Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් ගමන්වල දිශාව වෙනස් කළ ටර්කිෂ් එයාවේස් අනතුර

ලොව වඩාත් ආරක්ෂාකාරී ම ප්‍රවාහන මාධ්‍යය ලෙස හැඳින්වෙන්නේ ගුවන් ප්‍රවාහන මාධ්‍යය යි. එහි වූ මනා සැලසුම්සහගත බව, කාර්යයක්ෂ්ම භාවය මෙන් ම මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල වශයෙන් සැලකිලිමත් වීම වැනි හේතු කාරණා නිසා එයට එම තත්ත්වයට ළඟා වීමට හැකියාව ලැබී තිබෙනවා. කෙසේ නමුත් මෙම ප්‍රවාහන මාධ්‍යය මේ තත්ත්වයට ළඟා වූයේ එක් රැයකින් නොවේ. දශක ගණනාවක රළු මාවතක් ඔස්සේ ඇදී ගිය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් යුගයේ ඉතා භයානක මෙන් ම මාරක ගුවන් අනතුරු රාශියක් සිදු වී තිබෙනවා. මේවායින් උගත් පාඩම්වලින් ගුවන්යනාවල හා ඒවා හසුරුවන ක්‍රමවේදවල වෙනස්කම් සිදුකොට හැකිතාක් අනතුරු අවම කර ගැනීමට මිනිසා කටයුතු කොට තිබෙනවා. 

ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යය

ඒ ගුවන් යානයක් අනතුරකට බඳුන් වුවහොත් ඉන් සිදුවන ජීවිත හා දේපළ හානි අනි සියලු ප්‍රවාහන මාධ්‍යයන්ට වඩා වැඩි නිසා යි. අදටත්, කුමන දියුණු තාක්ෂණික ක්‍රමවේද තිබුණත් ගුවන් අනතුරක් සිදුවුවහොත් තත්ත්වය එසේම වෙනවා. එබැවින් හැකිතාක් එම අනතුරු සිදුවීමට පෙර වලක්වා ගැනීමට ලොව පුරා ගුවන් යානා සමාගම් ක්‍රියා කරනවා. මේ සඳහා විශේෂිත පරීක්ෂා කිරීම්, අලුත්වැඩියා කිරීම් වැනි දේ නිතිපතා සිදු කෙරෙනවා. දිනපතා මිලියන ගණන් මිනිසුන් එහා මෙහා යන, අනතුරට පත් වුවහොත් බොහෝ විට සියලු දෙනා මිය යන ගුවන් ප්‍රවාහන මාධ්‍යය ලොව වඩාත් ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යය ලෙස ඔසවා තබාගෙන තිබෙන්නේ එලෙසිනු යි.

ගුවන්යානා ලක් විය හැකි අනතුරු ගැන විශාල දැනුමක් මීට දශක කිහිපයකට පෙර කිසිවකුට තිබුණේ නැහැ. එම දැනුම මිනිසා හට ලැබුණේ ප්‍රායෝගික අත්දැකීම තුළිනු යි. මාරක ගුවන් අනතුරක් සිදුවූ විට, එය සිදුවූයේ මන්දැයි පරීක්ෂා කරන නිසි බලධාරීන් නැවත එවැන්නක් නොවන ලෙස නීති, රීති මෙන්ම ගුවන්යානය ප්‍රායෝගික ව  හසුරුවන ආකාරය පමණක් නොව, ලොව පුරා ගුවන්යානාවල සැකැස්ම පවා වෙනස් කරනවා. එලෙස ගුවන් ගමන්වල දිශානතිය වෙනස් කළ ගුවන් අනතුරු ලොව සිදු ව ඇත්තේ අතළොස්සක් පමණ යි. 1974 වසරේ ප්‍රංශ භූමියේ දී සිදු වූ ටර්කිෂ් එයාවේස් ගුවන් අනතුර එවැනි සිද්ධීන් අතුරින් ඉතිහාසයේ ඉදිරියෙන් ම  සනිටුහන් වී තිබෙනවා.

 තුර්කියට අයත් ඩී.සී 10 වර්ගයේ ගුවන් යානයක්- grasshoppair.blogspot.com 

 

අනතුරට පෙර

1974 වසරේ මාර්තු මස 3 වනදා උදෑසන 7.57 ට තුර්කියේ ඉස්තාන්බුල් ගුවන්තොටින් පිටත් වුණු තුර්කි ගුවන් සමාගමට අයත් අංක 981 දරන මැක්ඩොනල් ඩග්ලස් ඩී.සී 10 වර්ගයේ ගුවන්යානයේ ගමනාන්තය වූයේ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපළ යි. ගමන අතරතුර ප්‍රංශයේ, පැරිස් නුවර ඕර්ලි ගුවන්තොටට එය ගොඩබෑමට නියමිත ව තිබුණා. මෙහි කපිතාන් ගුවන් නියමු නෙජට් බර්කෝස් වූ අතර පළමු නිළධාරියා ඔරල් යුලුස්මන් වුණා. දෙදෙනා ම ඉතා හොඳ අත්දැකීම් සහිත පළපුරුදු ගුවන් නියමුවන් වුණා. යානයේ කාර්යමණ්ඩලයේ 11 දෙනකු වූ අතර, මගීන් 167 දෙනෙක් එහි වුණා.

ගුවන් ගමනේ මුල් භාගය කිසිදු කරදරයකින් තොර ව ගත වූ අතර, පැරිස් හි වේලාවෙන් උදෑසන 11.02 ට එය ඕර්ලි වෙත ළඟා වෙනවා. එහිදී මගීන් 50 දෙනකු බැස යන අතර නැවතත් පිටත් වීමට නියමිත ව තිබුණේ මධ්‍යාහ්න 12ට පමණයි. කෙසේ නමුත් එය නැවතත් ගුවන්ගත කරන්නට පැය භාගයක් පමණ ප්‍රමාද වෙනවා. ඒ විශේෂ කාරණාවක් නිසායි. එදින බ්‍රිතාන්‍ය-යුරෝපීය ගුවන් සමාගමේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක ව තිබූ බැවින් ලන්ඩන් බලා යන බොහෝ මගීන් ඕර්ලි ගුවන් තොටුපොළේ සිර ව සිටියා. ඔවුන් ලන්ඩන් බලා යන ගුවන් යානයක් පැමිණෙන තුරු බලා සිටි අතර, තුර්කි ගුවන් යානයේ ආසන බොහොමයක් හිස් බැව් දැන එහි ඉඩකඩ වෙන්කරවා ගෙන එහි නැග ගත්තා. මෙලෙස එහි වූ මගී ආසන 345 න් 335 ක් ම පිරී ගිය අතර, අවසානයේ දහවල් 12.32 ට යානය නැවත ගුවන්ගත වූයේ මිනිස් ජීවිත 346 ක් සමඟ යි.

අනතුර

පැරිස්හි දී තුර්කි ගුවන්යානයට ඉන්ධන පුරවා තිබූ අතර, එහි බහාලුම් ගබඩා කරන පෙදෙස මගීන්ගේ බහාලුම්වලින් පිරී තිබුණා. මේ නිසා පෙරට වඩා යානයේ සම්පූර්ණ බරෙහි සැලකිය යුතු වැඩි වීමක් තිබුණා.

යානය  ඕර්ලි ගුවන්තොටුපොළෙන් පිටත් වී මිනිත්තු 9 ක් ගතවන තුරු සියල්ල සාමාන්‍ය ව තිබුණා. එහෙත් නොසිතූ මොහොතක එක්වරම යානයේ බහාලුම් ගබඩා කර තිබූ කොටසෙහි වම්පස දොරටුව ගැලැවී ගියා. ඒත් සමඟ ම යානය තුළට පිටත වාතය ප්‍රචණ්ඩ ලෙස ගලා ඒම නිසා එතුළ දැඩි ව්‍යාකූලත්වයක් ඇති වුණා. යානයේ තිදෙනා බැගින් වාඩි වී සිටි ආසන පේළි  තුනක් ගැලවී පිටතට විසි වී ගිය අතර පසුව ඒවා හමුවූයේ යානය අවසානයේ කඩා වැටුණු ස්ථානයට කිලෝ මීටර් 15 ක් පමණ මෙපිටින් වූ සෙන්ට් පැතස් නම් ගම්මානයට වැටී තිබියදී යි.

 යානයේ සුන්බුන් – aviation-accidents.net 

 

යානයේ හදිසියේ ම ඇති වූ වායු පීඩන වෙනස නිසාවෙන් ඇති වූ ආකූල ප්‍රවාහ කරණ කොටගෙන එහි පසුපස වල්ග කොටස පාලනය කරන කේබල අකර්මණ්‍ය වුණා. මේ හේතුවෙන් යානයේ පාලනය සම්පූර්ණයෙන් නියමුවන්ගෙන් ගිලිහී ගියා. එය වහාම වම් පසට ඇල වී ගිය අතර, ඉතා වේගයෙන් පොළොව දෙසට ඇදී එන්නට වුණා. එය පැයට කිලෝමීටර 700 ක පමණ වේගයෙන් පොළොවට කඩා වැටුණු අතර, ඝට්ටණයේ ප්‍රබලත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් සුන්බුන් ගොඩක් බවට පත් වුණා. යානයෙහි වූ මගීන් 335 දෙනා හා කාර්ය මණ්ඩලයේ කිසිවකුත් ජීවත් වීමට වාසනාව ලැබුවේ නැහැ.

වලක්වාගත හැකි ව තිබූ අනතුරක්?

අංක 981 දරන, තුර්කි ගුවන් සමාගමට අයත් ගුවන්යානය ගුවන්තොටුපොළ සමඟ ඇති සම්බන්ධතාව ඇණහිටීම හා එය රේඩාර් තිරයෙන් මැකී යාමත් සමඟ යම් අනතුරක් සිදු වූ බැව් පැරිස් හි ඕර්ලි ගුවන්තොටුපොළේ යානා හසුරුවන්නන් වටහා ගත්තා. ඔවුන් වහාම ගුවන්තොටේ පාලනාධිකාරය දැනුම්වත් කිරීමෙන් අනතුරු ව යානය සෙවීමේ විමර්ෂණ ඇරඹුණා. යානය වැටී තිබුණේ අර්මනෝවිල් නම් වන ලැහැබකට යි. එය සහ එහි ගමන්ගත් මගීන් කැබලි දහස් ගණනකට වෙන් වී ගොස් තිබුණා. කිසිවෙක් හෝ කිසි ලෙසකින් බේරී සිටින්නට හැකියාවක් නොමැති බැව් අනතුර දුටුවන ම වටහා ගැනීමට කාටත් හැකිවුණා.

යානය කඩාවැටුණේ මන්දැයි සොයා බැලීම සඳහා ඉක්මනින්ම පරීක්ෂණ ඇරඹුණා. යානයේ කළු පෙට්ටියේ දත්ත හා සුන්බුන් පරීක්ෂාකිරීමෙන් අනතුරු ව, පරීක්ෂණ මෙහෙයවන්නන් වටහා ගත්තේ යානයේ බහාළුම් ඇතුළත් කිරීම හා පිටතට ගැනීම සිදු කරන දොරක් හදිසියේ ගැල වී යාම හේතුවෙන් මේ අනතුර සිදුවී ඇති බව යි. මෙය අසාමාන්‍ය තත්ත්වයක් වූ අතර, අතීතය පිරික්සීමේ දී මීට වසර 2 කට පෙර, අමෙරිකාවේ ඩෙට්‍රොයිට් හීදී ද 1972 වසරේ ජුනි මස 12 වැනි දා මෙවැන්නක් සිදුවී ඇති බැව් ඔවුන් සොයා ගත්තා. ඩී.සී 10 වර්ගයේ ම යානාවක් වූ එහි බහාලුම් සඳහා වූ දොරක් උඩු ගුවනේ දී හදිසියේ ම ගැල වී යාමෙන් සිදු වන්නට ගිය අනතුර එහි නියමුවා අපහසුවෙන් වලක්වාගෙන තිබුණා. තුර්කි යානය එතරම් වාසනාවන්ත වූයේ නැහැ.

 ගුවන්යානා අන්තුරෙන් මියගිය කිහිප දෙනෙක්- Paul Eddy et al, “Destination Disaster 

 

එන්.ටී.එස්.බී ආයතනය (National Transportation Safety Board) වැඩිදුර විමර්ෂණ කිරීමෙන් අනතුරු ව සොයා ගත්තේ තුර්කි යානයේ දොරටුව කාර්මික දෝෂයකට ලක් ව අලුත්වැඩියා කර ඇති බව යි. එය නිසියාකාර ව අලුත්වැඩියා කර නො තිබූ අතර, කෙටි කාලීන පිළියමක් එයට යොදා තිබුණා. කෙසේ නමුත් මේ වර්ගයේ යානාවල දොරෙහි ආරක්ෂාකාරී අගුලු වැටී නොතිබියදීත් එය නිසි ලෙස වසා ඇති බව නියමු තිරයේ පෙන්වන බව ඔවුන් සොයා ගත්තා. තුර්කි යානයේ හා අමෙරිකානු යානය යන දෙකෙහි ම සිදුවී තිබුණේ එය යි. කෙසේ නමුත් අමෙරිකානු යානයට විශාල අනතුරක් නොවීම නිසා මේ ගැටලුව නිසියාකාවව කරළියට පැමිණ තිබුණේ නැහැ. එමෙන් ම ඒ වන විට වෙළඳපොළ වූ තරගකාරී ස්වභාවය නිසා මැක්ඩොනල් ඩග්ලස් සමාගම සිය දොරවල්වල වූ ගැටලුවට පිළියම් ලෙස හැකි ඉක්මනින් එහි නිමාව වෙනස් කොට යානාවලට ඒවා සවි කර තිබුණා පමණ යි. එහි දී දොරෙහි සැබෑ ම දෝෂයට පිළියමක් ලැබී තිබුණේ නැහැ. එවේලෙහි එම සමාගම මඳක් විචක්ෂණශීලී ව කටයුතු කළානම් මෙම ගුවන් අනතුර නොවන්නට තිබුණා.

පසුවදන

තුර්කි ගුවන්යාන අනතුරෙන් පසුව, අපරික්ෂාකාරී වීම හා වගකීමක් නොමැතිව කටයුතු කිරීම හේතුවෙන් මැක්ඩොනල් ඩග්ලස් සමාගමට එරෙහි ව නඩු පැවරුණා. ඔවුන් ඉන් පරාජය වූ අතර අමෙරිකා ඩොලර් මිලියන 18 ක පාඩුවක් ඔවුනට සිදුවුණා. ඔවුන් වහා ම සිය දොරවල ගැටලුව මෙන් ම හදිසි පීඩන වෙනසක දී වැඩිපුර ඔරොත්තු දෙන අන්දමට සිය යානා දියුණු කළා. ඔවුන් ලොව පුරා සේවයේ නියුතු, තමන්ගේ සියලු යානාවල එම වෙනස්කම් සිදු කළා. ඉන් අනතුරුව එම වර්ගයේ යානාවලින් මේ පන්නයේ මහා අනතුරක් වාර්තා වූයේ නැහැ.

කවරයේ ඡායාරූපය -ටර්කිෂ් එයාවේස් ගුවන් යානයක් - tonymadgehjg.proboards.com 

මූලාශ්‍ර:

Aerotime.aero

Admiralcloudberg.medium.com

nytimes.com

Related Articles