Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගව ඝාතන තහනමේ අතීතය

“එපා එපා මස් කන්නට කිරි අම්මාගේ…” නම් ගීතය නිහාල් නෙල්සන් ගැයුවේ මීට වර්ෂ 20කට පමණ පෙර යි. එය ඉතා ජනප්‍රිය වුණා. ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමේ අදහස මෑත අතීතයේ ප්‍රබලව නැගුණේ පසුගිය සියවස මුල දී අනගාරික ධර්මපාලතුමාගේ (1864-1933) මූලිකත්වයෙන්. ධර්මපාලතුමා ගව මස් කෑමේ විපාක පවසමින් රට පුරා සංචාරය කළා. ඒ සඳහා ‘සෝබන මාලිගාව’ නම් වෙනම රථයක් ද නිර්මාණය කරගෙන තිබුණා. ‘හරක් මස් නොකනු’ යන පාඨය ප්‍රදර්ශනය කරමින් තමයි රථය ගමන් කළේ. “ගෙරිමස් කන්නෝ වසලයෝ” යි අනගාරික ධර්මපාලතුමා පැවසුවා. 

ගව ඝාතන තහනම ගැන යළිත් වරක් කතාබහක් ඇති වුණේ නව ආණ්ඩුව පත්වූ පසු යි. මේ නිසා සැප්තැම්බර් මුල් සතියේ ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් යෝජනාවක් අගමැති මහින්ද රාජපක්ෂ ගෙන ආවත්, ප්‍රායෝගික දුෂ්කරතා නිසා එය මසකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

කැබිනට් අනුමැතිය

ධර්මපාලතුමා රට වටා ගිය රථය lankadeepa.lk

පසුගිය සැප්තැම්බර් 29 දා වාර්තා වුණේ ගව ඝාතනය තහනම් කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව යි. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා නීති හා පනත් සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දැනට ගව ඝාතනය සම්බන්ධයෙන් අප රටේ ක්‍රියාත්මක වන්නේ 1958 අංක 29 දරන සත්ව පනත, 1893 ගෝ ඝාතක ආඥා පනත, සහ පළාත් පාලන ආයතන විසින් පැනවී ඇති නීති යි. එම නීති සංශෝධනය කර ගව ඝාතන තහනම ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය පවසනවා. මෙම තීරණය ගැනීමට හේතුව ගව ඝාතනය ඉහළ යාම නිසා ගොවිතැන් කටයුතුවලට ප්‍රමාණවත් ගවයන් නැතිවීමත්, කිරිපිටි ආනයනයට විශාල විදේශ විනිමයක් වැයවීමත් බව යි රජය පවසන්නේ.

ගව මස් කඩයක් – Philip Karstadt / flickr.com

ගව මස් පරිභෝජනය කරන ජනතාවට එම මස් පිටරටවලින් ආනයනය කර ලබාදීමට නියමිත බවත්, වයස්ගත ගවයන් රැකබලාගැනීමට පියවර ගැනීමටත් නියමිත බවත් රජය නිවේදනය කර තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියේ “ගව ඝාතනය සම්බන්ධයෙන් තිබෙන පනත් සංශෝධනය කර විද්‍යානුකූලව පියවර ගන්නවා” යනුවෙන්.

අපේ ගවයා 

ගවයකු නාවන ගොවියෙක් athirasa.lk 

පුරාණයේ පටන් මෑත අතීතය දක්වාම ගවයා ගොවිතැනට යොදාගත්තා. නමුත් ට්‍රැක්ටර් සහ වෙනත් යන්ත්‍ර භාවිතය ආරම්භ වීමත් සමග ගවයාට තිබූ වැදගත්කම අඩුවුණා. මී ගවයන් කුඹුරු ගොවිතැනට මෙන්ම මීකිරි ලබාගැනීමටත් යොදාගත්තා. එළ ගවයන් බර කරත්තවලටත් එළකිරි ලබාගැනීමටත් භාවිත කළ සතෙක්. මේ නිසා අපේ සිංහල සහ දෙමළ ජන සමාජයේ ගවයා සැලකුණේ පූජනීය සතෙක් විදිහට යි. එදා එසේ වුව ද අද බීමට කිරි සපයාගැනීමත් රටේ බරපතලම ගැටළුවක් වෙලා. අපේ පුරාණ ගම්වල ‘ගවයා’ හා බැඳුණු සිරිත්-විරිත් අද ද යම් පමණකට නොනැසී පවතිනවා.  සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල දී හිසතෙල් ගාන විට ගවයන්ගේ ද තෙල් ගෑවේ ඒ නිස යි. රජරට ගම්වල හරකුන්ගේ ආරක්ෂාවට පට්ටියේ කිරි ඉතුරුම් මංගල්‍යය වාර්ෂිකව සිදු කළා.

වැඩ අරගෙන වයසට පත් වන විට හරකා ‘පිංගොනා’ ලෙස පිනටම ඇරියා.  ගවයන් තම දරුවන් ලෙසින්ම, පවුලේ සමීපතමයන් ලෙස සැලකූ නිසා උන්ට ‘ගවදරුවෝයැ’ යි ඇමතූවා. එළාර රජු සිය පුතාගේ අශ්ව කරත්තයේ හැපී වසු පැටවකු මිය ගිය නිසා පුතුට මරණ දඬුවම නියම කළ බව ඉතිහාසයේ සඳහන්.

ගව ඝාතකයන්ට රජ කාලේ දුන් දඬුවම් 

කර්මාන්ත ශාලාවක එළකිරි ලබාගනිමින්  https://www.youtube.com/watch?v=iHE6Z8SrOA8

අනුරාධපුර යුගයට අයත් වේවැල්කැටිය පුවරු ලිපියේ ගව ඝාතකයන්ට දැඩි දඬුවම් දුන් හැටි කියවෙනවා. එම සෙල්ලිපියේ ලිපියේ 25 සහ 26 පේළිවල මෙසේ සඳහන් වෙනවා

“මීවුන් ගෙරිගොන් එළුවන් මැරුවන් මරා පට්‌වනු කොට්‌ ඉසා”

මෙයින් කියවෙන්නේ මී හරකුන්, ගෙරිගොනුන්, එළුවන් මැරූ අයට මරණීය දණ්‌ඩනය නියම කළ යුතු බව යි. සතුන් නොමරා සොරාගෙන ගියේ නම් එසේ ගෙනගිය අය හොඳින් හඳුනාගෙන එකිනකාගේ කිහිල්ලේ සලකුණු එබ්බවිය යුතු ය. වරද කළ බව නිශ්චිතව දැනගන්නාතුරු සැකකරුට තැලිය යුතුය යි සෙල්ලිපියේ සඳහන්.

ගව ඝාතනයට එරෙහිව ගිනිතබා ගත් හාමුදුරුවෝ

මෑත අතීතයේ දී යළිත් වරක් ගව ඝාතනයට එරෙහිව බෞද්ධ සමාජයේ විරෝධතා මතුවුණේ, 2013 මැයි 24 වෙනි දා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට දී ගවඝාතනය නතර කරන ලෙස ඉල්ලා තම සිරුරට ගිනි තබාගෙන අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් නිස යි. ඊට පසු මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු ඇතුළු බෞද්ධ ප්‍රජාව අතරින් ගව ඝාතනයට එරෙහි හඩක් නැගුණ ද එය ටික කලකින් යටපත් වී ගියා. පසුව මේ හිමියන් වාර්ෂිකව අනුස්මරණය කිරීමට ද බෞද්ධ නායකයන් ඉදිරිපත් වුණා.

ඉන්දියාවේ ගව ඝාතන තහනමට මොකද වුණේ? 

ඉන්දියාවේ ගව ඝාතන තහනමට විරෝධය  BBC.COM 

වර්ෂ 2017 දී ඉන්දියාව පුරා ගව ඝාතනය තහනම් කිරීමට අවස්ථාව සැලසෙන නීතියක් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. එම නීතිය ක්‍රියාත්මක වූයේ නම් ඉන්දීය ඉතිහාසයේ පළමු වතාවට ගවයන් පමණක් නොව මී හරකුන් සහ ඔටුවන් ද මස් පිණිස විකිණීම තහනම් කරනු ලැබීමට ඉඩ තිබුණා. එසේ වූයේ නම් එමඟින් රටේ මස් කර්මාන්තයට මෙන්ම හම් කර්මාන්තයට ද ප්‍රබල පහරක් එල්ල විය හැකිව තිබුණු බව අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අගවිනිසුරුවරයා පැවසුවා. හින්දු භක්තිකයන්ගේ පූජනීය සත්වයෙකු වන ගවයන් ඝාතනය කිරීම ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් වුවත්, මී හරකුන් ඝාතනය කිරීම තහනම් කිරීමට ඉඩ තිබුණු පළමු අවස්ථාව එය යි. ඉන්දියාවේ බහුතර හින්දු ජනතාව හරක් මස් ආහාරයට නොගත්තත් කතෝලික, මුස්ලිම්, සහ දලිත් ජනයා එම මස් අනුභව කරනවා. 

ගව ඝාතනයට එරෙහි විරෝධතා පෝස්ටර් http: sthelogicalindian.com

මස් සහ හම් කර්මාන්තයෙන් යැපෙන ඉන්දියාවේ සුළුතර මුස්ලිම් ප්‍රජාව එම නීතියට දැඩි විරෝධය පළකළා. ඉන්දියාවේ ගව මස් ලෙසින් බොහෝ විට අලෙවි කෙරෙන්නේ මී ගව මස් වන අතර, ලොව ප්‍රධානතම ගව මස් අපනයනකරුවෙකු වන ඉන්දියාව එමඟින් උපයන වාර්ෂික ආදායම ඩොලර් බිලියන හතරක් පමණ වෙනවා.

ගවයන් රැකීමට ගව පෙරහරක් 

ධර්මපාල දිනයේ ගව පෙරහර deshaya.lk

පසුගිය සැප්තැම්බර් 17 දාට යෙදුණු අනගාරික ධර්මපාල ජන්ම සංවත්සර දිනය වෙනුවෙන් ගව ඝාතනය තහනම් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයැ යි පවසමින්, සරසන ලද ගවයන් ගමන් කළ පෙරහරක් පැවැත්වුණා. එය සංවිධානය කෙරුනේ  නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන් විසින්.  මනාව සරසන ලද ගවයන් 35ක පමණ සංඛ්‍යාවක් හා හෙද විදුහලේ සිසු සිසුවියන්, පාසල් සිසුන්, සමාජ ක්‍රියාකාරිකයන් හා බෞද්ධ භික්ෂූන්වහන්සේ පෙරටු කරගත් එම පෙරහර අභයාරාමයේ සිට කොළඹ මහ නගර සභාව ඉදිරිපිට ඇති ධර්මපාලතුමාගේ පිළිරුව තිබෙන ස්ථානය තෙක් ගමන් කළා. ඊට පසු ධර්මපාල තුමා සිහිපත් කර පෙරහර නිමාවට පත් කළා.

තහනමට විරෝධය

කෙසේ වුවත් රජය විසින් ගත් මෙම තීරණයට එරෙහිව විරෝධය දැක්වීමට ගව මස් ආශ්‍රිත කර්මාන්තයන්හි නියැලෙන්නන් විසින් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා. මහා පරිමාණ ගව මස් සැපයුම්කරුවන් මෙන්ම ගවමස් කඩ ව්‍යාපාරිකයන් ද මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබෙනවා. එමෙන්ම කිරි ගව ගොවිපොළ හිමිකරුවන් ද සඳහන් කර ඇත්තේ වියපත් වන ගවයන් මියයන තෙක් රැක බලා ගැනීමට සිදුවීම තම කර්මාන්තයට අමතර වැය බරක් මෙන්ම අලාභයක් බව යි. වාර්ෂිකව විදේශවලින් ගවමස් ආනයනයට විශාල විදේශ විනිමයක් වැයවන බවත් එයට එරෙහිව තර්ක කරන පිරිස් පවසන කාරණයක්.

Related Articles