ජෝර්ජියාවෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කරන අබ්කාසියාව

ජෝර්ජියාවේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි අබ්කාසියාව බිම් මට්ටමෙහි තත්ත්වය සැලකූ විට ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතිනවා. එහෙත්, නෛතිකව එහි ස්වාධීනත්වය පිළිගනු ලබන්නේ රුසියාව සහ තවත් රටවල් කිහිපයක් පමණයි. අනෙක් රටවල් විසින් එය සලකනු ලබන්නේ ජෝර්ජියාවේ ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයක් ලෙස යි. එම නිසා අබ්කාසියාව අර්ධ වශයෙන් පිළිගැනීම ලද රාජ්‍යයක් ලෙස සැලකීමට සිදුවෙනවා.

අබ්කාසියාව, ලෝකයේ සුන්දරම ප්‍රදේශයක් ලෙස යි සැලකෙන්නේ. එහි විශාලත්වය වර්ග කිලෝමීටර 8,660ක් වනවා. ජනගහනය ආසන්න වශයෙන් 240,000ක් පමණ වන අබ්කාසියාවේ අගනුවර සහ ප්‍රධාන නගරය සුකුමි නම් වනවා. සුන්දර වෙරළ තීරයන් මෙන්ම මනරම් කඳුකරය හේතුවෙන් ද අබ්කාසියාව ස්වභාව සෞන්දර්යයෙන් අනූන භූමියක් ලෙස සැලකිය හැකියි.

රිත්සා අධි රක්ෂිත ප්‍රදේශය (Wikimedia Commons)

සෝවියට් දේශය පැවති සමයෙහි සංචාරකයින් විශාල වශයෙන් පැමිණි ප්‍රදේශයක් ලෙස අබ්කාසියාව ප්‍රසිද්ධ වී තිබුණා. එකල සෑම වසරකම මිලියන තුනක පමණ සංචාරකයින් එම ප්‍රදේශයට පැමිණියා. කෙසේ වෙතත්, සෝවියට් දේශයේ බිඳ වැටීම සහ ඉන්පසු ඇති වූ සිවිල් යුද්ධයත්, එයින් පසුව දශකයකට වැඩි කලක් තිස්සේ එම ප්‍රදේශයේ නෛතික තත්ත්වය පිළිබඳ පැවති ගැටළුවත් හේතුවෙන් අබ්කාසියාවට සංචාරකයින් පැමිණියේ නැති තරම්. එහෙයින් පැරණි හෝටල් ආදිය අභාවයට ගොස් තිබෙනවා.

ඉතිහාසය​

අබ්කාසියාව ග්‍රීක, රෝමන්, බිසන්ටියම් ආභාෂය ඉතිහාසයේ ලැබූ අතර ක්‍රි.ව. 778 දී දෙවන ලියොන් රජු යටතේ පූර්ණ ස්වාධීනත්වය ලබා ගත්තා. මෙම රාජ්‍යය ක්‍රි. ව. 1008 දී ජෝර්ජියාව සමග එක්සත් වූයේ රටවල් දෙකෙහිම එකම පාලකයකු බලයට පත් වීමෙන්.

ඔටෝමන් තුර්කි බලය මෙම පෙදෙස්වල පැතිරීමත් සමග අබ්කාසියාවේ ප්‍රභූ පවුල් බොහොමයක් ඉස්ලාමය වෙත හැරුණා. 19 වන සියවස වනතෙක් මෙහි වූයේ තුර්කි පාලනය යි. කොකේසස් කලාපයේ ඊළඟ බලවතා වූ රුසියාව එයින් පසු අබ්කාසියාවෙහි බලය තහවුරු කරගත්තා.

1917 පෙබරවාරි විප්ලවයෙන් පසු ගත වූ වසර කිහිපය ජෝර්ජියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවති අතරෙහි දී අබ්කාසියාව එහි පාලනය යටතට වැටුණා. 1921 ව්‍යවස්ථාව මඟින් ඊට සවයං පාලන අයිතිය ලැබුණා.

එහෙත් ස්වල්ප කලකින් ජෝර්ජියාව කොමියුනිස්ට් පාලනයට යටත් වුණා. අබ්කාසියාව වසර කිහිපයක් සෝවියට් සමූහාණ්ඩුවක් ලෙස පැවතුණා. එහෙත් 1931 දී එය ජෝර්ජියානු සෝවියට් සමූහාණ්ඩුවට ඇතුළත් කරනු ලැබුණේ අබ්කාසියා ස්වතන්ත්‍ර සෝවියට් සමූහාණ්ඩුව ලෙස යි.

ස්ටාලින්ගේ පාලන සමයේ දී අබ්කාසියානු සංස්කෘතිය සහ භාෂාව යටපත් කරනු ලැබුණා. සෝවියට් දේශයෙහි අවසන් කාලය පැමිණෙන තෙක් තත්ත්වය මේ ආකාර වුණා. නමුත්, 1989 පමණ සිට ජෝර්ජියානුවන් හා අබ්කාසියානුවන් අතර ගැටුම් හටගන්නට වුණා.

සෝවියට් කොකේසස් ප්‍රදේශය (Wikimedia Commons)

1991 දී ජෝර්ජියාව සෝවියට් දේශයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කළා. නමුත්, අබ්කාසියානුවන් ඊට පක්ෂ වූයේ නැහැ. කෙසේ වෙතත්, එම වසර අවසානයේ දී සෝවියට් දේශය බිඳ වැටුණ හෙයින් අබ්කාසියාව නිතැතින්ම ජෝර්ජියාවේ කොටසක් බවට පත් වුණා.

මේ මුල් අවුරුදු කිහිපය ජෝර්ජියාව සිවිල් යුධ තත්ත්වයකින් වෙළා ගත් සමයක්. එක් අතකින් එහි පළමු ජනාධිපති ස්වියාද් ගම්සකුර්දියා සහ එඩුවාර්ඩ් ශෙවර්ඩ්නාඩ්සේ යන දෙදෙනාගේ පාර්ශවයන් හා ගැටුම් පැවති අතර, 1992 අගෝස්තුවේ දී ජෝර්ජියානුවන් හා අබ්කාසියානුවන් අතර ද ගැටුම් ඇති වුණා. අබ්කාසියානු යුද්ධය අවසන් වූයේ 1993 සැප්තැම්බරයේ දී ජෝර්ජියානුවන් එහි බොහෝ ප්‍රදේශවලින් පලවා හැරීමෙන් පසු යි. රුසියාව අබ්කාසියානුවන්ට ආධාර කළේයැ යි ජෝර්ජියාව චෝදනා කළා. කෙසේ වෙතත්, රුසියාවේ මැදිහත් වීමෙන් 1994 දී සටන් විරාමයක් අත්සන් කෙරුණා.

අතැර දමන ලද පැරණි මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල​ (RIA Novosti)

එතැන් පටන් අබ්කාසියාවෙහි රජය එහි භූමිය පාලනය කරනවා. 2008 වනතෙක් සුළු කොටසක ජෝර්ජියානු පාලනය තිබුණත්, එම වසරේ දී සිදු වූ රුසියාව සහ ජෝර්ජියාව අතර යුද්ධය අතරතුර, එහි බලය ද අබ්කාසියානුවන් අතට පත් වුණා. කෙසේ වෙතත්, අබ්කාසියාව ස්වෛරී රාජ්‍යයක් ලෙස 2008 වන තෙක් වෙනත් කිසිදු රටක් විසින් නිල වශයෙන් පිළිගැනුණේ නැහැ.

රුසියාව මත රඳා පැවතීම​

2008 අගෝස්තුවේ දී ජෝර්ජියාව සමග වූ ගැටුමින් පසු රුසියාව විසින් අබ්කාසියාව මෙන්ම දකුණු ඔසෙටියාව ද ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගත්තා. අබ්කාසියානු ජනයාගෙන් බහුතරය මේ පිළිබඳ සතුටට පත් වූ බව යි පෙනී යන්නේ. ජෝර්ජියානුවන් කොයි මොහොතේ හෝ නැවත තම භූමිය ආක්‍රමණය කරනු ඇතැ යි වූ බිය එයින් පහ ව ගියේයැ යි ඇතැම් අබ්කාසියානුවන් පවසනවා. කෙසේ වෙතත්, ජෝර්ජියාව විසින් රුසියාවේ මෙම පියවර දක්නා ලද්දේ තම රට කඩා බිඳ දැමීමට කරන ලද උත්සාහයක් ලෙස යි.

කියවන්න​: කුඩා ජෝර්ජියාව සමග යෝධ රුසියාව ගැටුණ 2008 යුද්ධය

අබ්කාසියාවට අද ඇති ප්‍රධාන ගැටළුව ආර්ථිකය යි. සංචාරක කර්මාන්තය නැවත සෝවියට් යුගයෙහි තත්ත්වය කරා ළඟා වන බව පෙනෙන්නට තිබෙනවා. එහෙත් එහි දී ප්‍රධාන දායකත්වය දරන්නේ රුසියානුවන් විසින්. වෙනත් රටවල වැසියන්ට අබ්කාසියාවේ නිල තත්ත්වය හේතුවෙන් එහි පැමිණීමේ දී විවිධ බාධක මතු වීමේ හැකියාව තිබෙනවා.

මෙසේ එක් රටක් මත බොහෝ සේ රඳා පැවතීමට සිදුවීම එතරම්ම යහපත් තත්ත්වයක් නොවේ. එහෙත් අබ්කාසියාවට වෙනත් විසඳුමක් ද පෙනෙන්නට නැහැ. රටේ විරැකියාව, නිවාස ප්‍රශ්නය ආදී ගැටළු ද විසඳිය යුතුව තිබෙනවා.

අබ්කාසියාවේ නෛතික පිළිගැනීම පිළිබඳ ගැටළුව විසඳාගන්නා තෙක් ඔවුනට බොහෝ දේ උදෙසා රුසියාව මත රැඳී පැවතීමට සිදුවීම ස්වාභාවික යි. අබ්කාසියා රජය කියා සිටින්නේ නැවත ඔවුන් ජෝර්ජියාව හා එක්සත් වීම යනු කිසිසේත් සිදුනොවන්නක් බව බටහිර රටවල් වටහාගත යුතු බව යි. කිසිසේත්ම පැවතිය නොහැකි එක්සත්කමක් පවත්වා ගැනීමට බල කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳී පවතින බව අබ්කාසියාව ප්‍රකාශ කරනවා.

කවරයේ පින්තූරය: අඩක් අතැර දමන ලද සුකුමි දුම්රියපළ​ (againstthecompass.com)

Related Articles

Exit mobile version