ලෝක ව්‍යාප්ත ජීවන වියදම් දර්ශකය (Worldwide Cost of Living) 2022 වර්ෂය සඳහා යාවත්කාලීන කිරීමට Economist Intelligence Unit (EIU) ආයතනය මේ වන විට කටයුතු කර තිබෙනවා.
පශ්චාත් කොවිඩ් වසංගත ආර්ථික අර්බුදයෙන් මෙන් ම රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝකයේ රටවල් බොහෝ ප්‍රමාණයක ආර්ථික වර්ධන වේගය අඩාල වෙමින් උද්ධමනය ඉහළ යන, එමෙන් ම ගෝලීය ආර්ථික අවපාතයක් අභිමුඛ කාල වකවානුවක එම වාර්තාව එළි දැක්වීම විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකි යි.
මොකක්ද මේ Economist Intelligence Unit?
ආර්ථික පර්යේෂණ හා විශ්ලේෂණය මෙන් ම ගෝලීය හා රටවලට ආර්ථිකය සම්බන්ධයෙන් අනාවැකි වෙන වෙන ම ඉදිරිපත් කරන ප්‍රසිද්ධ ආයතනයක් වන Economist Intelligence Unit 1946 වසරේ සිට ක්‍රියාත්මක යි. එහි ප්‍රධාන කාර්යාල පහක් ලන්ඩන්, නිව් යෝර්ක්, හොංකොං, ඩුබායි හා හර්යානා හි පිහිටා තිබෙනවා.
නගර 172ක් මෙම සමීක්ෂණය සඳහා යොදා ගෙන ඇති අතර එම නගර ලැයිස්තුව අතරින් වැඩි ම ජීවන වියදමක් සහිත නගරය ලෙස නගර දෙකක් මෙවර සම ස්ථාන ලබා ගෙන තිබෙනවා. ඒ සිංගප්පූරුවේ සිංගප්පූරු නගරය හා අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය යි. මෙවර ජීවන වියදම් සමීක්ෂණයේ දී මිල මට්ටම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව Economist Intelligence Unit වාර්තාව ප්‍රකාශ කරනවා.
බොහෝ රටවල දේශීය මුදල් ඒකකය, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව අවප්‍රමාණ වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ අමෙරිකා එක්සත් ජනපදය වසර ගණනාවකට පසුව මුහුණ දෙන උද්ධමනය පාලනය කිරීම සඳහා එරට ෆෙඩරල් බැංකුව සිය පොලී අනුපාත වැඩි කිරීම යි.
රුසියා යුක්රේන ගැටුම
අමෙරිකාවේ පොලී අනුපාත වැඩි කිරීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඊට සාපේක්ෂ ව ලෝකයේ අනෙක් මුදල් ඒකක අවප්‍රමාණ වීම සිදු වෙනවා. ඊට අමතර ව මේ සඳහා තවත් ප්‍රධාන හේතු ලෙස ලෝකයට දීර්ඝ කාලයක් තිස්සේ බලපෑම් එල්ල කළ කොවිඩ් වසංගතය මෙන් ම රුසියා යුක්රේන ගැටුමත් ඔවුන් දක්වා තිබෙනවා. දේශීය මුදල් අවප්‍රමාණ වීම සලකන විට එය, ඉතිහාසයේ වසර 20ක වාර්තා වූ ඉහළ ම අගය දක්වා පැමිණ තිබෙනවා.
ඉහත සඳහන් බලපෑම් හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රධාන ම ප්‍රතිඵල තුනක් නම් කළ හැකි යි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පසුගිය වසරට සාපේක්ෂ ව 22%කින් ඉහළ යාම, රුසියානු ස්වභාවික වායු නළ වසා දැමීමත් සමඟ යුරෝපයේ ස්භාවික වායු, විදුලි ගාස්තු පසුගිය වසර සාපේක්ෂ ව 29% පමණ ඉහළ යාම හා ලෝකයේ විවිධ රටවල විවිධ වෙළෙඳ සීමා කිරීම් මධ්‍යයේ ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන උද්ධමනය ඉහළ මට්ටමක පැවතීම එම ප්‍රතිඵල තුන යි.
ලොව වැඩි ම ජීවන වියදමක් සහිත නගර – සිංගප්පූරුව හා නිව්යෝර්ක්
ලොව වැඩි ම ජිවන වියදමක් සහිත නගරය බවට අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය පත් වී ඇත්තේ ප්‍රථම වරට යි. සිංගප්පූරු නගරය නම් මීට පෙර වසර කිහිපයක දී ම ලොව වැඩි ම ජිවන වියදමක් සහිත නගරය බවට පත් ව තිබෙනවා. ගිය වසරේ දී මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් ව සිටි ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය මේ වසරේ තුන්වන ස්ථානයට පැමිණ සිටිනවා.
4 වන ස්ථානයට නගර දෙකක් නම් වී ඇති අතර හොංකොං හා ලොස් ඇන්ජලිස් නගර ඒවා යි. සුරිච්, ජිනීවා හා සැන්ප්‍රැන්සිස්කෝ නගර පිළිවෙළින් හයවන, හත්වන හා අටවන ස්ථාන ලබා තිබෙනවා. පැරිස් නගරය නමවන ස්ථානයත්, කෝපහේගන් හා සිඩ්නි නගර සම සේ දසවන ස්ථානයත් ලබා තිබෙනවා.
මෙම වාර්තාව පරික්ෂා කිරීමේ දී පසුගිය වසරට සාපේක්ෂ ව වැඩි ම උද්ධමනයකට හසු වූ නගර ලෙස තුර්කියේ ඉස්තාන්බුල්, ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හා ඉරානයේ ටෙහෙරාන් නම් කරන්නට පුළුවන්. රුසියාවේ මොස්කව් හා ශාන්ත පීටර්ස්බර්ග් නගර, පසුගිය වසරට සාපේක්ෂ ව ජීවන වියදම් ශ්‍රේණිගත කිරීම්වලින් පිළිවෙළින් ස්ථාන 88ක් හා 70 කින් මෙවර ඉහළ ගොස් තිබෙනවා.
රුසියාවට පනවා තිබෙන බටහිර සම්බාධක
එම නගරවල ජීවන වියදම මෙසේ ඉහළ යාම සඳහා රුසියාවට පනවා තිබෙන බටහිර සම්බාධක බලපා තිබෙන බව එම ආයතනය සඳහන් කරනවා. ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරය හා ලක්සම්බර්ග් හි ලක්සම්බර්ග් නගරය පසුගිය වසරට සාපේක්ෂ ව ජීවන වියදම් දර්ශකයේ ස්ථාන වැඩි ම ගණනක් පහළට ගිය නගර ලෙස නම් කළ හැකි යි. ඒ නගර දෙක ම මෙවර ස්ථාන 38කින් පහළ ගොස් තිබෙනවා.
ජීවන වියදම අඩු ම සිරියාවේ ඩමස්කස්, කොළඹත් වියදම් අඩු නගරයක්
මෙවර ජීවන වියදම් දර්ශකයේ අඩු ම ජීවන වියදමක් සහිත නගරය ලෙස සඳහන් වන්නේ සිරියාවේ ඩමස්කස් නගරය යි. ඒ මෙම දර්ශකයේ 172 වන ස්ථානය ලබා ගනිමින්. ලිබියාවේ ට්‍රිපොලි,ඉරානයේ ටෙහෙරාන් පිළිවෙළින් 171 හා 170 ස්ථාන ලබා තිබෙනවා. දර්ශකයේ අවසන් ස්ථාන 10 තුළ රැදී සිටින නගර දෙස බලන විට අරාබි කලාපයේ නගර හැරුණුකොට බහුතරයක් දකුණු ආසියාතික රටවල නගර බව පෙනී යනවා.
ලැයිස්තුවේ 161 වන ස්ථානය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයටත්, ඉන්දියාවේ බැංගලෝර් නගරයටත් හිමි වී තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි හා අහමබාද් නගරවලට පිළිවෙළින් 164 හා 165 වන ස්ථාන හිමි ව තිබෙනවා. පාකිස්තානයේ කරච්චි නගරයට ලැයිස්තුවේ 167 වන ස්ථානය හිමි ව තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා රටවල් හා ලෝකයේ අනෙකුත් රටවල් සිය පොලී අනුපාත ඉහළ නංවා දේශීය මුදල් ඒකකයට තිබෙන ඉල්ලුම වැඩි කර උද්ධමනය පහළ හෙළීමට මේ වන විට කටයුතු කරමින් යනවා. විශේෂයෙන් ම ඉන්දියාව හා රුසියාව වැනි අරටවල් ජාත්‍යන්තර වෙළෙඳාමේ දී සිය මුදල් ඒකකය භාවිත කිරීම සඳහා උත්සාහ ගනිමින් සිටිනවා. එමඟින් මේ මුදල් ඒකක ශක්තිමත් කළ හැකි වෙනවා.
කොවිඩ් වසංගතයෙන් ඇති වූ ආර්ථික බලපෑමත් ක්‍රමයෙන් ලෝකයෙන් ඉවත් ව යාමත්, රුසියානු හා යුක්රේන අර්බුදය යම් ආකාරයකින් සමථයකට පත්වුවහොත් ඉදිරි වසරවලදී මෙම නගරවල ජීවන වියදම් මීට වඩා අඩු වීමට ඉඩ පවතින බවත් Economist Intelligence Unit ප්‍රකාශ කරනවා.