Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජුරාසික් පාර්ක් සිනමාපට පෙළ

ලොව පුරා ඉතාමත්ම ජනප්‍රිය වූ කතාමාලාවක් ලෙස ජුරාසික් පාර්ක් සිනමාපට පෙළ හඳුන්වන්න පුළුවන්. එහි 5 වන කොටස ලෙස Jurassic World: Fallen Kingdom සිනමාපටය මේ වසරේ ජූනි 7 වෙනිදා නිකුත් වීමට නියමිතයි. මේ ඒ සිනමාපට ගැන කරන කෙටි සමාලෝචනයක්.

01. Jurassic Park – 1993

ලොව විශාල ලෙස කතාබහට ලක් වූ මෙම චිත්‍රපටය සම්මාන 20කට අධික ප්‍රමාණයක් හා 1993 ඇකඩමි සම්මාන තුනක් දිනාගනු ලැබුවා. ඒ, හොඳම දෘශ්‍ය ප්‍රයෝග, හොඳම ශබ්ද, හා හොඳම ශබ්ද සංස්කරණය වෙනුවෙනුයි. මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ස්ටීවන් ස්පිල්බර්ග් විසින්. මෙයට පදනම් වී තිබුණේ මයිකල් ක්‍රික්ටන් විසින් රචනා කරන ලද ජුරාසික් පාර්ක් නවකතාව යි. මෙහි රූගත කිරීම් කැලිෆෝනියාව හා හවායි දූපත් ආශ්‍රිතව සිදුකර තිබුණා. ස්ටෑන් වින්ස්ටන් විසින් මෙම සිනමා පටයේ දෘශ්‍ය ප්‍රයෝග හා ඩයිනෝසෝරයින් නිර්මාණය සිදුකර තිබුණා. මෙම සිනමාපටයේ අලෙවිකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර තිබූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 65ක්. මෙම සිනමාපටය මිනිත්තු 127ක කාලයක් පුරා දිවගියා. ඇමරිකානු ඩොලර් මිලියන 63ක් යොදා නිර්මාණය කරනු ලැබූ මෙය, ඇමරිකානු ඩොලර් බිලියන 1.029ක ආදායමක් ලොව පුරා ප්‍රදර්ශනයෙන් උපයා තිබුණා.

02. The Lost World: Jurassic Park 1997

ජුරාසික් පාර්ක් පළමු සිනමාපටයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් එහි දෙවන කොටස ලෙස The Lost World: Jurassic Park සිනමාපටය තිරගත වුණා. ඩේවිඩ් කොඑප් විසින් රචනා කරන ලද මෙයත් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ස්ටීවන් ස්පිල්බර්ග් විසිනුයි. එයට පාදක වුණේ මයිකල් ක්‍රික්ටන් විසින් රචනා කරන ලද The Lost World නවකතාවයි. මෙම සිනමාපටය කැලිෆෝනියාව, කවුවායි හා හවායි යන ප්‍රදේශ වල රූගත කිරීම් සිදුව තිබුණා. මේ වෙනුවෙන් පළමු සිනමාපටයට වඩා පරිගණක දෘශ්‍ය ප්‍රයෝග භාවිතා වූ අතර මිනිත්තු 129ක කාලයක් පුරාවට මෙය ධාවනය වුණා. ඇමරිකානු ඩොලර් මිලියන 73ක වියදමින් නිර්මාණය වූ මෙය ඇමරිකානු ඩොලර් 618.6ක ආදයමක් වාර්තා කර තිබුණා. මෙම සිනමාපටය යුනිවර්සල් ස්ටුඩියෝ විසින් බෙදාහැරියේ ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් වියදම් කරමිනුයි. Rembrandt සම්මාන උළෙලේදී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් මෙම සිනමා නිර්මාණය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගනු ලැබුවා.

03. Jurassic Park III – 2001

මේ ජුරාසික් පාරක් කතා මාලාවේ තුන්වන කොටසයි. එමෙන්ම මෙය එම කතා මාලාවේ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය නොකළ පළමු සිනමාපටය ද වෙනවා. මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ජෝ ජොන්ස්ටන් විසිනුයි. එමෙන්ම මෙය මයිකල් ක්‍රික්ටන් විසින් රචනා කරන ලද පොතක් මත පදනම් නොවූ පළමු සිනමාපටය ද වෙනවා. මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ වන්නේ 2000 අගෝස්තු මස 30 වෙනිදායි. මෙම සිනමාපටය මිනිත්තු 92ක කාලයක් පුරා දිව යනවා. මෙම සිනමාපටය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 93ක් වියදම් වී තිබෙනවා. එමගින් උපයන ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 368.8ක්.

04. Jurassic World

මෙය නිර්මාණය වන්නේ 2015 වසරේදී යි. ඒ, ජුරාසික් පාරක් මාලාවේ 4 වන කොටස ලෙසයි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ කොලින් ට්‍රෙවෝරෝ විසිනුයි. එය නිපදවනු ලැබුවේ ෆ්‍රෑන්ක් මාර්ෂල් හා පැට්‍රික් ක්‍රෝව්ලේ විසිනුයි. යුනිවර්සල් පික්චර්ස් සමාගම මෙය 2004 වසරේ නිර්මාණය කර 2005 වසරේ තිරගත කිරීමට සැලසුම් කළත්, එය දශකයක පමණ කාලයක් කල් ගියේ පිටපතේ සිදු වූ වෙනස්වීම් නිසයි. කෙසේ නමුත් මෙම නිර්මාණයේ වැඩ කටයුතු 2015 මැයි 10 වෙනිදා සම්පූර්ණ වුණා. 2015 ජූනි 10 වෙනිදා රටවල් 60ක ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු එය පළමු සති අන්තයේම ලොවපුරා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් වාර්තා කරනු ලැබුවා. මිනිත්තු 124 ක් පුරා දිවයන මෙම සිනමා නිර්මාණය බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.672ක මුදලක් උපයා තිබුණා.

05. Jurassic World: Fallen Kingdom

මෙම සිනමාපටය පිළිබඳව අපි පෙර ලිපියකත් සඳහන් කළා. මෙය එක්සත් රාජධානිය තුළ 2018 ජුනි 7 වෙනිදාත්, එක්සත් ජනපදය තුල 2018 ජූනි 22 වෙනිදාත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 2015 වසරේ නිර්මාණය වූ ඩොලර් බිලියන 1.6ක ආදායමක් ලැබූ Jurassic World සිනමා පටයට අනුබද්ධව හා Jurassic Park සිනමාපට මාලාවේ පස්වන සිනමාපටය ලෙස ද මෙය නිර්මාණය වෙනවා. ගිනිකන්දක් පිපිරීම හා ඩයිනෝසරයන් විනාශ වෙන සිදුවීමක් මෙය පාදක වී තිබෙනවා. මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජේ.ඒ. බෙයෝනා විසින් වන අතර කොලින් ට්‍රේවරෝව් හා ඩෙරෙක් කොනොලි විසින් මෙය රචනා කර තිබෙනවා. මෙහි ප්‍රධාන නිෂ්පාදනය ස්ටීවන් ස්පිල්බර්ග් විසින් සිදු කරනු ලබනවා.

කවරය – collider.com

Related Articles