ආසියාවේ ක්‍රියාත්මක අන්තර්ජාතික සංවිධාන කිහිපයක්

අන්තර්ජාතික සංවිධානයක් ලෙස ජාත්‍යන්තර නීතියේ සඳහන් වන්නේ රාජ්‍යයන්ගේ සාමාජිකත්වයෙන් යුතු සංවිධානයි. ලෝකයේ අන්තර්ජාතික සංවිධාන වලින, ආසියාකරයේ පිහිටි සංවිධාන කිහිපයක් පිළිබඳ විමසීමක් කරන්නට අපි කල්පනා කළා.

01. සාර්ක් සංවිධානය – SAARC

biovoicenews.com

“සාර්ක් ”, එසේත් නොමැතිනම් South Asian Association for Regional Co-operation, ලෙස හඳුන්වනු ලබන්නේ දකුණු ආසියාතික කලාපයට අයත් වන්නා වූ රටවල් විසින් පිහිටුවා ගත් සංවිධානයකි. සාමාජික රටවල් වන්නේ,

  • ඉන්දියාව
  • ශ්‍රී ලංකාව
  • පාකිස්ථානය
  • බංග්ලාදේශය
  • නේපාලය
  • භූතානය
  • මාලදිවයින
  • ඇෆ්ගනිස්ථානය

ඇෆ්ගනිස්ථානය සාමාජිකත්වය ලබා ගනු ලැබුවේ මෑත කාලයේදී යි. සාර්ක් ප්‍රඥප්තිය බංග්ලාදේශයේ ඩකා නුවර දී අත්සන් කරනු ලැබුවේ 1985 දෙසැම්බර් මස 08 වන දිනයි. සාර්ක් සංවිධානයේ අරමුණු අතර කිහිපයක් වන්නේ,

  • දකුණු ආසියාවේ ජනතාවගේ සුභසාධනය හා ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම
  • කලාපයේ ආර්ථික වර්ධනය, සමාජ ප්‍රගතිය, හා සංස්කෘතික සංවර්ධනය වේගවත් කිරීම
  • ආර්ථික, සාමාජික, සංස්කෘතික, හා විද්‍යාත්මක අංශ වල සහයෝගිතාවය වැඩි දියුණු කිරීම ආදියයි.

මෙම රටවල රාජ්‍ය නායකයින් වසරකට වරක් හෝ අවශ්‍ය නම් කිහිප වතාවක් හමු වී රැස්වීම් පවත්වනු ලබනවා. එමෙන්ම මෙම සාමාජික රටවල් අතර SAPTA ( South Asian Preperential Trade Agreement), හා SAFTA (South Asian Free Trade Agreement) යනුවෙන් වෙළෙඳ ගිවිසුම් දෙකක්ද ඇති කර ගෙන තිබෙනවා.

02. ආසියාන් සංවිධානය (Association of Southeast Asian Nations)

ustr.gov

1967අගෝස්තු මස 08 වන පිහිටුවා ගෙන තිබෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට මුලික වූ කාරණය වන්නේ අග්නිදිග ආසියාතික රටවල ආර්ථික, සමාජීය, සංස්කෘතික, තාක්ෂණික, හා අධ්‍යාපනික ආදී අංශ වල සංවර්ධනය උදෙසායි. ඇඩම් මලික්, නර්සිසෝ ආර්. රමොස්, අබ්දුල් රසාක්, එස්. රාජරත්නම්, හා තානට් කොහොමන් යන විදේශ ඇමතිවරුන් ආසියාන් සංවිධානයේ නිර්මාතෘවරුන් ලෙස හැඳින්වෙනවා. සාමාජිකත්වය හිමි කර ගෙන තිබෙන රටවල් 10 වන්නේ ,

  • ඉන්දුනීසියාව
  • සිංගප්පුරුව
  • තායිලන්තය
  • පිලිපීනය
  • මැලේසියාව
  • වියට්නාමය
  • බෲනායි
  • මියන්මාරය
  • කාම්බෝඩියා
  • ලාඕසය

මෙම සංවිධානයේ මුලස්ථානය වන්නේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරයි. ආසියාන් සංවිධානයේ පරමාර්ථ කිහිපයක් වන්නේ,

  • කලාපයේ ආර්ථික, සමාජීය ප්‍රගතිය හා සංස්කෘතික සංවර්ධනය
  • අධ්‍යාපන හා වෘත්තිමය සේවාවන් සඳහා විද්‍යාත්මක හා පරිපාලනමය ආදී අංශ වල පුහුණු කිරීම් හා පර්යේෂණ මඟින් අන්‍යෝන්‍ය සහය වීම්,
  • කෘෂිකර්මාන්තය, කර්මාන්ත, වෙළඳාම, හා ප්‍රවාහනය සම්බන්ධ කටයුතු වැඩි දියුණු කිරීම ආදියයි.

03. බිම්ස්ටෙක් (BIMST- EC)

daily-sun.com

බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික හා සහයෝගිතා සංවිධානයක් ලෙස බිම්ස්ටෙක් නමැති සංවිධානය හැඳින්වීමට හැකි වනවා. 1997 ජූනි මස 06 වන දින බැංකොක් ප්‍රකාශනය මඟින් ස්ථාපනය කරනු ලැබ තිබෙනවා. ආරම්භයේ දී මෙහි නාමය වූයේ BIST- EC යනුවෙනි. නමුත් පසුකාලීනව මියන්මාරයද එකතු වූවා. ඒ අනුව BIMST- EC යනුවෙන් හඳුන්වනු ලබනවා.

  • බග්ලාදේශය – B
  • ඉන්දියාව -I
  • මියන්මාරය -M
  • ශ්‍රී ලංකාව -S
  • තායිලන්තය -T

“EC” මඟින් ආර්ථික සහයෝගිතාවය යන්න ගම්‍යමාන වනවා. 2004 වසරේදී නේපාලය හා භූතානය ද මෙහි සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. එමෙන්ම බිම්ස්ටෙක් යනු වෙළෙඳ, තාක්ෂණ, බලශක්ති, ප්‍රවාහන, සංචාරක, ධීවර, කෘෂිකාර්මික, මහජන සෞඛ්‍යය, දිළිඳුකම පිටුදැකීම, ප්‍රති – ත්‍රස්තවාදය, පරිසරය, සංස්කෘතිය, මිනිසුන්ට සම්බන්ධ වීම හා දේශගුණික විපර්යාසයන් යන ආදී අංශ මත පදනම් වූ සහයෝගිතවයකි.

04. ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය (GCC)

youtube.com

මැද පෙරදිග රටවල් හයක දේශපාලන හා ආර්ථික සංධානයක් ලෙස මෙම සංවිධානය හැඳින්විය හැකි වනවා. සාමාජිකත්වය හිමි කර ගන්නා රටවල් වනුයේ සෞදි අරාබියාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, බහ්රේනය, කටාරය, කුවෙට් සහ ඕමානයයි. 1981 වසරේ මැයි මස දී සෞදි අරාබියාවේ රියාද් හි මෙය ස්ථාපිත කරනු ලැබුවා. මෙහි අරමුණ වන්නේ සාමාජිකයන් අතර එක්සත්කම ලබා ගැනීමයි. එනම් ඉස්ලාමීය විශ්වාසයන් තුළ මුල්බැසගෙන සිටින ඔවුන්ගේ පොදු අරමුණු හා සමාන දේශපාලන, සංස්කෘතික අනන්‍යතාවයයන් මත පදනම්වයි. එමෙන්ම මෙම සංවිධානය සතුව ආරක්ෂක සැලසුම් කමිටුවක් ද තිබෙනවා. එමඟින් සාමාජික රටවල් අතර යුධමය සහයෝගීතාවය සම්බන්ධීකරණය කරනු ලබනවා.

කවරයේ පින්තූරය: thequint.com

Related Articles

Exit mobile version