අඳුරු යුගයක තවත් පරිච්ඡේදයක්: මානව සත්වෝද්‍යාන

ලොව කිසිදු ජීවියකු සිර කර තබා ගැනීමේ අයිතියක් කිසිවකුට නැත. මිනිසුන් වන අපට මෙන් ම අනිකුත් සියලු සතුන්ට ද නිදහසේ, අන් අයගේ නිදහසට බාධාවක් නොවන අයුරින්, ජිවත් වීමට අයිතියක් තිබේ. මේ නිසා ම ලොව බොහෝ රටවල දැනට පවත්වාගෙන යන සත්වෝද්‍යාන පිළිබඳ ව බොහෝ පාර්ශවවලින් විවේචන එල්ල වන බව ප්‍රසිද්ධ කරුණකි.

එවැනි පසුබිමක මිනිසුන් ද ඒ ආකාරයෙන් ප්‍රදර්ශනය කර මුදල් උපයන්නේ නම් එය කොතරම් අශිෂ්ට, ජුගුප්සාජනක ක්‍රියාවක් ද? කොතරම් අශිෂ්ට වුවත් මීට සියවස් කිහිපයකට පෙර මිනිස් සත්වෝද්‍යානවල මිනිසුන් ප්‍රදර්ශනය කර නරඹන්නන්ගෙන් මුදල් අය කළ බව ඔබට විශ්වාස කළ හැකි ද?

මෙම ලිපිය ඒ මිනිස් උද්‍යාන, එනම් ‘Human Zoos’ පිළිබඳව යි.

මානව සත්වෝද්‍යානයක් – www.rarehistoricalphotos.com

මිනිස් ප්‍රදර්ශන ආරම්භය

ලොව මුල් ම මිනිස් ප්‍රදර්ශනවලින් එකක් ලෙස 1835 වසරේ අගෝස්තු මස පී.ටී. බානම් අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ දී ජොයිස් හෙත් නම් කාන්තාව ප්‍රදර්ශනය කිරීම හැඳින්විය හැකි ය. බානම් නරඹන්නන්ට පැවසුවේ හෙත් අමෙරිකා එක්සත් ජනපදයේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් ගේ පියා වූ ඔගස්ටින් වොෂින්ටන් යටතේ වහල් සේවයේ යෙදුණු කාන්තාවක බවයි.

ජෝර්ජ් වොෂින්ටන් හදා වඩා ගත්තේ ඇය (හෙත්) බවත් බාමන් නරඹන්නන්ට පැවසුවේ ය. හෙත් පිළිබඳ ව බානම් පැවසූ කිසිදු කරුණක් සත්‍ය නොවේ. කෙසේ වෙතත් බානම් පවසන්නේ සැබෑවක් යැයි සිතූ ජනතාව වැල නොකැඩී අමෙරිකා එක්සත් ජනපදයේ පළමු ජනාධිපතිවරයා හදා වඩා ගත් කාන්තාව නරඹන්නට පැමිණි බව කියැ වේ. ඒ සමඟ ම මිනිස් ප්‍රදර්ශන පැවැත්වීම පිළිබඳ ව තවත් බොහෝ දෙනකු උනන්දු වූ බැවින් එවැනි ප්‍රදර්ශන මහා පරිමාණයෙන් සංවිධානය කිරීම ඇරඹිණි.

ජොයිස් හෙත් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව පළ කළ දැන්වීමක් – www.wikipedia.org

මානව සත්වෝද්‍යාන

18 වැනි සියවසේ අගභාගය සහ 19 වැනි සියවසේ මුල් භාගය වන විට ලොව එතෙක් හඳුනා ගෙන නොතිබූ විවිධ ජන කොටස් හඳුනා ගැනීම ආරම්භ විය. එවැනි ජන කොටස් හමු වී, ඔවුන් සමඟ කතාබස් කළ පුද්ගලයන් ආපසු පැමිණ ඔවුන් ගේ හිතමිතුරන්ට තමන් දුටු වෙනස් ජන කොටස් පිළිබඳව විවිධ කතන්දර පැවැසීම නිසා ඔවුන් කෙබඳුදැයි දැක බලා ගැනීමට බොහෝ දෙනකුට අවශ්‍ය විය.

එහි ප්‍රතිපලයක් ලෙස අප්‍රිකා, ආසියා සහ අමෙරිකානු මහද්වීපවල පිහිටි රටවල ජීවත් වූ විවිධ ජන කොටස්වලට අයත් පුද්ගලයන් දහස් ගණනින් යුරෝපයට සහ අමෙරිකා එක්සත් ජනපදයට රැගෙන ඒම ආරම්භ විය.

ඉතියෝපියානුවන් පිරිසක් රඳවා සිටි මානව සත්වෝද්‍යානයක් සහ නරඹන්නන් පිරිසක් – www.historyofyesterday.com

සතුන් මෙන් කූඩුවල

ප්‍රදර්ශනය කිරීම සඳහා විවිධ ජන කොටස්වලට අයත් පුද්ගලයන් තනි තනි සහ කණ්ඩායම් වශයෙන් රැගෙන ආ අතර ඔවුන්ට සතුන් මෙන් කූඩුවලට වී කාලය ගත කිරීමට සිදු විය. ඔවුන් කොටු කර තැබූ ස්ථාන ආශ්‍රිත ව ඔවුන්ගේ ස්වාභාවික ජනාවාසවලට සමාන වාසස්ථාන සකස් කළේ නරඹන්නන්ට සැබෑ අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණෙනි.

මානව සත්වෝද්‍යානයක රඳවා සිටි ආදිවාසීන් පිරිසක් – www.rarehistoricalphotos.com

මානව සත්වෝද්‍යානවලට නරඹන්නන් මිලියන ගණනක් වසරක් පාසා පැමිණි බැවින් ඒවා  පවත්වා ගෙන ගිය පුද්ගලයන් ඉතා කෙටි කාලයක් තුළ විශාල ධනවතුන් බවට පත් විය. එවකට ප්‍රංශයේ පැරිස්, අමෙරිකා එක්සත් ජනපදයේ හැම්බර්ග්, නිව්යෝර්ක් සහ චිකාගෝ, ස්පාඥ්ඥයේ බාසිලෝනා සහ එක්සත් රාජධානියේ ලන්ඩන් නගරවල මානව සත්වෝද්‍යාන බහුල ව දැකගත හැකි විය.  

විවිධ හිරිහැර

ඒවායේ රඳවා තැබූ අසරණ ජනතාවට කායික මෙන්ම මානසික වශයෙන් ද විවිධ තාඩන පීඩනවලට ලක් වීමට අවාසනාවන්ත ලෙස සිදු විය. සත්වෝද්‍යානවල හිමිකරුවන් මෙන්ම පැමිණෙන නරඹන්නන්ගෙන් ද ඔවුන්ට විවිධ හිරිහැර සිදු විය. බොහෝ විට නරඹන්නන්, සත්වෝද්‍යානවල රඳවා සිටි වැඩිහිටි පුද්ගලයන්ට විවිධ උසුළු විසුළු කරමින් කුටි තුළ එහා මෙහා යන කුඩා දරුවන්ට විවිධ ආහාරපාන ලබා දී තිබේ.

සත්වෝද්‍යානයක රඳවා සිටින කුඩා දරුවකුට ආහාර ලබාදෙන නරඹන්නෝ – www.rarehistoricalphotos.com

විශේෂ ප්‍රදර්ශන කිහිපයක්

18 වැනි සියවසේ යුරෝපය පුරා පැතිරී ගිය මානව සත්වෝද්‍යාන නිසා මිනිස් ප්‍රදර්ශන ඉතාමත් සුලබ විය. 1883 වසරේ දී නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් නුවර සුරිනාම ජාතිකයන් පිරිසක් ප්‍රදර්ශනය කර තිබේ. ඊට අමතර ව 1886 වසරේ දී ස්පාඥ්ඥයේ පැවැති ප්‍රදර්ශනයක් අතරතුර පිලිපීන ජාතිකයන් පිරිසක් ප්‍රදර්ශනය කළ අතර එය 1896 පිලිපීන විප්ලවයට මුල් වූ හේතුවලින් එකකි.

1889 වසරේ දී පැරීසියේ පැවැත්වූ එවැනි ප්‍රදර්ශනයක නීග්‍රෝවරුන් පිරිසක් ද ඇතුළු ආදිවාසීන් 400ක් ප්‍රදර්ශනය කර තිබේ. එය නැරඹීම සඳහා මිලියන 28ක පිරිසක් පැමිණි බව කියැවේ.

නරඹන්නන් වෙනුවෙන් නැටුමක් ඉදිරිපත් කරන පිරිසක් – www.historyofyesterday.com

අමානුෂික බව

මේ ආකාරයෙන් ප්‍රදර්ශනය කළ විවිධ ජන කොටස්වලට අයත් පුද්ගලයන්ට යුරෝපා රටවල සහ අමෙරිකා එක්සත් ජනපදයේ දරුණු ශීත කාලවලදී පවා ඔවුන්ගේ සාමාන්‍ය ඇඳුම් (බොහෝ විට විශාල වශයෙන් ශරීරය නිරාවරණය වූ ආකාරයේ ඇඳුම්) ඇඳීමට සිදු විය. ඒ නිසා ම බොහෝ පුද්ගලයන්, විශේෂයෙන්ම අප්‍රිකානු සහ ආසියානු රටවලින් රැගෙන ආ පුද්ගලයන් විවිධ රෝගාබාධ වැලඳීම නිසා මරණයට පත් විය.

ඔවුන්ගේ සිරුරු එම උද්‍යානවල ම වළ දැමූ බව කියැවේ. මෙම සත්වෝද්‍යානවල රඳවා තැබූ පුද්ගලයන්ගේ පවුල් කඩාකප්පල් වූ අතර එවැනි හේතු නිසා ඔවුන් පසුවූයේ දැඩි මානසික පිඩනයකිනි. සිරගත වී සිටීම නිසා ඇති වූ මානසික පීඩනය නිසා සමහර පුද්ගලයන් නිදහස් වූ පසුත් සිය දිවි නසා ගෙන තිබේ. එවැනි සිදුවීමක් 19 වැනි සියවසේ මුල්භාගයේ නිව්යෝර්ක් නගරයෙන් වාර්තා වී ඇත.

කුඩා දරුවකුගේ දෑත් බැඳ ප්‍රදර්ශනය කරන අයුරු – www.rarehistoricalphotos.com

ඔටා බෙන්ගා

ඔටා බෙන්ගා (Ota Benga) නම් අප්‍රිකානු දරුවා 1904 වසරේ පැහැර ගෙන තිබුණේ ප්‍රදර්ශනයකට තැබීම සඳහා මෙරිකා එක්සත් ජනපදයට ගෙනයාමට ය.  ඔහු පැහැර ගෙන තිබුණේ අද කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය යනුවෙන් හැඳින්වෙන භූමියෙනි.

ඔටා බෙන්ගා ‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානයේ වඳුරු කූඩුවක් තුළ පළමුවරට ප්‍රදර්ශනය කර තිබෙන්නේ 1906 සැප්තැම්බර් මස 09 වෙනිදා ය.

ඔටා බෙන්ගා – www.commons.wikimedia.org

ඔටා බෙන්ගා කොන්ගෝ ජාතිකයකු වූ අතර 1906 වසරේ දී නිව්යෝර්ක්හි බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ වඳුරන් ද සිටි කුඩුවක රඳවා ඔහු  ප්‍රදර්ශනය කර තිබේ. 1906 සැප්තැම්බර් මාසයේ දී ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත මේ පිළිබඳව වාර්තා කිරීමත් සමඟ අප්‍රිකානු ජනතාව කෝපයට පත් විය. ඔහු නැරඹීම සඳහා දිනකට 4,000කට ආසන්න පිරිසක් පැමිණි බව කියැවේ. 

කෙසේ වෙතත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව පළ වී දින කිහිපයකට පසු ඔහුව ප්‍රදර්ශනය කිරීම නවතා දැමූ අතර වසර කිහිපයකට පසු ඔහුට නිදහස ලැබිණි. අවාසනාවකට මෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ජිවත් වීමට අනුගත වීමට නොහැකි වූ ඔහු නිදහස් වීමෙන් වසර හයකට පසු සිය දිවි නසා ගත්තේ ය.

Ota Benga,US
ඔටා බෙන්ගා ඇමෙරිකා එක්සත් ජනපදයේදී වඳුරකු සමඟ – www.bbc.com/sinhala

අවසානය

විවිධ සංවිධාන බිහි වීම සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ව වැඩි අවධානයක් යොමුවීමත් සමඟ මානව සත්වෝද්‍යාන වසා දැමීමට සිදු විය. ලොව අවසන් මානව සත්වෝද්‍යානය 1958 වසරේ දී, බෙල්ජියමේ පිහිටා තිබී ඇත. 

කවරයේ පින්තූරය- අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබූ මානව සත්වෝද්‍යානයක රඳවා සිටි ආදිවාසී ජනකොටසකට අයත් පිරිසක් - www.rarehistoricalphotos.com

මූලාශ්‍ර:

www.historyofyesterday.com 

www.bbc.com/sinhala

Ferris State University reports

Related Articles

Exit mobile version