විවිධ ප්‍රදේශවල ඇති අත්හැර දැමූ නිවාස, ගොඩනැඟිලි සහ වෙනත් ස්ථාන ඔබ දැක ඇති. ඒවා සමඟ බැඳුණු, දුක මෙන් ම සතුට රැඳුණු සිදුවීම් ද තිබේ. පසුගිය කාලය පුරාවට පැවැති සිවිල් යුද්ධයෙන් පීඩා විඳි උතුරු සහ නැගෙනහිර පළාතේ ඇති එවැනි අත්හැර දැමූ නිවෙස්, පාසල් සහ වෙනත් ගොඩනැඟිලි, දකින ඕනෑම කෙනකුට ඇති වන්නේ කම්පාවකි.
ඒ ආකාරයෙන් ලොව බොහෝ රටවල ඇති නටබුන් බවට පත් වී ඇති එවැනි ප්‍රසිද්ධ ගොඩනැඟිලි කිහිපයක් ගැනයි මේ සොයා බැලීම.
අපේ රටේ පමණක් නොව ලොව බොහෝ රටවල මෙවන් ආකාරයෙන් අත්හැර දමා ඇති එවැනි නගර, නටබුන් බවට පත් වී ඇති නිවෙස් සහ ගොඩනැඟිලි හද කම්පා කරවන මතකයන් ද රැසක් දරා සිටියි. මෙම නගරවලින් බොහොමයක් අත්හැර දැමීමට හේතු වී ඇත්තේ විවිධ යුද ගැටුම් වැනි සිදුවීම් නිසා වේ.
1. ප්‍රිප්යාට්- යුක්‍රේනය
එවකට සෝවියට් සමුහාණ්ඩුව යටතේ පැවැති වර්තමාන යුක්‍රේනයේ, චර්නොබිල්හි පිහිටි න්‍යෂ්ටික බලාගාරයක් තුළ ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍යයක් දියවීම නිසා විශාල පිපිරීමක් 1986 අප්‍රේල් 26 දින සිදු විය. ඒ සමඟ ම එහි ගබඩා කර තිබූ විකිරණශීලි ද්‍රව්‍ය මුසු වූ වාතය, මෙම බලාගාරයේ සේවය කළ විද්‍යාඥයන් සහ කම්කරුවන් ජීවත් වූ නගරයක් වන ප්‍රිප්යාට් දෙසට හමා යන්නට විය.
එදින එහි ජීවත් වූ 50,000කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර ඒ සඳහා පැය 36ක කාලයක් ගත විය. මෙම ව්‍යසනය නිසා ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදු නොවූවත්, නගරයේ ජීවත් වූ අය විකිරණශීලි ද්‍රව්‍යවලට නිරාවරණය වීම හේතුවෙන් දිර්ඝකාලීන රෝගවලින් පීඩා වින්දහ.
මෙම සිදුවීමෙන් පසු රුසියානු බලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිප්යාට් නගරයට මුද්‍රා තැබූ අතර එතැන් පටන් මේ දක්වා එය අත්හැර දමා ඇත. එහි පිහිටා තිබූ සුඛෝපබෝගී ගොඩනැඟිලි, ක්‍රීඩා සංකීර්ණ සහ එළිමහන් උද්‍යාන ආදී සියල්ල මේ වන විට විනාශ වී ගොස් ඇත. නගරයේ පිහිටි අබලන් වී ගිය තැපැල් කාර්යයාලය තුළ ලිපි සිය ගණනක් තව ම දැකිය හැකි ය. මෙම නගරයේ ඇති විකිරණ මට්ටම තරමක් දුරට පහළ බැස ඇති බැවින් ගවේෂකයන්ට සහ එහි පදිංචි වී සිටි පුද්ගලයන්ට කෙටි වෙලාවක් සඳහා ඊට ඇතුළු වීමට අවසර දැන් ලැබේ. කෙසේ වෙතත් ප්‍රිප්යාට් ජීවත් වීමට සුදුසු තත්ත්වයට පත් වීමට තවත් සියවස් ගණනාවක් ගත වනු ඇතැයි විද්‍යාඥයන් පවසා තිබේ.
2. ඔරඩෝර්-සර්-ග්ලේන්- ප්‍රංශය
දෙවැනි ලෝක යුද්ධය අතරතුර 1944 ජූනි 10 දින දී මෙහි ජීවත් වූ ජනතාවගෙන් බොහෝ පිරිසක් සමූල ඝාතනයට ලක් වූහ. ප්‍රංශයට එරෙහිව නැගී ආ ප්‍රතිරෝධයට ඔවුන් සහාය දක්වන බවට පැතිරුණු මතයක් හේතුවෙන් හමුදා සෙබළුන් පැමිණ මෙහි ජීවත් වූ පුද්ගලයන් 642ක් ඝාතනය කර ඔවුන්ගේ නිවෙස්වලට ගිනි තැබූහ. පිරිමි පුද්ගලයන් ධාන්‍ය ගබඩාවලට ගෙන ගොස් ඒවායේ ඇඹරුම් යන්ත්‍ර යොදාගෙන ඝාතනය කළ අතර කාන්තාවන් සහ කුඩා ළමයින් දේවස්ථානයක සිරකොට පුපුරන ද්‍රව්‍ය යොදාගෙන ඝාතනය කළහ. ප්‍රහාර හමුවේ මැරුණු සේ රඟපෑ ගම්වැසියන් කිහිප දෙනෙක් පමණක් දිවි බේරා ගත් බව කියැවේ.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නව ඔරඩෝර්-සර්-ග්ලේන් නගරයක් ඒ ආසන්න වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කිරීමට ප්‍රංශ බලධාරීහු කටයුතු කළහ. කෙසේ වෙතත් සමූල ඝාතනයට ලක් වූ ගම්වැසියන් සිහිවීම පිණිස විනාශ වී ගිය නිවෙස් ද සහිත ගම්මානය එලෙසින්ම සුරක්ෂිත ව තබන්නැයි එවකට ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩි ගෝල් නියම කළේ ය. පිළිස්සී ගිය ගොඩනැඟිලි, මලකඩ කෑ වාහන සහ මහන මැෂින් ඇතුළු බොහෝ දෑ අදටත් මෙහි දැකිය හැකි ය.
3. හෂිමා දූපත- ජපානය
හෂිමා දූපත වර්තමානය වන විට ගරාවැටෙන පාළු ගොඩනැඟිලිවලින් පිරුණු එකක් වුවත් දශක කිහිපයකට පෙර එය ජපානයේ වඩාත් ජනාකීර්ණ ස්ථාන අතරින් එකක් විය. නාගසාකි වෙරළට මදක් ඔබ්බෙන් වූ මේ කුඩා දූපත,ගල් අඟුරු ආකරවල සේවය කළ පුද්ගලයන් පදිංචි වීමත් සමග 1887 සිට ජනාවාසකරණය විය. පසුව මිට්සුබිෂි සමාගම මිල දී ගත් මෙහි බහුමහල් ගොඩනැඟිලි ගණනාවක් ඉදි විය.
ඒ වන විට මෙහි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි. දෙවැනි ලෝක යුද සමයේ දහස් ගණනක් කොරියානු සහ චීන යුද සිරකරුවන් මෙම දූපතේ ගල් අඟුරු කැණීම්වල නිරත වීමත් සමඟ එහි ජනගහණය තව තවත් ඉහළ යන්නට විය. 1950 දශකය වන විට අක්කර 16ක් තරම් කුඩා දූපතක් වූ මෙහි 5,200කට වැඩි පිරිසක් ජීවත් වී තිබේ. කෙසේ වෙතත් 1974 දී ගල් අඟුරු කැණීම අත්හිටුවීමත් සමඟ මෙය ජනශුන්‍ය දූපතක් බවට පත් විය.
වසර 40ක් තිස්සේ අත්හැර දැමීම නිසා මෙහි නිවාස සංකීර්ණ සහ අනිකුත් ගොඩනැගිලි සියල්ල මේ වන විට ගරාවැටී ඇත. හෂීමා දූපතේ ජීවත් වූ පුද්ගලයන් භාවිත කළ රුපවාහිනී යන්ත්‍ර වැනි විවිධ දෑ තවමත් එම ගොඩනැඟිලි තුළ දැකිය හැකි ය. කාලයක් තිස්සේ ඇතුළු වීම තහනම් කර තිබුණත් 2009 දී මෙම දූපත සංචාරකයන් සඳහා විවෘත කිරීමට ජපාන රජය තීරණය කළේ ය. මෑතකාලීනව හෂීමා දූපත මූලික කරගෙන චිත්‍රපට කිහිපයක් පවා රූගත කර තිබේ.
4. වරෝෂා වෙරළ තීරය/ සයිප්‍රස්
1970 දශකය වන විට සයිප්‍රසයේ වරෝෂා වෙරළ තීරය සුපිරි ධනවතුන් විනෝදාස්වාදය සඳහා නිතර ආ ගිය තැන්වලින් එකක් විය. සංචාරකයන් බහුලව ගැවසුණු මෙම ප්‍රදේශයේ සුපිරි පන්තියේ හෝටල් සහ ආපනශාලා වැනි ස්ථාන රැසක් ද පිහිටා තිබිණි. මෙම වෙරළ තීරය ධනවතුන් අතර කෙතරම් ප්‍රසිද්ධ වූවාද යත් එලිසබෙත් ටේලර් සහ බ්‍රිජිට් බාර්ඩෝ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මෙහි පිහිටි හෝටල්වල නවාතැන් ගෙන තිබේ.
කෙසේ වෙතත් 1974 අගෝස්තු මාසයේ දී තුර්කිය, සයිප්‍රසය ආක්‍රමණය කළ අවස්ථාවේ වරෝෂා වෙරළ තීරයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වූ පුද්ගලයන් 15,000කට ආසන්න පිරිසක් සිය ජීවනෝපායයන් ද අත්හැර වෙනත් ප්‍රදේශවලට පලා ගියහ. යුදමය තත්ත්වය අවසන් වූ පසු ඔවුන් නැවත පැමිණෙනු ඇතැයි බොහෝ දෙනා උපකල්පනය කළ නමුත් පැවති දේශපාලන වාතාවරණය නිසා ඔවුන් නැවත එහි පැමිණියේ නැත.
එතැන් පටන් අත්හැර දමා ඇති මෙම ප්‍රදේශයේ පිහිටි හෝටල් සහ අනිකුත් ස්ථානවල මේ වන විට වල් බිහි වී ඇත. විවිධ කණ්ඩායම් ඒවායේ තිබූ වටිනා දෑ මංකොල්ල කා තිබේ. මෙහි තිබූ කඩසාප්පුවල අලෙවි කිරීමට තබා තිබූ ඇඳුම් සහ වෙනත් භාණ්ඩ තවමත් ඒ අයුරින් ම තිබෙන බැවින් මෙය එක්තරා යුගයක ජීවන රටාව පිළිබිඹු කරන වටිනා මතක සටහනක් බව බොහෝ දෙනකුගේ අදහස යි.
මෑතකාලීනව මෙම වෙරළ තීරය ඇතුළු අත්හැර දමා ඇති ප්‍රදේශය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත, නමුත් ඉංජිනේරුවන් පවසන්නේ එහි ඇති අබලන් වූ ගොඩනැඟිලි නැවත වාසයට සුදුසු පරිදි නවීකරණය කිරීමට අවම වශයෙන් ඩොලර් බිලියන 12 ක්වත් වැය වනු ඇති බව යි.
5. ෆෝඩ්ලන්ඩියා- බ්‍රසීලය
අමෙරිකානු මෝටර් රථ නිෂ්පාදකයෙක් වූ හෙන්රි ෆෝඩ්ට සිය කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන වාහනවල ටයර් සඳහා අවශ්‍ය රබර් පහසුවෙන් සපයා ගැනීමට අවශ්‍ය විය. ඒ අනුව 1927 දී ඔහු බ්‍රසීලයේ ටපාජෝස් ගඟ දිගේ පිහිටි වනාන්තර ආශ්‍රිත ව රබර් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේ ය. එය පසුකාලීනව ෆෝඩ්ලන්ඩියා නමින් ප්‍රසිද්ධ විය. රබර් වගාවට අමතර ව, ඔහු මෙම ප්‍රදේශයේ පිහිනුම් තටාක, ගොල්ෆ් පිටියක් සහ සුවිශාල නිවාඩු නිකේතන කිහිපයක් ද ඉදි කළේ ය.
කෙසේ වෙතත් ඔහුගේ සියලු බලාපොරොත්තු බිඳ දමමින් මෙහි වගා කළ රබර් ශාක දිලීර රෝගයකට ගොදුරු වීම නිසා විනාශ විය. ඊට අමතර ව එම වගාවන්හි සේවය කළ බ්‍රසීල කම්කරුවන් සහ අමෙරිකානු කළමනාකරුවන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති විය. එවැනි කෝලාහලයක් අතරතුර, ෆෝර්ඩ්ලන්ඩියා හි සේවකයින් මෙම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ඇතුළු දෑ විනාශ කර නගරයේ ගාල් කර තිබූ ට්‍රක් රථ ගඟට තල්ලු කළහ.
ඒ වන විට ෆෝඩ් මේ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වැය කර තිබිණි. කිසි දිනෙක එය නැරඹීමට නොපැමිණි ඔහු 1945 දී ඉතා සුළු මුදලකට බ්‍රසීල රජයට ෆෝඩ්ලන්ඩියා අලෙවි කළේ ය. මේ වන විට එහි කොටසක් එක්තරා විශ්වවිද්‍යාලයකට අයත් වේ. එය බ්‍රසීලයට පැමිණෙන බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ ගමනාන්තයක් වේ.