
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යද්දී ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල්වලට එය තදින් ම දැනුණා. එනිසා මෙරට ඉන්ධන මිල ගණන් ද වේගයෙන් ඉහළ ගියා.
ලෝකය මුහුණ පෑ විවිධ අර්බුදකාරී අවස්ථාවල දී එදා මෙදාතුර අප රටේ ඉන්ධන මිල ගණන් ඉහළ අවස්ථා ද බොහොම යි.

ඒ අයුරින් විවිධ කාලවල ලෝකයේ අර්බුද පවතිද්දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගියා. එවිට අප රටේ ඉන්ධන මිල ගණන් ද වේගයෙන් ඉහළ ගියා. 1990 වසරේ මුල් භාගයේ දී රුපියල් 22කට තිබුණු ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල අද වන විට රුපියල් 540ක් බවට පත්ව තිබෙන්නේ වරින් වර සිදු වුණු එම මිල ඉහළ යාම් නිසා යි.
මේ ඔබට කියන්නට යන්නේ 1990 දශකයේ මුල් භාගයේ සිට අද දක්වා අප රට තුළ ඉන්ධන මිල ගණන් වැඩි වුණු ආකාරය පිළිබඳව යි.
1990 දශකය ආරම්භයේ දී සිදුවුණු ඉන්ධන මිල වැඩි වීම
1990 ජනවාරි මාසය අවසන් වෙද්දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 20.50ක් ලෙස සටහන් වුණා. ඉන් පසුව ගෙවුණු මාසය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 19.20 දක්වා අඩු වුණා. එනිසා 1990 මාර්තු 1 වැනිදා වන විට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ලීටරයක මිල ගණන් දැක්වුණේ මෙසේ යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 22.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 20.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 9. 60
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 10.90
1990 මාර්තු මාසයේ සිට ජූලි මාසය අවසානය දක්වා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල වැඩි වෙනසක් දක්නට තිබුණේ නැහැ. නමුත් 1990 අගෝස්තු 2 වැනිදා ගල්ෆ් යුද්ධය ආරම්භ වීමත් සමඟ ම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියා.
අගෝස්තු 1 දින අමෙරිකානු ඩොලර් 19.93ක් ලෙසින් සටහන් වුණු බොරතෙල් බැරලයක මිල අගෝස්තු 7 වැනිදා වන විට අමෙරිකානු ඩොලර් 27.35 දක්වා ඉහළ ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1990 අගෝස්තු 14 වැනිදා අප රටේ ද ඉන්ධන මිල ගණන් මෙසේ වැඩි වුණා.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 27.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 25.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 11.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 12.50

අගෝස්තු 2 වැනිදා ආරම්භ වුණු ගල්ෆ් යුද්ධය මාස කිහිපයක් පුරා පැවතුණා. යුද්ධය දරුණු ලෙස ඇවිළ යද්දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළ ගියා. එනිසා 1990 සැප්තැම්බර් 27 වැනිදා වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 41.45ක් ලෙස සටහන් වුණා.
බොරතෙල් බැරලයක මිල ඉහළ යද්දී ඊට සාපේක්ෂව අප රටේ ඉන්ධන මිල ද ඉහළ ගියා. මේ 1990 නොවැම්බර් 5 වැනිදා වන විට අප රටේ ඉන්ධන මිල ගණන් පැවති ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 38.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 35.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 13.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 15.00

1991 ජනවාරි මාසය වන විට ගල්ෆ් යුද්ධය නිමාවට පත්වුණා. ඉන් පසුව මෙරට ඉන්ධන මිල ගණන් යළි අඩු වුණා. එම මිල ගණන් මුලින් පැවති තත්ත්වයට යළි පත්වුණේනම් නැහැ. මේ 1991 ජනවාරි මාසය වන විට මෙරට ඉන්ධන ලීටරයක මිල ගණන් පැවතුණු ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 32.50
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 30.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 11.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 13.00
1991-2002 කාලයේ මෙරට ඉන්ධන මිලේ වෙනස
1991-2002 කාලයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් සුළු වශයෙන් වෙනස් වුණා. 1991 ජනවාරි මාසය අවසන් වෙද්දී අමෙරිකානු ඩොලර් 19.54ක් වැනි මිලකට අලෙවි වුණු බොරතෙල් බැරලයක් 1994 පෙබරවාරි මාසය වෙද්දී අමෙරිකානු ඩොලර් 13.80 දක්වා පහළ ගියා.
එම කාල සීමාවේ දී මෙරට ඉන්ධන මිල ගණන් පහළ ගියේ නැහැ. ඉන් පසුව ක්‍රමයෙන් වැඩි වුණු බොරතෙල් බැරලයක මිල 1996 සැප්තැම්බර් මාසය අග වෙද්දී අමෙරිකානු ඩොලර් 24ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ද ඉහළ ගියා. මේ 1996 සැප්තැම්බර් මාසය අග වෙද්දී මෙරට ඉන්ධන ලීටරයක මිල ගණන් පැවති ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 55.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 50.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 13.20
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 18.50
1997 පෙබරවාරි මාසයෙන් පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩු වුණා. 1997-1998 යුගයේ ඇති වුණු ආසියානු ආර්ථික අර්බුදය නිසා බොරතෙල් සඳහා තිබුණු ඉල්ලුම අඩු වුණා. එය බොරතෙල් මිල පහළ යාමට විශාල හේතුවක් වුණා. දිගින් දිගට ම සිදුවුණු මිල අඩුවීම හේතුවෙන් 1998 දෙසැම්බර් වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වුණේ අමෙරිකානු ඩොලර් 9.82ක් වැනි මුදලකට යි.

එම මිල අඩුවීම එතරම් කාලයක් නොපැවතුණු නිසා මෙරට ඉන්ධන මිල ගණන්වල විශේෂ අඩුවීමක් සිදු වුණේ නැහැ. ඉන් පසුව ගෙවුණු වසර 3කට වැඩි කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් වෙනස් වුණත් මෙරට පෙට්‍රල් මිලේ සැලකිය යුතු වෙනසක් සිදු වුණේ නැහැ. නමුත් ඩීසල් මිල ඉහළ ගියා. ඒ ඩීසල්වලට අප රට තුළ තිබුණු ඉල්ලුම ද වේගයෙන් ඉහළ යාම නිසා යි. මේ 2002 මැයි මාසය අවසන් වෙද්දී අප රටේ ඉන්ධන ලීටරයක මිල ගණන් පැවති ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 57.50
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 54.50
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 30.50
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 35.50
ලංකා IOC සමාගම පිහිටුවීමෙන් පසු ඉන්ධන මිල ගණන්
2002 ජූනි මාසයේ දී ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ස්ථාපිත කළා. ඉන් අනතුරුව එම සමාගම ද මෙරට ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු සිදු කළා. ඒ සමඟ ම මෙරට ඉන්ධන මිල ගණන්වල සුළු අඩුවීමක් පෙන්නුම් කළා. මේ 2002 ජූනි මාසයේ දී මෙරට ඉන්ධන මිල ගණන් අඩු වුණු ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 50.50
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 47.50
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 27.50
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 32.80

වසර 2ක දී විශාල ඉන්ධන මිල වැඩිවීමක්
2004 පෙබරවාරි මාසය වන විට මෙරට පෙට්‍රල් මිල රුපියල් 60.00 සහ 57.00 ක් ලෙසින් ද ඩීසල් මිල රුපියල් 32.00ක් සහ 37.50ක් ලෙසින් ද සටහන් වුණා. ඒ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 30.83ක් බවට පත්ව තිබුණා. ඉන් පසුව ගෙවුණු වසර තුනක කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා.
2005 දී අමෙරිකාවට බලපෑ කැත්‍රිනා සුළි කුණාටුව, 2006 ඊශ්‍රායෙල්-ලෙබනන් යුද්ධය වැනි හේතුත් ඊට බලපෑවා. එනිසා 2006 අගෝස්තු මාසය වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.23ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ ඊට සාපේක්ෂව 2006 අගෝස්තු වන විට මෙරට ඉන්ධන මිල වැඩි වී තිබුණු ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 99.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 96.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 64.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 69.30

ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉහළ ගිය මෙරට ඉන්ධන මිල
2007/2008 වසරවල ලෝකයේ දරුණු ආර්ථික අර්බුදයක් ඇති වුණා. 2007 අගෝස්තුවේ දී අමෙරිකානු උකස් ණය වෙළෙඳපොළ ආශ්‍රිත ව ආරම්භ වුණු එම අර්බුදය පසුව ලෝකය පුරාම පැතිරී ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස එංගලන්තය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, අමෙරිකාව, ඉන්දියාව වැනි රටවල්වල කොටස් වෙළෙඳපොළ ප්‍රතිශත වේගයෙන් පහළ ගියා.
ඒ අයුරින් නිර්මාණය වුණු ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ අනුව 2008 ජූලි වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 132.72 දක්වා ඉහළ ගියා. මේ ඊට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ ගිය ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 170.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 157.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 110.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 125.30

2015/16 දී ඉන්ධන මිල අඩුවීම
2008 දෙසැම්බර් මාසයේ සිට යළි අඩුවුණු ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගියේ 2011 පෙබරවාරියේ දී යි. එම මාසයේ දී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව නැවත ඉක්මවා ගියා. එතැන් සිට 2014 අගෝස්තු දක්වා ම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100ට වඩා වැඩි අගයක පැවතුණා.
එනිසා 2008 අගෝස්තු සිට 2014 සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරට පෙට්‍රල් මිල ගණන්වල විශාල වෙනසක් සිදුවුණේ නැහැ. නමුත් ඩීසල් මිල ගණන් තරමක් දුරට වැඩි වුණා. මේ 2014 සැප්තැම්බර් වන විට මෙරට ඉන්ධන මිල ගණන් පැවති ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 165.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 157.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 118.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 140.00
අමෙරිකාවේ බොරතෙල් නිෂ්පාදනය ඉහළ යාම, ඔපෙක් සංවිධානය සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම වැනි හේතු නිසා 2014 අග භාගයේ සිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අඩුවන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස 2016 ජනවාරි වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 30.70ක් දක්වා පහත බැස්සා.
එය දෙවන ලෝක යුද්ධයෙන් පසුව බොරතෙල් මිල ගණන් වැඩි ම ප්‍රතිශතයකින් පහළ ගිය අවස්ථාවක් ලෙසින් සටහන් වුණා. එම බොරතෙල් මිල අඩුවීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ද පහළ ගියා. මේ එයට සාපේක්ෂ ව 2015 නොවැම්බර් වන විට මෙරට ඉන්ධන මිල ගණන් පැවති ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 128.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 117.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 95.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 110.00

2016-2021 කාලයේ ඉන්ධන මිල
2016 පෙබරවාරියේ සිට ක්‍රමයෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියා. ඊට සාපේක්ෂව අප රටේ ඉන්ධන මිල ද අඩු වැඩි වුණා. ඒ ඉන්ධන මිල සූත්‍රයකට අනුව යි. අදාළ ඉන්ධන මිළ සූත්‍රය ඉදිරිපත් වී තිබුණේ 2018 මැයි මාසයේදී යි. එය ප්‍රකාශයට පත් කළේ එම වසරේම ඔක්තෝබර් මාසයේ දී යි.
එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් ඉන්ධන මිළ සූත්‍රය ඉන්ධන ගොඩබෑමේ පිරිවැය, සැකසුම් පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදුකරණය මත පදනම්ව තාක්ෂණික කමිටුවක් මඟින් නිර්මාණය කර තිබුණා. එය “උපරිම සිල්ලර මිල (MRP) = V1 + V2 + V3 + V4” ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.

මේ 2018 ඔක්තෝබර් වන විට මෙරට ඉන්ධන මිල ගණන් පැවති ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 163.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 138.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 104.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 134.00
2021 ඔක්තෝබරයේ දි ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.54ක් දක්වා ඉහළ ගියා. එය 2018 වසරේ ඔක්තෝබර් මාසයට පසුව ලෝක වෙළෙඳපොළේ වාර්තා වුණු ඉහළ ම බොරතෙල් මිල යි. ඊට සාපේක්ෂව අප රටේ ඉන්ධන මිල ගණන් ද ඉහළ ගියා. මේ 2021 දෙසැම්බර් වන විට මෙරට ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණු ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 207.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 177.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 121.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 159.00
2022 දී සිදුවුණු ඉන්ධන මිල ඉහළ යාම
2022 පෙබරවාරි මාසයේ දී ආරම්භ වුණු රුසියා-යුක්‍රේන යුද්ධය හේතුවෙන් බොරතෙල් මිල ගණන් යළි වැඩි වුණා. ඒ අනුව 2022 මාර්තු මාසය වෙද්දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 117.25ක් දක්වා ඉහළ ගියා.
එය 2014 ජූලි මාසයෙන් පසුව වාර්තා වුණු වැඩිම බොරතෙල් මිල යි. ඊට සාපේක්ෂ ව 2022 මාර්තු මාසයේ දී මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ ගියේ මෙසේ යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 283.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 254.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 176.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 254.00
එම යුගය වන විට මෙරට පවතින ආර්ථික අර්බුදය වඩාත් දරුණු අතට හැරෙමින් තිබුණා. ඒ අතරතුර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ ද විශාල වෙනසක් සිදු නොවුණ ද, අප රටේ ඉන්ධන මිල අප්‍රේල් සහ මැයි මාසවල දී නැවතත් ඉහළ දැමුණා. මේ 2022 මැයි මාසය වන විට මෙරට ඉන්ධන මිල පැවති ආකාරය යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 450.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 420.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 400.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 445.00

2022 ජූනි මාසයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 122.71ක් දක්වා ඉහළ ගියා. ඊට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල යළිත් වරක් වැඩි කළේ මෙහෙම යි.
1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 550.00
2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 470.00
3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 460.00
4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 520.00
ගෙවුණු මාස 2ක කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 20කින් පමණ අඩු වුණා. එම සහනය මෙරට ජනතාවට ලැබුණේ නැහැ. එහි දී මෙරට ඉන්ධන මිල අඩු වුණේ රුපියල් 10-20ක් වැනි සුළු මුදල් පරාසයක් තුළ යි.
මෙරට ඉන්ධන මිල ඉහළ යාමත්, විනිමය අර්බුදයත් නිසා හට ගත් මෙරට ඉන්ධන හිඟය කළමනාකරණයට කැබිනට් මණ්ඩලයට ඉන්ධන මිල සූත්‍රයක් නැවතත් ඉදිරිපත් කළ බවත් ඒ අනුව ඊට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බවත් මිල සූත්‍රය විනිවිදභවයෙන් ක්‍රියාත්මක කරන බවත් සම කැබිනට් ප්‍රකාශක, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුව පවසා සිටියා.
මෙරට ඉන්ධන හිඟය නිසා හට ගත් ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණෙන් බලශක්ති අමාත්‍යාංශය ජාතික ඉන්ධන අවසර පතක් හෙවත් QR ක්‍රමවේදයක් අගෝස්තු 01 වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක කිරීම ඇරඹුවා. ඒ අනුව අගෝස්තු 01 වැනිදා සිට ඉන්ධන නිකුත් කිරීම සිදු වීම ඇරඹුණේ කේතය පරික්ෂා කිරීමෙන් පසුව යි.