මේ දිනවල ලංකාව ම දැවෙන උණුසුමක හෙලමින් කතා බහට ලක්වන කරුණක් වන්නේ හිටපු අගමැතිවරයා ව බලයෙන් පහ කරවාලමින් නව අගමැතිවරයෙකු පත් කරවාලීම. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු වූ මෙකී ඉවත් කිරීමත්, නව පත් කිරීමත් රටේ බල පවත්නා නෛතික තත්ත්වය හා කෙතෙක් දුරට අනුගත වන්නේ ද, නොවන්නේ ද, යන්න පිළිබඳ දැවැන්ත කතිකාවතක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. මේ දිනවල කරළියේ බෙහෙවින් ම අසන්නට ලැබෙන වචන කිහිපයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය/ ජනතා පරමාධිපත්‍ය (Democracy), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදය (Constitutionalism), පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය (The Supremacy of Parliament/ Parliamentary Sovereignty), නීතියේ ආධිපත්‍ය (Rule of Law), සංවරණ හා තුලන ක්‍රමය (Checks & Balances) හඳුනාගත හැකියි.
ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ජනතා පරමාධිපත්‍ය යන්නෙහි සරල අර්ථය වන්නේ “රාජ්‍යයක පාලනය සම්බන්ධ ව තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනතාව සතු ය” යන්න යි. රාජ්‍යයක් කුඩා වන්නේ නම් සියලුම පුරවැසියන්ට පාලනය සඳහා සම්බන්ධ විය හැකියි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යි. නමුත් යම් රාජ්‍යයක් ප්‍රමාණයෙන් විශාල වන විට සහ ජනගහනය අධික වන විට සියලු දෙනාට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම කළ නොහැක්කක්. සියලු දෙනාට පාලනය මෙහෙයවීමට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්තාව නොමැති බැවින්, තමන් වෙනුවට, තමන්ව නියෝජනය කරමින් රාජ්‍ය පාලනය කිරීමට ඔවුන් ඡන්දයක් පවත්වා නියෝජිතයන් තෝරා පත් කරගන්නවා. එසේ පත් කරගන්නා ජනතා නියෝජිතයන් සිටින ආයතනය පාර්ලිමේන්තුව නමින් හඳුන්වනවා. එය වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. එවිට එම තේරී පත්වන නියෝජිතයන් ක්‍රියාත්මක කරන්නේ තමන්ට බලය දුන් ජනතාවගේ එකී බලය මත පිහිටා යි. එංගලන්තය සතු ව ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවතින්නේ නැහැ. ඒ අනුව ඔවුන් ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනය යන පදනම සහිත පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය යන සංකල්පය මත. ශ්‍රී ලංකාවත් මෙම සංකල්පය හඳුනාගන්නවා. පාර්ලිමේන්තුව ස්වාධිපත්‍ය බලය ලබාගන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත තේරී පත්වීම නිසාවෙනුයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත රාජ්‍යයක්. වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව දක්වන්නේ “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතු බවත්, එකී පරමාධිපත්‍ය බලය අත්හල නොහැකි බවත්, පරමාධිපත්‍ය බලය තුළට පාලන බලතල, මූලික අයිතිවාසිකම්, සහ ඡන්ද බලය ද ඇතුළත් බවත් ය. 4(අ) අනුව්‍යවස්ථාව දක්වන්නේ ජනතාවගේ ව්‍යවස්ථාදායක හෙවත් නීති සැකසීමේ බලය ජනතාව විසින් පත් කරගන්නා පාර්ලිමේන්තුව විසින් සහ ජනමත විචාරණයක දී නම් ජනතාව විසින් ක්‍රියාත්මක කරවන බව යි. 4(ආ) අනු ව්‍යවස්ථාව අනුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කළ යුත්තේ ජනතාව විසින් තෝරා පත්කරගත් ජනාධිපතිවරයා යි. නව පත්කිරීමේ දී විධායක බලය අයුතු අන්දමින් භාවිත වූ බවටත්, එහෙයින් ජනපතිතුමන්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවටත් තර්කයක් ඉදිරිපත් වුණා.
නීතියේ ආධිපත්‍ය යනු රාජ්‍යය තුළ පනවා තිබෙන නීතියට අධිපතිත්වය දෙමින් උත්තරීතරත්වයෙහි තබා ක්‍රියාත්මක කිරීමත්, ඊට ගරු කිරීමත් ලෙසින් සරල ව දැක්විය හැකියි. සංවරණ හා තුලන ක්‍රමය යනු දේශපාලන බලය එක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් අත කේන්ද්‍රගත වීම වළක්වාලන ක්‍රමවේදයක්. ව්‍යවස්ථාදායකය විසින් විධායකය අභිබවා යාමත්, විධායකය ව්‍යවස්ථාදායකය අභිබවා තීරණ ගැනීමත් සිදු නොවන සේ විශේෂයෙන් ම ව්‍යවස්ථාදායකය සහ විධායකය යන ආයතන අතර බල තුලනයක් ඒ හරහා සිදුකරනවා. අවශ්‍ය විට අධිකරණ සහය ලබා ගැනීමටත් මෙහි දී අවස්ථාව හිමි වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක යි. එකින් එක විස්තර කරන ලද මෙම සංකල්පයන් ශ්‍රී ලංකාවේ උද්ගත වූ වාතාවරණයට ආදේශ කර එහි නිත්‍යනුකූල සහ යුක්ති යුක්තභාවය සාකච්ඡාවට බඳුන් කළ හැකියි.
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්ඡේදයේ, විධායකයට අයත් අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ ව අදාළ වන නෛතික ප්‍රතිපාදන දැක්වෙනවා. මෙම පරිච්ඡේදය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සංශෝධනයට ලක්වෙනවා. ඒ අනුව සංශෝධිත 42 (4) අනුව්‍යවස්ථාව දක්වන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් දිනාගෙන ඇති පුද්ගලයාව ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස පත් කළ යුතු බව යි. එහෙත් අග්‍රාමාත්‍යවරයෙකු සිටිය දී ඔහුව ඉවත් කර වෙනත් අයෙකු පත් කළ හැකි ද? සංශෝධිත 46 (2) අනුව්‍යවස්ථාව දක්වන්නේ අග්‍රාමාත්‍යවරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මඟින් ඉල්ලා අස් වුවහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවූවහොත් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටත් යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද, ඒ තාක් කල් ස්වකීය ධුරය දරන බව යි. 19 වන සංශෝධනයට පෙර, ජනාධිපතිවරයාගේ අත්සනින් යවන ලිපියකින් අගමැති ව ඉවත් කිරීමට ප්‍රතිපාදන පැවතියත්, සංශෝධනය මඟින් එය ඉවත් කර තිබෙනවා. මෙම සිදුවීමේ දී නව අගමැතිතුමන්ගේ පාර්ශවයෙන් ගෙන ආ තර්කයක් වූයේ අමාත්‍ය මණ්ඩලයේ විසිරීමක් සිදු වූ බැවින්, තවදුරටත් අමාත්‍ය මණ්ඩලයක පැවැත්මක් නොවන බැවින් පෙර අග්‍රාමාත්‍ය ධුරය අහෝසි වී ගිය බවත්, එනයින් නව පත් කිරීමක් සිදු කළ හැකි බවත් ය.
සංශෝධිත 46 (3) අනු ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඉවත් කිරීම ජනපති විසින් සිය අත්සන සහිත ලිපියකින් කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මත යි. එසේ නොමැති නම් අමාත්‍යවරයෙකුට සිය අත්සන සහිත ලිපියක් ජනපතිට එවා ඉල්ලා අස්වීමට ද හැකියි. තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන විට ද ඇමතිවරයෙකුගේ ධුරය අහිමි වනවා. ඉහත අවස්ථා තුනේ දී හැර අමාත්‍ය මණ්ඩලය පවතින තාක් ඔවුන්ගේ ධුරයන් පවතිනවා. සංශෝධිත 48 ව්‍යවස්ථාව අමාත්‍ය මණ්ඩලයේ විසිරීම පිළිබඳ දක්වනවා. 48 (1) අනුව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා ව ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට අමාත්‍ය මණ්ඩලය විසිරීම සිදුවනවා. 48 (2) අනු ව්‍යවස්ථාව දක්වන පරිදි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) ප්‍රතික්ෂේප වූ විට හෝ ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත වූ විට ද, අමාත්‍ය මණ්ඩලය විසිරිය යුතු යි. මෙතෙක් ධුරයේ රැඳී සිටි අගමැතිවරයාගේ අක්‍රමිකතා දක්වා විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවත් ඉන් ඔහු පරාජයට පත් වන්නේ නැහැ. ඒ අනුව ඔවුන් තර්ක කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ විසිරී යාමක් සිදු නොවූ බව යි.
නව අගමැතිවරයා ව පත් කිරීමට සහාය දුන් පාර්ශවයේ තර්කය වන්නේ තමන් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත් බව යි. 46 (5) අනුව්‍යවස්ථාව ජාතික ආණ්ඩුවක් නිර්වචනය කරන අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩි ම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම, සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවකි. 46 (1) (අ) අනුව්‍යවස්ථාව දක්වන්නේ අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍ය සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු බව යි. 46 (1) (ආ) අනුව්‍යවස්ථාව දක්වන්නේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාවේ ද, නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවේ ද එකතුව හතළිහ නොඉක්මවිය යුතු බව යි. නමුත් 46 (4) අනුව්‍යවස්ථාව දක්වන්නේ 46 (1) අනුව්‍යවස්ථාවේ කුමක් දැක්වුණත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේ දී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව ද, නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව ද පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු බව යි. මෙකී පදනම මත හිඳ තර්ක කරමින් නව අගමැතිවරයා යටතේ අමාත්‍ය මණ්ඩලයක් ද පත් කරගැනීමට පියවර ගෙන ඇත.
උක්ත ප්‍රතිපාදන සහ නෛතික සංකල්පයන් විවිධ අයුරින් නිර්වචනයන්ට ලක් කරමින් ජාත්‍යන්තරයෙන් විවිධ මත දැක්වීම් සහ බලපෑම් මේ වන විට එල්ලවෙමින් පවතිනවා. හාන්ස් කෙල්සන් නම් නීතිවේදියා දක්වන්නේ රටක පාලනයට අදාළ මූලික නියාමය යනු, මූලික නියාමය බවට ජනතාව පිළිගන්නා නියාමය වන බව යි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විය හැක. නොඑසේ නම් කිසියම් පුද්ගලයෙකුගේ අණක් විය හැකිය. කෙල්සන් නමැති නීතිවේදියා ඉදිරිපත් කරන ලද නීතිය පිළිබඳ නිර්මලවාදයට අනුව තමන් පාලනය වන්නේ කෙසේදැ යි, කුමකින්දැ යි යන ජනතා පිළිගැනීම හරහා රටේ මූලික නියමය තීරණය වෙනවා. යම් විටෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවතින විට පවා එය පසෙකා ලා ජනතාව පිළිගන්නේ කිසියම් පුද්ගලයෙකුගේ විධානයක්, තීන්දු තීරණයක් නම් එවිට ඔවුන්ගේ පිළිගැනීම මත එම අවස්ථාවේ මූලික නියාමය හෙවත් Grundnorm බවට පත්වන්නේ අදාළ පුද්ගල තීන්දුව යි.