Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බින් සල්මාන් හා සෞදි අරාබියට එල්ලවෙන මිනීමැරුම් චෝදනාව

2018 වසරේ ලොව කැළඹූ සිද්ධියක් ලෙස සෞදි අරාබි මාධ්‍යවේදියෙකු වූ ජමාල් කශෝගී ඝාතන සිද්ධිය ඔබට මතක ඇති. ජමාල් කශෝගී ඝාතනය වන්නේ 2018 වසරේ, තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සාල් කාර්යයාලයේ දී යි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එම කාල සමයේ දීම ප්‍රධාන සැකය එල්ල වෙන්නේ සෞදියේ ආරක්ෂක ඇමති මෙන්ම එරට ඔටුන්න හිමි කුමාරයා වන බින් සල්මාන්ට යි.

මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් සෞදි ඔටුන්න හිමි කුමාරටයාට විරුද්ධව වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

ජමාල් කශෝගී ඝාතනය හා ප්‍රධාන සැකය බින් සල්මාන්ට

ජමාල් කශෝගී (aljazeera.com)

2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ 2 වන දින සිට තුර්කියේ සිටි සෞදි මාධ්‍යව්දියෙක් වන ජමාල් කශෝගී අතුරුදහන් වෙනවා. ඔහු අතුරුදහන් වෙන්නේ එදින තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සාල් කාර්යයාලයට ගමන් කිරීමෙන් පසුව යි. ඒ සමගම කශෝගී සෙවීමේ මෙහෙයුම් ආරම්භ කරන අතර තුර්කි ආරක්ෂක අංශ විසින් සඳහන් කරන්නේ කශෝගීව සෞදි කොන්සාල් කාර්යයාලය තුළ දී මරා දමා ඇති බවට සැක කෙරෙන බවයි. සෞදි කොන්සාල් කාර්යයාලයේ රැදී සිටි යම් පිරිසක් එහිදී කශෝගිව ඝාතනය කර සිරුර ඉවත් කර ඇති බවට ඒ දිනවලම තුර්කි රජය ප්‍රකාශ කරනවා.

නමුත් සෞදි රජය විසින් මෙම චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ඒ ආකාරයේ කිසිදු දෙයක් සිදු නොවූ බවත් ඔහු නිරුපද්‍රිතව පිටව ගිය බවත් නිවේදනය කරනවා.

නමුත් තුර්කිය විසින් දිගින් දිගටම ඔහු සෞදි කොන්සාල් කාර්යයාලයෙන් පිටව නොගිය බවත් ඔහුව ඝාතනය වී ඇති බවත් පවසන අතර අවශ්‍ය නම් ඒ සඳහා වන හඬ පට හා වීඩියෝ පට තමන් සතුව ඇති බව දන්වා සිටිනවා. ඒ අතර ඔවුන් විසින් සෞදි කොන්සාල් කාර්යයාලය හා කොන්සාල්වරයාගේ නිවාස දැඩි ලෙස සෝදිසි කිරීම්වලට ලක් කරනවා. තව ද ඔහු ඝාතන කළ දවස්වල සැක සහිත සෞදි නියෝජිතයන් කණ්ඩායමක් ඉස්තාන්බුල්වලට ගුවන් මඟින් පැමිණි බවත්, පසුව ඔවුන් පිටව ගිය බවත් දන්වා සිටිනවා.

ජාත්‍යන්තර විවේචන 

බින් සල්මාන් (Al Jazeera)

යුරෝපා රටවල් කිහිපයක් හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් මේ සම්බන්ධයෙන් සෞදි අරාබියට එරෙහිව එක්සත් ජාතින් විසින් යම් පියවරක් ගත යුතු බව ප්‍රකාශ කරනවා. නමුත් ඇමෙරිකාව හා රුසියාව මේ ඝාතනය සම්බන්ධයෙන් එතරම් තැකීමක් කරන්නේ නෑ. ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ධවල මන්දිරයෙන් ප්‍රකාශ වෙන අතර ප්‍රබල සාක්ෂ්‍ය නොමැතිව සෞදි අරාබිය සමග ඇති සම්බන්ධතා නතර කිරීමට තමන් සූදානම් නැති බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

ඝාතනය සිදු වී දින කිහිපයක් යනතුරු එවැනි ඝාතනයක් සිදු නොවූ බව සෞදි අරාබිය විසින් පවසන නමුත් දින කිහිපයකට පසුව ජමාල් කශෝගී ඝාතනය වී ඇති බව සෞදි අරාබිය විසින් පිළිගන්නවා. නමුත් එයට සෞදි රජයේ හෝ බින් සල්මාන් කුමරුගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව යි ඔවුන් දන්වන්නේ. එය බින් සල්මාන් කුමරු අපහසුතාවයට පත් කිරීම සඳහා කළ ඝාතනයක් බව ද සඳහන් කරනවා.

ඔහු ඝාතනය වන්නේ කොන්සාල් කාර්යයාලය තුළ ඇති වූ ආයුධ රහිත ගැටුමකින් බවත් එම ඝාතනයට සම්බන්ධ වූවන් කිහිපදෙනෙක් තම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවත් සෞදි අරාබිය සඳහන් කරනවා. තුර්කිය විසින් සෞදි අරාබියේ දෙබිඩි පිළිවෙත විවේචනය කරන අතර ඔවුන් කශෝගිව කපා කොටා ඝාතනය කර සිරුරු කොටස් සඟවා ඇති බවත් ප්‍රකාශ කරනවා. තුර්කි ජනාධිපතිවරයා විසින් බින් සල්මාන්ට එල්ල කෙරෙන මෙම චෝදනාව ක්‍රමක්‍රමයෙන් අඩු වී යන අතර මෙම ඝාතනයට සම්බන්ධ වූ පුද්ගලයන්ට ඉහළ දඬුවම් පැමිණිවීමට සෞදි රජු තුර්කියට උදවු කරනු ඇතැයි පවසනවා.

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව 

විරෝධතා (Business Insider)

පසුගිය වසරේ සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යයාල නියෝජිතයන් විසින් කළ විමර්ශනයක් වාර්තාවක් 2019 වසරේ ජූනි මාසයේ දී පල වෙනවා. පිටු 100කින් පමණ යුක්ත මෙම වාර්තාවේ කශෝගී ඝාතනය සම්බන්ධයෙන් සෞදියේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කෙරෙහි පැහැදිලි සැකයක් ගොඩනැගෙන බවත් බින් සල්මාන්ට එරෙහිව වෙනම පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් සඳහන් වෙනවා. ඔවුන් මෙම වාර්තාව සැකසීම සඳහා CCTV කැමරා දර්ශන, දුරකථන හඬ පට හා විවිධ පුද්ගලයන්ගේ වාචික සාක්ෂ්‍ය ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.

ට්‍රම්ප් හා සල්මාන් G 20 සමුළුවේ දී (Business Insider)

මෙම වාර්තාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනාධිපතිවරයා එතරම් සැලකිල්ලක් යොමුකරන් නෑ. දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබිය හා ඇමෙරිකා එක්සත් ජනපදය මිත්‍ර රාජ්‍යයන් ලෙස කටයුතු කරන අතර සෞදි අරාබියේ ඉන්ධන නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් අපනයනය කරන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයට යි. ඊට අමතරව ඇමෙරිකා හා ඉරාන අර්බුදයේ දී ද සෞදි අරාබිය, ඇමෙරිකානු හිතවත් රටක් ලෙස කටයුතු කරනවා. මෙම වාර්තාව නිකුත් වූ පසුව G 20 සමුළුව ජපානයේ ඔසාකා හි පැවති අතර එහිදී සල්මාන් කුමාරයා හා ට්‍රම්ප් ඉතා සුහද කතා බහක නිරත වෙනවා දකින්න ලැබෙනවා.

එවැනි කරුණු හේතුවෙන් බින් සල්මාන් කුමාරයාට එරෙහිව කෙරෙන පරීක්ෂණ කොතරම් දුරකට සාර්ථක වේවි ද යන්න නිශ්චිතවම පැවසීමට හැකියාවක් නෑ.

කවරයේ පින්තූරය - Middle East Eye

Related Articles