Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට එන සුපිරි තරු 8ක්

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා විවිධ ක්‍රීඩා 33ක් ඇතුළත් කර තිබෙනවා. එම ක්‍රීඩා 33 යටතේ රටවල් 200කට අධික ප්‍රමාණයකට අයත් 11000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඔලිම්පික් බිමේ දී තරග වැදීමට නියමිත යි. ඒ අතුරින් සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් උළෙලේ දී ඉහළ දස්කම් දක්වනු ඇති බවට බොහෝ දෙනකු අනුමාන කරනවා. මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ටෝකියෝ ඔලිම්පික් බිමේ දී දස්කම් දක්වනු ඇති බවට අපේක්ෂා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකු පිළිබඳව යි. 

1) කැතී ලෙඩෙකි (අමෙරිකාව)- පිහිනුම්  

අමෙරිකා පිහිනුම් ශූරියක වන කැතී ලෙඩෙකි මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගි වුණේ 2012 වසරේ දීයි. ඒ වන විට 15 හැවිරිදි වියේ පසුවුණු ලෙඩෙකි මීටර් 800 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. ඉන් වසර 4කට පසු පැවති රියෝ ඔලිම්පික් උළෙලේ දී ලෝක වාර්තා 2ක් සමඟින් රන් පදක්කම් 4ක් දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණා. ඒ මීටර්  200, 400, 800 නිදහස් ආර සහ මීටර් 200 නිදහස් ආර සහාය යන ඉසව් හතර නියෝජනය කරමින්. එහි දී ඇය නිදහස් ආර මීටර් 400 සහ 800 යන තරග ඉසව් ද්විත්වයෙන් ලෝක වාර්තා පිහිටුවීමට සමත් වුණා. 

ලෙඩෙකි රියෝ ඔලිම්පික් උළෙලේ දී දස්කම් දැක්වූ අයුරු
ලෙඩෙකි රියෝ ඔලිම්පික් උළෙලේ දී දස්කම් දැක්වූ අයුරු – gettyimages

2013 වසරේ සිට ලෝක ශූරතා පිහිනුම් තරගාවලිය සඳහා සහභාගි වුණු මෙම ක්‍රීඩිකාව රන් පදක්කම් 15ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහි දී ඇය නිදහස් ආර මීටර් 200, 400, 800, 1500 යන ඒකල තරග ඉසව් නියෝජනය කළා. ඊට අමතර ව නිදහස් ආර මීටර් 100 සහ 200 සහාය යන ඉසව්වලට ද ඇය සහභාගි වුණා. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මුල් වරට කාන්තා නිදහස් ආර මීටර් 1500 තරග ඉසව්ව ඇතුළත් කර තිබෙනවා. එය කැතී ලෙඩෙකිට අමතර වාසියක්. එනිසා මෙවරත් ඇය ඔලිම්පික් පිහිනුම් තටාකයේ දී දස්කම් දක්වනු ඇති බවට සැකයක් නැහැ.

2) සුමෝන් බයිල්ස් (අමෙරිකාව) – ජිම්නාස්ටික්  

24 හැවිරිදි අමෙරිකා ජිම්නාස්ටික් ශූරියක් වන සුමෝන් බයිල්ස් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වන ප්‍රබල ක්‍රීඩිකාවක්. 2016 රියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වුණු බයිල්ස් රන් පදක්කම් 4ක් දිනා ගත්තා. එහි දී ඇය භූමි ව්‍යායාම, පැනීම්, සියලු ඉසව් සහ කණ්ඩායම් ඉසව්ව යන තරග ඉසව් හතරෙන් රන් පදක්කම් හිමි කර ගත්තා.

සුමෝන් බයිල්ස් රියෝ ඔලිම්පික් උළෙලේ දී
සුමෝන් බයිල්ස් රියෝ ඔලිම්පික් උළෙලේ දී (gettyimages)

2013 වසරේ සිට ජිම්නාස්ටික් ලෝක ශූරතා තරගාවලිය සඳහා සහභාගි වුණු සුමෝන් බයිල්ස් ක්‍රීඩිකාව රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ලබා ගැනීමට සමත් වුණා. එනිසා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ඇගේ දස්කම් දැක බලා ගැනීමට බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටිනවා.

3) ඩීනා ඈෂර්-ස්මිත් (මහා බ්‍රිතාන්‍යය)- මලල ක්‍රීඩා 

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට පැමිණෙන මලල ක්‍රීඩිකාවන් අතුරින් කවුරුත් අවධානයෙන් සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේ ඩීනා ඈෂර්-ස්මිත් පිළිබඳ යි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල මීටර් 200 ඉසව්වෙන් පළමු තැන ද, මීටර් 100 ඉසව්වෙන් දෙවන තැන ද දිනාගෙන සිටින මෙම ක්‍රීඩිකාව ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී සුපිරි දස්කම් දක්වනු ඇති බවට බොහෝ දෙනකු අනාවැකි පළ කර තිබෙනවා.

 ඩීනා ඈෂර්-ස්මිත් 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී
ඩීනා ඈෂර්-ස්මිත් 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී – gettyimages

2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දීත් දස්කම් දැක්වූ ඈෂර්-ස්මිත් මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම ද, මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා ගත්තා. ඇය මෙවර ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කමක් දිනාගත්තොත් ඔලිම්පික් තරග ඉතිහාසයේ කෙටි දුර ධාවන ඉසව්වකින් රන් පදක්කමක් දිනාගත් මුල් ම බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව ලෙසින් වාර්තා අතරට එක්වනු ඇති. 

4) කෙන්ටෝ මොමෝටා (ජපානය) – බැඩ්මින්ටන් 

ලෝකයේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා ලෙසින් වැජඹෙන ජපානයේ කෙන්ටෝ මොමෝටෝ මෙවර මුල් වරට ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා. 2019 තරගවාරයේ දී බැඩ්මින්ටන් ශූරතා 11ක් ජයග්‍රහණය කරමින් නව වාර්තාවක් තැබූ කෙන්ටෝ මොමෝටා ක්‍රීඩකයාට මෙවර සිය මවුබිමේ දී ම සුපිරි දස්කම් දැක්වීමට අනගි අවස්ථාවක් උදා වී තිබෙනවා.

කෙන්ටෝ මොමෝටා
කෙන්ටෝ මොමෝටා (gettyimages)

2018 සහ 2019 වසරවල දී පැවැත්වුණු බැඩ්මින්ටන් ලෝක ශූරතාවල දී පිරිමි ඒකල ශූරතාව දිනාගත් මෙම විශිෂ්ට ක්‍රීඩකයා මෙවර ඔලිම්පික් උළෙලේ දී බැඩ්මින්ටන් ඒකල ඉසව්ව ජයගනු ඇති බවට  බොහෝ දෙනකු විශ්වාස කරනවා.

5) ටෙඩී රයිනර් (ප්‍රංශය)- ජූඩෝ 

දශකයකට වැඩි කාලයක සිට ජාත්‍යන්තර ජූඩෝ පිටියේ දී සුපිරි දස්කම් දක්වමින් සිටින ප්‍රංශයේ ටෙඩී රයිනර් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට එක්වන තවත් සුපිරි ක්‍රීඩකයෙක්. හෙවිවේට් ඉසව්ව යටතේ තරග වදින මෙම සුපිරි ක්‍රීඩකයා මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගි වුණේ 2008 වසරේ දීයි. ඒ වන විට 19 හැවිරිදි වියේ පසුවුණු රයිනර් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

රයිනර් ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී
රයිනර් ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී (gettyimages)

ඉන් අනතුරුව පැවති ඔලිම්පික් තරගාවලි ද්විත්වයේ දී ජූඩෝ හෙවිවේට් ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තේ මෙම සුපිරි ටෙඩී රයිනර් ක්‍රීඩකයා යි. 2007 වසරේ සිට ජූඩෝ ලෝක ශූරතාවලිය සඳහා සහභාගි වුණු රයිනර් රන් පදක්කම් 10ක් දිනා ගැනීමට සමත් ව තිබෙනවා. එනිසා මෙවර ඔලිම්පික් බිමේ දී ඔහුට සුපුරුදු දස්කම් දැක්වීමට හැකියාවක් ලැබෙනු ඇති.

6) ෂී ටින්ග්මාවෝ (චීනය)- කිමිදුම් 

1988 සෝල් ඔලිම්පික් උළෙලේ සිට මේ දක්වා පැවති සෑම ඔලිම්පික් උළෙලක දීම කිමිදුම් ඉසව්වලින් වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගැනීමට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. එනිසා ඔලිම්පික් ඉතිහාසයේ දී එරටින් දක්ෂ කිමිදුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවුණා. 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ දී චීනයට කිමිදුම් තරග ඉසව්වලින් රන් පදක්කම් දෙකක් දිනාදුන් ෂී ටින්ග්මාවෝ ද එවැනි ක්‍රීඩිකාවක්.

ටින්ග්මාවෝ 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කමක් දිනාගත් මොහොත
ටින්ග්මාවෝ 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කමක් දිනාගත් මොහොත (gettyimages

එහි දී ඇය තරග වැදුණේ මීටර් 3 ස්ප්‍රිංබෝඩ් ඒකල සහ යුගළ තරග ඉසව් සඳහා යි. 2011 වසරේ සිට ලෝක ශූරතා කිමිදුම් තරගාවලිය සඳහා සහභාගි වුණු ෂී ටින්ග්මාවෝ ක්‍රිඩිකාව රන් පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් වුණා. ඒ අයුරින් ලෝක මට්ටමේ කිමිදුම් තරගාවල දී සුපිරි දස්කම් දැක්වීමට සමත්වුණු ටින්ග්මාවෝ මෙවර ඔලිම්පික් උළෙලේ දීත් සිය රට වෙනුවෙන් උපරිම දස්කම් දක්වනු ඇති බවට සැකයක් නැහැ.

7) ලෝරා කෙනී (මහා බ්‍රිතාන්‍ය)- පාපැදි 

දැනට 29 හැවිරිදි වියේ පසුවන ලෝරා කෙනී නම් බ්‍රිතාන්‍ය ජාතික පාපැදි ශූරිය 2012 වසරේ දී මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගි වුණා. එහි දී ඇය ඔමිනියුම්  සහ කණ්ඩායම් පර්සුයිට් යන තරග ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා. 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දීත් ඇය එම පාපැදි තරග ඉසව් යුගළය ජයග්‍රහණය කරමින් සිය රටට තවත් රන් පදක්කම් දෙකක් හිමිකර දුන්නා. 

කෙනී 2012 ඔලිම්පික් උළෙලේ දී
කෙනී 2012 ඔලිම්පික් උළෙලේ දී (gettyimages)

ඇය දැනට ඔලිම්පික් රන් පදක්කම් හතරක් හිමි කර ගෙන තිබෙනවා. 2011 වසරේ සිට පාපැදි ලෝක කුසලාන තරගාවලිවලට  සහභාගි වුණු මෙම ක්‍රීඩිකාව රන් පදක්කම් 9ක් දිනාගෙන තිබෙනවා. එනිසා ඇයගේ දස්කම් දැකබලා ගැනීමට මෙවරත් ප්‍රේක්ෂකයන් උනන්දුවෙන් පසුවනවා. 

8) කේලබ් ඩ්‍රෙසල් (අමෙරිකාව)- පිහිනුම් 

2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී මුල් වරට ඔලිම්පික් තරග බිමට පිවිසි ඩ්‍රෙසල් රන් පදක්කම් 2ක් හිමි කර ගත්තා. ඒ නිදහස් ආර මීටර් 100 සහාය සහ මෙඩ්ලි මීටර් 100 සහාය යන පිහිනුම් තරග ඉසව්වලින්. 2017 වසරේ දී පැවති ලෝක ශූරතා පිහිනුම් තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණු කේලබ් ඩ්‍රෙසල් ක්‍රීඩකයා රන් පදක්කම් 7ක් දිනා ගත්තා.

ඩ්‍රෙසල් 2017 ලෝක ශූරතා තරගාවලියේ දී
ඩ්‍රෙසල් 2017 ලෝක ශූරතා තරගාවලියේ දී (gettyimages)

ඉන් නොනැවතුණු ඩ්‍රෙසල් 2019 ලෝක ශූරතා පිහිනුම් තරගාවලියේ දී තවත් රන් පදක්කම් 6ක් දිනා ගත්තා. ඒ අයුරින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණු මෙම ක්‍රීඩකයා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී නිදහස් ආර මීටර් 50 සහ 100, සමනල ආර මීටර් 100, නිදහස් ආර මීටර් 100 සහාය, මෙඩ්ලි මීටර් 100 සහාය සහ මිශ්‍ර මෙඩ්ලි මීටර් 100 සහාය යන තරග ඉසව් 6 සඳහා තරග වැදීමට නියමිත යි. 

කවරයේ ඡායාරූපය- රියෝ ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කමක් දිනාගත් බයිල්ස් (gettyimages)

මූලාශ්‍ර- cnn.com

The Guardian  

Related Articles