නගින්න හොඳම​ කඳු 5ක්

නකලස් කඳු වැටිය

wikimedia.org

නකලස් කඳු වැටිය සළකනු ලබන්නේ මධ්‍යම කඳුකරයේ උතුරු මායිම ලෙසයි. දුම්බර කඳුවැටිය ලෙසද මෙය හඳුන්වනු ලබනවා. දකුණෙන් හා නැගෙනහිරෙන් මහවැලි ද්‍රෝණියට මායිම් වන මෙය බටහිරෙන් මායිම් වන්නේ මාතලේ තැන්නටයි. නුවර සිට හුන්නස්ගිරිය මාර්ගය ඔස්සේ මෙතනට ළඟා විය හැකියි. අනෙක් මාර්ග දෙක වන්නේ මාතලේ සිට රත්තොට හා රිවර්ස්ටන් හරහා මාර්ගය සහ වත්තේගම සිට පන්විල හරහා මාර්ගයයි. මුහුදු මට්ටමේ සිට මෙම වැටියේ උසම මුදුන මීටර් 1863 ක් වෙනවා. එය ලංකාවේ හයවන උසම කන්දයි. මෙම කන්ද වලාකුළු වනාන්තරයකින්ද සමන්විතයි. දෙසැම්බර් සිට පෙබරවාරි කාලය මෙම කන්ද තරණය වෙනුවෙන් ඉතාම යෝග්‍ය වෙනවා. එමෙන්ම මාර්තු සිට මැයි දක්වා කාලයද කන්ද තරණයට යෝග්‍ය වන්නේ වර්ෂාව ලැබීමේ සම්භාවිතාව අඩු වන නිසයි.

නමුනුකුල

trips.lakdasun.org

මුදුන් නවයක් ඇති කුල නමුනුකුල බවට පත්ව තිබෙනවා. ලංකාවේ උසින් 12වන තැන ගන්නේ මෙහි උසම මුදුනයි. එහි උස මීටර් 2035ක් හෙවත් අඩි 6677ක් වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයට අයත්ව බදුල්ල හා මොණරාගලට මායිම්ව මෙය පිහිටා තිබෙනවා. මෙම කඳු මුදුනට ලඟාවීමට ඇති පහසුම මාර්ගය ලෙස සැළකෙන්නේ බදුල්ල හා පස්සර අතර මාර්ගයයි. නමුත් ලඟාවීමට ඇති සුන්දරම ස්ථානය ලෙස සළකනු ලබන්නේ ඇල්ල පිවිසුමයි. එමෙන්ම නමුනුකුල කඳු දර්ශනය අතීතයෙදී දකුණු පළාත ආශ්‍රිත නාවික ගමනාගමනයට ද භාවිතා කර තිබෙනවා.

හන්තාන

ytimg.com

ලංකාවේ කඳු නගින්නන් අතර ඉතාම ජනප්‍රියම කඳු වැටියක් ලෙස හන්තාන හැඳින්විය හැකි වෙනවා. මෙහි උසම මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 1240ක් පමණ වෙනවා. මෙම කඳු පාතහේවාහැට, උඩපලාත සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස වලට අයත් වෙනවා. මෙය තරණය කළ හැකි මාර්ගයන් කිහිපයක් වෙනවා. මහනුවරට පැමිණ උඩවෙල ප්‍රදේශයේන් හන්තාන තේ වත්ත මැදින් හන්තාන කඳු වැටිය තරණය කළ හැකියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් විහිදී ඇති පැරණි ගුවන් විදුලි මධ්‍යස්‌ථාන මාර්ගය ඔස්‌සේ හා මහකන්ද සරසවිගම ප්‍රදේශය හරහා වැටී ඇති පාරත් දෙල්තොට ප්‍රදේශයත් හන්තාන කඳු වැටිය තරණයට යොදාගත හැකි වෙනවා. මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට හන්තාන අයත් වෙනවා. එහි වාර්ෂික වර්ෂා පතනය මිලි මීටර් 2000 ක්‌ පමණ වෙනවා.

කිරිගල්පොත්ත

bp.blogspot.com

මෙය මුහුදු මට්ටමේ සිට මීටර 2388 හෙවත් අඩි 7835ක උසින් යුතුයි. නුවරඑළියට අයත් කිරිගල්පොත්ත පිහිටා ඇත්තේ හෝටන්තැන්නේයි. එමෙන්ම මෙය ලංකාවේ දෙවැනි උසම කන්ද වන අතර මහජනතාවට ලඟාවීමට හැකි උසම කන්දයි. මෙය තරණය වෙනුවෙන් සාමාන්‍යයෙන් පැය 3-4ක් ගත වෙනවා. මෙහි සම්පුර්ණ දුර කිලෝමීටර 5.6ක් වෙනවා. මෙම කන්ද තරණයට යෝග්‍යම කාලයන් දෙකක් වෙනවා. එකක් පෙබරවාරි සිට අප්‍රේල්  වන අතර අනෙක ජුලි සිට සැප්තැම්බර් වෙනවා. යෝග්‍ය යැයි පවසන්නේ මේ කාලය තුල තරමක් වියළි කාලගුණයක් පවතින නිසයි. මෙම කන්ද තරණය එතරම්ම වෙහෙසකර නොවන නමුත් විශ්වාස කළ නොහැකි හෝටන්තැන්නේ කාලගුණය ඔබේ ගමන තරමක් දුෂ්කර කරන්නට පුළුවන්. එහෙත් කඳු මුදුනට පෙනෙන මනෝහර දර්ශනයෙන් මේ දුෂ්කරතා සියල්ල අමතක කරාවි.

රිවර්ස්ටන්

ytimg.com

මාතලේ සිට කිලෝමීටර් 30ක් ගිය තැන ඔබට රිවස්ටර්න් වෙත ලඟාවීමට හැකියි. එය මාතලේ හා ගිරාඳුරුකෝට්ටේ අතර මාර්ගයේ පිහිටා තිබෙනවා. දේශීය සංචාරකයින් අතර මෙන්ම විදේශිකයන් අතරත් මෙය ඉතා ජනප්‍රිය ස්ථානයක් වෙනවා. මෙහි කාලගුණයත් ලෝකාන්තයේ කාලගුණයට ඉතාමත් සමීප කාලගුණයක්. ඔබට සේර ඇල්ල හා බබරකිරි ඇල්ලත් මේ අතර නැරඹිය හැකියි. මෙම තරණය කිලෝමීටර 2.5ක පමණ දුරකින් යුතු වෙනවා. සාමාන්‍යයෙන් මෙම තරණයට පැයක් හෝ දෙකක් ගත වෙනවා. මෙම මාර්ගය වැටී ඇත්තේ පිටවල පතන හරහයි.

Cover image – www.srilankaholidaytravel.com

Related Articles

Exit mobile version