2005 ජූලි මාසයේ දී ඉන්දියාවේ වාණිජ අග නගරය වූ මුම්බායි, අධික මෝසම් වර්ෂාවකට මුහුණ දුන්නා. පැය දොළහක් වැනි කාලයක් තුළ අඟල් 25 ක් පමණ උසකට මුම්බායි නගරය ජලයෙන් යට කිරීමට තරම් එම වර්ෂාව දරුණු වුණා. වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ලෝකයේ කාර්යබහුලත ම නගරයක් වූ මුම්බායි හි එදිනෙදා වැඩ කටයුතු තාවකාලිකව ඇණ හිටියා. ක්‍රම ක්‍රමයෙන් වැඩි වූ ජල මට්ටම හමුවේ බොහෝ නගරවාසීන් දුම්රිය ස්ථාන, පදික වේදිකා වල අතරමං වූ අතර, කිසිම බාධකයකට නැවැත්විය නොහැකි නගරයේ එක්තරා කාර්යශූර ශ්‍රමිකයන් පිරිසකටත් වර්ෂාවෙන් බලපෑම් එල්ල වුණා. මේ කාර්යශූර පිරිස හඳුන්වන්නේ “ඩබ්බාවාලා” යනුවෙන්.
කෑම රැගෙන යාම සඳහා භාවිත කරන සිලින්ඩාකාර ටින් හෝ ඇළුමීනියම් බහාලුම් ඉන්දියාවේ ඉතා ජනප්‍රිය යි. මෙම බහාලුම් “ඩබ්බා” ලෙස හඳුන්වන අතර, ඒවා රැගෙන යන්නන්ට “ඩබ්බාවාලා” යන නම පටබැඳී තිබෙනවා. ඉතා ම විශ්වාසනීය සහ කාර්යශූර ආහාර බෙදා හරින්නන් ලෙස සියවසකටත් වඩා පැරණි ඉතිහාසයක් සහ ගෞරවයක් ඔවුන් සතු යි. එබැවින්, ස්වභාවික විපතකට පවා ඔවුන් වැලැක්විය හැක්කේ ස්වල්ප කාලයකට පමණ යි.
මුම්බායි නගරයට බලපෑ ගංවතුරේ දෙවැනි දිනයේ දී ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් වීමටත් පෙර මුලින් ම නගරයේ සේවා ක්‍රියාත්මක කළේ ඩබ්බාවාලා මිනිසුන්. ඔවුන් ගංවතුරේ ඇවිද යමින් තම සුපුරුදු රාජකාරිය ආරම්භ කළ අතර, ඕනෑම අමිහිරි අත්දැකීමක් විඳ දරා ගැනීමේ “මුම්බායි සංකේතය” බවට පත් වුණා.
සාම්ප්‍රදායික “ෆුඩ් ඩිලිවරි” සේවාව
කිරන් ගවන්දෙ යනු මුම්බායි නගරය මූලික කරගත් තවත් එක “ඩබ්බාවාලා” කෙනෙක්. සෑම උදෑසනක ම සතියේ දින හයක් මුම්බායි හි පහළ පරෙල් ප්‍රදේශයේ “ඩබ්බා” ලෙස හඳුන්වන ආහාර බහාලුම් නිවෙස්වලින් එකතු කිරීම ඔහුගේ පළමු රාජකාරිය යි. මේ සඳහා කිරන් ගවන්දෙ ඇතුළු සුවහසක් ඩබ්බාවාලාවරුන්ට පා පැදිය පමණක් සෑහෙනවා. නිවෙස්වලින් මෙලෙස ලබා ගන්නා ආහාර ඇසුරුම් (ඩබ්බා) නියමිත වේලාවට ම අදාළ රැකියා ස්ථානයේ නියමිත පුද්ගලයාට ලබා දීම මොවුන් සිදු කරනවා.
ඩබ්බාවාලාවරුන් අවන්හල් මඟින් සිදු කරන ඇණවුම් පාරිභෝගිකයන්ට ගෙන දීම සිදු කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් නිවසේ පිසූ ආහාර (බොහෝවිට පාරිභෝගිකයාගේ නිවසින්) රැකියා ස්ථානවලට ගෙනවිත් දීම සිදු කරනවා. නිවසේ පිසූ ආහාරය රැකියාව කරන පුද්ගලයා ම රැගෙන නොයෑම ඔබ කුතුහලයට පත් කරනවාත් ඇති. ඒ සඳහා බලපාන හේතු කිහිපයක් ම තිබෙනවා. ඇත්ත වශයෙන්ම “ඩබ්බා” නමැති ආහාර බහාලුම් අපේ “බත් මුල” වගේ සරල නැහැ. සිලින්ඩාකාර “ඩබ්බා” බහාලුමක තට්ටු කිහිපයක් පවතින අතර, ඒවායේ ප්‍රධාන ආහාරය, ව්‍යංජන කිහිපයක් සහ අතුරුපසක් පවා අන්තර්ගත වන අවස්ථා තිබෙනවා.
මුම්බායි වැනි අතිශය කාර්යබහුල සහ පොදු ප්‍රවාහන සේවාවල සෙනඟ පිරී ඉතිරී යන ප්‍රදේශයක මෙවැනි ආහාර ඇසුරුමක් රැගෙන යෑම කිසිසේත් ම ප්‍රායෝගික වන්නේ නැහැ. ඒ සඳහා මුම්බායි හි වෘත්තිකයන්ට අතරමැදියෙක් අවශ්‍ය වෙනවා. ඉන්දීය ජාතිකයන් තවමත් නිවසේ පිසින ආහාර මත විශ්වාසය තබන අතර, පිටස්තර කෑමවලින් රෝගී වීමේ අවදානම අවම කරමින් වියදම් කළමනාකරණය කිරීමේ හැකියාවත් එයින් අත් වෙනවා.
ඩබ්බාවාලාවරුන්ගේ සේවය ලබන ඉන්දීය ගෘහණියන්ට (විශේෂයෙන්ම මුම්බායි) අලුයම අවදි වී කාර්යබහුල වීමේ අවශ්‍යතාවක් නැහැ. සිය සැමියා, දරුවන් රැකියාවට පිටත් වීමෙන් පසු නිදහසේ රසවත් ආහාර වේලක් සකස් කර දෙන්න ඔවුන්ට අවස්ථාව හිමි වෙනවා. අනෙක් අතට, ඉන්දීය ගෘහණියන් සහ ඩබ්බාවාලා මිනිසුන් අතර ඇත්තේ සාම්ප්‍රදායික බැඳීමක්. ආයතනයක ආරක්ෂක නිලධාරියාගේ සිට ප්‍රධාන විධායක නිලධාරියා දක්වා වූ විශාල පරාසයක වෘත්තිකයන් ඩබ්බාවාලා ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගන්නවා.
නවීනත්වයටත් අභියෝගයක්
මිලියන ගණනක ජනතාවක් සහ රැකියා ස්ථාන පවතින මුම්බායි නගරයේ ආහාර බෙදාහැරීමේ සේවාවක් ඉතා නිරවද්‍ය සහ කාර්යක්ෂම ලෙස පවත්වා ගැනීම පහසු ක්‍රියාවක් නොවෙයි. බෙදා හැරීමේ ක්‍රියාවලිය කොතරම් සැලසුම් සහගතව සිදු කළත්, නගරයේ පවත්නා කලබලකාරී ස්වභාවය සහ තදබදය නොවැලැක්විය හැකි සාධක ලෙස බෙදා හැරීමේ ක්‍රියාවලියට බලපානවා. මෑතක සිට ශ්‍රී ලංකාවෙත් ප්‍රසිද්ධ වූ ඇතැම් “ෆුඩ් ඩිලිවරි ඇප්ස්” ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වුණත්, එහි ඇති ඇණවුම් ප්‍රමාද වීම්, තාක්ෂණික දෝෂ සහ අනෙකුත් ප්‍රායෝගික ගැටලු සියයට සියයක් විසඳී නැහැ. ඩබ්බාවාලාවරුන්ට මෙවන් ගැටලු අදාළ වන්නේ නැහැ. ඔවුන් ආහාර බෙදා හැරීමේ ක්‍රියාවලිය වසර 125 ක් මුළුල්ලේ ඉතා සාර්ථක ව සිදු කරගෙන යනවා.
ඩබ්බාවාලාවරුන්ගේ බෙදා හැරීම් ජාලයේ සංකීර්ණත්වය, විශ්වාසනීයත්වය සහ නිවරද්‍යභාවය අධ්‍යයනය කිරීම සඳහා ලෝ ප්‍රකට ව්‍යවසායකයන්, සංවිධාන පවා මුම්බායි නගරයට පැමිණ තිබෙනවා. තාක්ෂණය, කළමනාකරණය, කාර්යක්ෂමතාව, සංවිධානාත්මක බව යන කරුණු අරභයා ආයතනික ව්‍යුහයන් වෙනස් කළ හැකි අන්දම ඔවුන් ඩබ්බාවාලාවරුන් ගෙන් ඉගෙන ගෙන තිබෙනවා.
නිවරද්‍යභාවයේ සහතිකය
උසස් තාක්ෂණයක් නොමැති වුවත්, ඩබ්බාවාලා ශ්‍රමිකයන් ලෝකයේ සාර්ථක ම සැපයුම් පද්ධතියක් ලෙස පිළි ගැනෙනවා. මුම්බායි නගරය කේන්ද්‍ර කර ගනිමින් පන්දහසක පමණ ශ්‍රම බළකායක් “ඩබ්බා” බෙදා හැරීම සඳහා සංවිධානගත වී ඇති අතර, දෛනික ව දිවා ආහාර බහාලුම් ලක්ෂ දෙකක් පමණ සංසරණය වීම සිදු වෙනවා.
ක්‍රියාවලිය අතරතුර සිදුවන අත්වැරදීම් අතිශයින් දුර්ලභ වීම මෙම සේවාවේ ඇති ප්‍රධානත ම විශේෂත්වය යි. දිනකට ලක්ෂ ගණනින් ආහාර බෙදා හැරීම් වාර ගණනක් සිදු කළත්, ආහාර බහාලුමක් වැරදි පුද්ගලයකු අතට පත්වීමේ හෝ ප්‍රමාද වීමේ වාර්ෂික අගය පවතින්නේ වාර 400 ක් වැනි අවම අගයක යි. 2010 දී හාවර්ඩ් ව්‍යාපාරික විද්‍යාලය “Six Sigma” ශ්‍රේණිගත කිරීමට පවා මුම්බායි හි සාම්ප්‍රදායික ආහාර බෙදා හැරීමේ සේවාව සුදුසු බව තීරණය කළේ මේ විස්මිත නිරවද්‍යභාවය නිසා යි.
“Six Sigma” යනු අඩුපාඩු ඉවත් කරමින් ව්‍යාපාරවල ලාභය ඉහළ නැංවීමට උපකාර වන තත්ත්ව පාලන මෙවලමක් හෝ ශිල්පීය ක්‍රමයක්. යම්කිසි ක්‍රියාවලියක් අරබයා “Six Sigma”අපේක්ෂා කරන නිරවද්‍යභාවය ඒකක හෝ සිදුවීම් මිලියනයකට දෝෂ 3.4 ක් වෙනවා. ඩබ්බාවාලාවරුන්ගේ විශ්වාසනීයත්වය ලෝකයට ඔප්පු කිරීමට මීටත් වඩා එහා ගිය සාක්ෂියක් අවශ්‍ය නොමැති තරම්. රිචඩ් බ්‍රැන්සන් පවා ඩබ්බාවාලා ශ්‍රමිකයන්ගේ රහස් ඉගෙනීමට දිනක කාලයක් ඔවුන් සමඟ ගත කොට තිබෙනවා.
ඩබ්බාවාලා ක්‍රියාත්මක වන හැටි
මහාදේවෝ හවාජි බච්චේගේ මූලිකත්වයෙන් 1890 දී ආරම්භ වූ මෙම ආහාර බෙදා හැරීමේ සේවාවට මුල දී ඩබ්බාවාලා ශ්‍රමිකයන් 100 දෙනකු පමණ සම්බන්ධ වී තිබෙනවා. 1930 දී සියලු ඩබ්බාවාලා ශ්‍රමිකයන් ඒකරාශී කොට වෘත්තීය සංගමයක් පිහිටුවීමට තරම් හවාජි බච්චේගේ අදහස සාර්ථකත්වයට පත් වුණා. 1956 දී “නුටාන් මුම්බායි ටිෆින් බොක්ස් සප්ලයර් ට්‍රස්ට්” නමින් පුණ්‍යාතනයක් ලෙස ලියාපදිංචි වූ මෙම සේවාවේ වාණිජ අංශය හඳුන්වන්නේ “මුම්බායි ටිෆින් බොක්ස් සප්ලයර්ස් ඇසෝසියේෂන්” යනුවෙන්.
කාලෝචිත බව මෙම සේවාව තුළ සැලකිල්ලට ගන්නා මූලික ම අංගය යි. සෑම දිනක ම දහවල් එකට සියලු ආහාර බහාලුම් පාරිභෝගිකයා වෙත ළඟා විය යුතු නිසා බෙදා හැරීමේ පියවර පැය තුනක පටන් සිදු කළ යුතු වෙනවා. රථ වාහන පොලිසිය ඇතුළු ව නගරයේ සියලු දෙනා පාහේ ඩබ්බාවාලා ශ්‍රමිකයන්ගේ සේවය අගය කරන හෙයින්, ඔවුන්ගේ කටයුතුවලට බාධා පැමිණෙන්නේ නැහැ.
සෑම ඩබ්බාවාලා ශ්‍රමිකයකුට ම ආහාර බහාලුම් එකතු කිරීමට නියම කළ ප්‍රදේශයක් තිබෙනවා. පෙරවරු දහයට පමණ නියම කළ ප්‍රදේශයෙන් ආහාර බහාලුම් 30 ක් පමණ එකතු කර ගන්නා එක් එක් ශ්‍රමිකයන්, පයින් හෝ පා පැදියෙන් ප්‍රාදේශිය කාර්යාලයට හෝ දුම්රිය ස්ථානයකට ළඟා වී එකතු කරගත් ආහාර බහාලුම්, වර්ග කිරීම සිදු කරනවා. ඉන්පසු දුම්රියට ගොඩ වී නියම කර ඇති බෙදා හැරීමේ කලාපයට ඉක්මනින් ම ළඟා වෙන්න මොවුන් උත්සහ කරනවා. නගරය පුරා නන් දෙසින් පැමිණෙන ආහාර බහාලුම් බෙදා හැරීමේ කලාපයේ දී නැවත වර්ග කිරීමකට ලක් කරන අතර, ඉන්පසු ඒවා පා පැදිවල හෝ අත් කරත්තවල පටවා නියමිත පාරිභෝගිකයන්ට ලබා දීම සිදු කෙරෙනවා.
මෙම සංකීර්ණ හුවමාරු මාලාව සෑම දිවා ආහාර බහාලුමක සටහන් කර ඇති ගුප්ත අක්ෂරාංක සහ වර්ණ කේතයක් මත රඳා පවතිනවා. නොදන්නා අයට එම කේත විස්තර කිරීම අපහසු වුවත්, ඩබ්බාවාලාවරුන්ට ඒවා පහසුවෙන් තේරුම් ගත හැකි යි. මෙම කේත මඟින් එකතු කිරීමේ ස්ථාන වල කෙටි යෙදුම්, ආරම්භක ස්ථානය සඳහා වර්ණ සලකුණක්, ගමනාන්තයට අදාළ අංකයක් සහ ආහාර බහාලුම ළඟා විය යුතු ගොඩනැඟිල්ල හා/හෝ තට්ටුව සංකේතවත් වෙනවා. බෙදා හැරීමට අමතර ව, හිස් වූ ආහාර බහාලුම් නැවත නිවෙස් කරා රැගෙන යෑමේ පද්ධතියක් ද ක්‍රියාත්මක වෙනවා. ආපහු ගමනේ දී ආහාර බහාලුම් සැහැල්ලු වන නිසා උදෑසන මෙන් විශාල වෙහෙසක් දැරීමට සිදු වන්නේ නැහැ.
සමානාත්මතාවයේ තෝතැන්නක්
සියවසක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වා ගෙන යන මෙම සේවාව වටා මෙතරම් ශ්‍රමිකයන් පිරිසක් ඒකරාශී වීම පිටුපස හේතු කිහිපයක් තිබෙනවා. එම හේතුවලට භෞතික මෙන්ම ආධ්‍යාත්මික වටිනාකමකුත් තිබෙන බව පෙනී යනවා.
සාමාන්‍යයෙන් ඩබ්බාවාලා කෙනකුට මාසිකව ඉන්දීය රුපියල් 12,000 ක පමණ වැටුපක් හිමි වෙනවා. එය ඉන්දියාව තුළ නුපුහුණු ශ්‍රමය සඳහා ලබා දෙන හොඳ වැටුපක් ලෙස සැලකීමට පුළුවන්. ඩබ්බාවාලා ශ්‍රමිකයකුට යම් කීර්තියක් සහ ගෞරවයක් ඇති හෙයින්, ඒ පිළිබඳත් ඔවුන් සැලකිලිමත් වෙනවා. මුම්බායි නගරයේ ක්‍රියාත්මක වන පුණ්‍ය කටයුත්තක් ලෙස හඳුනා ගෙන ඇති නිසා මොවුන්ට ජංගම දුරකථන වැනි භාණ්ඩ මිල දී ගැනීමේ දී යම් වට්ටමක් ලබා දීමට පෙළඹෙන අවස්ථා ද තිබෙනවා. ඩබ්බාවාලාවරුන්ගේ සුබසාධනය වෙනුවෙන් දායක වීමට කැමති සංවිධාන මොවුන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳගෙන ඇති හෙයින්, ඔවුන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව වැනි වරප්‍රසාද හිමි වෙනවා.
සෑම ඩබ්බාවාලා කෙනකු ම ඔවුන් අයත් වන සහයෝගීතාවයේ හෝ සංගමයේ සමාන හවුල්කරුවන් බව පැවසෙනවා. ඔවුන් අතර “මුකදම්” යනුවෙන් සුපරීක්ෂකවරුන්ට සමාන භූමිකාවක් ඉටු කරන සාමාජිකයන් සිටියත්, කිසිවෙක් කිසිවකුට “සර්” යනුවෙන් ඇමතීමට අවශ්‍ය වන්නේ නැහැ. රැකියා ගරුත්වය, සමානාත්මතාව, සුබසාධනය ඉහළින් ම පවත්වා ගෙන යන එකමුතුවක් ලෙස ඔවුන් කවරදාකවත් අතෘප්තිකර හැඟීමකින් සේවයේ නියුතු වන්නේ නැහැ.
දැඩි කාලසටහනකට යටත්ව සේවය කළ යුතු වුවත්, ආහාර වර්ග කරන අතරතුර ඉතා සැහැල්ලුවෙන්, විහිළු තහළු කරමින් රාජකාරියේ නිරත වීම ඔවුන්ගේ ස්වභාවය යි. දැඩි ක්‍රියාශීලිත්වයෙන් කටයුතු කරන විටදී පවා ඔවුන් වෙතින් ආතතියට පත් වූ ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. සුදු පැහැති කුර්තා ඇඳුමින් සහ සාම්ප්‍රදායික ගාන්ධි තොප්පියෙන් සැරසුණු ඩබ්බාවාලාවරුන්ට ඔවුන්ගේ ම කියා අනන්‍යතාවක් තිබෙනවා.
ඔවුන්ගේ රැකියාව සමඟ බැඳුණු යම් ආධ්‍යාත්මික පසුබිමකුත් තිබෙනවා. සෑම ඩබ්බාවාලා කෙනකු ම පාහේ “වකාරි” නමැති ප්‍රජාවකට අයත් වන අතර, ඔවුන් විතාලා නමැති හින්දු දෙවියකු ඇදහීම සිදු කරනවා. විතාලා දෙවියන්ගේ ඉගැන්වීමට අනුව ආහාර ලබාදීම යමකුට කළ හැකි උතුම් ම පරිත්‍යාගය බව ඩබ්බාවාලාවරුන්ගේ විශ්වාසය යි. තමාගේ ආහාර වේල උපයා ගන්නා අතරතුර අධ්‍යාත්මික මාවතේ ඉදිරියට ගමන් කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් රැකියාව නිසා හිමිවන බව ඩබ්බාවාලාවරුන් පවසනවා.
ප්‍රබල සමාජ බලපෑම්කරුවන්
ඩබ්බාවාලාවරුට පිළිගැනීමක් ඇත්තේ ඉන්දියාව තුළ පමණක් ම නොවෙ යි. ජාත්‍යන්තර අවධානය දිනාගත් අවස්ථාවලට පවා ඩබ්බාවාලාවරුන් සහභාගී වී තිබෙනවා. එයින් ප්‍රධාන ම අවස්ථාව ලෙස චාල්ස් කුමරා සහ කැමිලා පාකර් අතර සිදුවූ රාජකීය විවාහ මංගලෝත්සවය සැලකිය හැකි යි. ඩබ්බාවාලවරුන් දෙදෙනකු එම අවස්ථාව සඳහා සහභාගි වී තිබුණා. ඉන්දියාවේ එක්තරා ප්‍රමුඛ පෙළේ දුරකථන සබඳතා ආයතනයක් සිය ප්‍රවර්ධන කටයුතු සඳහා ඩබ්බාවාලාවරුන්ගේ සහයෝගය ලබාගෙන තිබුණු අතර, ප්‍රමුඛ පෙළේ ආයතනවල දේශන සඳහාත් ඔවුන්ට ආරාධනා ලැබෙනවා.
මොවුන් සතුව ගිනස් වාර්තාවක් පවා තිබෙනවා. 2011 මාර්තු 21 වැනිදා ප්‍රකාශ් බාලි බච්චේ වැඩි ම ආහාර බහාලුම් සහිත පෙට්ටි ගණනක් හිස මත තබාගෙන යෑමේ ලෝක වාර්තාවට හිමිකම් ලැබුවා. සමාජීය කාරණා සම්බන්ධයෙන් ඔවුන් ගෙන් ලැබෙන පිටුබලයත් ප්‍රබල මට්ටමක පවතිනවා. ඒ සඳහා හොඳ ම උදාහරණය වන්නේ 2011 දී ඔවුන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය යි. අන්නා හසාරේ නමැති ප්‍රබල සමාජ ක්‍රියාකාරියකු සංවිධානය කළ දූෂණ විරෝධී ව්‍යාපාරයට සහාය දක්වමින් වසර 120 කට පසු ප්‍රථම වතාවට වැඩ වර්ජනයක් සිදු කිරීමට ඩබ්බාවාලාවරුන් තීරණය කළා.
විශ්වාසය ඔස්සේ අඛණ්ඩව
රශ්මිකා ෂාහ් යනු උත්සව සංවිධායකවරියක් ලෙස සේවය කරන තැනැත්තියක්. මුම්බායි කොටස් හුවමාරුවේ සේවය කරන සිය සැමියාට ආහාර ගෙන යෑම සඳහා ඇය වසර ගණනාවක සිට ශිවාජි සාවන්ත් යන ඩබ්බාවාලාගේ සේවය ලබා ගන්නවා.
“අපි කිසිම තාක්ෂණික මෙවලමකට කැමති නැහැ. අපි බොහෝ කලක පටන් මේ පුද්ගලයා ගැන දන්නවා. ඔහු නිසි පරිදි සේවාව සපයන බව අපිට විශ්වාස යි.”
ඇය බොහොම පැහැදීමෙන් සිය ඩබ්බාවාලාගේ සේවය ගැන කතා කරනවා. බොහෝ ගෘහණියන්ට සිය ඩබ්බාවාලා ගැන ඇත්තේ එවන් ධනාත්මක අදහසක්. මේ හේතුවෙන් තාක්ෂණය කොතරම් දියුණු වුණත්, ඩබ්බාවාලා ඉදිරියේ ඒවා තරගකාරී වන්නේ නැහැ. සේවයට එහා ගිය ගරුත්වයක් සහ සාම්ප්‍රදායික බැඳීමක් මුම්බායි නගරවාසීන් සහ ඩබ්බාවාලා අතර පවතිනවා. විශ්වාසනීය සේවයට අමතර ව ඩබ්බාවාලා කෙනකුගේ සේවය ඉතා ලාභදායී බවත් සැලකෙනවා. සාමාන්‍යයෙන් මොවුන්ගේ අය කිරීම මසකට ඉන්දීය රුපියල් 800 ක් පමණ යි.
ඩබ්බාවාලා ශ්‍රමිකයන්ගේ සේවය සිනමාවට පවා නැඟී තිබෙනවා. ඒ සඳහා හොඳ ම උදාහරණය වන්නේ “The lunchbox” සිනමා සිත්තම යි. ඉර්ෆාන් ඛාන්ගේ ප්‍රතිභාපූර්ණ රංගනයෙන් හැඩ වුණු “The lunchbox” හි කතාව ඩබ්බාවාලා කෙනකුට ඉතාම කලාතුරකින් සිදු වන අත් වැරදීමක් මත පසුබිම් වෙනවා. නමුත්, ඒ වැරැද්ද පසුව ඉතා මිහිරි අත්දැකීමක් බවට පත් වෙන්නේ ප්‍රේක්ෂකයා හැඟීම් තුළ අතරමං කරමින්.