ඡන්ද කාලෙ ළඟ ළඟම එනවා. ඡන්ද ව්‍යාපාරය දැන් දැන් එහෙන් මෙහෙන් පටන් ගැනෙමින් තිබෙනවා. තව දින කිහිපයක් යද්දි තාප්ප, දැන්වීම් පුවරු ආදිය සිනහමුසු දේශපාලකයින් ගේ රූපවලින් වැසී යනු ඇති.
මේ අතර ඊළඟ සති කිහිපය ගෙවෙද්දී දේශපාලන රැළි, සංගීත සන්දර්ශන ආදී විසූක දස්සන රටපුරා දැක බලාගන්න පුළුවන් වේවි.
මැතිවරණයක දී මේ කිසිවක් අමුතු දේවල් නෙවෙයි. එහෙත් මේ සියල්ල නොමිලයේ සිද්ධ වන්නේ නැහැ. මේවාට කවුරුන් හෝ වියදම් කරන්න අවශ්‍ය යි. අදිසි හස්තයන් මතුවන්නේ මෙන්න මෙතන දී යි.
අදිසි හස්තයන්
මැතිවරණ ව්‍යාපාරයක පිටිපස සිටින අදිසි අත්වල හිමිකරුවන් වන්නේ ඒ ඒ අය විසින් ආධාර ලබාදෙන අපේක්ෂකයන් වෙතින් අනාගතයේ දී වාසි බලාපොරොත්තු වන විවිධ අය යි. මෙය ලංකාවට පමණක් සීමා වූ කාරණයක් නම් නෙවෙයි.
ප්රජාතන්ත්රවාදය පිළිබඳ සංකේතයක් ලෙස ඇතැමුන් විසින් සලකන ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලනය තුළ පවා මේ කරුණ පැහැදිලිව දකින්න පුළුවන්. රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලනය තමන්ට අවශ්‍ය පරිදි හසුරවන්න මුදල් කුට්ටි විසි කළ කොච් සහෝදරවරුන් ඒ පිළිබඳ හොඳ සාධකයක් වනවා.
කොච් සහෝදරවරුන්ගේ මුදල් සහමුලින්ම අයහපත් දේ සඳහා යෙදවුණේයැ යි මින් අදහස් වන්නේ නැහැ. ඔවුන් අපරාධ නීතිය සංශෝධනය සහ අප්‍රිකානු ඇමරිකානු ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ලබාදීම ආදී කරුණු සඳහා ද මුදල් යොදවා තිබෙනවා. නමුත් තමන් විසින් සහාය ලබාදෙන දේශපාලකයන් හරහා පාරිසරික නීති සහ ව්‍යාපාරික නීති පිළිබඳ තමන්ට අවශ්‍ය දේ සිදු කරගැනීම පිළිබඳ කොච් සහෝදරවරුන් ප්‍රකට යි.
තවත් මුදල් විසිකර දේශපාලකයන් නටවන ආයතනයක් ලෙස එක්සත් ජනපදයේ කුප්‍රකට සංවිධානයක් වන්නේ ජාතික රයිෆල් සංගමය (NRA) යි. ගිනි අවි භාවිතය පිළිබඳ නීති හඳුන්වා දීමට එරෙහි වන පදනම යටතේ ඔවුන් වසර ගණනාවක් තිස්සේ විවිධ ඇමරිකානු කොන්ග්රස් සභිකයන්ට සහාය ලබා දෙනවා. මේ තත්ත්වය කෙතරම් බරපතලදැ යි කිවහොත් 2018 දී සිදු කරන ලද පර්යේෂණයක් අනුව කොන්ග්රස් සභාවේ සාමාජිකයන් අඩක් පමණ වෙතින් විවිධ ප්රතිලාභ ලබාගන්නවා.
නමුත් ඇමරිකාවේ සහ ලංකාවේ පැහැදිලි වෙනසක් තිබෙනවා. ඇමරිකාවේ දේශපාලකයන්ගේ ඡන්ද ව්‍යාපාරයන් සඳහා මුදල් යොදවන අය පිළිබඳ වාර්තා පහසුවෙන් ලබාගන්න පුළුවනි. එම වාර්තා අන්තර්ජාලයෙන් පවා සොයාගත හැකියි. කෙසේ වෙතත් ලංකාවේ මෙම ආධාරකරුවන් පිළිබඳ කිසිදු විනිවිදභාවයක් නැහැ. එහෙයින් ඔවුන් ඉන්නේ සැඟවුණ අමුත්තන් ලෙස යි. එවිට, තිරය යට ඇත්තෙන්ම සිදුවන දේශපාලන “ගේම්” ගැන ජනතාවට එතරම් දැනුමක් නැහැ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකාවේ මැතිවරණ ව්‍යාපාර සඳහා වියදම් පිළිබඳ ඇති නීති රීති පිළිබඳ කණගාටුදායක කාරණය නම්, අවශ්‍ය නීති රීති, පූර්වයේ දී මෙරට ක්‍රියාත්මක වී තිබීම යි. ජාතික රාජ්‍ය සභාව විසින් 1946 දී සම්මත කළ ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ආඥාව විසින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කර තිබුණා. මෙම කරුණු මත ඡන්ද පෙත්සම් ඉදිරිපත්ව ඒවායෙන් පරාජය වූ අපේක්ෂකයන් ද එකල සිටියා. එහෙත්, 1978 දී දෙවන ජනරජ ව්‍යවස්ථාව විසින් එම නීති රීති ඉවත් කෙරුණා. එමෙන්ම සමානුපාත මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමත් සමග එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර පවා මනාප පොරය වර්ධනය වුණා. ඒ සමගම වියදම් ද ඉහළ ගියා.
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා විශාල ලෙස මුදල් යෙදවීම තුළින් එයින් ජයග්‍රහණය කිරීමට දරන උත්සාහයන් ශ්‍රී ලංකාවේ දැන් සාමාන්‍ය දෙයක්. ඡන්ද දායකයින් සමහරෙක් ද මේ වනවිට දේශපාලකයින් වෙතින් ලැබෙන වියළි ආහාර, විදුලි උපාංග ආදී විවිධ තෑගි බෝග අපේක්ෂාවෙන් සිටින තැනට පත්ව තිබෙනවා.
ඇතැම් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මීටත් වඩා පුදුමාකාර මානයන් කරා යන අයුරු අපට දකින්න ලැබෙනවා. 2010 දී එක් නියෝජ්‍ය ඇමතිවරයෙක් ඇමරිකානු ඩොලර් 4,000කට අධික මුදලක් වියදම් කර පැය දෙකක කාලයකට හෙලිකොප්ටරයක් කුලියට ගෙන පත්‍රිකා බෙදා හැරියා. එමෙන්ම 2014 දී විහාරස්ථානවල සිල් රෙදි බෙදීමේ සිද්ධිය ද ඔබට මතක ඇති.
දූෂණ සහ අක්‍රමිකතා
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දී ප්‍රධාන කඳවුරු දෙකක් දකින්න පුළුවන්. මේ දෙපාර්ශවයටම දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වනවා.
උදාහරණයක් ලෙස නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි 2015 ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයකුගේ පාර්ශවය වෙත චීන වරාය ඉදිකිරීම් අරමුදල් ගලාගෙන ඇවිත් තිබුණා. එමෙන්ම මහ බැංකු වංචා සිද්ධියට සම්බන්ධ වූ බව කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සබඳතා ඇති සමාගමකින් අනෙක් පාර්ශවයේ දේශපාලකයින් කිහිප දෙනකුට මුදල් ගලාගිය බව ද වාර්තා වුණා.
මෙවන් චෝදනා නිතර මතු වුව ද ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග ඉතා අවම යි. මෑත කාලයේ දී එවැනි සිදුවීමක් හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුට එරෙහිව පමණක් අධිකරණ කටයුත්තක් අවසන් වනු දකින්නට ලැබුණා.
නීති රීතිවල අවශ්‍යතාව
මැතිවරණ වියදම් පිළිබඳ නීති ශක්තිමත් නොවූව ද ඒ සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳ කටයුතු කිරීම සඳහා වෙනත් නීති රීති තිබෙනවා. අල්ලස් පිළිබඳ නීති රීති ඊට උදාහරණයක්. කෙසේ වෙතත් ඒවා බලාත්මක වීමේ අඩුපාඩු තිබෙනවා.
සාමාන්‍ය ජනතාව මැතිවරණ වියදම් පිළිබඳ ප්රශ්නය නොදන්නවා නොවේ. එහෙත් ඒ පිළිබඳ ඔවුන් දක්වන්නේ උදාසීනභාවයක්. මැතිවරණ ව්‍යාපාර සඳහා වන වියදම් පිළිබඳ විනිවිදභාවයක් ඇති කිරීම සඳහා සිවිල් සංවිධාන විසින් කලක් තිස්සේ උත්සාහයක් දරන නමුත් ඊට පුරවැසියන් වෙතින් ප්‍රමාණවත් සහායක් ලැබී ඇතැයි පෙනෙන්නේ නැහැ.
මේ පිළිබඳ පනත් කෙටුම්පත් දෙකක් කරලියට පැමිණ තිබෙනවා. මැතිවරණ නිරීක්ෂකයන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සාකච්ඡාවලින් පසු මින් එකක් කෙටුම්පත් කරන ලද්දේ මැතිවරණ කොමිෂන් සභාවේ මූලිකත්වයෙන්. අනෙක් පනත් කෙටුම්පත මැතිවරණ නිරීක්ෂකයන් විසින් පිළියෙල කර තිබෙනවා. එහෙත් 2017 සිට ඒවා පිළිබඳ ප්‍රගතියක් නැහැ. මීළඟ මහමැතිවරණයට පෙර මේ පිළිබඳ නීති සම්මත කරගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර තිබුණා.
පෝස්ටර්වලින් තොර, ප්ලාස්ටික්වලින් තොර මැතිවරණ පිළිබඳ අවධානය යොමුව තිබුණත්, දූෂණයෙන් තොර මැතිවරණ පිළිබඳ යොමුව ඇති අවධානය අඩු යි. නමුත් මැතිවරණයක් වඩාත් නිදහස් සහ සාධාරණ වීමටත්, විනිවිදභාවයෙන් යුක්ත වීමටත්, මැතිවරණ ව්‍යාපාර සඳහා වන වියදම් පිළිබඳ නීති රීති සැකසිය යුතු යි.