Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උද්භිද උද්‍යාන සිහිගන්වන තරු පන්තියේ හෝටල් කිහිපයක්

විශිෂ්ට සේවාවක් සැපයීමෙන් අමුත්තන් වැඩි පිරිසක් ආකර්ෂණය කරගැනීම හෝටලයක් පවත්වාගෙන යන ඕනෑම අයකුගේ ඉලක්කය යි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා විශේෂිත අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට ලබා දීමට ඔවුහු සෑම විට ම උත්සහ කරති.

එවැනි උත්සහයක් ලෙස පාරිභෝගිකයන්ට උද්භිද උද්‍යානයක සංචාරය කළ අවස්ථාවක හැඟීමක් දැනෙන අත්දැකීමකට සමාන අත්දැකීමක් ලබා දීමට උත්සහ කරන රටවල් කිහිපයක පිහිටි තරු පන්තියේ හෝටල් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

“ද කිටානෝ” හෝටලයේ තබා ඇති මල් සැරසිල්ලක් – www.japanculture-nyc.com

1. “ද කිටානෝ” (The Kitano) – එක්සත් ජනපදය

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පිහිටි, ජපන් ජාතිකයකුට අයත් හෝටලයක් වන මෙහි සාම්ප්‍රදායික ජපන් මල් සැකසුම් දැකගත හැකි ය. ඒවා භාර නිලධාරියා ලෙස ජපන් මල් සැරසිලි පිළිබඳ විශේෂඥයෙක් පත් කර ඇත. නොරිටකා නොඩා නම් ඔහු ජපානයේ දී සහ එක්සත් ජනපදයේ දී එවැනි සැරසිලි සකස් කිරීම පිළිබඳ ව පාඨමාලා කිහිපයක් හදාරා ඇත්තෙකි.

ඔහු 2014 සිට සතිපතා හෝටලයට අවශ්‍ය මල් සැරසිලි සිදු කරමින් සිටී. මෙම හෝටලයේ පවත්වන වාර්ෂික මල් සැරසිලි ප්‍රදර්ශනය ද බොහෝ දෙනා ගේ සිත් ගන්නා ආකාරයෙන් පැවැත්වේ. වඩාත් මෑතක දී එහි පැවැති ප්‍රදර්ශනය නිර්මාණ 23කින් සමන්විත විය. එම නිර්මාණ සඳහා සකුරා මල් ද යොදා ගෙන තිබීම විශේෂත්වයකි. නොඩාගෙන් පුද්ගලික ව මල් සැරසිලි පිළිබඳ ව ඉගෙන ගැනීමට ද හෝටලයට එන අමුත්තන්ට අවස්ථාව සලසා දී ඇත.

“ෆෝ(ර්) සීසන්ස්” හෝටලයේ පිවිසුම අසල – www.kingdomhotels.com

2. “ෆෝ(ර්) සීසන්ස්” හෝටලය – (Four Seasons) – ප්‍රංශය

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් වන මෙහි ඉතා විසිතුරු මල් සැරසිලි දැකිය හැකි ය. ඒවා භාර ව සිටින්නේ අමෙරිකානු ජාතික ප්‍රවීන මල් සැකසුම් ශිල්පියෙක් වන ජෙෆ් ලෙතම් ය. වසර 16ක් තිස්සේ ඔහු ඩොලර් මිලියන ගණනාවක් වැය කර හෝටලයේ සිදු කරන සැරසිලි භාරව සිටී.

ඉතා කාර්යබහුල පුද්ගලයෙක් වන ඔහු සමඟ මල් සැරසිලි පිළිබඳ පැය දෙකක වැඩමුළුවකට සහභාගී වීමට ද හෝටලයට පැමිණෙන අමුත්තන්ට හැකියාව ලැබේ. හෝටලයට එන අමුත්තන් නොවන පුද්ගලයන්ට යුරෝ 200ක් ගෙවා එම වැඩමුළුවට සහභාගී විය හැකි ය.

මල් සැරසිලි නිර්මාණය කිරීමේ රජෙක් ලෙස සැලකෙන ඔහු මසකට දින පහක් මෙම හෝටලයේ රැඳී සිටිමින් සැරසිලි කරන අතර, සමහර අමුත්තන් ඒවා නැරඹීමට ම හෝටලයට පැමිණෙන බව කියැවේ.

“ද ප්‍යුලිට්ස(ර්)” හෝටලයේ කාමරයක ටියුලිප් මල් තබා ඇති අයුරු – www.luxegetaways.com

3. “ද ප්‍යුලිට්ස(ර්)” (The Pulitzer) – නෙදර්ලන්තය

නෙදර්ලන්තයේ වඩාත් ප්‍රසිද්ධ මල් වර්ගයක් ලෙස ටියුලිප් හැඳින්විය හැකි ය. එරට නිල නොලත් ජාතික පුෂ්පය ලෙස සැලකෙන ටියුලිප් මල් එරට පිහිටි බොහෝ හෝටල්වලදී දැකගත හැකි වේ. ඒ අතරින් “ද ප්‍යුලිට්ස(ර්)” හෝටලයේ විශේෂත්වය වන්නේ වෙනත් බොහෝ හෝටල්වල දැකගත නොහැකි වර්ගයන්ට අයත් ටියුලිප් මල් 2,000කට වැඩි සංඛ්‍යාවක් එහි මැද මිදුල්වල තබා තිබීම යි.

හෝටලයේ “Season Flowers” නමින් මල් සඳහා ම වෙන් කළ ශාලාවක් ද තිබේ. එහි බිත්තිවල සහ සිවිලිමේ වර්ණයන්ට ගැළපෙන වර්ණයන්ගෙන් යුතු ටියුලිප් මල් තබා ඇත. හෝටලයට පැමිණෙන අමුත්තන්ට ටියුලිප් මල් මිල දී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ම වෙන් වූ වෙළෙඳසලක් ද හෝටල් පරිශ්‍රයේ පිහිටා තිබේ.

“බෙලාජියෝ”හෝටලය ඇතුළත – www.fox5vegas.com

4. “බෙලාජියෝ” (Bellagio) – එක්සත් ජනපදය

එක්සත් ජනපදයේ පිහිටා ඇති විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා විශාල ප්‍රසිද්ධියක් උසුලන ප්‍රාන්තයක් වන ලාස් වේගාස් හි පිහිටි මෙම හෝටලයේ මල් සහ වෙනත් විසිතුරු පැළෑටි වගාව සඳහා වර්ග අඩි 14,000ක ඉඩක් වෙන් කර ඇත. ඒවායේ සංරක්ෂිත පැළෑටි වර්ග ගණනාවක් ද දැකිය හැක.

එම වගාවන් සෑම සෘතුවක දී ම ඒවාට ගැළපෙන ලෙස වෙනස් කිරීමට හෝටල් බලධාරීහු කටයුතු කරති. මෙහි විවිධ තේමා යටතේ සකස් කළ මල් නිර්මාණ ද දැකිය හැකි ය. ඒවා පැය 24 පුරා ම කිසිදු ගාස්තුවක් ගෙවීමෙන් තොර ව නැරඹීමට ලාස් වේගාස් නගරයට පැමිණෙන සංචාරකයන්ට අවස්ථාව ලැබේ.

ක්ලැරිජ්’ස් හෝටලයේ ඇති දැවැන්ත මල් සැරසිල්ලක් – www.mcqueensflowers.com

5. ක්ලැරිජ්’ස් (Claridge’s) – එක්සත් රාජධානිය

ලෝක ප්‍රසිද්ධ සමාගමක් වන ලන්ඩන් හි පිහිටි “මැක් ක්වීන්’ස්” (McQueens) කිසිවකුටත් අභිබවා යාමට නොහැකි ආකාරයේ මල් සැකසුම් සේවා සපයන සමාගමකි. තරු පන්තියේ හෝටල් ගණනාවක් එම සමාගමෙන් සේවා ලබා ගනී. ලන්ඩන් හි පිහිටි “ක්ලැරිජ්’ස්” හෝටලය ද 2011 සිට එම සමාගමෙන් සේවාවන් ලබා ගනී.

මෙම හෝටලය බාහිර ආයතනවල පැවැත්වෙන උත්සව අවස්ථා සඳහා ද මල් සැකසුම් සේවා සැපයීම සුවිශේෂී කරුණකි. “මැක් ක්වීන්ස්” සමාගමට අයත් මල් වෙළෙඳසලක් සහ මල් සැකසුම් පාඨමාලාවක් ද හෝටලය තුළ ස්ථාපිත කර ඇත.

“ද ටජ් මහල් පැලස්” හෝටලයේ දැකිය හැකි සැරසිලි – www.binnysfoodandtravel.com

6. “ද ටජ් මහල් පැලස්” (The Taj Mahal Palace) – ඉන්දියාව

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි තරු පහේ හෝටලයක් වන “ද ටජ්මහල් පැලස්” මල් වගාව සහ අලංකාර මල් සැකසුම් දැකිය හැකි හෝටලයකි. මල් සැරසිලි සඳහා වෙනම කාර්ය මණ්ඩලයක් මෙම හෝටලයට බඳවාගෙන ඇත. ඔවුහු සෑම සතියකට වරක් ම හෝටලයේ ලොබිය හැර ඉතිරි සියලු කොටස් සඳහා අවශ්‍ය මල් සැරසිලි සකස් කරති.

ලොබිය සඳහා සැරසිලි සකස් කිරීම වෙනත් සමාගමකට පවරා ඇත. මෙහි ආපනශාලාවේ සහ කාමර ඇතුළු සියලු කොටස්වල එවැනි සැරසිලි දැකිය හැක. දේශීය මෙන් ම ආනයනික මල් වර්ග ඒ සඳහා භාවිත කරන අතර, ඉන්දියාවට ආවේණික වූ විවිධ උත්සව යෙදෙන දිනවල ඒවාට අදාළ තේමාවන්ගෙන් සැරසිලි සකස් කෙරේ.

මල් වගාවන්ගෙන් පිරි “ද ඩොල්ඩ(ර්) ග්‍රෑන්ඩ්” හෝටල් පරිශ්‍රය – www.travelstart.co.za

7. “ද ඩොල්ඩ(ර්) ග්‍රෑන්ඩ්” (The Dolder Grand) – ස්විට්සර්ලන්තය

ස්විට්සර්ලන්තයේ පිහිටි ඉතා වටිනා කලාකෘතිවලින් සමන්විත අති සුඛෝපබෝගී හෝටලයක් වන මෙහි මල් වගාව නඩත්තු කිරීමට වෙන ම සේවක පිරිසකට පැවැරී ඇත. හෝටලය පිහිටි භූමියේ මල් වර්ග වගා කළ කොටස් 20ක් තිබේ.

ඒ අතරින් අමුත්තන් ගැවසෙන ප්‍රදේශවල මිශ්‍ර මල් වගා දැකිය නොහැකි ය. හෝටලයේ ලොබිය සහ ඒ අවට ප්‍රදේශයේ ඉතා මනස්කාන්ත මල් සැරසිලි දැකිය හැකි වේ. මෙම හෝටලයේ පැවැත්වෙන වාර්ෂික පාස්කු දින සැමරුම සඳහා කානේෂන් මල් 12,000කට වැඩි ප්‍රමාණයක් යොදා ගනී.

“ගේලෝ(ර්)ඩ් ඔප්‍රිලෑන්ඩ් රිසෝට්” – www.expedia.com

8. “ගේලෝ(ර්)ඩ් ඔප්‍රිලෑන්ඩ් රිසෝට්” (Gaylord Opryland Resort) – එක්සත් ජනපදය

එක්සත් ජනපදයේ “Tennessee” ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම හෝටලයට අයත් භූමියෙන් අක්කර නවයක් මල් වගාව සඳහා වෙන් කර ඇත. උද්‍යාන අලංකරණ ශිල්පීන් 20ක් එහි සේවය කරති. කෙසෙල් සහ පාම් විශේෂ වැනි විවිධ වර්ගයන්ට අයත් ශාක සහ පැළෑටි 50,000කට වැඩි ප්‍රමාණයක් මෙහි වගා කර ඇත.

හෝටල් භූමියේ දැකිය හැකි අඩි 40ක උසින් යුතු මැග්නෝලියා ශාකය බොහෝ දෙනාගේ අවධානයට ලක් වේ. 1984 දී විවෘත කර ඇති හෝටලයට අයත් උද්‍යානයේ ඝර්ම කලාපිය ශාක 10,000කට වැඩි ප්‍රමාණයක් සහ මනස්කාන්ත දියඇල්ලක් ද නිම කර තිබේ. පැමිණෙන අමුත්තන්ට ඔවුන් නවාතැන් ගන්නා කාමරයේ සඳළුතලයේ සිට උද්‍යානය නැරඹීම සඳහා ද පහසුකම් ද සලසා ඇත.

සිය නිර්මාණ හරහා යම් යම් හැඟීම් නිරූපණය කළ හැකි වීම ටගාවා සතු සුවිශේෂී හැකියාවකි – www.reservations.com

9. “ෆෝ(ර්) සීසන්ස් රිසෝට් (Four Seasons Resort) – හවායි

කලාවට සම්බන්ධ පවුල් පසුබිමක් සහිත නිර්මාණ ශිල්පිනියක් වන ෆොන්(ග්) ටගාවා මෙම හෝටලයේ මල් සැරසිලි භා රව සිටී. සාමාන්‍යයෙන් නිර්මාණ ශිල්පීන්ගේ එකම අරමුණ හැකි තරම් අලංකාරවත් ලෙස මල් සැරසිලි සකස් කිරීම වුවත්, සිය නිර්මාණ හරහා යම් යම් හැඟීම් නිරූපණය කළ හැකි වීම ටගාවා සතු සුවිශේෂී හැකියාවකි.

හෝටලයේ ලොබිය එළිමහනට විවෘත වන සේ සකස් කර ඇති බැවින් සුළඟට ඔරොත්තු දිය හැකි මල් සැරසිලි සකස් කළ යුතු වීම ඇය මුහුණ දෙන අභියෝගයකි. හෝටලයේ පැවැත්වෙන විවාහ මංගල්‍ය සහ වෙනත් විශේෂ අවස්ථා සඳහා හවායි ජනතාව අතර ප්‍රසිද්ධ විවිධ සම්ප්‍රදායික නිර්මාණ කිරීම ද ටගාවාට පැවැරී තිබේ. ඒ සඳහා ද ඇය විවිධ දේශීය සහ ආනයනය කළ මල් වර්ග යොදා ගනී.

කවරයේ ඡායාරූපය - ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් වන ෆෝ(ර්) සීසන්ස් හෝටලයේ ඉතා විසිතුරු මල් සැරසිලි දැකිය හැකිය - www.cnn.com
මූලාශ්‍ර :
www.cnn.com
www.expedia.com
www.thehoteltrotter.com

Related Articles