Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ තනතුරු දැරූ ලාංකිකයෝ තිදෙනෙක්

ඔක්ස්ෆර්ඩ් යනු ලෝකයේ අතිශය ජනප්‍රිය විශ්වවිද්‍යාලයන්ගෙන් එකක්. උසස් අධ්‍යාපන කටයුතු සඳහා එම විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ලාංකිකයන් අතරින් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ තනතුරුවලට පත් තිදෙනෙක් පිළිබඳ ව යි අද ලිස්ට් තුළින් ගෙන එන්නේ.

ඔවුන් තිදෙනා ම අධ්‍යාපනය නිම කර ලංකාවට පැමිණි පසු ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු පුද්ගලයන් වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකියි.

ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ප්‍රථම ශ්‍රී ලාංකික සභාපතිවරයා – ලලිත් ඇතුළත්මුදලි

Daily News

1936 නොවැම්බර් 26 වන දා උපත් ලබන ලලිත් විලියම් සමරසේකර ඇතුළත්මුදලි ලංකාවේ සිටි කීර්තිමත් දේශපාලඥයෙක් ලෙස හැදින්විය හැකියි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය ද වෙළද හා නාවුක කටයුතු ඇමතිවරයා ලෙස ද කටයුතු කරන ඔහු අවසානයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් කටයුතු කරනවා.

පාසල් අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් අවසන් කරන ඔහු 1955 දී තම ප්‍රථම උපාධිය ලබාගැනීමට එංගලන්තයේ ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. 1958 දී එම සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නා ඔහු එම විශ්වවිද්‍යාලයෙන් ම සිවිල් නීතිය පිළිබඳ ව උපාධිය ද, ශ්‍රාස්ත්‍රපති උපාධිය ද ලබාගන්නවා.

ඔක්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිටින සමයේ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරන ඔහු 1956 නොවැම්බර් මාසයේ දී සංගමයේ ලේකම්වරයා ලෙස පත්වෙනවා. එවකට එම ධූරයට පත් ලාබාලතමයා වන්නේ ද ඔහු යි.

1957 එහි භාණ්ඩාගාරික ලෙස පත්වෙන අතර 1958 දී ශිෂ්‍ය සංගමයේ නිල මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස පත්වෙනවා. එම තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ලලිත් ඇතුළත්මුදලි යි.

සභාපතිවරයා බවට පත් වූ දෙවන ශ්‍රී ලාංකිකයා – ලක්ෂ්මන් කදිරගාමර්

sinhala.srilankamirror.com

1932 අප්‍රේල් 12 වන දා කොළඹ දී උපත ලබන ලක්ෂ්මන් කදිරගාමර් ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ බිහි වූ කීර්තිමත් ම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස හැදින්විය හැකියි. ඔහු ඒ තරම් විදෙස් රාජ්‍ය ත්‍රාන්තික කටයුතු සඳහා දක්ෂතාවයක් දැක් වූ පුද්ගලයෙකි.

පාසැල් අධ්‍යාපනය සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වන ඔහු අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද එක සේ දස්කම් දැක්වූ සිසුවෙක් විය. පාසල් අධ්‍යාපනයෙන් පසු ව නීතිය හැදෑරීම සඳහා 1950 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා.

නීතිය පිළිබඳ ව උපාධිය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වන ඔහු ඉන් පිටවන්නේ පළමු පන්ති සාමාර්ථයක් සමග යි.

ඉන්පසු ව මෙම දක්ෂ සිසුවාට ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබෙනවා. 1956 සිට 1959 දක්වා එම සරසවියේ තම ඉගෙනුම් කටයුතු කරගෙන යන ඔහු 1959 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවට පත් වෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවට පත් වූ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ලේකම් බවට පත් වූ – බණ්ඩාරනායක

biography.com

1899 ජනවාරි 8 වන දා කොළඹ දී උපත ලබන සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක යනු ලංකාවේ සිටි හතරවන අගමැතිවරයා යි. (ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය බිහි වීමට ප්‍රථම)

කේම්බ්‍රිජ් ජේෂ්ඨ විභාගය ඉතා විශිෂ්ට ලෙස සමත්වෙන තරුණ බණ්ඩාරනායක එවකට බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පැවති සියලු රටවල ශිෂ්‍යයන් අතරින් දෙවන ස්ථානය දිනා ගන්නවා.

එම විභාගයේ ප්‍රතිඵල මත බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හැකියාව ලැබෙන අතර ඔහු එහි දී දර්ශනය, ආර්ථික විද්‍යාව, හා දේශපාලන විද්‍යාව පිළිබඳ ව හදාරනවා. 1923 දී තම උපාධිය සම්පූර්ණ කරනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  සිටි කාලය තුළ දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරයට තේරීපත් වීමට බණ්ඩාරනායකට හැකියාව ලැබෙනවා.

මූලාශ්‍රයයන්:

independent.co.uk/news/people/obituary-lalith-athulathmudali-1457705.html

dailynews.lk/2017/05/03/features/114812/lalith-athulathmudali-brilliant-visionary

lki.lk/about/lakshman-kadirgamar

swrdbandaranaike.lk/his_life.html

Related Articles