Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තායිලන්තය සමරන ආවේණික රාජ්‍ය උත්සව 8ක්

ශ්‍රී ලාංකිකයන් ලෙස අප සමරන උත්සව ගණනාවක් ඇත. ඒ අතර ඒ ඒ ජාතීන්ට සහ ආගම්වලට අයත් අය වෙන් වෙන්ව සමරන උත්සව මෙන්ම සියලුම දෙනා එක්ව පොදුවේ සමරන උත්සව ද වේ. ඒ ආකාරයට ම ලොව අනික් රටවල ද ඒ ඒ රටවලට ආවේණික වූ රාජ්‍ය උත්සව සැමරීම සිදු කෙරේ. ඒ අතරින් තායිලන්තයේ පැවැත්වෙන රාජ්‍ය උත්සව කිහිපයක් පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු. 

1). අලුත් අවුරුදු උත්සවය

1940 වන තෙක් තායිලන්ත ජනතාවගේ අලුත් අවුරුද්ද අප්‍රේල් මාසයේ 14 වැනි දිනට යෙදී තිබිණි. කෙසේ නමුත් රාජකාරි පහසුව තකා 1941 වසරේ ජනවාරි 1 වැනිදා සිට අලුත් අවුරුද්ද යෙදෙන දිනය ජනවාරි 1 වැනිදා යැයි සලකයි. ඒ අනුව 1941ට පෙර අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු දින හා ඊට පෙර දින සිදු කළ චාරිත්‍ර වර්තමානයේ දෙසැම්බර් 31 සහ ජනවාරි 1 වැනිදා සිදු කරයි.

තායිලන්ත ජනතාව අලුත් අවුරුදු උදාව සමරමින් – gettyimages.com

අලුත් අවුරුදු දිනයේ දී තායිලන්ත ජනතාව අන් රටවල මෙන් ම සුබ පැතුම පත් සුවමාරු කර ගනියි. නගර වීදීවල හා පිට්ටනිවල නොයෙකුත් විනෝද සැණකෙළි පැවැත්වේ. මහ රජතුමන් සහ දේවිය දෙසැම්බර් 31 වැනිදා ‘ග්‍රෑන්ඩ් පැලස්’ වෙත ගොස් භික්ෂූන් වහන්සේලාට දන් පිරිනමා චක්‍රී යුගයේ රජ පවුලේ සියලු ඥාතීන්ට පිං පමුණුවා ශුද්ධ ජලය ජනතාව වෙත ඉසියි.

 

ඊට අමතර ව එදින රාත්‍රියෙහි පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර එහි දී විශේෂයෙන් ම ආටානාටිය සූත්‍රය දේශනා කරයි. අතීතයේ සිට තායිලන්තයේ අමනුෂ්‍යයන් පිළිබඳ විශ්වාසයන් තදින් පැතිරී තිබෙන නිසා නව වසරෙහි ඔවුන්ගෙන් වන උපද්‍රවවලින් ආරක්ෂා වීම මෙසේ පිරිත් සජ්ඣායනා කිරීමෙන් අපේක්ෂා කෙරේ. පස්වන රාම චූලාලංකාර රජුගේ කාලයේ දී නගරයෙහි දොරටු අභියසට භික්ෂූන් වහන්සේලා වඩමවා මුළු රාත්‍රිය මුළුල්ලේ ම ආටානාටිය සූත්‍රය දේශනා කිරීමේ සිරිතක් පැවතුණත් වර්තමානය වන විට ස්ථාන කිහිපයක පමණක් සුළු වේලාවක් පිරිත් දේශනා පවත්වන බව දැක ගත හැකි ය.

රජ පවුලේ කුමරියක් අලුත් අවුරුදු දා පිණ්ඩපාතය පිළිගන්වන අයුරු – Facebook- Royal World Thailand

නව වසර උදා වන රාත්‍රී 12ට විනාඩි කිහිපයකට පෙර විහාරස්ථානවල වැඩ වසන සියලු ම භික්ෂූන් වහන්සේලා උපෝසථාගාරයට රැස් ව ‘ජයන්තෝ බෝධියා මූලේ’ ආදී සෙත් පිරිත් දෙසීම ආරම්භ කරයි. රාත්‍රී 12 ලබත් ම ඝණ්ඨාරය නාද කිරීම හා එසේ පිරිත් දෙසීම රජයෙන් ද පනවා ඇති සිරිතකි. ජනවාරි මස 1 වැනිදා උදෑසන දහස් ගණන් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම තායිලන්තයේ සුලබ දසුනකි. 

2). චක්‍රී දිනය

චක්‍රී දින උත්සවය සෑම වසරක ම අප්‍රේල් මස 6 වැනි දා පැවැත්වේ. මෙම උත්සවය තායිලන්තයේ අගනුවර වන බැංකොක් නගරයට පමණක් සීමා වී ඇති අතර එදින රජයේ නිවාඩු දිනයකි. චක්‍රී දින උත්සවය පවත්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1782 අප්‍රේල් මස 6 වැනිදා චෞ ප්‍ර යා චක්‍රි මහ සෙනෙවිතුමන් බැංකොක් නගරය පිහිටුවා එහි පළවන රාම නමින් රජ වීම සිහිපත් කරමිනි.

එදිනට බැංකොක් නුවර මුදුන් මල්කඩ සේ සලකන ‘ග්‍රෑන්ඩ් පැලස්’ හි තැන්පත් කොට ඇති මරකත මැණික් බුද්ධ ප්‍රතිමාවට රජතුමා, බිසව, ඇමති මණ්ඩලය සහ උසස් නිලධාරීන් පූජා පවත්වයි. ඊට අමතර ව පිරිත් දෙසීම හා දන්දීම ද සිදු වෙයි. ඉන් අනතුරුව රජ මාලිගයේ තැන්පත් කොට ඇති පළමුවන රාම රජතුමාගේ පටන් මිය ගිය සියලු රජවරුන්ගේ ප්‍රතිමාවලට සහ ජායාරූපයන්ට වර්තමාන රජු පුෂ්පෝපහාර දක්වයි.

චක්‍රී දිනය දා රජු රාම රජුගේ ප්‍රතිමාවට ගෞරව දැක්වීම – Facebook- Thai Royal Family

3). බීජ මංගල්‍යය

ලෝකය පුරා මැයි 1 වැනි දින කම්කරු දිනය යෙදුණත් තායිලන්තයේ එය නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා විනා කම්කරු දින සැමරුම් දක්නට නොලැබේ. ඒ වෙනුවට තායිලන්තයේ එදින සමරන්නේ බීජ මංගල්‍යය යි. බීජ මංගල්‍යය යනුවෙන් අදහස් කරන්නේ වී, වැපිරීමට සුදුසු පරිදි, දිය ගසා සකස් කිරීම වන අතර එය වප් මගුල් දිනයට පෙර සිදු කළ යුතු ය. මෙම මංගල්‍යය රජුගේ ප්‍රධානත්වයෙන් සිදු කරන අතර රජයේ අනෙකුත් උසස් නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වේ.

බීජ මංගල්‍ය උත්සවය ද මරකත මැණික් බුද්ධ ප්‍රතිමා ගෘහයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා වැඩම කරවන භික්ෂූන් වහන්සේලා සෙත් පිරිත් සහ විශේෂ ගාථා පන්තියක් දේශනා කරයි. එය බීජ මංගල ගාථා නමින් හැඳින්වෙන ගාථා 32 කි. එසේ පිරිත් දේශනාව අවසන් වීමෙන් අනතුරු ව එම පිරිත් පැන් එහි පසෙක අලංකාර මණ්ඩපයක තබා ඇති වීවලට ඉසියි. ඉන් පසු ගාන්ධාර රාෂ්ට්‍ර නම් වූ වර්ෂාභියාචනා මුද්‍රාවෙන් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවට පූජා පවත්වා උත්සවය අවසාන කරයි.

4). වප් මඟුල

තායිලන්තයේ වප් මඟුල සාමාන්‍යයෙන් මැයි මස 2 වැනිදාට හෝ නැකැත් යෙදීම අනුව ඒ ආසන්න දිනයකට යෙදෙයි. එදින රජයේ නිවාඩු දිනයක් නොවුණත් එය සියලු ම උසස් රාජ්‍ය නිලධාරීන් සහභාගී විය යුතු වැදගත් උත්සවයකි. ‘ග්‍රෑන්ඩ් පැලස්’ අසල ඇති සනාම් ලුවං නම් වූ පිටියේ දී මෙය පැවැත්වේ. එහි තාවකාලික කූඩාරම් ඉදි කොට රජයේ උසස් නිලධාරීන්ට හා දේශීය අමුත්තන්ට ආසන පනවයි. මෙය උදෑසන කාලයේ පැවැත්වෙන අතර රජු ඇතුළු පිරිස එහි සැපත් වූ පසු සී සෑම ආරම්භ වේ.

වප්මඟුල් උත්සවය –  Thaiworld.org

උසස් කුලයට අයත් සුදු පැහැති ගොනුන් දෙදෙනකු රන් නගුල ඇදගෙන යන අතර ඒ පසු පසු ජාතික ඇඳුමින් සැරසුණු ස්ත්‍රීහු සතර දෙනෙක් බීජ කත් කර තියා ගෙන ඒවා ඉසිමින් ගමන් කරති. මේ සඳහා භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයක් දක්නට නොලැබෙන අතර ඒ වෙනුවට බ්‍රාහ්මණ පූජකවරුන් යනුවෙන් හැඳින්වෙන පූජකවරු සී සෑමට පෙර හා පසු යාග හෝම චාරිත්‍ර ඉටු කරති. සමහර වර්ෂවල දී  රජතුමන් නගුල අල්ලා ගෙන යන අතර බිසව වී ඉසීම සිදු කරයි.

වප් මගුල් උත්සවයේ දැකිය හැකි තවත් වැදගත් අංගයක් වන්නේ ජොතිෂ්‍යයට අනුව වැසිපල හා ගොවිතැන් වැඩ  සඳහා සුදුසු කාල වකවානු ද ඇතුළත් වාර්තාවක් කියවීම යි. උත්සවය අවසානයේ දී සී සෑමට යොදා ගත් ගවයන්ට උක්, කෙසෙල් ආදිය ද කවා මත්පැන් ද බීමට දෙයි.

5). සංඝරාජ ඡත්‍ර මංගල්‍යය

සංඝරාජ ඡත්‍ර මංගල්‍යය සෑම වසරක ම නො පවත්වයි. සංඝරාජ හිමි නමකගේ අපවත් වීමක් සිදු වූ විට ඊළග අනුප්‍රාප්තික සංඝරාජ හිමියන් පත් කර ගැනීම සඳහා මෙම උත්සවය පවත්වයි. එය යෙදෙන්නේ මැයි මස 4 වැනි දිනට ය. මෙම උත්සවය ග්‍රෑන්ඩ් පැලස් හි අමරින්ද්‍ර නම් ශාලාවේ දී පැවැත්වෙන අතර සංඝරාජ හිමියන්ට විජිනිපත පිළිගැන්වීම එහි දී සිදු වේ.

6). මහාරාජ ඡත්‍ර මංගල දිනය

මෙය රජුගේ රාජාභිෂේක දිනය සිහිපත් කරමින් පවත්වන උත්සවයකි. මෙය 2017 වසරට පෙර මැයි මස 5 වැනිදා පැවැත්වූයේ නමවන රාම භූමිබෝල් අතුල්‍යතේජ රජුගේ රාජාභිශේක දිනය සිහිපත් කරමිනි. ඔහුගේ මරණයෙන් අනතුරුව වර්තමාන රජු මැයි මස 4 වැනි දා අභිශේක ලැබූ නිසා වර්තමානයේ දී එම උත්සවය එදිනට යෙදී ඇත.

එදිනට අමරින්ද්‍ර ශාලාවට පැමිණෙන රජුට හා රජ බිසවට භික්ෂූන් වහන්සේ 20 නමක් වැඩම කොට පිරිත් දෙසන අතර පසුව සිංහාසනයට හා රාජකකූධ භාණ්ඩවලට පිරිත් පැන් ඉසියි. එදින සවස අමරින්ද්‍ර රජු රජයේ උසස් නිලධාරීන්ට සුදුසු නාම හා පදක්කම් පැළඳවීම ද සිදු කරයි.

මහාරාජ ඡත්‍ර මංගල්‍යය දා සිදු කෙරෙන වත් පිළිවෙත් – Fox News

7). චූලාලංකාර දිනය

තායිලන්තය වර්තමානයේ පවතින ආකාරයට ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කළ චූලාලංකාර රජු අභාවප්‍රාප්ත වූ ඔක්තෝම්බර් මස 23 වැනි දින මෙම උත්සවය පවත්වයි. එදින රජයේ නිවාඩු දිනයක් වන අතර ‘ප්‍රති නං අනන්ත සමාකොම්’ නම් වූ කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වන මන්දිරය ඉදිරිපිට තනා ඇති චූලාලංකාර රජුගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීම මෙදින ප්‍රධාන වශයෙන් සිදු ක‌රේ.

ඒ සඳහා රජයේ සියලු දෙපාර්තමේන්තු, සමිති සමාගම්, විශ්වවිද්‍යාල ආදී ආයතන කණ්ඩායම් වශයෙන් පෙරහරින් ගොස් පුෂ්පෝපහාර දක්වා වැඳ නමස්කාර කරයි.

චූලාලංකාර දින සමරුව – bangkokpost.com

රජතුමා හා දේවිය එදින සවස එහි ගොස් පුෂ්පෝපහාර දක්වා අමරින්ද්‍ර ශාලාව වෙත යන අතර එහි තබා ඇති චූලාලංකාර රජුගේ භෂ්මාවශේෂවලට හා එතුමන් නමින් නෙළා ඇති බුදු පිළිමයට පූජා පවත්වා පිරිත් ශ්‍රවණය කොට පින් අනුමෝදන් කරයි.

8). රාජෝත්පත්ති දිනය

1932 රාජ්‍ය විප්ලවයෙන් පසු ව්‍යවස්ථාදායක ආණ්ඩුක්‍රමය අනුස්මරණය කිරීමේ දිනයක් ජුලි මස 24 වැනි දිනට යෙදී තිබිණි. කෙසේ නමුත් 1960 දී ගත් කැබිනට් තීරණයක් අනුව රාජෝත්පත්ති දිනය හා ජාතික දිනය එකට එක් කොට දෙසැම්බර් 5 දින සැමරීම ඇරඹිණි. මෙදින මුළු රට ම ජාතික කොඩියෙන් අලංකාර කරන අතර ආරක්ෂක හමුදා භට පෙළපාලියක් සහ සිංහාසන කතාවක් එම උත්සවයට ඇතුළත් වේ.

ජාතික දිනය වෙනුවෙන් මාර්ග සරසා ඇති අයුරු – cpsctech.org

කවරයේ ඡායාරූපය- තායිලන්තයේ අලුත් අවුරුදු උත්සවය සමරන අයුරු

මූලාශ්‍ර:

තායිලන්ත බෞද්ධ සංස්කෘතිය - ‌‌බෝයගම විමලසිරි නාහිමි

www.thaiembassy.com

fanclubthailand.co.uk

www.asiahighlights.com

Related Articles