍රාමික ලෝක බැංකු නිලධාරි පීටර් අයිවන් සහ තවත් නව දෙනෙක් එක්ව මෙම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පිහිටුවා ගැනිණි. ඒ 1993 ජර්මනියේ අගනුවර වන බර්ලින්හි දී ය. මෙම සංවිධානයේ මූලස්ථානය ඇත්තේ ද ජර්මනියේ අගනුවර වන බර්ලින්වල ය.
මුලාශ්‍ර 13ක් හා විශේෂඥ අදහස්
ඔවුන් දූෂණය මැඬපැවත්වීම සඳහා ගත් ඉතා වැදගත් පියවරක් ලෙස 1995 දී හඳුන්වා දුන් දුෂණ සංජානන දර්ශකය පෙන්වා දිය හැකි ය. එතැන් සිට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය වාර්ෂික ව ඉදිරිපත් කරන දූෂණ සංජානන දර්ශකයේ ලකුණු 0ත් 100ත් යටතේ රටවල් වර්ගීකරණයට ලක් වේ. ලකුණු 100ක් ලබා ගන්නා රාජ්‍ය දුෂණයෙන් තොර රටවල් ලෙස ද, ලකුණු 0ක් ලබා ගන්නා රටවල් අන්ත දුෂිත රටවල් ලෙස ද හැඳින්වේ. මෙම දර්ශකය ගොඩ නැඟීමට අවශ්‍ය දත්ත සපයා ගන්නේ ලෝක බැංකුව, ලෝක ආර්ථික සංසදය ආදි මුලාශ්‍ර 13කින් හා විශේෂඥ අදහස් හා ව්‍යාපාර ප්‍රජාව වෙතින් ලබා ගන්නා දත්ත පාදක කරගෙන ය.
මේ දත්ත අනුව 2021 වර්ෂයේ ලකුණු 88ක් ලබා ගනිමින් ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ නවසීලන්තය ලොව දූෂණය අඩුම රටවල් බවට පත් ව ඇත. 2020 වර්ෂයේ දුෂණ සංජානන දර්ශකයේ පළමු ස්ථානය ඩෙන්මාර්කය සහ නවසීලන්තයට හිමි වී තිබු අතර ලකුණු 85ක් ලබා ගත් ෆින්ලන්තයට හිමි ව තිබුනේ තුන් නව ස්ථානයයි. මෙවර ඔවුන් පියවර දෙකක් ඉදිරියට පැමිණ ඇත.
දූෂණය අඩු ම රටවල් දහය අතර පිළිවෙළින් නෝර්වේ, සිංගප්පූරුව, ස්වීඩනය, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, ලක්සම්බර්ග් සහ ජර්මනිය ඇතුළත් ව ඇත. දර්ශකය අනුව 2021 වර්ෂයේ ලොව දූෂණයෙන් වැඩි ම රටවල් වන්නේ ලකුණු 13ක් ලබා ගත් සෝමාලියාව, දකුනු සුඩානය සහ සිරියාව ය. දුෂණ සංජානන දර්ශකයට අනුව ලොව රටවලින් 86% ක ප්‍රමාණයක් පසුගිය වසර දහය තුළ දුෂණය පිටු දැකීම සම්බන්ධව ප්‍රගතියක් ලබා නැත.
2020 වර්ෂයේ දී ලකුණු 38 ලබා ගනිමින් ශ්‍රී ලංකාව දූෂණ සංජානන දර්ශකයේ 94 වෙනි ස්ථානයේ සිටි අතර එරටට මෙවර හිමි වු ලකුණු ප්‍රමාණය 37කි. 2019 වර්ෂයේ දී ලකුණු 38ක් ලබා ගනිමින් 93 වෙනි ස්ථානය ද, 2018 වර්ෂයේ එම ලකුණු ප්‍රමාණය ම ලබා ගනිමින් 89 වෙනි ස්ථානය ද හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාව වසර 10ක පමණ කාලයක සිට ලකුණු 36ත් 40ත් අතර පරාසයේ ස්ථානගත ව සිටියි. ශ්‍රී ලංකාවට වැඩි ම ලකුණු හිමිව ඇත්තේ 2012 වර්ෂයේ ලබා ගත් ලකුණු 40 වේ. ශ්‍රී ලංකාව ලද අඩුම ලකුණු වන්නේ 2016 දි ලබා ගත් ලකුණු 36 වේ. රටේ දුෂණය වැලැක්වීම සඳහා ඇති හැකියාව, ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග සලකා බැලීමට හා එම රට දර්ශකයේ සිටින ස්ථානයට වඩා මෙහිදී වැදගත් වන්නේ එරට ලබා ගත් ලකුණු ප්‍රමාණය සහ එහි වර්ධනයක් සිදු වී තිබේ ද යන්න ය. එබැවින් දර්ශකය සහ ලකුණු ලබා ගැනීම යන සාධක අනුව දූෂණ සංජානන දර්ශකයේ ගොඩ නැඟී ඇත්තේ ශ්‍රී ලංකාවට යහපත් චිත්‍රයක් නොවේ.
දකුණු ආසියාතික කලාපයේ දුෂණය අඩු ම රට ලෙස ලකුණු 68ක් ලබා ගනිමින් දර්ශකයේ 25 වෙනි ස්ථානය භුතානය හිමි කර ගෙන ඇත. පෙර වසරේ ඔවුන් ලකුණු 68ක් ලබා ගනිමින් 24 වෙනි ස්ථානයේ පසු විය. දකුණු ආසියාතික කලාපයේ ඉන්පසු අඩුම දුෂණයක් ඇති රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින ලකුණු 40ක් ලබා ගනිමින් දර්ශකයේ 85 වෙනි ස්ථානයේ සිටියි.
2020 වර්ෂයේ ඉන්දියාවට හිමි වුයේ 89 වෙනි ස්ථානය යි. පියවර 4ක් දර්ශකයේ ඉදිරියට පැමිණිය ද දෙවසර තුළ ම ඔවුන්ගේ ලකුණු සම තත්ත්වයේ පවති. පෙර වසරේ දි මාලදිවයින ලකුණු 43ක් ලබා ගනිමින් දර්ශකයේ 75 වෙනි ස්ථානයේ පසු විය. ඔවුන් පියවර 14ක් පමණකින් පල්ලම් බැස තිබිම බරපතළ තත්ත්වයකි. ලකුණු 16ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථානය දූෂණ සංජානන දර්ශකයේ 175 වෙනි ස්ථානයේ පසුවේ. එය දකුණු ආසියාතික කලාපයේ දුෂණයෙන් වැඩි ම රට බවට නාමකරණය වී ඇත. දකුණු ආසියාතික කලාපයේ දූෂණයෙන් වැඩි ම දෙවැනි රට බවට ලකුණු 26ක් ලබා ගනිමින් දර්ශකයේ 147වෙනි ස්ථානය ලබා ගත් බංගලාදේශය පත්ව ඇත.
මෙම දර්ශකය සම්පාදනය සදහා ප්‍රධාන වශයෙන් සලකා බලන පරාමිති කිහිපයකි. අල්ලස – දුෂණයට එරෙහි නඩු පැවරිම, ප්‍රමාණවත් නෛතික රාමු, දුෂණය හෙළි කරන්නන් මාධ්‍යවේදින් හා විමර්ෂකයන් සඳහා වන ආරක්ෂාව, රාජ‍්‍ය මුදල් අවභාවිතය යන පරාමිතින් ඒ අතර ප්‍රධාන වේ.
ලොව රාජ්‍යයන්හි දුෂණය පිටු දැකිම සදහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මෙවර නිර්දේශ කිහිපයක් ඉදිරපත් කර ඇත. ඒ අතර:
- බලය ඇති පුද්ගලයන්ගේ වගවීම තහවුරු වීමට අදාළ අයිතින් ආරක්ෂාව.
- රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනිමේ අයිතිය තහවුරු කිරිම.
- අන්තර් ජාතික දූෂණ ක්‍රියා මැඩපැවැත්වීමට ක්‍රියා කිරිම.
යනාදිය වේ.
සමස්යතක් ලෙස ලෝකයේ බහුතරයක් රටවල් දුෂණය පිටු දැකීම සම්බන්ධයෙන් සාධනීය ප්‍රගතියක් ලබා නොමැති තත්ත්වයක් හමුවේ මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරිම ලොව දූෂණය පාලනයට උපකාරි වනු ඇත. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරිමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයට ලොව රටවල්වලට කළ හැකි බලපෑම අවම මට්මටමක පැවතීම විශාල බාධකයකි.