“නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියළු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවකදීම සර්ව සාධාරන හා සමාන ඉඩප්‍රස්ථා ලබාගැනීමේ අයිතිය තහවුරු කිරීම” යනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (2)(ඌ) කොටසේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම යන තීරුවේ පැහැදිලිව දක්වා තිබේ. එහි සරල අදහස ගතහොත්, අධ්‍යාපනය ලැබීමේ සමාන අවස්ථාවක් සෑම පුරවැසියෙකුටම, දරුවෙකුටම ලබාගැනීමට ඉඩ සැලසීම රජයේ වගකීමක් වේ.
බත්තලංගුණ්ඩුව පාසැල
අතක් මෙන් ඉහලට නෙරා ගොස් ඇති කල්පිටි අර්ධද්වීපයේ සිට කිලෝමීටර 40ක් පමණ ඈතින්, කල්පිටියේ දූපත්හි අවසාන දූපත ලෙස බත්තලංගුණ්ඩුව දූපත පිහිටා තිබේ. එහි කුඩා පාසැලකි. සතියේ දිනෙක එහි ගියහොත් ඒ දරුවන් අකුරු කරනු දැකබලා ගැනීමට ද හැකිය. තනි තට්ටුවේ ගොඩනැගිල්ලක එක වසරේ සිට 7 වන වසර දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉගනුම ලබති.
ඒ පාසැලේ දරුවන්ට රජයෙන් නොමිලේ ලැබෙන පෙළපොත් හිමි නැත. රජයේ ගුරුවරුන් හිමි නැත. රජයෙන් ලැබෙන නිශ්චිත විෂයය මාලා ඔවුනට නැත. කොටින්ම, මේ දරුවා දැන් 8වැනි වසර සමත්යැයි සහතිකයක් ගැනීමේ හැකියාවක් ද ඔවුන්ට නැත. ඒ පාසැල රජයේ අනුමත එකක් නොවේ. දූපතේ දරුවන්ට යම්තාක් දුරකට අධ්‍යාපනයක් ලබාදීමේ අදහසින් මෙම පාසැලේ ඉගැන්වීම් කටයුතු නාවික හමුදාවේ භටයකු විසින් මෙහෙයවනු ලැබේ. ඔහුගේ අධීක්ෂණය යටතේ පාසැල පාලනය වේ.
බත්තලංගුණ්ඩුව දූපතේ නාවික හමුදා කඳවුරේ සිටින පීරිස් නම් වූ ඒ නාවික භටයා සේවයක් වශයෙන් කරන ඉගැන්වීමේ කටයුත්ත ප්‍රශංසනීය එකකි. ඒ ගැන වැඩිදුර අදහස් දැක්වූ නාවික හමුදාවේ කල්පිටිය ප්‍රදේශය භාර අණදෙන නිලධාරියා පැවසුවේ,
“මේ දරුවන්ට මොනවහරි දෙයක් ඉගැන්වුවොත් අපි හිතනවා ඉදිරි කාලයේ මේ දූපත් වල දරුවෝ නොමනා ක්‍රියා වලට යොමුවන එකක් නැහැ කියලා. අපේ පැත්තෙන් දරුවන්ට අපි උගත් නාවික භටයෙක් යොමුකරලා යම් අධ්‍යාපනයක් ලබා දෙනවා. එය සර්ව සම්පූර්ණ එකක් කියන්නට අපහසු යි. ඒත් අපට හැකි පමණ අපි දරුවන්ට යම් දැනුමක් දෙන්නට උත්සාහ කරනවා. දරුවන්ට මෙතනින් එහාට යම් වෘත්තිය පුහුණුවක් හෝ ලබාදෙන්නට පුළුවන් නම් හොදයි. එවැනි දෙයක් යම් පිරිසක් කරනවා නම් අපිට යම් සහායක් දෙන්නත් පුලුවනි”.
දූපතේ ජීවිතේ
දූපතට ආසන්නව ගොඩබිම විල්පත්තු මහ වනය යි. මහජනයාට යම් අවශ්‍යතාවයක් වෙතොත් ඒ සඳහා කල්පිටියටම යා යුතු ය. ධීවර කර්මාන්තයේ නැවතුම් පොලක් ලෙස භාවිතා කරන බත්තලංගුණ්ඩුව කරවල වේලීම සඳහා ද ප්‍රසිද්ධ ය. දූපතේ ධීවර පවුල් 300-400ක් නවාතැන් ගෙන සිටින අතර එයින් ස්ථිර පදිංචිය සඳහන් වන්නේ පවුල් 10කගේ පමණි.
දිනපතා කල්පිටියේ සිට විශාල ට්‍රෝලර් යාත්‍රාවක් දූපතට යන අතර එය දූවට ළඟා වීමට පැය 3කට වඩා වැඩි කාලයක් ගනී. දූපතේ ජලය තද කිවුලකින් යුතු අතර ජනයා ජල අවශ්‍යතාවය යන්තමකින් හෝ පිරිමසා ගන්නේ කල්පිටියේ සිට පැමිණෙන ට්‍රෝලරයේ පටවාගෙන එන ජල කෑන් වලිනි. බහුතරයක් දූපත් නිවාස තාවකාලික ඒවා ය. ලෑලි වලින් තැනූ මුඩුක්කු වැනි කුඩා නිවෙස්වල ජනයා වාසය කරති.
පාසැලේ දුෂ්කරතා
මේ දූපත් පාසැලේ සිටින දරුවන්ට වෙනත් ළගම දූපතක පාසැලකට යාමට පවා බෝට්ටුවකින් යා යුතුය. එවැනි ගමනකට පෑ දෙක තුනක් වියදම් කිරීම මෙන්ම එවැන්නකට මුදල් සොයාගැනීම ද දුප්පත් දූපත් වාසින්ට අපහසුවකි. ඇතැම් පවුල් මීගමු දෙසින් දරුමල්ලෝ ද සමග පැමිණ මෙහි රක්ෂා කටයුතු කරති. ධිවර රක්ෂාවෙන් දුක සේ ජීවත්වෙන ඔවුනට දරුවන් වෙනත් පළාතක නවත්වා, වියහියදම් දරා අධ්‍යාපනය සැපයීමේ හැකියාවක් නොමැති විය හැකි ය.
දූපතේ දරුවන් උදෙසා යම් හෝ සහනයක් ගෙන එන අදහසින් නාවුක හමුදා භටයකු ගුරුවරයෙකු ලෙස මේ පාසලට එන්නේ 2016 දී ය. ඒ සිට මේ දක්වා එම පාසලේ දරුවන් 40කට අධික ප්‍රමාණයකගේ නම් සඳහන් වී ඇති අතර, සාමාන්‍යයෙන් දරුවන් 30ක් පමණ මෙහි අධ්‍යාපනය ලබති. ඒ ගුරුවරයා විසින් අනෙක් පාසැල් වලට ලැබෙන පත පොත ආදිය බලා 1 සිට 7 වසර දක්වා වූ පන්ති 7කට උගැන්වීමට මහත් උත්සාහයක් ගනී. ඇතැම් විටක ඉහළ පන්තිවල දරුවන්ට පහළ පන්තිවලට අකුරු කියාදෙන්නට සිදු වී ඇත්තේ ගුරුවරුන් නොමැති හිඟ පාඩුව නිසාය.
පිහිටුවීමේ දුෂ්කරතා
දූපතේ ජීවිතය කටුක ය. දූපතේ පාසැල රජයට පවරා ගතහොත් ඒ සඳහා ගුරුවරුන් අවශ්‍ය ය. මෙවැනි කටුක පරිසරයක දී හරිහමන් නවාතැනක් වත් නොමැතිව ජීවත්වීමට නම් යම් කිසි වැඩි දිමනාවක් ගුරුවරුනට ලබා දිය යුතු ය. අඩු තරමේ ඔවුන් සඳහා නවාතැනක්වත් දූපතේ ඉදිකළ යුතු වේ. මෙවැනි අපහසුතා නිසා එය රජයට ගැනීමේ ද යම් ගැටලු ඇතැයි බත්තලංගුණ්ඩුව දූපතේ ග්‍රාමසේවක මහතා අප සමග පැවසී ය.
දරුවන්ගේ අනාගතය
අද යුගයේ දරුවන්ට ටැබ් වලින් උගන්වනවා ද පොතින් උගන්වනවා ද ආදී ලෙසින් වාද විවාද සමාජ මාධ්‍ය තුලින් හුවමාරු වේ. මේ ලංකාවටම අයිති බත්තලංගුණ්ඩුවේ දරුවන්ට ඉගෙනගැනීමේ මූලිකම පහසුකම් වත් හරිහැටි නොලැබේ. දුෂ්කරතා තිබේ. එය සත්‍යය කි. එහෙත් ඉගනුම ලබන දරුවන් 30 දෙනාගේ පාර්ශවයෙන් සිතුවහොත්, ඔවුන් ඉගැනීම පිණිස පාසැලට එන අය වෙති. ඔවුන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් ඉගෙනිමේ අගය වැටහේ. එහෙත් ඒ අධ්‍යාපනය ක්‍රමවත්ව ලබාගැනීමේ වාසනාවක් ඔවුනට නැත.
උපාධිධාරීන්ට ද රැකියාවක් සොයාගැනීම අපහසු කාලයකි මේ. එවන් කලක කිසිදු අධ්‍යාපන සහතිකයක් තබා, පාසැලකට ගියා යැයි සහතික කරන ලියවිල්ලකටවත් උරුමයක් නොමැති බත්තලංගුන්ඩුවේ පාසැලේ දරුවන්ට රජය මගින් පාසැලක් ඉදිකොට ගුරුවරුන් සැපයීම රජයේ වගකීමකි.
මැදිහත්වීමේ වැදගත්කම
මෙම පාසැල රජයට ලබාගතහොත් නිසියාකාරව ගුරුවරු අනුයුක්ත කිරීම, අදාල පොත්පත් නිල ඇදුම් දරුවන්ට සැපයීම, නියමිත විෂයය මාලා අනුව වාර විභාග ආදිය පැවැත්වීම ආදී ලෙස ඉටුකළ යුතු දෑ රාශියකි. එසේම පාසැල රජයට පවරාගතහොත් මේ දූපතේ වෙසෙන දරුවන්ට අත්පත් වෙන වාසි රැසකි. දූපත් වාසින් කියන පරිදි මෙම ගැටළුව බලධාරීන් වෙත දැනුම් දුන්නත් ඒ ගැන නිසි අවධානයක් මේ වනතෙක් ලැබී නැත. එබැවින් දරුවන්ට උගැන්වීමට දෙමාපියන් ආශාවෙන් සිටියත් ඒ සඳහා මගක් නොමැතිව තැවෙයි.
දවස් කුලියට ධීවර රක්ෂාවේ යෙදෙන ජනයාට කොළඹට පැමිණ, උද්ඝෝෂණ කරමින් සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මහජන අවධානය ලබාගැනීමට නොහැකි ය. ගොඩබිමින් ඈත තාවකාලික පදිංචි කරුවන් නිසා, මැති ඇමති ඇල්ම බැල්ම ඡන්ද කාලයකදීවත් ඔවුනට නොලැබේ. එහෙත් ඔවුන් ද අප රටේ ගෞරවණීය පුරවැසියෝ වෙයි. බත්තලංගුණ්ඩුව දූපත් වාසීහු සාමාන්‍ය සමාජයෙන් ඈත් වී දූපතක තනි වී නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ ධීවර කර්මාන්ත කටයුතු වල නිරත වී අප රටට ආදායමක් උත්පාදනය කර දෙති. ඒ ජනයාගේ ශුභ සිද්ධිය කෙසේ වෙතත් අවම වශයෙන් ඒ දරුවන්ට මූලික අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව හෝ සලසා දීම රජයේ වගකීමකි. හඬක් නොමැති ඒ දරුවන් වෙනුවෙන් මැදිහත් වීම ඔබේත් මගේත් වගකීමක් නොවන්නේ ද?