Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමසන් අයිති බ්‍රසීලයට පමණයි- බොල්සොනාරෝ තර්ජනය කරයි

“ඇමසන් කියන්නේ ලෝකයේ පෙනහැල්ල නෙවෙයි. එය අයිති බ්‍රසීලයට යි. ඒ ගැන වෙනත් රටවල ජනමාධ්‍ය වගේම නායකයන් වධ විය යුතු නෑ. ඇමසන් වනාන්තරය ගැන බලාගන්න අපිට පුළුවන්” පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ 74 වන මහ සමුළුවේ දී එලෙස ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරන්නේ, බ්‍රසීල ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ යි.

ඇමසන් ගින්නේ ප්‍රධාන වැරදිකරු ලෙස මුළු ලෝකයා විසින් හඳුන්වා දෙන බොල්සොනාරෝ, මෙවැනි ප්‍රකාශයක් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට සති කිහ්පයකට ප්‍රථම ඇමසන් ගින්න දරුණුවට පැතිර යන අවස්ථාවේ දී ද “ඇමසන් අයිති වන්නේ බ්‍රසීලයට යි. එය බ්‍රසීල උරුමයක්. එහි කටයුතු සිදුවිය යුත්තේ බ්‍රසීලයේ ප්‍රතිලාභය වෙනුවෙන්.” ලෙස ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

යුරෝපයේ බොහෝ රටවලින් ඇමසන් ගිනි ගැනීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයාට දැඩි චෝදනා එල්ල වූ අතර, ලොව පුරා විවිධ ජනමාධ්‍යන්ගෙන් ද ඔහුට බරපතළ චෝදනා එල්ල වෙනවා. නමුත්, ඒ සියලු චෝදනා ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඇමසන් ගිනි ගැනීම හා බොල්සොනාරෝට එල්ල වූ චෝදනා 

බොල්සොනාරෝ (washingtonpost.com)

ඇමසන් වනාන්තරයට අත්ව ඇති ඉරණම පිළිබඳව පරිසරවේදීන් මීට වසර කිහිපයකට පෙර සිට බ්‍රසීල ආණ්ඩුවට චෝදනා කරනවා. දැව ජාවාරම්කරුවන් හා වැවිලිකරුවන් විසින් ගහ කොළ කපා දමමින් ඇමසන් වැසි වනාන්තරය විනාශ කරනු ලබමින් ඇති බව යි, ඔවුන් විසින් පවසන්නේ.

මීට වසර කිහිපයකට පෙර සිට බ්‍රසීලයේ ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ ජාතික ආර්ථිකය නැංවීමේ  අරමුණෙන් සමාගම් රැසකට අත්තනෝමතිකව ගස් කපා දැමීමට හා වනාන්තර කොටස් ගිනි තැබීමට අවසර ලබා දී තිබෙනවා. මේ හේතුවෙන් ඔහුව හැඳින්වීමට බොහෝ රාජ්‍ය නායකයන් විසින් “යාන්ත්‍රික මැෂින් කියත් නියමුවා” හා “ඇමසන් වනාන්තරය ගිනි තබන නීරෝ” යන යෙදුම් භාවිතා කරනවා. නමුත්, මේ සම්බන්ධයෙන් එල්ල වෙන විවේචන බ්‍රසීල ජනාධිපතිවරයා දකින්නේ ඔහුට එරෙහිව පෞද්ගලික මට්ටමින් සහ ආණ්ඩුවට එරෙහිව එල්ල කෙරෙන චෝදනා ලෙස යි.

ඇමසන් වනාන්තරය ගිනි ගැනීම ජාත්‍යන්තර අර්බුදයක් බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා. මෙය G7 සමුළුවේ දී විශේෂයෙන් අවධානය යොමු විය යුත්තක් බව ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ප්‍රකාශ කරන්නේ, ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ගැටළුව දේශපාලන වාසි සඳහා යොදා ගන්නා බව යි.

විශේෂයෙන් G7 සමුළුව පැවැත්වෙන සමයේ ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝට වැඩිම චෝදනා ප්‍රමාණයක් එල්ල කරන්නේ ප්‍රංශ ජනාධිපතිවරයා වන එම්මානුවෙල් මැක්‍රෝන් ය.

G7 රටවල විදෙස් ආධාර ප්‍රතික්ෂේප කිරීම 

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්  (s.abcnews.com )

ගින්න දරුණුවට පැතිරෙන සමයේ 2019 වසරේ G7 සමුළුව ප්‍රංශයේ පැවති අතර, ගින්න නිවීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 22.2ක ආධාර මුදලක් බ්‍රසීල රජයට ලබාදීමට එම සංවිධානය සිය එකඟත්වය පළ කරනවා. නමුත්, එම ආධාර මුදල ලබාගැනීම ජනාධිපති බොල්සොනාරෝ විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා. ඊට හේතු ලෙස ඔහු දක්වන්නේ ගින්න නිවීම සඳහා දෙන ආධාර මුදල් ඔස්සේ තම රජයේ වැඩ කටයුතුවලට එම රටවල නායකයන් මැදිහත් වීම යි.

ඊට අමතරව ප්‍රංශ ජනාධිපතිවතිවරයා තමන්ට පෞද්ගලිකව අපහාස කර තිබෙන බවත්, ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් බොල්සොනාරෝ ප්‍රකාශ කරනවා. කලෙක පටන් ඔවුන් දෙදෙනා අතර ඇති විරසකය ද මෙම ආධාර මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන හේතුවක් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු තම රට ප්‍රංශයේ යටත් කොලනියක් ලෙස සිතන බවත්, එය එසේ නොවන බවත්, තම රට ස්වාධින රාජ්‍යක් බවත් බොල්සොනාරෝ දිගින් දිගටම ප්‍රකාශ කරනවා. 

ඇමසන් ගින්න (jacobinmag.com)

නමුත් යම් යම් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පසුව විදෙස් ආධාර මුදල් ලබාගැනීමට ජනාධිපතිවරයා පසුව තීරණය කරනවා. එහි ප්‍රධාන කොන්දේසිය බවට පත්වෙන්නේ ගින්න නිවීම සඳහා එම රටවල මැදිහත් වීම ප්‍රතික්ෂේප කිරීම යි. ඒ අනුව ඔහු, ඩොලර් මිලියන 22.2ක මුදල දින කිහිපයකින් පසුව භාරගනු ලබනවා. ගින්න දිගින් දිගටම පැතිර යාම හේතුවෙන් එය මර්දනය කිරීමට විදෙස් සහාය අත්‍යවශ්‍ය බව බ්‍රසීල ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දීමෙන් පසුව බොල්සොනාරෝ විසින් ආධාර මුදල් භාරගත් බව යි සඳහන් වන්නේ.

ප්‍රංශ ජනාධිපතිවරයාට පිළිතුරු 

බොල්සනාරෝට එරෙහි පරිසරවේදීන් (media.npr.org)

“ලෝකයේ පෙනහැල්ල ගිනිගනිමින් තිබෙනවා.” “අපේ ගෙදර ගිනි ගනිමින් තිබෙනවා.” ලෙස ට්විටර් පණිවුඩ කිහිපයක්ම නිකුත් කිරීමට ප්‍රංශයේ ප්‍රබල පරිසර හිතකාමියෙක් ලෙස තමන්වම හඳුන්වා දෙන ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කරනවා. මීට පිළිතුරු දෙන බොල්සනාරෝ ප්‍රකාශ කරන්නේ, ප්‍රංශ ජනාධිපතිවරයා ව්‍යාජ පරිසර හිතකාමිත්වයක් මවා පාන බව යි. 

මීට අමතරව ඇමසන් ගින්න සම්බන්ධව ලොව පුරා ජනමාධ්‍යන්වලට ද, බ්‍රසීලයේ ක්‍රියාත්මක වන NGO සංවිධානවලට ද සිය අප්‍රසාදය මහා මණ්ඩල සමුළුවේ දී පළ කිරීමට බොල්සොනාරෝ කටයුතු කරනවා.

කවරයේ පින්තූරය: s.france24.com

මූලාශ්‍රයයන්: 

news.un.org 

reuters.com

washingtonpost.com

Related Articles