ශ්‍රී ලංකාව බලෙන් අඩු ආදායම් ලබන රටක් කළ හැකි ද?

ගත් විදෙස් ණය ගෙවා ගන්නට පුළුවන් කමක් නැති ව පසුගිය මාර්තු මාසයේ දී තමන් බංකොලොත් යැයි ප්‍රකාශ කළ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කරන්නට තීරණය කර තිබෙනවා. නිදහස ලත් දා සිට ම ලොවට ණය වී ණය උගුලක අන්තයට ම හිර ව  ඉන්නා අප ඒ ණය ගෙවා ගන්නේ කොහොමද කියා සැලසුම් කරනවා වෙනුවට තව තවත් ණය ගන්නට ක්‍රම හොයමින් සිටීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවට තවමත් නිසි ආර්ථික සැලසුමක් නොමැති බව යි. කෙසේ වෙතත් ගඟේ ගහගෙන යන ඕන කෙනෙක් මේ මොහොතේ කරන්නේ තණකොළ ගහක හෝ එල්ලෙන්නට බලන එක යි.

ශ්‍රී  ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කරන්නට තැත් දැරීමෙන් යහපතක්  සිදු වෙනවා නම් එය රටක් වශයෙන් සුළු හෝ සැනසුමක් අපට ලබා දේවි. ඒත් ශ්‍රී  ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කරන්නට ශ්‍රී  ලංකා ආණ්ඩුව ලෝකයට ඉදිරිපත් කරන්නට යන මේ යෝජනාව ප්‍රතිකේෂ්ප වීමට ඇති සම්භාවිතාව බොහොම වැඩි යි. අද අපි  කතා කරමු මොකක්ද මේ ලෝක බැංකුව සිදු කරන රටවල් වර්ගීකරණය සහ ශ්‍රී  ලංකා ආණ්ඩුව ලෝකයට ඉදිරිපත් කරන්නට යන යෝජනාවෙන් සිදු වන්නේ කුමක්ද කියා.

නිදහස ලත් දා සිට ම ලොවට ණය වී අන්තයට ම හිර ව  ඉන්නා අප – www.gettyimages.com/Cicero Castro / EyeEm

 

මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද පසුගිය දා හිමිවූවා. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැඩි අසීරු තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ආයතන වෙතින් ණය ආධාර ලබා ගැනීම පහසු කරගැනීමේ අපේක්‍ෂාවෙන් මෙසේ මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් දක්වා ශ්‍රී ලංකාව පහත දැමීමට තීරණය කළ බවයි අමාත්‍ය මණ්ඩලය පවසන්නේ.

ලෝක බැංකුව රටවල් වර්ගීකරණයට භාවිත කරන නිර්ණායක 

ලෝක බැංකුව සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් වර්ගීකරණය කරන්නට භාවිත කරන්නේ ඒ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම (Gross National Income per capita) කියන නිර්ණායකය යි. මේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ගණනය කෙරෙන්නේ අදාළ රටේ දළ දේශීය නිෂ්පාදනයට විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම එකතු කර එය රටේ ජනගහනයෙන් බෙදීමෙන්. දළ දේශීය නිශ්පාදනය කියන්නේ සරලව ම රටක් විදියට අවුරුද්දක් පුරා හදපු භාණ්ඩ හා සේවාවල වටිනාකම යි.

විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් කියන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන් ලෝකයේ අනිත් රටවල්වල ව්‍යාපාර කර උපයන ශුද්ධ ආදායම යි. එසේ ලබා ගන්නා දළ ජාතික ආදායම රටේ ඉන්නා ජනගහනයෙන් බෙදූ විට එක් තැනැත්තකු ලැබිය යුතු දළ ජාතික ආදායම ලැබෙනවා. මේ සඳහා ලෝක බැංකුව ලෝකයේ රටවල් 217ක් යොදා ගන්නා නිසා ඔවුන් අමෙරිකානු ඩොලර් නම් පොදු මුදල් වර්ගය ඒ සඳහා මිම්මක් ලෙස භාවිත කර අදාළ රටේ එක තැනැත්තකුට ලැබිය යුතු ඩොලර් ප්‍රමාණය ගණනය කරනවා.

ලෝකයේ රටවල් ඒක පුද්ගල දළ ජාතික ආදායම මත වර්ග කිරීම (  https://blogs.worldbank.org/opendata/new-world-bank-country-classifications-income-level-2022-2023)
ලෝකයේ රටවල් ඒක පුද්ගල දළ ජාතික ආදායම මත වර්ග කිරීම – blogs.worldbank.org 

ලෝක බැංකුව ලෝකයේ රටවල් බෙදන කාණ්ඩ හතර

අදාළ රටේ එක තැනැත්තකුට ලැබිය යුතු ඩොලර් ප්‍රමාණය මත ඔවුන් ඒ රට කාණ්ඩ හතරකින් එක් කාණ්ඩයකට ඇතුළත් කරනවා. මේ කාණ්ඩ හතරට ඇතුළත් වන රටවල් ඔවුන් ලබන ඩොලර් ප්‍රමාණයත් සමඟ කලෙන් කාලෙට මේ කාණ්ඩ හතර අතර දෝලනය වෙනවා. මේ කණ්ඩවලට අදාළ අලුත් ඩොලර් සීමා ලෝක බැංකුව මේ වසරේ ජුනි මාසයේ දී ප්‍රකාශයට පත් කළා. එම කාණ්ඩ හතරයි මේ. 

01). පහළ ආදායම්ලාභී රටවල් :- 

මේ කාණ්ඩයට ඇතුළත් වන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 1,085 හෝ ඊට අඩුවෙන් උපයන රටවල්. මේ වෙද්දි මේ කාණ්ඩයේ රටවල් 28ක් සිටිනවා.

02). පහළ මැදි අදායම්ලාභී රටවල් :-

මේ කාණ්ඩයට ඇතුළත් වන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 1,086ත් 4,255ත් අතර උපයන රටවල්. මේ වෙද්දි මේ කාණ්ඩයේ රටවල් 54ක් සිටිනවා.

03). ඉහළ මැදි ආදායම්ලාභී රටවල් :-

මේ කාණ්ඩයට ඇතුළත් වෙන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 4,256ත් 13,205ත් අතර උපයන රටවල් ටික යි. මේ කාණ්ඩයෙත් මේ වෙද්දි රටවල් 54ක් සිටිනවා.

04). ඉහළ ආදායම්ලාභී රටවල් :-

 මෙම කාණ්ඩයට ඇතුළත් වන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 13,205ක් හෝ ඊට වැඩියෙන් උපයන රටවල් ටික යි. මේ වෙද්දි රටවල් 81 මේ කාණ්ඩයේ සිටිනවා.

ලෝක බැංකුව ඒක පුද්ගල දළ ජාතික ආදායම මත ලෝකයේ රටවල් වර්ග කිරීම ( https://datahelpdesk.worldbank.org/knowledgebase/articles/906519-world-bank-country-and-lending-groups )
ලෝක බැංකුව ඒක පුද්ගල දළ ජාතික ආදායම මත ලෝකයේ රටවල් වර්ග කිරීම – datahelpdesk.worldbank.org 

ශ්‍රී ලංකාව තවමත් පහළ මැදි ආදායම්ලාභී රටක් 

ශ්‍රී ලංකාව අනූව දශකයේ අග භාගය දක්වා ම හිටියේ පහළ ආදායම්ලාභී රටවල් කාණ්ඩයේ. මේ කාණ්ඩයේ ඉන්නකොට තමයි අපට සහනදායි පොලියට ණය ගන්න හැකියාව තියෙන්නේ. ඒ අපි දුප්පත් රටක් විදියට ගැනෙන නිසා. අනූව දශකයේ අග භාගයේ දී අපේ රට පහළ ආදායම්ලාභී රටවල් කාණ්ඩයේ සිට පහළ මැදි ආදායම්ලාභී රටවල් කාණ්ඩයට උසස් කරනවා. ඉන් පසුව 2018 දී අපි ඒක පුද්ගල දළ ජාතික ආදායම ලෙස අමෙරිකානු ඩොලර් 4,040 ක් ඉපයීම නිසා එකල තිබූ වර්ගීකරණයට අනුව අපේ රට ඉහළ මැදි ආදායම් ලාභී රටවල් කාණ්ඩයට ඇතුළත් වෙනවා.

 2019 දී ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 4,010ක් දක්වාත්, 2020 දී අමෙරිකානු ඩොලර් 3,720 දක්වාත් නැවත පහළ බැසීම හේතුවෙන් 2020 දී අපේ රට පහළ මැදි ආදායම් ලාභී රටවල් කාණ්ඩයට වැටෙනවා. දිගින් දිගට ම පහළ බසිමින් 2021 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 3,820 ලෙස සටහන් වෙනවා. ඒ අනුව අද වෙද්දි ශ්‍රී ලංකාව සිටින්නේ පහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයේ.

ලෝක බැංකු වාර්තාවට අනුව 2021දි ශ්‍ර ලංකාව පහළ මැදි ආදායම් ලාභී රටක් ලෙස ලෝක බැංකුව වාර්තා කරයි ( https://blogs.worldbank.org/opendata/new-world-bank-country-classifications-income-level-2022-2023 )
ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලාභී රටක් ලෙස ලෝක බැංකුව වාර්තා කරයි  -blogs.worldbank.org 

ලෝක බැංකුවට අනුව සහ ආර්ථික විද්‍යාවට අනුව රටේ සියලු ම දෙනාට ඩොලර් 3820ක් ඒ කියන්නේ රුපියල්වලින් නම් මිලියන 1කට ආසන්න මුදලක් ලැබිය යුතු යි. නමුත් තාත්විකව එසේ සිදු වන්නේ නැහැ. මේ විදියට මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයේ ඉන්න නිසා සහනදායි පොලියට ණය ගන්නට අප රටට හැකියාවක් හෝ අවස්ථාවක් නෑ.

ඒ නිසා අපේ රජය කරන්න හදන්නේ අප පහළ මැදි ආදායම්ලාභී රටක් ලෙස නොසලකා අපට සහනදායි පොලියට ණය දෙන්න කියලා ලෝකෙට කියන්න සූදානම් වීම යි. ඒ කියන්නේ අපත් අඩු ආදායම් ලාභී රටක් ලෙස සලකන්නට කියලා ලෝක බැංකුවට යෝජනාවක් වක්‍රකාර ව ඉදිරිපත් කරන එක යි.

ලෝක බැංකු වාර්තාවට අනුව 2021දි ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලාභී රටවල් කාණ්ඩයට ඇතුලත් වීම ( https://datahelpdesk.worldbank.org/knowledgebase/articles/906519-world-bank-country-and-lending-groups )
ලෝක බැංකු වාර්තාවට අනුව 2021දි ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලාභී රටවල් කාණ්ඩයට ඇතුළත් වීම – datahelpdesk.worldbank.org

 ශ්‍රී ලංකාවේ යෝජනාව පිළිගැනීමට ඇති සම්භාවිතාව

කොහොම වුණත් ශ්‍රී ලංකාව වගේ රටක කැබිනට් මණ්ඩලයක් යෝජනා කළ සැණින්  ලෝක බැංකුව ලෝකයේ රටවල් වර්ගීකරණය කරන්නට භාවිත කරන නිර්ණායක වෙනස් කරන්න, ලෝක බැංකුවට හැකියාවක් නැහැ. ඒ වගේම  තනි රටක ඉල්ලීමට එහෙම කරන්නට ලෝක බැංකුවට අයිතියකුත් නැහැ.

ඒ නිසා අපේ රට අඩු පොලියට සහනදායී පදනමක් මත ණය ඉල්ලන්නට යන එක එච්චර සාර්ථක දෙයක් නොවෙන්න පුළුවන්. මැදි ආදායම් රටවල්වලට ණය දෙන ලෝක බැංකුව යටතේ තියෙන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය සඳහා වන බැංකුවෙන් (IBRD) ඉහළ පොලියට ණය ගන්න පුළුවන් කමක් නෑ කියලා අපේ රට ලෝක බැංකුවට කියන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. ඒ නිසා පුළුවන් නම් පහළ ආදායම්ලාභී රටවල්වලට ණය දීම සඳහා ලෝක බැංකුව යටතේ ඉන්න ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායි ණය දෙන්න කියලයි ඉල්ලන්නේ. දැනට ලෝක බැංකුව සඳහන් කරන විදියට පහළ ආදායම්ලාභී රටවල් ලෙස ආසියානු මහද්වීපයෙන් ඒ ලැයිස්තුවෙ ඉන්නේ බංග්ලාදේශය, මාලදිවයින සහ මියන්මාරය පමණ යි.

ජාත්‍යන්තර සංවර්ධන බැංකුවෙන් ණය ගත හැකි රටවල් කාණ්ඩය ( https://datahelpdesk.worldbank.org/knowledgebase/articles/906519-world-bank-country-and-lending-groups )
ජාත්‍යන්තර සංවර්ධන බැංකුවෙන් ණය ගත හැකි පහළ ආදායම්ලාභී රටවල් කාණ්ඩය –  datahelpdesk.worldbank.org 

 මේ විදියට පහළ මැදි ආදායම් ලබන රටකුත් ඒ දුප්පත් රටවල්වලට දෙන්න තියෙන ණය ඉල්ලුවා ම ඒ ඉල්ලීම දුප්පත් රටවල්වලට කෙරෙන අසාධාරණයක්. ඒ වගේ ම අනිත් මැදි ආදායම් රටවල් තමන්ටත් සහනදායී ණය දීම පිළිබඳ සලකා බලන්නැයි ලෝක බැංකුවෙන් ඉල්ලුවොත් ඒ රටවලටත් මේ අයුරින් ම සහනදායී ණය ලබා දීමට සිදු වෙනවා. මේ හේතු නිසා ශ්‍රී  ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කරන්නට සිදු කරන යෝජනාව ප්‍රතික්ෂේප වන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. 

 කලින් සඳහන් කළ පරිදි මේ යෝජනාව ලෝක බැංකුව පිළිගත්තොත් එයින් අපේ රටට සුළු හෝ වාසියක් ලැබෙනවා. අවුරුදු හැත්තෑ දෙකක් තිස්සේ ලබා ගත් ණය කන්ද හරියට කළමනාකරණය කරගන්නට නොහැකි ව අද වෙද්දී ශ්‍රී  ලංකාව බංකොලොත්භාවයට පත් වෙලා තියෙද්දිත්, ඉදිරියේ දී ලබා ගන්නා ණයවත් හරියට පියවා ගැනීමේ සැලසුමක් නොමැති වුවහොත් අද අප රටට මේ වැටී ඉන්නා ප්‍රපාතයෙන් ගොඩ ඒමක් ගැන සිතීමත් අසීරු යි.  2021 වසර අවසාන වෙද්දීත් අප ලෝකයට ඩොලර් බිලියන 52කට වඩා ණය යි. අද වෙද්දි ඒ ණය ඩොලර් බිලියන 60ත් ඉක්මවා ඇති. අදටත් රටේ සාක්කුවේ තියෙන්නේ ඩොලර් බිලියන 2කටත් අඩු මුදලක්. අප ණය ලබා ගැනීමට කුමන ආකාරයේ උපක්‍රම භාවිත කළත් අප අනිවාර්යයෙන් ම ඒවා නැවත ගෙවීම සඳහා අප සතු ව හොඳ සැලැස්මක් තිබීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. එහෙම නැත්තම් මේ වැටුන වලෙන් ගොඩ ඒමට අපට පරම්පරා ගනනාවක් ගතවනු ඇති.

කවරයේ ඡායාරූපය:  www.gettyimages.com/Santanu Majumdar

මූලාශ්‍ර:

 datahelpdesk.worldbank.org

 www.cbsl.gov.lk

 blogs.worldbank.org 

Related Articles

Exit mobile version