Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉරණතිව් වැසියන් ඉරණතිව් බලා ඉරණම් ගමනක් යයි

ඉරණතිව්හි සිය ඉඩකඩම්වල අයිතිය සඳහා අරගල කරමින් සිටි එහි වැසියන් වසර ගණනාවක් තිස්සේ සාධාරණ විසඳුමක් නොලැබුණු තැන නැවතත් ඉරණතිව් දූපතට යාමට තීරණය කළහ. ඒ අනුව පසුගිය 23 දා ඔවුහු ඉරණතිව් දූපත කරා පිටත්ව එහි වාඩිලා ගත්හ.

ඉරණතිව් වැසියන්ගේ කතාව සැබවින්ම ඛේදජනක එකකි. යුද්ධය පවතිද්දී ද විශාල ලෙස බැට කෑ ඔවුහු, යුද්ධය නිමා වී වසර නවයක් ගත වෙද්දී අපේක්ෂභංගත්වයට පත්ව සිටින්නේ තමන් සතුව ඇති එකම වස්තුව වන, ඉරණතිව්හි සිය ඉඩකඩම් වෙත යාමට තවමත් නොහැකි වී තිබීම නිසා ය.

 

 

ඉරණතිව් ජනතාව සිය ඉඩම් යළි ඉල්ලා ආරම්භ කරන ලද අඛණ්ඩ උද්ඝෝෂණයට පසුගිය මැයි පළමු වැනි දාට වසරක් සපිරේ. ඉරණතිව් ජනතාවට සිය ගම්බිම් අහිමි වූයේ 1992 වර්ෂයේ දී යි. එදා සිට තමන්ට අයත් ඉඩම්වල කවදා හෝ යළි පදිංචි වන්නට හැකි වේ යැයි සිතූ ඔවුනට අද වනතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති වීම කණගාටුවට කරුණකි. වසරකට ආසන්න කාලයක් උද්ඝෝෂණ දියත් කරමින් තවමත් අරගල කරන්නේ සිය අයිතිය ලබා ගැනීම උදෙසා යි.

සාධාරණ විසඳුමක් නොමැති තැන භූමියෙහි උද්ඝෝෂණය කළ ඉරණතිව් වැසියන්, අවසාන යලි ඉරණතිව් දක්වා සිය බෝට්ටුවලින් ගමන් ගත්තේ කුමක් සිදු වුව ද යලි දූපතෙන් බැහැර නොවන්නේය යන තිර අදිටනින් යුතුව ය.

යුද්ධය නිසා අවතැන් වූ ඉරණතිව් ජනතාව

ඉරණතිව් පවුල් 200ක් පමණ යුද්ධය හේතුවෙන් 1992 දී පළමු වරට දූපතේ සිට අවතැන් වන අතර දූපත අතහැර ගොඩබිම් භූමියට පියවර තබයි. එතැන් පටන් මේ දූපත නාවික හමුදාව භාරයේ පැවතුණු අතර, 2007 වන තුරු ගම්මුන්ටත් දූපතට ඇතුළු වීමට අවසර ලැබුණේ විටින් විට ය. ඒ ද සීමා සහිත අවසර ගැනීමෙන් අනතුරුව ය. පසුව නැවත 2007 සිට යුද්ධයේ අවසාන කාලය පුරාම අවස්ථා ගණනක දී ඉරණතිව් දූපත් වැසියෝ අවතැන් වූහ.

දිවි ගලවා ගත් පුද්ගලයන් වවුනියාව මැණික් ෆාම් කඳවුරේ රඳවනු ලැබූ අතර, නිදහස් කළායින් පසුව ඔවුන් අවතැන්ව සිටි මුලන්කාවිල් ආසන්නයේ පිහිටි ඉරනෙයි මාතානගර් වෙත නැවත පැමිණෙන්නට අවසර ලැබිණි. මෙය ලංකාවේ ප්‍රධාන භූමියේ සිට දූපතට ඇති කිට්ටුම ස්ථානය යි. 2007 වර්ෂයේ සිදු වූ අවසාන අවතැන් වීම්වලට පසුව, නාවික හමුදාව විසින් නැවත ආපසු පැමිණීම, සහ ඔවුන්ගේ සාම්ප්‍රදායික දූපත් වෙත නිදහසේ ප්‍රවේශ වීම තහනම් කරන ලදී.

නාවික හමුදාව සමග කරන ලද සාකච්ඡාවලට පසුව, එහි වැසියන්ට දූපතේ වෙරළ ප්‍රදේශයේ සීමාසහිත ප්‍රදේශයකට ගොස් ධීවර කටයුතුවල නියැලීමට අවසර තිබුණ ද, රෑ පහන් වෙන තුරු සිටීමට අවසර ලැබුණේ නැත. ලංකාවේ ප්‍රධාන භූමිය සහ දූපත අතර දිනපතා යාත්‍රා කිරීමට සිදු වීම හේතුවෙන් ධීවර කටයුතුවල වියදම අතිශයින් ඉහළ ගොස් ඇත. ඉරණතිවුහි වෙරළබඩ ධීවර රැකියාවේ නියැලුණු කාන්තාවන්ට දැන් එසේ කළ නොහැකි අතර, ඔවුන් සිටින්නේ විරැකියාවෙන් පෙළෙමිනි. මෙය පවුල්වල ආදායම අඩු වීමට හේතු වී ඇති අතර, විශේෂයෙන්ම කාන්තාවන් ගෘහ මූලිකයා වෙන පවුල්වලට මෙය දැඩි සේ බලපා ඇත. එසේම ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා විසින් කරන නීති විරෝධී ධීවර කටයුතු නිසා මත්ස්‍ය සහ වෙරළ සම්පත් අඩු වී යාමත්, ඉන්ධන වියදම වැඩි වීමත් මේ ධීවර පවුල්වල ආදායමට ඉතා නරක ලෙසින් බලපා ඇත.

2007 වර්ෂයේ සිට වැසියන්ට මේ දූපතට පැමිණීමට අවසර දී ඇති එකම කාලය වන්නේ කතෝලික ජනතාවට වැදගත් ආගමික කාලයක් වන චතාරික කාලයේ යි (පෙබරවාරි හෝ මාර්තු). ඒ දේව මෙහෙය සඳහා පල්ලියට පැමිණීමට යි.

ඉරණතිව් දූපතේ ඉතිහාසය

ඉරණතිවු යනු පෝක් සමුද්‍ර සන්ධියේ එකට පිහිටා ඇති දිවයින් යුගලක් වෙන අතර, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබේ. විශාල දිවයින (පෙරුම් තීවු) සහ කුඩා දිවයින (සිරුම් තීවු) අතරින් ලුණු වතුර සහිත ඇලක් ගලයි.

1982 කරන ලද නිල මිනින්දෝරු සිතියමකට අනුව, පෙරුම් තීවු විශාල දූපතේ ඉඩම් කට්ටි 143ක් සලකුණු කර ඇති අතර, සිරුම් තීවු කුඩා දූපතේ ඉඩම් කට්ටි 35ක් ලකුණු කර ඇත. 1886 ඉදිකරන ලද පැරැණි ඔරලෝසු කණුවක් දක්වමින්, දූපතේ වසර 200ක පමණ ඉතිහාසය සම්බන්ධයෙන් ගම්වාසීහු තොරතුරු කියති. ඔවුන් පළමු වරට අවතැන් වන විට, මේ දූපත්වල ගලින් තැනූ ගෙවල් 125ක් ද, වතුර බොන ළිං 5ක් ද, සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ද, පල්ලි දෙකක් ද තිබුණි.

ධීවර කර්මාන්තය ඔවුන්ගේ සාම්ප්‍රදායික ආදායම් මාර්ගය වූ අතර, පිරිමින් මුහුදු යද්දී, ගැහැණුන් කකුළුවන්, සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වැනි වෙරළ ආශ්‍රිත ධීවර කටයුතුවල නියැලෙමින්, දෙපිරිසම පවුලේ ආදායමට දායක වූහ. එසේම ඔවුන් පශු සම්පත් පාලනයේ නියුතු වූ අතර ගවයන්, එළුවන් ආදී සතුන් ඇති කළහ. ලූණු, මිරිස්, මඤ්ඤොක්කා වැනි ආර්ථික භෝග වගා කළ අතර, පොල් ගස් ද වගා කළහ. කිවුල් ජලයේ මත්ස්‍ය විශේෂයන් ගණනාවක් අභිජනනය වන අතර, දූපත්වල සහ ලංකාවේ ප්‍රධාන භූමියේ ද නිවාස සෑදීමට අමුද්‍රව්‍යයක් වේ. එසේම මේ දූපත් වැසියන්ට ශ්‍රී ලංකාවේ දකුණ දෙස පිහිටි මීගමුව වැනි ප්‍රදේශවල මිනිසුන් සමග වෙළෙඳ සහ සමාජ-සංස්කෘතික සම්බන්ධතා තිබී ඇති අතර, පල්ලියේ කටයුතු පැවැත්වීමට මීගමුවේ සිට කතෝලික දේවගැතිවරයකු මෙම දිවයිනට පැමිණ තිබේ.

අහිංසක ඉල්ලීම

දැනට දූපත්වලට ඉතා කිට්ටුවෙන් ලංකාවේ ප්‍රධාන භූමියේ පිහිටි ඉරනෙයි මාතානගර් හි දළ වශයෙන් පවුල් 400ක් ජීවත් වෙන අතර, එයින් 95ක් කාන්තාවන් ගෘහ මූලිකයන් වෙන පවුල් වේ. ‘ඉරනෙයි මාතානගර්’ යන්නේ වචනාත්මක අර්ථය වන්නේ ‘ඉරණෙයි හි මව් නගරය’ යන්න යි.

අවුරුදු 25ක් පමණ කාලයක් අවතැන් වී සිටින නමුත්, තවමත් ඔවුන් ඉතා දැඩි ලෙස දූපත සමග බැඳී සිටිති. 2007 අවතැන් වීමෙන් පසු බොහෝ දෙනෙක් පදිංචියට පැමිණි ප්‍රදේශය වන නිල ග්‍රාම නිලධාරි කොට්ඨාශ අංකය, උප තැපැල් කන්තෝරුව, රජයේ පාසල සහ ධීවර සමූපකාරය යන සියල්ල තවමත් ඉරණතිවු යන නම භාවිතා කරන්නේ ඒවායේ භෞතික ව්‍යුහයන් ඉරනෙයි මාතානගර්හි පිහිටා තිබිය දී ය.

ඔවුන්ගේ ඉල්ලීම් සරල ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉරණතිවු වෙත සීමා පැනවීමක් නැතිව, තමන්ට ප්‍රවේශ වීමට ඉඩ ලබා දීමත්, එහි පදිංචි වී ධීවර රැකියාවේ නියැලීමටත්, වගා කටයුතු, සතුන් ඇති කිරීම ආදී කටයුතු පෙර සේ සිදු කර ගෙන යාමට ලැබීමත් ය. ඔවුන් නාවික හමුදාව ඉවත් කරන්නැයි ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ නාවික හමුදාව විසින් අයිති කර ගෙන සිටින සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසත්, දූපතේ සම්පත් වැරැදි ලෙස භාවිතා කිරීම, සහ නීති විරෝධී ලෙස ප්‍රවේශ වී එම සම්පත් සූරා කෑම වැළැක්වීමට කටයුතු කරන ලෙසත් ය.

(මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රුකී ප්‍රනාන්දුගෙන් ලබාගත් තොරතුරු ඇසුරිනි)

Related Articles