තලිබාන්වරුන්ට එරෙහි ව අවි ඔසවන පන්ජ්ෂීර් සිංහයෝ

 තලිබාන් නම් දැඩි මතධාරී ඉස්ලාමීය ව්‍යාපාරය දශක දෙකකට පසු ඇෆ්ගනිස්ථානයේ බලය නැවත අත්පත් කර ගත්තා. තලිබාන් සටන්කාමීන් කාබුල් නුවරට අගෝස්තු 15 වැනිදා ඇතුළු වීමෙන් පසු ඇෆ්ගනිස්ථානය තුළ තලිබාන් බලය තහවුරු කරගැනීමේ ක්‍රියාන්විතයේ උච්චත ම අවස්ථාව සනිටුහන් වුණා. හිටපු ජනපති අශ්රෆ් ඝානී රටින් පලා යෑමත් ඊට සමගාමී ව සිදු වුණේ ඇෆ්ගනිස්ථානය අරාජික කරමින්.

තලිබාන්වරුන් කාබුල් නුවරට එදා ඇතුළු වුණේ ඇෆ්ගනිස්ථානය තුළ රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන්. ඒ සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සාමකාමී බල හුවමාරුවක් සඳහා කටයුතු කරන බවත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉතා හොඳින් පවත්වා ගෙන යෑම තම අරමුණ බවත්, තලිබාන් සංවිධානය ප්‍රකාශ නිකුත් කොට තිබුණා.

සාමකාමීත්වය උඩු සුළඟේ

තලිබාන්වරුන් කාබුල් නුවරට ඇතුළු වී සති දෙකක් ඉක්ම ගිය තැන ඔවුන් පවසන සාමකාමීත්වය කෙමෙන් කෙමෙන් උඩු සුළඟේ ගසා ගෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඔවුන් පූර්ණ වශයෙන් ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කිරීමක් තවම සිදු කර නැහැ. තලිබාන්වරුන්ට පූර්ණ වශයෙන් යටපත් නොවූ ප්‍රදේශයක් තවමත් ඇෆ්ගනිස්ථානයේ තිබෙනවා. එම ප්‍රදේශය පන්ජ්ෂීර් නිම්නය හෝ පන්ජ්ෂීර් පළාත නමින් හඳුන්වනවා.

පන්ජ්ෂීර් පළාත තලිබාන් ප්‍රතිරෝධී ප්‍රදේශයක් වූ අන්දම, පන්ජ්ෂීර් පළාතේ භූගෝලීය වැදගත්කම සහ ඇෆ්ගනිස්ථාන දේශපාලන බල අරගලයේදී පන්ජ්ෂීර් පළාතේ භූමිකාව ගැන සැකෙවින් ගෙන එන සටහනක් මේ.

පන්ජ්ෂීර් පළාතේ පිහිටීම – httpseaso.europa.eu 

ඉතිහාසයෙත් නොසැලුණු පන්ජ්ෂීර් නිම්නය

 කාබුල් නගරයට කිලෝ මීටර් 150 ක් පමණ උතුරට වන්නට (නිම්නයේ දකුණු මායිමට කාබුල් සිට දුර කිලෝමීටර් 80 යි.) පන්ජ්ෂීර් නිම්නය පිහිටා තිබෙනවා. මෙම ප්‍රදේශය ඇෆ්ගනිස්ථාන ගරිල්ලා යුද්ධයේ කේන්ද්‍රස්ථානයක් ලෙසත් සැලකෙනවා. පන්ජ්ෂීර් නිම්නය දීර්ඝ කාලයක් විදේශ ආක්‍රමණ හමුවේ තම ස්වාධීනත්වය රැකගත් බිමක් ලෙස ප්‍රචලිත යි.

19 වන සියවසේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හමුදාව ඇෆ්ගනිස්ථානය යටත් කර ගැනීමට දැරූ උත්සාහයේදී ඔවුන්ට පන්ජ්ෂීර් නිම්නය හරහා ගමන් කිරීමට හැකි වුණේ නැහැ. 1980 ගණන්වලදී සෝවියට් හමුදාව කාබුල් නුවර ඇතුළු ඇෆ්ගනිස්ථානයේ බොහෝ පෙදෙස්වල අණසක පැතිරුවත්, අහමඩ් ෂා මසූද්ගේ නායකත්වය යටතේ පන්ජ්ෂීර් පළාත සෝවියට් බලපෑමෙන් ඈත් කොට තබා ගැනීමට හැකි වුණා.

පන්ජ්ෂීර් නිම්නයේ සශ්‍රීකත්වය – www.bbc.com

 පන්ජ්ෂීර් නිම්නයේ භූගෝලීය පිහිටීම හරහා යම් ආරක්ෂාවක් මෙම ප්‍රදේශයට ස්වභාවයෙන් ම ලැබී තිබෙනවා. හින්දු කුෂ් කඳු පංතිය මැද කොටු වී තිබෙන පන්ජ්ෂීර් පළාත හෝ නිම්නයට ඇතුළු විය හැකි එක ම ප්‍රවේශය පන්ජ්ෂීර් ගංගාව හරහා වැටුණු පටු මාර්ගයක් ලෙසයි පවතින්නේ. මෙම ප්‍රවේශයට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීම මඟින් මුළු නිම්නය ම ආරක්ෂා කරගැනීමේ හැකියාවක් ඇති වී තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන කර්කශ පරිසරය මෙහි දක්නට ලැබෙන්නේ නැහැ.  ගංඟාවෙන් පෝෂණය වන නිසා පන්ජ්ෂීර් ප්‍රදේශයේ යම් සරුසාර බවක් සහ සොබා සුන්දරත්වයක් තිබෙනවා.

 කලක පටන් පන්ජ්ෂීර් පළාතේ නායකයන් ස්වයං පාලනයක සිහින දකිමින් සිටිනවා. තලිබාන්වරුන් බලය තහවුරු කරගැනීමට පෙර තිබුණු ඇෆ්ගන් රජයෙන් පවා ඔවුන් මේ ස්වයං පාලන අයිතිය ඉල්ලා තිබෙනවා. පන්ජ්ෂීර් නිම්නයේ ජීවත් වන මිනිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ “තජික්” නම් ජන කොට්ඨාශයට යි. මේ නිසා ඇෆ්ගනිස්ථානයේ අනෙකුත් පෙදෙස්වලට සාපේක්ෂව යම්තාක් දුරකට වෙනස් වූ සංස්කෘතික හා සමාජීය අනන්‍යතාවක් පන්ජ්ෂීර් පළාතේ තිබෙනවා.

අහමඩ් ෂා මසූද් හෙවත් පන්ජ්ෂීර් නිම්නයේ සිංහයා – www.thoughtco.com 

පන්ජ්ෂීර් නිම්නයේ සිංහයා

 1989 දී සෝවියට් දේශයේ භට කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ පසු මුජාහිඩීන් සටන්කාමීන් කණ්ඩායම්වලට බෙදී රටේ පාලන තන්ත්‍රය දිනා ගැනීම සඳහා දිගට ම සටන් පවත්වා ගෙන ගියා. මේ වියවුල් මැද අහමඩ් ෂා මසූද්ගේ ප්‍රමුඛත්වයෙන් සහ උස්බෙක්, තජික් බලවේගයන්ගේ එකතුවෙන් උතුරු සන්ධානය නමැති යුද පෙරමුණක් පිහිටුවා ගත්තා. 1996 දී ඇෆ්ගනිස්ථානයේ බොහෝ ප්‍රදේශ තලිබාන්වරුන්ට නතු වූ පසුබිම මැද පවා පන්ජ්ෂීර් නිම්නය තලිබාන් ග්‍රහණයට හසු නොවී තබා ගැනීමට ඔවුන් සමත් වුණා.

 අහමඩ් ෂා මසූද් 1952 දී උපත ලැබූ අතර, ඔහුගේ පියාණන් එකල ඇෆ්ගනිස්ථානයේ රජු ලෙස සිටි සහිර් ෂාගේ රාජකීය හමුදාවේ කර්නල්වරයෙක්. ඔහුගේ මුත්තණුවන් ද ඇෆ්ගනිස්ථාන රජුට සේවය කළ ගෞරවණීය පුද්ගලයකු බව කියවෙනවා. මසූඩ් පවුල අතීතයේ පටන් ම යම් ගෞරවයක් හිමි කර ගෙන සිටි පරපුරක්.

අහමඩ් ෂා මසූද්ගේ සුසාන – www.strategypage.com

70 දශකයේ මුල් භාගයේදී අහමඩ් ෂා මසූද්, ඉංජිනේරු සහ ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීම සඳහා කාබුල්හි පොලිටෙක්නික් ආයතනයට ඇතුළත් වුණා. එහිදී ඔහු ඉස්ලාමීය වටිනාකම්වලට මුල්තැන දෙන ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම්වල සාමාජිකත්වය දැරුවා.

 ජීවිතයේ විශාල පෙරළි සහ අභියෝගවලට මුහුණ දුන් පුද්ගලයකු ලෙස අහමඩ් ෂා මසූද් කාලයත් සමඟ අත්දැකීම්වලින් පරිණත නායකයෙක් බවට පත් වුණා. ඔහු “පන්ජ්ෂීර් නිම්නයේ සිංහයා” යන අන්වර්ථ නාමයෙනුත් හැඳින්වූවා. 1991 දෙසැම්බරයේදී සෝවියට් සංගමය බිඳ වැටීමත් සමඟ සෝවියට් රුසියාවෙන් ඇෆ්ගනිස්ථානයට ලැබුණු උපකාරත් ඇණ හිටීමකට ලක් වුණා.

ඒත් සමඟම අහමඩ් ෂා මසූද් කාබුල්වල බලය අල්ලා ගැනීම පිණිස උතුරේ බලවත් ම ආණ්ඩු හිතවාදී අණ දෙන නිළලධාරීන් සමඟ සබඳකම් පැවැත්වීම ඇරඹුවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් ඔවුන්ගේ ක්‍රියාන්විතයෙන් පසුව අහමඩ් ෂා මසූද්, අනාගත ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කිරීමට පිඹුරුපත් සකස් කෙරුණා.

ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍යය

 1992 වසරේදී “ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍යය” නම් ආණ්ඩුව පිහිටුවීමත් සමඟ අහමඩ් ෂා මසූද් එම ආණ්ඩුවේ ආරක්ෂක ඇමති ලෙස පත්වුණා. මෙම රජය ජාත්‍යන්තර ප්‍රජාව පිළිගත් එකක් වුවත්, ඔවුන්ට ඇෆ්ගනිස්ථානයේ සැබෑ ස්වෛරීභාවය රැක ගැනීමෙට නොහැකි වුණා. සිවිල් යුද්ධය හමුවේ ඔවුන්ගේ රජය යම් දුර්වල මට්ටමක පැවතුණා. සන්නද්ධ කණ්ඩායම් අතර ප්‍රචණ්ඩ ගැටුම් මෙම අවදියේ සිදුවූ අතර, තලිබාන්වරුන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල තැනකට 1996 දී  පත් වුණා. එහි ප්‍රතිඵලය වුණේ “ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රජය” අර්ධ ස්වෛරී රාජ්‍යයක නීත්‍යානුකූල රජයක්යැ යි කියා ගන්නා එහෙත්, නීතිමය බලය ක්‍රියාත්මක කළ නොහැකි පිටුවහල් රජයක් බවට පත් වීම යි.

පන්ජ්ෂීර් යුද පෙරමුණේ නායකත්ව වගකීමක් දරන තරුණ අහමඩ් මසූද් – Getty images

 තලිබාන් පාලනය ඇෆ්ගනිස්ථානයේ තහවුරු වීමත් සමඟ අහමඩ් ෂා මසූද් ප්‍රමුඛ උතුරු සන්ධානය තලිබාන් පාලනයට එරෙහිව තිබූ ප්‍රධාන සාධකවලින් එකක් බවට පත් වුණා. ඔහු උපන් පන්ජ්ෂීර් පළාත තුළ තලිබාන් ක්‍රියාකාරීත්වය ඉතා දුර්වල මට්ටමක පැවතීම එයට හොඳ ම උදාහරණය යි. 

 එක්සත් ජනපදයට එල්ල වූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට දින දෙකකට පෙර ඇෆ්ගනිස්ථානයේ තඛාර් පළාතේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අහමඩ් ෂා මසූද් ඝාතනයට ලක් වුණා. 2001 වර්ෂය වන තුරු ම තලිබාන්වරුන්ට පන්ජ්ෂීර් පළාතේ බලය අල්ලා ගැනීමට නොහැකි වුණත්, අහමඩ් ෂා මසූද්ගේ මරණය හමුවේ එය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව තලිබාන්වරුන්ට තිබුණා. එහෙත්, 9/11 ප්‍රහාරයත් සමඟ අමෙරිකානු මැදිහත්වීමට මුහුණ දීමට සිදුවූ නිසා තලිබාන්වරුන්ගේ බලයත් පසුකාලීනව දුර්වල වුණා.

ඇෆ්ගනිස්ථානයේ හිටපු උප ජනාධිපති (මැද), අම්රුල්ලා සාලේ – www.orfonline.org 

රට හැර නොගිය උප ජනාධිපති

 දශක දෙකකට පසු ඇෆ්ගනිස්ථානයේ බලය නැවතත් තලිබාන්වරුන් අතට පත් ව අවසන්. ඒත් සමඟ ම පන්ජ්ෂීර් නිම්නයේ තලිබාන් විරෝධය නැවතත් හිස ඔසවමින් තිබෙනවා. මෙවර පන්ජ්ෂීර් නිම්නයේ තලිබාන් විරෝධය සඳහා නායකත්වය දෙන්නේ අහමඩ් ෂා මසූද්ගේ පුත්‍රයෙක් වන අහමඩ් මසූද්. ඔහුත් සමඟ තවත් වැදගත් පුද්ගලයෙක් පන්ජ්ෂීර් කඳවුරට එක් ව සිටිනවා. පෙරළා දැමූ ඇෆ්ගන් ආණ්ඩුවේ උප ජනාධිපති ධූරය හෙබවූ අම්රුල්ලා සලේ, අහමඩ් මසූද්ගේ යුද පෙරමුණට එක් වී ඇති බව වාර්තා වෙනවා. ඔහු මසූද් සමඟ එක් ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ “වැඩ බලන ජනාධිපති” ලෙස තමා හඳුන්වා ගනිමින් වීම විශේෂත්වයක්.

 2001 දී ඝාතනයට ලක්වූ අහමඩ් ෂා මසූද් හෙවත් පන්ජ්ෂීර් සිංහයාට ඉමහත් ගෞරවයක් දක්වන තැනැත්තකු ලෙස අම්රුල්ලා සලේ හැඳින්විය හැකි යි. ඔහු මෑතක දී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පහත දැක්වෙන අදහසට සමාන ප්‍රකාශයක් නිකුත් කොට තිබුණා.

” මම කිසි විටෙක තලිබාන් ත්‍රස්තයන්ට හිස නමන්නේ නැහැ. මම කිසි විටෙකවත් මගේ වීරයා, අහමඩ් ෂා මසූද්ගේ උරුමය හා ආත්මය පාවා දෙන්නේ නැහැ. ඔහු මාගේ අණදෙන නිලධාරියා යි. ඔහු මාගේ පුරාවෘත්තය මෙන් ම මාර්ගෝපදේශකයා යි. මට සවන් දුන් මිලියන ගණනක් වූ ජනතාවගේ බලාපොරොත්තු මම සුන් කරන්නේ නැහැ. මම කවදාවත් තලිබාන්වරුන් සමඟ එක වහළකට එන්නේ නැහැ.” 

පසුගිය ඇෆ්ගන් රජයේ සිටි දේශපාලන චරිත එකින් එක පන්ජ්ෂීර් නිම්නයට පැමිණෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

සෝවියට් ආක්‍රමණ සමයේ විනාශයට පත්වූ යුධ ටැංකියක් පන්ජ්ෂීර් ගඟේ ඉතිරිව ඇති අයුරු – edition.cnn.com 

පියාගේ අඩිපාර දිගේ යන පුත්‍රයා

2001 දී ඝාතනයට ලක්වූ අහමඩ් ෂා මසූද් ගේ ප්‍රමුඛත්වයෙන් ඇරඹි තලිබාන් විරෝධී උතුරු සන්ධානය, “ඇෆ්ගනිස්ථානයේ ජාතික විරෝධතා පෙරමුණ” නමින් දෙවන උපතක් ලබා තිබෙන අතර, අහමඩ් ෂා මසූද්ගේ පුත්‍රයා එහි නායකයකු ලෙස ක්‍රියාකරමින් සිටිනවා. 32 හැවිරිදි වියේ පසුවන අහමඩ් මසූද්, තම පියාගේ වැඩපිළිවෙළ අනුගමනය කරමින් තලිබාන්වරුන්ට කිසි දිනෙක යටත් නොවන බව පවසා තිබෙනවා. තලිබාන් සංවිධානය සමඟ සටන් කිරීමට වුවත්, තම හමුදා සූදානම් බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

 පියාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් මුජාහිඩීන් සටන්කාමීන් සමඟ නැවතත් තලිබාන්වරුන්ට විරුද්ධ ව සටන් කිරීමට සූදානමින් සිටින බවත්, මේ දවස කවදා හෝ උදාවන බව දන්නා නිසා පියාගේ කාලයේ සිටම අවශ්‍ය ආයුධ සහ පතොරම් ඉවසිලිවන්තව එකතුකොට ගබඩා කරගත් බවත්, ඔහු “වොෂිංටන් පෝස්‍ට්” පුවත්පතට දන්වා තිබෙනවා.

ක්‍රීඩාශීලී අහමඩ් මසූද් – Getty images

කෙසේ නමුත්, පිරිස් බලයෙන් තවමත් ඔවුන්ට සිටින්නේ 6000 කට වඩා වැඩි බළ ඇණියක් නිසා අහමඩ් මසූද් ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂා කරනවා. ඔහු ප්‍රංශය, යුරෝපය, එක්සත් ජනපදය සහ අරාබි ලෝකය වෙතින් ආධාර ඉල්ලා සිටින අතර, මීට වසර 20 කට පෙර සෝවියට් හා තලේබාන්වරුන්ට එරෙහිව තම පියා කළ සටනට ඔවුන් උදව් කළ බවත් පවසා තිබෙනවා. ඒ අනුව ඉතිහාසය නැවත වර්තමානය හමුවට එන තත්ත්වයක් මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ උද්ගතව තිබෙනවා.

 1989 දී උපන් අහමඩ් මසූද්, ඉරානයේදී සිය ද්විතීක පාසල් අධ්‍යාපනය අවසන් කළා. ඉන්පසු වසරක හමුදා පාඨමාලාවක් සඳහා එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට් හි පිහිටි රාජකීය හමුදා ඇකඩමියට ඔහු ඇතුළත් වුණා. 2012 දී ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ යුද අධ්‍යනය පිළිබඳ උපාධි වැඩසටහනේ අධ්‍යන කටයුතු ඔහු ඇරඹූ අතර, 2015 දී උපාධියේ වැඩකටයුතු අවසාන කළා. 2016 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමටත් අහමඩ් මසූද් සමත් වුණා. 2019 දී ඔහු නිල වශයෙන් දේශපාලනයට පිවිසුණා. අධ්‍යාපනයෙන් ගත් කල ඔහු ඉතා ශක්තිමත් පදනමක් තිබෙන තරුණයෙක්.

ඇෆ්ගන් විරෝධතා ව්‍යාපාරය සහ තලේබාන් විරෝධී නැගිටීමේ බළකාය සෝවියට් යුගයේ යුද ටැංකියක් මත – Getty images

 

පන්ජ්ෂීර් බිඳ වැටේවි ද?

 පසුගිය සතිය පුරාම පන්ජ්ෂීර් නිම්නයේ යුද පෙරමුණ සමඟ තලිබාන් සංවිධානය වරින් වර ගැටුම් ඇතිකර ගත්තා. එහෙත්, තලිබාන් නිලධාරීන් CNN ආයතනයට පවසා ඇත්තේ දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේ දී සිදුවන ප්‍රහාරාත්මක ක්‍රියාවන් නැවැත්වීමට දෙපාර්ශවය ම එකඟ වූ බව යි. එම එකඟතාවන් කොතෙක් දුරට ආරක්ෂාවේදැ යි කිව නොහැකි යි. උදාහරණයක් ලෙස මේ වනවිටත් පන්ජ්ෂීර් පළාතේ ප්‍රදේශ තුනක් තලිබාන්වරුන් යටත් කර ඇති බව වාර්තා වෙනවා. තලිබාන් මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ්, ”බානු, බෙල් හිසාර් සහ ද සලාහ් යන දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන්ම නපුරෙන් පිරිසුදු කර ඇත” යනුවෙන් පණිවිඩයක් පවා නිකුත් කොට තිබෙනවා.

  ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ෂීර් නිම්නයේ තලෙයිබාන් විරෝධී සන්ධානයක් ගොඩනැගීම සඳහා රැස්ව සිටි පිරිස – Getty images

 

තලිබාන් සංවිධානය පන්ජ්ෂීර් යුද පෙරමුණේ නායකයන්ට යටත් වන ලෙස පසුගිය සති අන්තයේදී දැනුම්දීම් කර තිබුණා. ඒ සමඟ ම ඇෆ්ගනිස්ථාන හිටපු උප ජනපති අම්රුල්ලා සලේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පහත අර්ථයට සමාන ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

“අන්දරාබ් නිම්නයට ආහාර හෝ ඉන්ධන ලබා ගැනීමට තලිබාන්වරුන් ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. මානුෂීය තත්ත්වය ඉතා දරුණු අතට හැරී ඇත. දහස් ගණනක් කාන්තාවන් සහ ළමයින් කඳුකරයට පලා ගොස් ඇති අතර, පසුගිය දින දෙකේ ඔවුන් ළමයින් සහ වැඩිහිටියන් පැහැරගෙන ගොස් මිනිස් පළිහක් ලෙස භාවිත කිරීම හෝ නිවාස පරීක්ෂාව සඳහා යොදා ගැනීම අරඹා තිබෙනවා.”

 සාකච්ඡා අතර වරින් වර ගැටුම්ද  ඇතිවන නිසා දේශපාලනික වශයෙන් මෙන් ම, යුදමය කාරණා අතින් දිනෙන් දින අලුත් පුවත් මවන ප්‍රදේශයක් බවට පන්ජ්ෂීර් නිම්නය පත්වී තිබෙනවා. තලිබාන්වරුන්ගේ බල ප්‍රදේශවල තිබෙන පුළුල් බව නිසා පන්ජ්ෂීර් නිම්නයට ඇද නොවැටී සිටීමට විශාල උත්සාහයක් ඉදිරියේදී දැරීමට සිදු වේවි.

ඇෆ්ගන් විරෝධතා ව්‍යාපාරය සහ තලේබාන් විරෝධී බළකාය පන්ජ්ෂීර් පළාතේ කඳු මුදුනක – Getty images

අහමද් මසූද් අපේක්ෂා කරන පරිදි බටහිර ලෝකයෙන් ඔවුන්ට ආධාර ලැබුණහොත්, පන්ජ්ෂීර් හි ස්වාධීනත්වයට එය ධනාත්මක අයුරින් බලපාවි. එහෙත්, සාමාන්‍ය ජනතාවට 90 දශකයේ මෙන් ඉස්ලාමීය සටන්කාමීන් අතර වූ සිවිල් යුද්ධයකට නැවතත් මැදි වීමට සිදු වේවි.  අභ්‍යන්තර සහ ජාත්‍යන්තර බල අරගලයෙන් පීඩිත වූ ඇෆ්ගනිස්ථානයට තවමත් වාසනාවේ රිදී රේඛාව තිබෙන්නේ බොහොම ඈතින්.

කලින් සඳහන් කළ පරිදි පන්ජ්ෂීර් නිම්නය යනු වෙනස් සමාජ කොට්ඨාශයක්, සංස්කෘතියක් සහ වෙනස් දේශපාලන දෘෂ්ඨිකෝණයක් තිබෙන ප්‍රදේශයක්. සමාජ, සංස්කෘතිමය සහ දේශපාලන වශයෙන් එකිනෙකට වෙනස් මතවාද දරන කණ්ඩායම් හමුවේ සී සී කඩව බෙදී ගිය රාජ්‍ය ලෝක ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා. පන්ජ්ෂීර් සහ තලිබාන්වරුන් නිසා ඇෆ්ගනිස්ථානයටත් එම ඉරණම අත්වේවි ද?  

 කවරයේ ඡායාරූපය : පන්ජ්ෂීර් නිම්නයේ සොබා සුන්දරත්වය - www.flickr.com

මූලාශ්‍ර:

www.france24.com

www.aljazeera.com

edition.cnn.com

www.tandfonline.com 

www.aljazeera.com

Related Articles

Exit mobile version