මහජන චීන සමූහාණ්ඩුවේ නායකයෝ

01. මාඕ සේතුං (1949-1976)

මාඕ 1962 දී (Getty Images)

චීනයේ හුනාන් පළාතේදී 1893 වසරේ උපන් මාඕ 1921 පටන් චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු වූ අතර 1930 දශකයේ මැද භාගයේදී සිදුවූ මහා පා ගමනෙන් පසු පක්ෂයේ බලය සියතට ගන්නට සමත් වුණා. 1949 ඔක්තෝබර් 1 වනදා මහජන චීන සමූහාණ් ඩුව පිහිටුවද්දී එහි සභාපති ලෙස ඔහුව නම් කෙරුණා. 1976 සැප්තැම්බර් 9 වනදා ඔහු මිය යනතුරු එම තනතුර ඔහු විසින් දරනු ලැබුණා.

02. හුආ ගුඔෆෙන්ග් (1976-1978)

හුආ ගුඔෆෙංග් (Xinhua)

මාඕගේ මරණින් පසු මහජන චීනයේ ප්‍රධානියා වූ හුආ, මාඕගේ බිරිඳ විසින් නායකත්වය දුන් “සිව් දෙනාගේ කල්ලිය​” බලයෙන් පහ කොට සිය බලය තහවුරු කරගත්තේ 1976 ඔක්තෝබර් මුල සතියේදී. ඔහු විසින් චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා මුල් පියවරයන් ගනු ලැබුණා. නමුත් 1978 දෙසැම්බරයේදී ඩෙංග් ෂියාඕපෙංග් විසින් ඔහු බලයෙන් ඉවත් කරනු ලැබුණා. 1921 දී උපන් හුආ 2008 දී මිය ගියා.

03. ඩෙංග් ෂියාඕපෙංග් (1978-1989)

ඩෙංග් (වමේ) ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් සමඟ

චීන ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වැඩිම ගෞරවය හිමි වන්නේ ඩෙංග්ටයි. 1904 දී සිෂුවාන් පළාතේ ගොවි පවුලක උපන් ඩෙංග් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයකුව සිටි නමුත් 1966 ඇරඹි සංස්කෘතික විප්ලව සමයේදී නිලතලවලින් ඉවත් කෙරුණා. මාඕගේ මරණින් පසු යළි ප්‍රබල චරිතයක් ලෙස නැගී සිටි ඔහු 1978 දී චීනයේ ප්‍රධානත්වයට පත්වුණා. ඩෙංග් මිය ගියේ 1997 දී.

04. ජියෑංග් සෙමින් (1989-2003)

ජියෑංග් සෙමින් (AP)

1926 දී උපන් ජියෑංග් 1989 තියනන්මෑන් චතුරශ්‍රයේ සිසු උද්ඝෝෂණ මැඩ පැවැත්වීමෙන් පසුව කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානියා ලෙස පත් වූ අතර ඒ සමඟම චීනයේ ප්‍රධානියා බවට පත් වුණා. මීළඟ වසර කිහිපය තුළ ඩෙංග් සිය බලතල කෙමෙන් අත හරිමින් ජියෑංග්ට ඉඩ කඩ සාදා දුන්නා. 1993 දී ජියෑංග් මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ලෙස පත්ව 2003 තෙක් එම ධූරය දැරුවා.

05. හූ ජින්තාඕ (2003-2013)

හූ ජින්තාඕ ඔබාමා යුවළ සමඟ​ (AP)

1942 දී උපන් හූ ජින්තාඕ 1980 දශකයේදී ඩෙංග් විසින් ක්‍රියාත්මක කළ පක්ෂයේ තරුණ නායකත්වයට අවස්ථාව ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ ඉහළට පැමිණි තැනැත්තෙක් වුණා. 1980 දශකයේ අගදී ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ටිබෙට් ප්‍රාදේශීය මධ්‍යම කාරක සභාවේ ප්‍රධානියා වූ අතර 1989 දී ටිබෙටයේ මතුවූ විරෝධතා මැඩ පැවැත්වූ ආකාරය පිළිබඳ විවාද පවතිනවා. කෙසේ නමුත් 1990 දශකයේදී පක්ෂයේ ඉහළට පැමිණි ඔහු 1998 දී උප ජනාධිපති බවට පත් වුණා. බලාපොරොත්තු වූ ලෙසම ඔහුව 2003 දී ජනාධිපති ලෙස නම් කෙරුණා.

06. ෂී ජින්පිං (2013 සිට​)

ෂී ජින්පිං ජිනීවා හි එක්සත් ජාතීන්ගේ යුරෝපා මූලස්ථානයේදී (Reuters)

1953 උපන් ෂී ජින්පිංගේ පියා ද කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයකු වුණා. සංස්කෘතික විප්ලවය සමයේ ඔහුගේ තනතුරුවලින් ඉවත් කොට අත් අඩංගුවට ගත් අතර ෂී ජින්පිං ද අසීරු කාළයක් ගෙවූ බව ප්‍රකට කරුණක්. ඩෙංග් ෂියාඕපෙංග් යටතේ සිදුවූ ප්‍රතිසංස්කරණ අතරතුර ඔහු පක්ෂයේ ඉහළට පැමිණියා. 2008 දී උප ජනාධිපති ලෙස නම් කරනු ලැබ 2013 දී ජනාධිපති බවට පත් වූ ෂී, චීනයේ දූෂණ විරෝධී ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළා. විවේචකයින් සඳහන් කරන්නේ ඔහු එතුලින් තමන්ට තර්ජනයක් විය හැකි ප්‍රබලයින් තනතුරුවලින් ඉවත් කළ බවයි. එමෙන්ම දේශපාලන විචාරකයන්ට අනුව මාඕට පසු චීනයේ බලවත්ම තනි පුද්ගලයා බවට ෂී පත්ව තිබෙනවා.

Cover Image: Reuters

Related Articles

Exit mobile version