පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මහා ඛේදවාචකයක් සිදු වුණා. ඒ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමයි. මේ වගේ කුණු කන්දක් දින දෙක තුනකින් නිර්මාණය වෙන්නේ නෑ. එසේ සිදු වීමට හේතුව රටේ නිසි කුණු කළමණාකරණයක් සිදු නොවීමයි. අධික ජනගහනයත් මේකට හේතුවක්. මේ වන විට ලෝකයේ සමස්ත ජනගහනය බිලියන 7ත් ඉක්මවා තිබෙනවා. එය වර්ෂ 2050 වන විට බිලියන 10ද ඉක්මවන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඉතින් ලෝකයේ කුණු එකතු වීමේ ශීඝ්‍රතාවය තව දුරටත් වැඩි වීමක් මිස අඩුවීමක් නම් වෙන්නේ නෑ.
ඉතින් අනාගතයට හෝ ප්‍රයෝජනයක් වේ යැයි සිතා අපි අදහස් කළා ලෝකයේ විවිධ රටවල් පාවිච්චි කරන ඉතාම සාර්ථක කසළ කළමණාකරණ වැඩපිළිවෙල කීපයක් ඔබ වෙත ගෙන එන්නට. යුරෝපීය රටවල් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම අතින් ඉදිරියෙන්ම සිටිනවා. මේ අතරින් ජර්මනිය, ඔස්ට්‍රියාව හා බෙල්ජියම ඉතා විශේෂයි.
ජර්මනිය
ජර්මනිය අතීතයේ සිටම නව නිර්මාණවලට හා කීර්තිමත් විද්‍යාඥයින්ට ප්‍රසිද්ධයි. කෙසේ නමුත් 1950 වන විට ජර්මනිය තුලත් කසළ එකතු වූ තැන් 50,000 ක් පමණ තිබුණා. නමුත් දැන් එහි ඇත්තේ එවැනි තැන් 300ක් පමණ. ඒවාට වෙන් කර හා වර්ගීකරණය කර රැගෙන එන කසළ පමණක් බාර ගැනෙනවා. 2005 දී ජර්මනිය සාමාන්‍ය කුණු කඳු තහනම් කරන ලද අතර ඔවුන් සැළසුම් කරගෙන සිටින්නේ 2022 වන විට ඉතිරි කුණු ගොඩවල් කිහිපයත් නැති කර දමා එකතු වෙන කසළ සම්පූර්ණයෙන්ම විදුලිය වැනි ශක්තීන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමටයි.
මේ කර්තව්‍යයෙන් ඔවුන් අනුමාන කරන පරිදි ඔවුන්ගේ සම්පූර්ණ ප්‍රාග්ධනයෙන් වසරකට යුරෝ බිලියන 3.7ක් ඉතිරි කර ගත හැකි අතර දැනටමත් කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් ඔවුන් ශක්ති ආනයනයෙන් 3% ක්ද, ලෝහ ආනයන වියදමෙන් 20% ක්ද ඉතිරි කරගෙන තිබෙනවා. සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා ආරම්භයේදී නවීන ක්‍රම හඳුන්වාදීමට වැඩි වියදමක් ගත වූවත් ජර්මානු ව්‍යවසායකයන් එය දකින්නේ අනාගතයේ ලොවටම ඉතා වැදගත් වෙන හා අත්‍යවශ්‍ය වෙන කර්මාන්තයකට අත්පොත් ලැබීමට ලැබෙන අවස්ථාවක් හැටියටයි.
ඔවුන්ගෙන් ලැබුණු අනුග්‍රහයෙන් කලින් කියපු කසළ ගොඩවල් 50000 කසළ දාහකයන් 70 කට හා ජෛව හා රසායනික කසළ සැකසීමේ කර්මාන්තශාලා 60 කට, කොම්පෝස්ට් නිෂ්පාදනාගාර 800කට පරිවර්තනය කර තිබෙනවා.
ජර්මනිය හඳුන්වා දී ඇති තවත් විශේෂ කසළ කළමණාකරණ ක්‍රමයක් තමයි තමයි ‘ග්‍රීන් ඩොට්’ හෙවත්’ කොළ තිත්’ ක්‍රමය. මේ ක්‍රමයේදී කසලවල වගකීම එය නිෂ්පාදනය කරන්නාට පැවරෙන අතර ඒ සඳහා ඔහු යම් ගෙවීමක් කළ යුතුයි. මේ නිසා ඉවතළන ද්‍රව්‍ය අඩුවෙන් යොදාගැනීමට නිෂ්පාදකයා පෙළඹෙනවා වගේම ප්‍රතිචක්‍රීකරණයටත් යොමු වෙනවා. මෙමඟින් භාණ්ඩ නිෂ්පාදනයේදී කඩදාසි, වීදුරු, ලෝහ වැනි දේ අඩුවෙන් පාවිච්චි කිරීමට නිපැයුම්කරුවන් පෙළඹෙන අතර මෙම කොළ තිත් ක්‍රමය කුණු නිෂ්පාදනය වසරකට ටොන් මිලියන 1 කින් අඩු කිරීමට දායක වී තිබෙනවා.
ඔස්ට්‍රියාව
ඔස්ට්‍රියාව කුඩා රාජ්‍යයක් වුණාට කසළ කළමනාකරණය අතින් නම් ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. සාම්ප්‍රදායික ක්‍රම වන බදු පැනවීම වැනි ක්‍රමවලින් ඔවුන් සෑහෙන දුරට කසළ ප්‍රශ්නය අවම කරගෙන තිබෙනවා.
මීට අමතරව ඔස්ට්‍රියානු ජෛව තාක්ෂණ ආයතනයක් මඟින් පොලි එතිලීන් තෙරැප්තලේට් හෙවත් පී.ඊ.ටී (PET) ප්ලාස්ටික් බෝතල් ජීරණය කළ හැකි දිලීරමය එන්සයිමයක් නිපදවා තිබෙනවා. මෙමඟින් පී.ඊ.ටී බෝතල්වල සංඝටකයේ මහා අණුව බිඳ හෙලා නැවතත් වඩා ප්‍රයෝජනවත් බහු අවයවික නිෂ්පාදනය කළ හැකියි. මේ එන්සයිමය යොදාගෙන මෙම ක්‍රියාවලිය ස්වහාවිකවම කළ හැකි අතර වෙනත් හානිදායක අතුරු ඵල කිසිවක් සෑදෙන්නේ නෑ.
පී.ඊ.ටී බෝතල් නවමු ලෙස නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය බොර තෙල්වලින් ලබා ගත යුතු අතර අවසානයේ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකිව තිබුණේ දහනයෙන් හෝ ඇඹරීමෙන් පමණයි. එ්වා මිලෙන් අධික වූත්, අඩු කාර්යක්ෂ්මතාවයෙන් යුතු වූත් ක්‍රමයන්.
බෙල්ජියම
බෙල්ජියමත් කසළ කළමනාකරණය අතින් ඉදිරියෙන්ම සිටින තවත් යුරෝපීය රටක්. මෙම රටෙහි නිෂ්පාදනය වන කසළ වලින් 75%ක්ම නැවත යොදාගන්නවා, නැතිනම් ප්‍රතිචක්‍රීකරණය කරනවා හෝ කොම්පෝස්ට් බවට පත් කරනවා. බෙල්ජියම ඉතාම දියුණු කසළ කළමණාකරණ තාක්ෂණ දෙකක් සිය රට වැසියන්ට හඳුන්වා දී තිබෙනවා. එනම් ‘එකොලයිසර’ ක්‍රමය හා ‘හරිත උත්සව හා තක්සේරු කිරීමේ මාර්ගෝපදේශනය’ යන ක්‍රමයි.
එකොලයිසර ක්‍රමයේදී කසළ එ්වා නිපදවන ප්‍රභවයේදීම හඳුනාගැනීම කෙරෙනවා. ඒ අනුව ගණනය කිරීමක් කොට කසළ ජනනය හා පරිසරයට වන බලපෑම අවම වන නිෂ්පාදන ක්‍රියාවලීන් හා භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම සිද්ධ කෙරෙනවා. මීට අමතරව ඒ ඒ නිෂ්පාදන සමාගම්වලට සිය ක්‍රියාවලීන්, භාණ්ඩ හා සේව වලින් වන කසළ ජනනය හා පරිසරයට වන බලපෑම් ගැන පූර්ව අධ්‍යනයකට අවස්ථාව සැළසෙනවා. මේ අනුව වඩාත් පරිසර හිතකාමී නිර්මාණවලට ඉතාම කාර්යක්ෂ්ම හා ලාභදායී ලෙස යොමු වීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනවා.
‘හරිත උත්සව හා තක්සේරු’ ක්‍රමය කසළ ජනනය අවම කරන්නට බෙල්ජියමේ භාවිතා වන ඩිජිටල් ක්‍රමයක්. මෙමඟින් උත්සව පවත්වන්නන්ට සිය ව්‍යාපෘතියෙන් පරිසරයට සිදු වන බලපෑමේ ස්වභාවය හා ප්‍රමාණය පිළිබඳව පෙරැයීම් කළ හැකි අතර බලපෑම අවම වන පරිදි ඒවා පැවත්වීමට රුකුළක් වෙනවා. මෙම ක්‍රමය ප්‍රවර්ධනය කරන සමාගමේ වෙබ් අඩවියේ පරිසර හිතකාමී හා නැවත යොදාගත හැකි පිඟන්, හැඳි-ගෑරොප්පු වැනි භාණ්ඩ ලබා ගත හැකි තැන් පිළිබඳව විස්තරද අඩංගුයි. මෙමඟින් එවැනි පරිසර හිතකාමී නිෂ්පාදනවලට අත දීමක්ද වෙනවා.
ඉහත කියපු ක්‍රමවලට අමතරව සමස්ථයක් ලෙස කසළ වලින් පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා විවිධ දියුණු ක්‍රම බොහෝ රටවල් අනුගමනය කරනවා. පහත දැක්වෙන්නේ කසළ වලින් වන බලපෑම අවම කර ගැනීමට ලෝකයේ විවිධ රටවල් වර්තමානයේ උපයෝගී කර ගන්නා දියුණු හා කාර්යක්ෂ්ම ක්‍රම කිහිපයක්.
නිර්වායු ජීර්ණය
මේ ක්‍රමය යොදාගන්නේ ජෛව කසළ (ශාක හෝ සත්ව ප්‍රභවයකින් බිහි වන කසළ) සඳහායි. මෙහිදී ඔක්සිජන් රහිත පරිසරයක ක්ෂුද්‍රජීවීන් භාවිතයෙන් කසළ ජීර්ණය කිරීමට ලක් කෙරෙනවා. කාබනික ඝන, අර්ධ ඝන හා දියරමය අපද්‍රව්‍ය සඳහා මේ ක්‍රමය යොදා ගත හැකියි. මේ ක්‍රමය ඉතා ඉක්මන් එකක් වන අතර අතුරු ඵල වන ජීව වායුව (මීතේන්) ඉන්ධනයක් හැටියටද යොදා ගන්න පුළුවන්.
කසළ මඟින් ශක්තිය නිපදවීම
මේ ක්‍රමය අතීතයේද උපයෝගී කරගනු ලැබුවා. කසළ දහනය කිරීම මඟින් නිපදවෙන තාපය ශක්තිය බවට පරිවර්තනය කර ගැනීම මෙහිදී සිදු වුණා. අදටත් බොහෝ රටවල් ඒ ක්‍රමය උපයෝගී කර ගන්නවා. සාමාන්‍ය දහනයේදී දුම වැනි කරදරකාරී අතුරුඵලත් නිපදවෙන නමුත් අළුතෙන්ම හඳුන්වා දී ඇති ක්‍රම මඟින් කාබනික කසළ කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් මිශ්‍රණයක් වන සංස්ලේෂ වායුව (Syngas) බවට පරිවර්තනය කෙරෙන අතර එම වායුව දහනය කර හුමාලය හා විදුලිය නිපදවීමට යොදා ගැනෙනනවා. ප්ලාස්මා ක්‍රමයේදී සංස්ලේෂ වායුව නිපදවන්නේ සෙල්සියස් අංශක 6000 ක පමණ උෂ්ණත්වයකින් යුතු ප්ලාස්මා දාහක මගින් කසළ දහනය කිරීමෙන්. මේ ක්‍රමයේදී කසළ ඒවායේ මූලික පරමාණුවලටම වියෝජනය වන අතර කිසිදු ශේෂයක් ඉතිරි වන්නේ නෑ.
මීට අමතරව ලෝකයේ තවත් ගැටළුවක් වී ඇති පොසිල ඉන්ධන හිඟ වීමට ප්‍රතිකර්මයක් ලෙසද කසළ යොදාගත හැකියි. කසළ දහනය කිරීමේදී අැති වන ජීව වායුව ස්වභාවික වායුවෙන් ධාවනය කිරීම සඳහා සැකසූ වාහනවලට කෙලින්ම යොදා ගත හැකියි.
ශුන්‍ය අපද්‍රව්‍ය (Zero Waste) ක්‍රමය
මෙය ඇත්තෙන්ම සත්‍ය ලෝකයේදී උදා කර ගත හැකි ඉලක්කයකට වඩා හැකිතාක් අපද්‍රව්‍ය අවම කර ගැනීම සඳහා යොදාගෙන ඇති සංකල්පයක්. මෙහිදී ඇත්තෙන්ම අවසාන ඉලක්කය යම් භාණ්ඩයක් හෝ සේවාවක් සැළසුම් කිරීමේදී ඉන් අනාගතයේදී බිහි වන අපද්‍රව්‍ය ප්‍රමාණය ශුන්‍යව තබා ගැනීමයි. මෙය කිසිදා උදා කරගත නොහැකි ඉලක්කයක් වුණත් ඒ මග යමින් ඉතා සාර්ථක ලෙස අපද්‍රව්‍ය ජනනය අවම කරගත් තැන් ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා.
නිෂ්පාදකයාගේ වගකීම
මේ ක්‍රමයත් ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂයෙන් සමහර රටවල විදුලි උපකරණ නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයා පාවිච්චි කර අවසන් වූ පසු එ්වායේ වගකීම නැවත භාරගත යුතුයි. පැරණි උපකරණ නැවත් ලබාගෙන ඒවායේ නැවත යොදාගත හැකි හෝ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කොටස් වෙන් කරගෙන අනික් කාෙටස් පරිසර හිතකාමී ලෙස බැහැර කළ යුතු ලෙස දියුණු රටවල නීති සැකසී තිබෙනවා.
කසළ ප්‍රභවයේදීම වර්ගීකරණය කිරීම
නවීන ලෝකය විවිධාකාරයේ කසළ නිෂ්පාදනය කරනවා. මේවා ප්‍රයෝජනවත් ආකාරයකට නැවත යොදා ගැනීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට නම් ඊට පෙර වර්ගීකරණය කළ යුතු වෙනවා. එය කල් යන වගේම ඉතාම වියදම් කාරී වැඩක්.
කසළ බැහැර කරද්දීම ඒවා වර්ගීකරණය කර බැහැර කළොත් මේ වියදම හා කාලය සම්පූර්ණයෙන්ම ඉතිරි කර ගන්නට පුළුවන් නේද? අද ලෝකයේ බොහෝ රටවල මේ ක්‍රමය අනුගමනය කෙරෙනවා. අඩුම ගණනේ කසළ දිරන, නොදිරන, වීදුරු හා යකඩ වශයෙන් වත් වෙන් කර දැමිය යුතු ලෙස සටහන් කරන ලද භාජන අද වන විට ශ්‍රී ලංකාවේ ද නගරබදව දකින්නට පුළුවන්. දැන් දැන් නගරසභා ද ගෘහාශ්‍රිත කුණු එකතු කරන්නේ වර්ගීකරණය කරගෙන.
ලෝකයේ කසළ කළමණාකරණය කිරීම අතින් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉතාම පහළ තැනක. එක් පසෙකින් ශක්ති අර්බුදයටත් පිළියමක් විය හැකි කසළ ශ්‍රී ලංකාව කියන රමණීය දිවයිනේ මනස්කාන්ත බව නැති කරන එක නම් දුකට කාරණාවක්. ලෙහෙසියෙන්ම ප්‍රයෝජනවත් දෙයක් කරගන්නට හැකියාව තිබෙන කුණු නිසා අපේම සහෝදර සහෝදරියන්ගේ ජීවිත අහිමි වී යාම නම් ඉතාම ඛේදනීයයි.
මේ ලිපියේ සඳහන් ක්‍රමවලින් බහුතරයක් නිවැරදි දැක්මකින් යුතුව ශ්‍රී ලංකාවේ පාරිසරික හා ආර්ථික වපසරිය තුළ ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ තිබෙනවා. ඒවාට නිසි බලධාරීන්ගේ අවධානය ඉක්මණින්ම යොමු වන්නේ නම් එය රටටත් ජනතාවටත් යහපතක්ම වෙනු ඇති.
1 කවරයේ පින්තූරය (www.deltasd.bc.ca)
මූලාශ්‍ර:
- greentumble.com
- waste-management-world.com