මියන්මාරයේ ක්‍රියාත්මක වන විවිධ සටන්කාමී සංවිධානයන් අතර සුවිශේෂී සංවිධානයක් ලෙස අරකන් හමුදාව හඳුන්වන්නට පිළිවන්. ඔවුන් රකයින් සටන්කාමී සංවිධානයක් වුව ද, දැනට වැඩිපුර ක්‍රියාකාරී වන්නේ කචින් ප්‍රාන්තයේ යි. කචින් ස්වාධීනතා හමුදාව ආදී සටන්කාමී සංවිධාන කිහිපයක් සමග එක්ව ඔවුන් මියන්මාර රජයට එරෙහිව සටන් වදිනවා.
මියන්මාරයේ රජය සමග මෑතක් වනතෙක් සටන් වැදුණ සහ අදටත් සටන් වදින සටන්කාමී සංවිධාන සමග සසඳන කල, අරකන් හමුදාව සාපේක්ෂව අලුත් සංවිධානයක් වනවා. එය පිහිටවන ලද්දේ 2009 අප්‍රේල් 10 වන දා යි. අරකන් හමුදාවේ නායකයා ලෙස කටයුතු කරන්නේ මේජර් ජෙනරාල් ත්වංග් ම්රත් නයිංග් නම් වූ අයෙක්.
අරකන් ජනතාව
රකයින් ප්‍රාන්තය වඩා ප්‍රකටව ඇත්තේ රොහින්ග්‍යා අර්බුදය හේතුවෙන්. නමුත් මෙම ප්‍රදේශය වසර ගණනාවක් තිස්සේ අරකන් ජනතාව වාසය කරන ප්‍රදේශය වනවා. අරකන්වරුන් සඳහන් කරන පරිදි ඔවුනගේ රාජධානිවල ඉතිහාසය වසර 5000ක් පමණ ඈතට දිව යනවා. කෙසේ වෙතත් මීට වසර 600 කට පමණ ඈත කාලයේදී ද මෙහි ඉතා සෞභාග්‍යමත් රාජ්‍යයක් පැවතුණා. පසු කාලීනව බටහිර ජාතීන්ගේ බලපෑම් සහ විශේෂයෙන්ම බුරුම රාජධානියේ ව්‍යාප්තියත් සමග අරකන් රාජධානිය කඩා වැටුණා.
අරකන් ජනතාවගේ පරිහානියට සහ දුගීභාවයට වගකිව යුතු වන්නේ බුරුම ආක්‍රමණය බව යි අරකන් හමුදාව සහ එම සංවිධානයෙහි දේශපාලන අංශය වන අරකන් එක්සත් ලීගය පවසනවා. බුරුම ජාතිකයන් අරකන් ජනතාව සහ වෙනත් ස්වදේශික ජනයා වාසය කරන ප්‍රදේශ ආක්‍රමණය කර ජනාවාසකරණය කළ බවත් එම ප්‍රදේශයන් පාලනයට ගෙන එම ස්වදේශික ජනයාගේ සුබසිද්ධිය සොයා නොබැලූ බවත් අරකන් හමුදාව චෝදනා කරනවා.
අරකන් හමුදා ශක්තිය
අරකන් හමුදාව සහ අරකන් එක්සත් ලීගය අරඹන සමයෙහි එහි සාමාජිකයන් වූයේ සුළු පිරිසක් පමණ යි. නමුත් වර්තමානයේ එහි ශක්තිය 7,000ක් පමණ වේයැ යි සඳහන් වනවා. එමෙන්ම ඔවුන් මේ වන විට ප්‍රධාන ලෙසම ක්‍රියාත්මක වන්නේ කචින් ප්‍රාන්තයේ යි. එහෙයින් ඔවුනට රකයින් ප්‍රාන්තයට වඩා ආරක්ෂිතව සංවිධානය වීමේ හැකියාවක් ලැබී තිබෙනවා. මේ හේතුව නිසාම ඔවුනට වඩා හොඳින් පුහුණු වීමේ අවස්ථාව ද ලැබී තිබෙනවා. මේ අතර අරකන් හමුදාවට චීනයෙන් ආධාර ලැබෙතැ යි ද චෝදනාවක් පවතිනවා.
මීට අමතරව, අරකන් හමුදාව මියන්මාරයේ රජයට එරෙහිව සටන් වදින සංවිධානයන් කිහිපයක එකතුවක් වන උතුරුදිග සන්ධානයෙහි සාමාජිකයකු වනවා. මෙහි අනෙක් සමාජිකයන් අතර කචින් ස්වධීනතා හමුදාව, මියන්මාර් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන හමුදාව, ට’ඈංග් ජාතික විමුක්ති හමුදාව ආදී සංවිධානයන් වනවා.
අරකන් හමුදාවේ අරමුණු
අරකන් හමුදාවේ සහ එහි දේශපාලන අංශයේ අරමුණු වන්නේ දේශපාලනික සහ හමුදා ක්‍රමවේදයන් මඟින් අරකන් ජාතික විමුක්තිය සාක්ෂාත් කරගැනීම, ජාතික සමානාත්මතාව පිහිටුවීම, ස්වයං නිර්ණ අයිතිය අත් කරගැනීම, අරකන් ස්වාභාවික සම්පත් පිළිබඳ පාලනය එම ජනයා අතට ගැනීම, අරකන් ජනයාගේ අනාගතය පිළිබඳ පාලනය එම ජනයා අතට ගැනීම, අවතැන් වූවන් යළි මුල් ප්‍රදේශයන් හි පදිංචි කරවීම ආදිය යි.
මීට අමතරව, මියන්මාර රජය විසින් ස්වදේශිකයන් පීඩනයට පත් කෙරෙන බව සඳහන් කරන අරකන් හමුදාව පවසා සිටින්නේ පොදුවේ එම ස්වදේශික ජනතාව වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බව යි.
මෑත කාලීන ක්‍රියාකාරීත්වය
අරකන් හමුදාව පිළිබඳ මෑතක දී විශාල අවධානයක් යොමු වීමට හේතු වූයේ ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන්. එකක් නම් මියන්මාරය නිදහස සමරන ජනවාරි 4 වන දා මියන්මාර් – බංග්ලාදේශ් දේශසීමාව අසළ පොලිස් මුරපල හතරකට එල්ල වූ ප්‍රහාරයන් සහ ඊට රජය දැක්වූ ප්‍රතිචාරය යි. මෙම ප්‍රහාර හේතුවෙන් පොලිසියේ 13 දෙනෙකු මියගියා. මියන්මාර් නායිකා අවුන්ග් සාන් සූ කී අරකන් හමුදාව මර්ධනය කරන ලෙස එරට ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නා.
ඉන්දියානු සහ මියන්මාර හමුදා විසින් සිදු කළ බව සඳහන් ඒකාබද්ධ මෙහෙයුමක් අරකන් හමුදාව වෙත අවධානය යොමු වීමට බලපෑ අනෙක් කරුණ වුණා. ඉන්දියාව පාකිස්තානය සමග උණුසුම්කාරී වාතාවරණයක පැටලී සිටි සමයෙහි ඉන්දියාවේ ඊසානදිග දේශසීමා ප්‍රදේශයේ මෙම සිද්ධීන් සිදු වුණා.
ඉන්දියාව මෙම සංවිධානය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන්නේ කොල්කටා නගරය සහ එරට ඊසානදිග මිසෝරාමය යා කෙරෙන කලඩාන් ව්‍යාපෘතිය වෙත ඇති තර්ජනය හේතුවෙන්. කලඩාන් ව්‍යාපෘතියෙහි අරමුණ ඉන්දියාවේ කොල්කටා සිට් සිත්වේ දක්වා මුහුදෙනුත්, එතැන් පටන් මහා මාර්ග සහ ගංගා මාර්ග ඔස්සේත් මිසෝරාමය දක්වා වන බහුවිධ ගමනාගමන මාර්ගයක් විවෘත කිරීම යි. මියන්මාරයේ රකයින් සහ චින් ප්‍රාන්ත හරහා මෙම ව්‍යාපෘතිය ඇදෙනවා.
සති දෙකක් තිස්සේ ක්‍රියාත්මක වූ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර මියන්මාර් යුධ හමුදාව විසින් අරකන් හමුදාවේ කඳවුරු 10 – 12ක් පමණ විනාශ කළ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා. පෙබරවාරි 17 වන දා ඇරඹි මෙම මෙහෙයුම් මාර්තු 2 වන දා අවසන් වූ බව යි කියැවුණේ. ඉන්දියාවේ මිසෝරාම් ප්‍රන්තයේ සහ මියන්මාරයේ රකයින් ප්‍රාන්තයේ මෙම මෙහෙයුම් ක්‍රියාවට නැගුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉන්දීය හමුදා මෙම මෙහෙයුම් අතරතුර මියන්මාර භූමියට ඇතුල් නොවූ බව යි.
මේ අතර මාර්තු 9 සහ 10 යන දෙදිනෙහි මියන්මාර පොලිසියට අරකන් හමුදාව විසින් පහර දෙන ලදැ යි වාර්තා වුණා. මෙම ප්‍රහාරයන් දෙකම රකයින් ප්‍රාන්තයේ දී සිදු වුණා. මෙම සිද්ධීන් ද සමග, එම ප්‍රාන්තයේ අරකන් හමුදා ක්‍රියාකාරීත්වය වර්ධනය වන ලකුණු පෙන්වා ඇති අතර, කුඩා පොලිස් ස්ථාන සහ පොලිස් මුරපලවල් ඉදිරියේ දී ද ඉලක්ක කෙරෙනු ඇතැයි භීතිය ද මියන්මාර් ආරක්ෂක අංශ විසින් පළ කරනවා.