රට රටවල ලොකු ම වරායයන්

ලෝකය පුරා ම භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සිදුවන ප්‍රධානතම ස්ථාන බවට වරායයන්කාලයක සිට ම පත් වී තිබුණා. දූපතක් වශයෙන් ශ්‍රී ලංකාවත් අතීතයේ සිට ම පැවත එන කාර්යබහුල වරායයන් ගණනාවක් තිබුණු රටක්. රටක් වශයෙන් බැලුවා ම ප්‍රමාණයෙන් ඉතා ම කුඩා වුණත් අද වන විට ලෝකයේ කාර්යබහුල ම වරායක් ශ්‍රී ලංකාවට හිමි යි.

වරායක කාර්යබහුලත්වය මනින්නේ එමඟින් හසුරුවනු ලබන කන්ටේනර් පෙට්ටි ගණන අනුව යි. මෙහි දී අඩි 20ක් දිග සම්මත කන්ටේනර් පෙට්ටියක් ඒකකය වන TEU එකක් (Twenty feet Equivalent Unit) ලෙස සැලකෙනවා. වඩා විශාල ප්‍රමාණයේ කන්ටේනර් පෙට්ටියක් ඒකක දෙකක් විය හැකියි.

ලෝකයේ විවිධ රටවලට අයත් කාර්යබහුල ම වරායයන් කිහිපයක් තමයි මේ.

චීනයේ ශැන්ග් හයි වරාය – TEU මිලියන 40ක්

dailymail.co.uk

අද වන විට අංශ ගණනාවකින් වගේ ම කාර්යබහුල ම වරායයන් අතිනුත් ඉදිරියෙන් සිටින්නේ චීනය යි. එයිනුත් ශැන්ග් හයි වරාය ලොව වැඩි ම කන්ටේනර් පෙට්ටි ප්‍රමාණයක් වාර්ෂික ව හැසිරවීමෙන් ලෝකයෙන් ම මුල්තැන ගෙන තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ ඒ තැන රැකගෙන සිටි සිංගප්පූරු වරාය 2010 සිට දෙවැනි තැනට පත් වී තිබෙනවා. ටොන් බිලියන බාගයකට අධික භාණ්ඩ තොගයක් වාර්ෂික ව ශැන්ග් හයි වරාය හරහා හුවමාරු වෙනවා.

සිංගප්පූරුවේ සිංගප්පූරු වරාය – TEU මිලියන 34ක්

safety4sea.com

කාලයක් තිස්සේ ලෝකයෙන් ම මුල් තැන ගෙන සිටි සිංගප්පූරු වරාය අද වන විට දෙවන තැනට පත් වී තිබුණත්, අදටත් මෙය එරට ආර්ථිකයේ ප්‍රධානතම මර්මස්ථානය යි. ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ කුඩා ම දිස්ත්‍රික්කය වන කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා කුඩා රටක් වන සිංගප්පූරුව ශ්‍රී ලංකාව මෙන් කිහිප ගුණයක ආර්ථිකයකට හිමිකම් කියන්න මේ වරායත් ප්‍රධාන හේතුවක්. ලෝකයේ නැව් මාර්ග ගණනාවක් හමුවන තැනක පිහිටා තිබීම සිංගප්පූරු වරායේ දියුණුවට හේතු වුණා.

දකුණු කොරියාවේ බූසාන් වරාය – TEU මිලියන 21ක්

seatrade-maritime.com

සමස්ත කන්ටේනර් මෙහෙයුම් ප්‍රමාණය අතින් 5 වැනි ස්ථානයේ තිබෙන බූසාන් වරාය 1876 දී කොරියාවේ මුල්ම අන්තර්ජාතික වරාය විදිහට විවෘත වුණා. කොරියානු යුද්ධයේ දී වරක් දකුණු කොරියාවේ විශාල ප්‍රමාණයක් අත්පත් කරගන්නට උතුරු කොරියාව සමත් වුණත් බූසාන් වරාය ඔවුන්ට යටත් වූයේ නැහැ. යුද්ධයෙන් පසු ව බූසාන් වරාය ස්වයං පාලනයක් සහිත නගරයක් බවට පත් වී තිබෙනවා. ඊසාන දිග ආසියාවේ විශාලතම ප්‍රතිනැව් ගත කිරීමේ වරාය වන්නේත් බූසාන් වරාය යි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබෙල් අලි (ඩුබායි) වරාය – TEU මිලියන 15ක්

wikimedia.org

ලොව ධන කුවේරයන්ගේ රජ දහන වන ඩුබායි නගරයේ පිහිටා ඇති ජෙබෙල් අලි වරාය ආසියාවේ නැගෙනහිර පැත්තට නොවන්නට පිහිටා ඇති ලොව කාර්යබහුල ම වරාය යි. මේ වන විට සමස්ත කන්ටේනර් මෙහෙයුම් ප්‍රමාණය අතින් ඩුබායි වරාය පවතින්නේ 9 වන ස්ථානය යි. මිනිසා විසින් නිමවන ලද ලොව විශාලතම වරාය වන ජෙබෙල් අලි වරාය මනා සැලසුමක් අනුව නිර්මාණය කරන කෘත්‍රීම වරායක සාර්ථකත්වයට හොඳම නිදසුන ලෙස සැලකෙනවා. ඩුබායිහි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වූ රෂීඩ් බින් සයීඩ් අල් මක්ටූම් එමීර්වරයාගේ සංකල්පයක් මත යි ජෙබෙල් අලි වරායත් ගොඩ නැගුණේ.

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය – TEU මිලියන 6ක්

maritime-executive.com

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වරාය වගේ ම දකුණු ආසියාවේ විශාලතම වරාය වන කොළඹ වරාය ලෝකයේ කාර්යබහුල ම වරායයන් අතර 25 වන ස්ථානයේ තිබෙනවා. ඒ වගේ ම ලොව කාර්යබහුල ම වරායයන් 25 හිමි රටවල් අතරින් අඩුම දළ ජාතික නිෂ්පාදනයක් ඇති රටට අයත් වරාය වන්නේ ද කොළඹ වරාය යි. ඉන්දියානු සාගරයේ මැදට වන්නට පිහිටා තිබීම නිසා කොළඹ වරාය ලෝකයේ ම ප්‍රධානතම වරායක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානයක් ද වෙනවා. ලොව 13 වැනියට විශාලතම ප්‍රතිනැව්ගත කිරීමේ වරාය වන්නේ ද කොළඹ වරාය යි.

Related Articles

Exit mobile version